අනෙක් අය නොදෙන රක්ෂණ අපි දෙනවා | සිළුමිණ

අනෙක් අය නොදෙන රක්ෂණ අපි දෙනවා

රජයටත් රටටත් බරක් නොවී රජයට ආදායම් උපයා දෙමින් ජනතාවට උපරිම සෙතක් සලසන රාජ්‍ය ආයතනයක් වන ජාතික රක්ෂණ භාර අරමුදල ගැන බොහෝ දෙනාගේ දැනුම අල්පය. ඊට ප්‍රධාන හේතුව ජාතික රක්ෂණ භාර අරමුදල, වෙනත් රක්ෂණ සමාගම් හෝ රාජ්‍ය ආයතන මෙන් නිරතුරුව ජනතාව සමඟ සම්බන්ධ වන ආයතනයක් නොවීමයි. එහෙත් නොපෙනෙන විශාල සේවාවක් ජාතික රක්ෂණ භාර අරමුදල ඉටු කරන්නේ රජය විසින් සිදු කළ යුතු අතිවිශාල වැය පාර්ශ්වයක් දරමින් කඩිනම් සේවාවක් සලසමිනි. එසේම ලාභ ලබන්නට ජාතික රක්ෂණ භාර අරමුදලට හැකි වීම විශේෂත්වයකි. අපි ඒ සම්බන්ධව ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා හමු වී සාකච්ඡා කළෙමු.

• ජාතික රක්ෂණ භාර අරමුදලේ ආරම්භය මෙන්ම එහි කටයුතු ගැන සාකච්ඡාව ආරම්භ කළොත්...

2006 වසරේ ආයතනය ස්ථාපිත කිරීමේ සිට රජයේ බොහෝ රක්ෂණාවරණ සම්බන්ධව කටයුතු සිදු කෙරුණා. අග්‍රහාර රක්ෂණය නිසා අප ආයතනය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ සුබසාධන සේවාවක් ලෙසින් මේ සේවාව පවත්වාගෙන යන්නේ. එසේ වුණත් අප ආයතනයේ ඇතැම් රක්ෂණ සේවා වාණිජ අරමුණෙන් පවත්වාගෙන යනවා. වාණිජ අරමුණෙන් පවත්වාගෙන යනු ලබන එම සේවා ඔස්සේ ආදායම් උපයාගෙන ඒ මඟින් සුබසාධක සේවාවන්ට මුදල් උපයා ගන්නවා.

• සාමාන්‍ය රක්ෂණ සමාගමක් හා රක්ෂණ භාර අරමුදල අතර ඇති වෙනස පැහැදිලි කළොත්..

රක්ෂණ සමාගම් සාමාන්‍යයෙන් සිදු කරන්නේ ජීවිත රක්ෂණ, රථ වාහන රක්ෂණ, රෝහල් රක්ෂණ වැනි රක්ෂණාවරණ ලබා දීමයි. නමුත් රක්ෂණ භාර අරමුදල ඊට වඩා වෙනස් කාර්ය රැසක නියැළී සිටින්නේ. රක්ෂණයේ ඇති හිඩැස පියවීමයි අපි සිදු කරන්නේ. උදාහරණ ලෙසින් ස්වභාවික විපත් ආදිය ආවරණය කරන්න රක්ෂණ සමාගම් කටයුතු කරන්නේ නැහැ.

• රාජ්‍ය ආයතනවල රක්ෂණාවරණ සම්බන්ධව ඔබ අරමුදලේ ක්‍රියා මාර්ග ගැන පැහැදිලි කළොත්.

මහා භාණ්ඩාගාරයේ දැනුම්දීමක් තිබෙනවා රාජ්‍ය ආයතනවල රක්ෂණ, රාජ්‍ය රක්ෂණ සමාගම්වලින්ම සිදු කළ යුතු බවට. එම නිසා රාජ්‍ය ආයතනවල රක්ෂණ ලබාගැනීම සඳහා අපත් ඉදිරිපත් වනවා. ටෙන්ඩර් පටිපාටි අනුව ඇතැම් රක්ෂණ අප ලබාගන්නවා.

• අග්‍රහාර රක්ෂණය නිසා රජයේ සේවකයන්ට සැලසෙන පහසුකම් වැඩි කර ඇති බවට පසුගිය දිනවල වාර්තා වුණා.

‘අග්‍රහාර‘ රාජ්‍ය සේවක රක්ෂණය යටතේ රාජ්‍ය සේවකයන්ගෙන් රුපියල් 125ක මාසික වාරිකයකට වාර්ෂිකව ලබා දීමට හැකියාව තිබුණේ රුපියල් 150000ක රක්ෂණාවරණයක් පමණයි. ඒ නිසා බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබුණා එම රක්ෂණාවරණය වැඩි කරන ලෙසට. එම නිසා අපි අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ පැරැණි ක්‍රමය එලෙසම තිබෙද්දී අග්‍රහාර ‘රන්‘ හා ‘රිදී‘ යනුවෙන් නව රක්ෂණාවරණ දෙකක් හඳුන්වා දුන්නා. රුපියල් 125ක මාසික වාරිකයකට ලබා දිය හැකි ප්‍රතිලාභ ඉතා සීමිතයි.

එම නිසා අවශ්‍ය නම් ‘අග්‍රහාර රන්‘ යටතේ මසකට රුපියල් 600ක වාරිකයක් හා ‘අග්‍රහාර රිදී‘ යටතේ මසකට රුපියල් 300ක වාරිකයක් අය වන පරිදි අප රක්ෂණාවරණ සැලසුවා. ඒ අනුව රන් යටතේ රුපියල් 350000 ක රක්ෂණාවරණයක් හා රිදී යටතේ රුපියල් 250000ක රක්ෂණාවරණයක් ලබා දෙන්න අපට හැකියාව ලැබුණා.

• තමන් ගෙවපු රුපියල් 125ක වාරිකයට වඩා දෙගුණයකටත් වැඩි වාරිකයක් ගෙවා එය ලබාගන්න රාජ්‍ය සේවකයන් කැමැති වුණාද?

අග්‍රහාර රක්ෂණය යටතේ 850000ක පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් ලක්ෂ 4ක පමණ පිරිසක් මේ වන විට රන් හා රිදී ආවරණ ලබාගෙන තියෙනවා. විශේෂම කරුණ තමයි අපි රුපියල් 125ක් ගෙවපු රක්ෂණාවරණය නවත්වා නැහැ. වැඩි ප්‍රතිලාභ අපේක්ෂා කරන අයට තමයි ඒ පහසුකම සලසා ඇත්තේ. ඒ වගේම රුපියල් මිලියනයක් දක්වා හෘද සැත්කම් ආවරණයක් තිබෙනවා.

• රක්ෂණ සමාගම් හා ඔබ ආයතනය අතර ඇති සහයෝගිතාව ගැන විස්තර කළොත් .

රක්ෂණ වෙළෙඳ පොළේ කැරලි කෝලාහල, වැඩ වර්ජන, ත්‍රස්තවාදි ක්‍රියා ආදිය සම්බන්ධව අනෙක් රක්ෂණ ආයතන ආවරණය කරන්නේ නැහැ. ඒ සියල්ල ආවරණය කරන්නේ අපි. ඒ බව බොහෝ දෙනා දන්නේ නැහැ. රක්ෂණ සමාගම් එම ආවරණ ලබා ගත්තත් ඒ ආවරණය ලැබෙන්නෙ ජාතික රක්ෂණ භාර අරමුදල ඔස්සේ . ඒ එක් කාර්යයක්.

ඊට අමතරව සියලුම රක්ෂණ සමාගම් ප්‍රතිරක්ෂකයෙකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදලේ රක්ෂණය වී තිබෙනවා. විශේෂයෙන්ම එකවර විශාල වන්දි ප්‍රමාණයක් ඉල්ලුම් පැමිණි විට රක්ෂණ සමාගම් දැඩි අපහසුතාවකට පත් වෙනවා. එය එම ආයතනවල මූල්‍ය ස්ථාවරත්වයටත් බලපානවා. එම නිසා එම සමාගම් ප්‍රතිරක්ෂකයෙකු ලෙස ජාතික රක්ෂණ භාර අරමුදලේ රක්ෂණය වී තිබෙනවා.

• ඇතැම් රක්ෂණ සමාගම් විදේශීය රක්ෂණ සමාගම්වල ප්‍රති රක්ෂණය වෙලා තිබෙනවා නේද?

කලකට ඉහතදී විදේශීය වෙළෙඳ පොළේ 100%ක්ම ප්‍රතිරක්ෂණය වීමට තමයි සියලුම රක්ෂණ ආයතන කටයුතු කර තිබුණේ. නමුත් දැන් සියලුම රක්ෂණ සමාගම් 30%ක් අනිවාර්යෙන්ම ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රතිරක්ෂණය විය යුතුයි. ප්‍රතිරක්ෂණය රක්ෂණ සමාගම්වලට අනිවාර්යෙන්ම අවශ්‍ය වනවා. විශාල ගංවතුරක්, සුනාමියක් වැනි දැවැන්ත අලාභ හානි සිදු වුණොත් එය අදාළ රක්ෂණ සමාගමේ මූල්‍ය ස්ථාවරත්වයට පවා බලපෑ හැකියි.

• නමුත් කැරලි කෝලාහල ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අදාළ රක්ෂණයන් අනෙක් සමාගම් විසින් සිදු කරනවා නේද?

ඒ රක්ෂණ සමාගම් සිදු කරන්නේ ආවරණය ලබාගැනීම පමණයි. ඊට අදාළ වාරික මුදල් ලබාගෙන අප වෙත එවනවා. වන්දි මුදල් ගෙවීම් සිදු වන්නේ අපගේ අරමුදලින්.

• කැරැලි කෝලාහල ත්‍රස්තවාදී ක්‍රියාවන්ට වන්දි ගෙවීමේදී අදාළ රක්ෂණ සමාගම මඟින් වන්දි ගෙවීම් කරනවාද? නැත්නම් වන්දි හිමිකරුම වන්දි ගෙවනවාද?

අප සැම විටම කටයුතු කරන්නේ අදාළ රක්ෂණ සමාගම සමඟයි.

• ඔබ ආයතනයෙන් ස්වභාවික විපත් රක්ෂණයක් 2016 වසරේදී ඇරැඹුවා එයින සැලසුණු සේවාව විස්තර කළොත්.

2016 වසරේ වත්මන් රජය සිදු කළ වැදගත්ම කාර්යයක් ලෙස එය හදුන්වා දෙන්න පුළුවන්. මීට පෙර ස්වභාවික විපතකදී, විශේෂයෙන්ම නිවාසයන් හානි වූ විටදී එහෙමත් නැත්නම් නාය යෑම් වැනි ආපදාවකට ලක්ව ජීවිත හානි වූ සිදු වූ විටදී රජයෙන් යම් කිසි වන්දි ගෙවීමක් කළා. ඒ සඳහා රජයට සැලකිය යුතු කාලයක් වැය වුණා. මුදල් ප්‍රමාණවත් නොවීම නිසා ඇති වූ අපහසුතා නිසා ජනතාව යම් අපහසුතාවන්ට පත් වුණා.

ඒ නිසා 2016 වසරේදී රජයෙන් ස්වභාවික විපත් රක්ෂණයක් ජාතික රක්ෂණ භාර අරමුදල ඔස්සේ ඇති කළා. ඒ මඟින් ස්වභාවික විපතකදී රජය වෙනුවෙන් වන්දි ගෙවීම අප කළ යුතු වුණා. ඒ අනුව ස්වභාවික විපතකදී නිවසකට අලාභ හානි වූ විටදී රුපියල් ලක්ෂ 25ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමත් ජීවිත හානියකදී රුපියල් ලක්ෂයක් වන්දි ලෙස අපි ගෙවීම් සිදු කරනවා. එසේම විපත්වලින් අවතැන්ව කඳවුරුවල සිටිනා අයටසහනාධාර ලබාදීමටත් මුදල් දෙන්නේ අපි.

• මේ දක්වා සිදු කළ වන්දි ගෙවීම් ගැන සදහන් කරමු.

මේ රක්ෂණ ක්‍රමය ආරම්භ කෙළේ 2016 වසරේ අප්‍රේල් මස 01 වැනිදා. නමුත් ඒ අවුරුද්දේ මැයි මාසෙම ගංවතුරක් ඇවිත් අපිට කෝටි 355ක වන්දි ගෙවන්න වුණා.

මේ ස්වභාවික විපත් ආවරණය කිරීම අපි බාරගත් පසුව මේ දක්වා රුපියල් කෝටි 659ක් අපි ගෙවා තිබෙනවා. අපි ඒ වන්දි මුදල් නොගෙව්වා නම් ඒ සියල්ලම ගෙවන්න වෙන්නේ මහා භාණ්ඩාගාරටයි.

• මෙතරම් විශාල වන්දි ගෙවීමක් කරමින් ආයතනයට ලාභ ලාබන්න පුළුවන්ද?

නිසි කළමනාකරණයයි වැදගත්. අපි 2016 වසරේ රුපියල් කෝටි 284ක ලාභයක් වාර්තා කළා. 2017 වසර් කෝටි 98ක් හා පසුගිය 2018 වසරේ කෝටි 318ක ලාභයක් ලැබුවා. මේ ලාභයෙන් වැඩි කොටසක් මහා භාණ්ඩාගාරයට තමයි යන්නේ.

• මේ වන්දි ගෙවීම් වෙනුවෙන් ආණ්ඩුවෙන් යම් ප්‍රතිපාදනයක් ලැබෙනවාද?

ආණ්ඩුව අපිට රක්ෂණ වාරිකයක් ලෙසින් වසරකට රුපියල් මිලියන 300ක් ගෙවීම ආරම්භ කළා. නමුත් දැන් එය මිලියන 500ක් දක්වා වැඩි කර තිබෙනවා. ආණ්ඩුව රක්ෂණ වාරික ගෙවනවා. අලාභ හානි වෙනුවෙන් අපි වන්දි ගෙවනවා. මේකත් රක්ෂණ ක්‍රමයක්. ආණ්ඩුව අවුරුදු 3ක් ඇතුළත කෝටි 130යි අපට ගෙවා ඇත්තේ අපි කෝටි 659ක වන්දි ගෙවා තිබෙනවා.

• ජාතික රක්ෂණ භාර අරමුදල සපයන වෙනත් සේවා හෝ රක්ෂණාවරණ මොනවාද?

අපි ගොවියා වෙනුවෙන් කෘෂි රක්ෂණයක් ලබා දී තිබෙනවා. ඒ කෘෂි රක්ෂණ මණ්ඩලයත් සමඟ සම්බන්ධ වීමෙන්. විශේෂයෙන්ම නියඟය ස්වභාවික විපත් යටතේ ආවරණය නොවන නිසා කෘෂි රක්ෂණ මණ්ඩලය හා සම්බන්ධ වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අපි රක්ෂණාවරණ සපයනවා. ඒ අනුව නියඟය, ගංවතුර හා වන අලි පාඩු වෙනුවෙන් අපි වන්දි ගෙවීම් කරනවා. මීට පෙර අප වන්දි ගෙවීම් සිදු කෙළේ වී ගොවීන්ට පමණයි. දැන් අල ලූනු ඇතුළු තවත් වගා 5ක් ආවරණය කර තිබෙනවා.

• ඔබ පැවසුවා වැඩ වර්ජන හානි සඳහා වන්දි ගෙවනු ලබන බවක්. ඒ ගැන ටිකක් පැහැදිලි කරමු.

මෙතැනදී වැඩ වර්ජන හානි යනුවෙන් අදහස් කරන්නේ යම් වැඩ වර්ජනයකදී ආයතනයේ භෞතිකව සිදු වන හානි, උදාහරණයක් ලෙසින් යන්ත්‍ර සූත්‍රවලට සිදු වන හානි යනාදිය පමණයි. එසේ නැතිව වැඩ වර්ජනය නිසා ආයතනයේ දෛනිකව සිදු වන පාඩු ආදියට මෙහිදී වන්දි ගෙවීමක් කරන්නේ නැහැ.

• මෙතරම් මුදල් කළමනාකරණයක් තිබෙන, පහසුකම් තිබෙන, ඔබ ආයතනය ඇයි අනෙක් රක්ෂණ සේවා කරා යොමු නොවන්නේ.

රජයේ ආයතනවල රක්ෂණ අවශ්‍යතා අපි ඉටු කරනවා. වෙළෙද පොළේ සාමාන්‍ය ජනතාවගේ රක්ෂණ සේවා අපි සිදු කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් සමාගම් 15ක් පමණ තිබෙනවා . අනෙක ඒ රක්ෂණ සමාගම් පවා අපේ පාරිභෝගියන් ලෙස සලකන්නට පුළුවන්. එවන් තත්ත්වයක් උඩ අපි පාරිභෝගිකයන් සමඟ තරග කිරීමත් සුදුසු නැහැ.

සමාජයට අවශ්‍ය සේවා සපයමින් පාඩු නොවන සේ රක්ෂණ කටයුතු සිදු කිරීමයි අපේ අරමුණ වන්නේ.

• ඔබ ආයතනයට වැඩිම අදායමක් ලැබෙන රක්ෂණාවරණ මොනවාද?

විශේෂයෙන්ම ප්‍රතිරක්ෂණවලින් ආයතනයට සැලකිය යුතු ආදායමක් ලැබෙනවා. කැරැලි කෝලාහල ත්‍රස්තවාදී ක්‍රියා රක්ෂණාවරණයෙන් අපට හොද ආදායමක් ලැබෙනවා.

• නමුත් ඒ වෙනුවෙන් ගෙවීම් සිදු කළ යුතුයි නේද?

මේ දිනවල කැරලිකෝලාහල වෙනුවෙන් ගෙවන වන්දි ප්‍රමාණය අඩුයි. පසුගිය වසරේ නම් මහනුවර, අකුරණ, තෙල්දෙණිය වැනි ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් වන්දි ගෙවන්න වුණා.

• ජාතික රක්ෂණ භාර අරමුදල යම් ආයතනයක ප්‍රති රක්ෂණ ලබා ගෙන තිබෙනවාද?

අපිටත් අසාමාන්‍ය ලෙස වන්දි ගෙවන්නට තරම් බරපතළ අවස්ථා උදාවිය හැකියි. එම නිසා අපත් විදේශීය සමාගම්හි ප්‍රතිරක්ෂණ වෙලා තිබෙනවා. අප කරන්නේ සුබසාධන සේවාවක් ලෙසින් කටයුතු කිරීමත්. එකම දේ ආදායම අප ව්‍යාපාරයෙන්ම සපයා ගැනීමයි.

 

අදහස්