එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තවත් පුළුල් වෙයි | Page 2 | සිළුමිණ

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තවත් පුළුල් වෙයි

2019 වසර සදහා වන අය වැය යෝජනා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලදී. ඒ “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය “ යන තේමාවෙන් වීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පෙරමුණු රජයේ ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන හදුන්වා දිය හැකි අතර 2018 අය වැය යෝජනා මගින් එම වැඩසටහන හදුන්වා දීම සදහා පියවර ගැණුනි. නව ව්‍යවසායකයින් ලක්ෂයක් හදුන්වා දීම අරමුණු කර ගනිමින් ක්‍රි යාත්මක මෙම “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ සහන පොලී වැඩසටහන “මගින් මේ වන විට ව්‍යවසායකයින් තිස් දසකට පමණ රු. මිලියන 60,000 කට අධික සහන පොලී ණය ලබා දී ඇතැයි මුදල් අමාත්‍යවරයා මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අනාවරණය කරන ලදී.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ලැබූ සාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් එම වැඩසටහන සමාජයේ සෑම තරාතිරම්ක්ම නියෝජනය වන පරිදි පුළුල් කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇත. ඒ අතර ප්‍රධානතම යෝජනාවක් වන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් සැලසුම් කර ඇති “මයි ෆියුචර්” සහන පොලී ණය වඩසටහනයි.අපොස උසස්පෙළට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිවන සිසු දරු දැරියන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කර ගෙන යාම සදහා රුපියල් මිලියන 1.1ක ණය මුදලක් මේ යටතේ ලබා දීම සදහා කටයුතු කර තිබේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ සහන පොලී ණය වැඩසටහන යටතේ මෙවර හදුන්වා දී ඇති සුවිශේෂම ණය යෝජනා ක්‍රමයක් වන්නේ “රැකවරණය” නමින් හැදින්වෙන ණය යෝජනා කිරීමයි. සේවකයින් 250කට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරැකීමේ පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කිරීම. පාසල් වේලාවෙන් පසුව සහ නිවාඩු දිනවලදී දරුවන් රැකබලාගන්නා මධ්‍යස්ථාන, තෝරාගත් පාසල්වල ගොඩනැඟීමට ආධාර ලබා දීම හා එම පහසුකම් ස්ථාපිත කිරීම සඳහා මෙම සහන ණය යෝජනා ක්‍රමය මගින් පෞද්ගලික අංශය වෙත ණය පහසුකම් ලබා දීමට යෝජනා කර තිබේ.

මීට අමතරව පෞද්ගලික අංශය මගින් ඉදිකරනු ලබන මධ්‍යම පාන්තික තට්ටු නිවාස මිල දී ගැනීම සදහා අවශ්‍ය ණය පහසුකම්ද සහන පොලී යටතේ හදුන්වා දීමට “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා“ණය යෝජනා ක්‍රමය යටතේ කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යවරයා අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

එසේම Mini Taxi - Electric Three Wheeler ණය යෝජනා ක්‍රමය මගින් ත්‍රී රෝද රථ හිමිකරුවන්ට සහනදායී ණය ලබා දීමට හා රජය විසින් ණය පොලියෙන් සියයට 75 ක් දරනු ලබන අතර දැනට භාවිතා කරන ත්‍රී රෝද රථ ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙයි.

පෞද්ගලික අංශයේ බස් රථ බළ ඇණිය සුඛෝපභෝගී බස් රථ 1,000 කින් පුළුල් කිරීම සඳහාද විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සදහා කටයුතු කෙරෙන අතර එහිදී ණය පොලියෙන් සියයට 75ක් රජය මඟින් දැරීමට යෝජනා වී ඇත. “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” රජයේ සහන පොලී ණය වැඩසටහන යටතේ මෙවර හදුන්වා දී ඇති තවත් ප්‍රධාන ණය වැඩසටහනක් ලෙස විදේශ රටවල සේවයේ නියුතු වූවන් සදහා යෝජනා කර ඇති සිහින මාලිගා ණය ක්‍රමය හදුන්වා දීමට පුළුවන.

එම ණය ආපසු ගෙවීම සදහා වසර දෙකක සහන කාලයක්ද හිමි වන අතර වසර 15 කින් එම ආපසු ගෙවීමට පහසුකම් සළසා ඇත.

අලුත විවාහ ජීවිත ආරම්භ කරන තරුණ තරුණියන් සදහා “හෝම් ස්වීට් හෝම්” නමින් නව ණය යෝජනා ක්‍රමයක්ද මෙවර හදුන්වා දී ඇත. සහන පොලියකට හිමි වන එම නිවාස ණය ආපසු ගෙවීම සදහා වසර 25ක කාලයක්ද හිමි වනු ඇත.

මේ අතර මෙවර අය වැය යෝජනා මගින් “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” රජයේ සහන පොලී ණය වැඩසටහන් පුළුල් කිරීමේ යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කර සිටියේ නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන ආකාරයට කටයුතු කරන බැංකු නිලධාරීන්ද සිටින බවත් ඒ ගැන දැනුවත් කිරීම සදහා 1925 දුරකතන අංකය හදුන්වා දී ඇති බවත්ය.

අදහස්