ශිල්පෙ දන්නවා නම් ඕන අභියෝගයක් සුළු දෙයක් | Page 2 | සිළුමිණ

ශිල්පෙ දන්නවා නම් ඕන අභියෝගයක් සුළු දෙයක්

නැව් සංස්ථා­වට පළමු නැව් හතර මිලදී ගැනීමේ සේවාව කළේ ඔහුය. ‘ලංකා කීර්ති’ යනු ඔහුගේ ඒ සේවය වෙනු­වෙන් නම් කළ නැවයි. පසු කලෙක රුපි­යල් 3500 ක, සිය බෝනස් මුද­ලින් සලාකා හි සාමා­ජි­ක­ත්වය ගෙන, ටෙලෙක්ස් පණි­වුඩ යැවූ ඔහු සිය පත්තර රීල් ගෙන්වීමේ ව්‍යාපා­රය එසේ අර­ඹයි. බැංකු ණය, ඔහුගේ ව්‍යාපාර ක්‍රම­වේ­දයේ නැත. දේශ­පා­ල­ක­යන් පස්සේ යෑමද ඔහු‍ගේ ජීවි­තයේ නැත. සියල්ල අතරේ, ළමා කාලයේ විඳි සිත් වේදනා පැණි රස­යැයි දැන් ඔහුට සිතේ.  මේ ඔහුගේ කතා­වයි.

පත්තර රෝල් ව්‍යාපාරය තුළ ඔබට තිබෙන තැන කුමක්ද...

දවස, දිවයින කාර්යාලවලින් පටන් ගත්තු අමාරුම ගමනෙ අද මං, මේ රටේ හැම පත්තර කන්තෝරුවකම ප්‍රධාන කොළ සපයන්නා බවට පත් වෙලා. අවුරුදු 33 ක් තිස්සෙ තවමත් ලේක්හවුසියේ ප්‍රධාන පත්තර කොළ සපයන්නා මම.

ටෙන්ඩර්වලදී කොහොමද ඔබටම අවස්ථාව උදාවන්නේ...

මීට අවුරුදු ගණනාවකට උඩදී අනෙක් ටෙන්ඩර්කරුවෝ ටෙන්ඩරය දාලා, බෙන්ස් කාර්වලින් යද්දී, මං ඩයරියත් කිහිල්ලට තද කරගෙන කාෂ්ටක අව්වේ බස් එකක් එනකල් බලා ඉන්නවා. ඒ මිනිස්සු උජාරුවට වගේ මගේ මුහුණ දිහාත් බලාගෙනම යනවා. මගේ හිත නොසන්සුන්. මං මගේ මහපටැඟිල්ල හෙමින් සූර සූර ඒ නොසන්සුන්කම නැති කරගන්නවා. අදටත් ටෙන්ඩරයක් අලුත් කරන මාස තුනෙන් තුනට මං මේ දේ අත් විඳිනවා. ‘අඩුම මිලට හොඳම කඩදාසි.’ එච්චරයි මගේ ක්‍රමය. මොන තත්වයක් යටතේ වුණත්, මේ රටේ කවුරු ළඟ කොළ නැති වුණත් මං ළඟ කොළ තිබෙනවා‍. ඉස්සර නම් අවුරුදු හතරකට සැරයක් කොළ මිල ඉහළ ගියා‍. දැන් ඒ තත්ත්වය අඩුයි.

 ඇයි අවුරුදු හතරකට සැරයක් එහෙම වුණේ...

ඇමෙරිකාවේ ජනාධිපතිවරණය තිබෙන කාලවලට ඔවුන් කොළ නිෂ්පාදනය අඩු කරනවා. මිල ඉහළ දමනවා. වැඩි මිලට බඩු දීලා ඔවුන් කරන්නේ ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් අපි වගේ දුප්පත් රටවලින් උපයා ගන්න එක. ඒ තත්ත්වය නැති වුණේ, රුසියාව තරගයට ආවට පස්සේ.

 ප්‍රධාන සපයන්නා ඔබ නම්, ඇයි මේ සමහර පත්තර කොළ අවපැහැය, සමහර කොළ සුදු පාට...

පයින් ගසේ කඳ පල්පයක් කරලා ඍජුවම හදන කඩදාසිය, ‘වර්ජින් පේපර්’. ඒ කොළයේ කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ. නමුත් අවුරුදු 10 -15 ක ඉඳන් දැන් ‘රී සයිකල්’ කොළ නිපදවනවා. ඒකට, පාවිච්චි කළ පත්තර කොළ විතරක් නෙවෙයි, ටොයිලට් ටිෂූ ඇතුළු හැම ජාතියකම පාවිච්චි කළ කොළ දාල, තමයි අඹරන්නේ. තද අඳුරු පැහැ ගුලියක් නැවත සුදු වෙන්න මොන තරම් කෙමිකල් ප්‍රමාණයක් දානවා කියලද හිතන්නේ. අන්තිමේ, ඇල්ලුවට දෑතට කිසිම වසක් විසක් නැති කොළේට මිනිස්සු, ‘කහ පාටයි, පරණ පාටයි...’ කියනවා. අර විස පිරුණු කොළේ සුදු පාටයි කියනවා. ඒක ඇත්තටම සුදු නොවෙයි අළු පාට‍.

 ඒකද එකම හේතුව...

සීත රටවල විතරයි මේ කොළ හදන්නේ. අපේ රටේ මේ කොළ රීල් ගෙනැල්ලා තැන්පත් කරන්නෙ රස්නෙ ගබඩාවල. ගේන්නෙ ඇරලා ගිනි අව්වේ එහෙම පිච්චි පිච්චි ගේන සුදු කොළ රීල් වාහන පිටින් අව්වේම පාක් කරලා තියෙනවා. වර්ජින් ෆයිබර් එකෙන් හදන කඩදාසිය, අව් රස්නයට අවපැහැ වෙනවා. ලේක්හවුසියේ සිළුමිණත් වෙළෙඳපොළේ අනෙක් පත්තරවලට වඩා කහපාටට කාට හරි පේනවා නම්, ඒ තනිකරම වස විස නැති වර්ජින් පේපර් එකෙන් හදන නිසා.

 ඇයි මේ, අපේ රටේ පාසල් දරුවන්ගේ පොත් මේ තරම් බර. එයට ගැළපෙන සැහැල්ලු කොළ,ලෝකෙ නැද්ද ...

මොකද නැත්තෙ. ලෝකෙ අනෙක් ළමයිනුත් ඉස්කෝලෙ යනවා. ඒ රටවල්, තාක්ෂණයෙන් දියුණු කරපු සැහැල්ලු කොළ විතරයි දරුවන්ගේ පොත් සඳහා යොදා ගන්නේ. ඒවා හරිම සැහැල්ලුයි පොත මොන තරම් මහත වුණත් කුරුලු පිහාටුවක් වගෙයි. මේවා ඉතින් අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය මූලික වෙලා කරන්න පුළුවන් දේ.

ඔබට අනුව, ව්‍යාපාරයකදි වඩා ප්‍රායෝගික වන්නේ, අවස්ථාවන් එනතුරු බලා හිඳීමද, අවස්ථාවන් හඹා යෑමද...

බලා හිදීම. මං ස්ටේට් ට්‍රේඩින් එකේ වැඩ කරන කාලෙ ලංකාවට පත්තර අච්චු ගහන කොළ ගෙන්වීමේ බලය තිබු‍ෙණත් අපේ ආයතනයට‍. පාකිස්තානය, බංගලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව කියන රටවල් හතරෙන් පළමුවෙන් ම විවෘත ආර්ථිකය ඇරැඹුවේ අපේ රට. ඒ කාලෙ ස්වීඩ්න් රජය සහ ශ්‍රී ලංකාව අත්සන් කර තිබූ ‘බාටා - ට්‍රේඩ්’ කියන වෙළෙඳ ගිවිසුම යටතේ ස්වීඩන් රට නිපදවූ ලොව හොඳම පත්තර කොළ, ඔවුන් තමන් හා මේ ගිවිසුම් අත්සන් කළ අනෙක් ර‍ටවලටත් දුන්නා. නමුත් ශ්‍රී ලංකාව හැම විට එය ප්‍රතික්ෂේප කළා. හොයලා, බලපුවම, නියමිත මිලට වඩා ඩොලර් දහයක් වැඩියි කියලයි අපි ඒවා නොගන්නේ. එහෙම මිල වැඩිවීමක් සිදුවුණේ බලතල තිබූ ආයතනවල සහ දේශපාලනික මැදිහත්වීමේ අතරමැදිකරුවන් ගාණක් තියාගත් නිසා. නමුත්, සමාන මිලක් ඇති හොඳ නිෂ්පාදකයක් සඳහා අවස්ථාවක් ඇති බව මං හඳුනා ගත්තා. ඒ පසුබිම හොඳින් අධ්‍යයනය කළා. මං ඒ අවස්ථාව ගත්තා. රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වුණා. පිටස්තරයෙක් විදියට ඒ කඩදාසි ගෙන්වන්න අවස්ථාව හදා ගත්තා.

 කොහොමද ඔබ වෙළෙඳපොළ හදාගත්තෙ...

ඒ වෙනකොට සෙන්ටිමීටර් 100 ක් පළල බ්‍රෝඩ්ෂීට් ගණයේ ලෝකෙ හොඳම කොළ හැදුවෙ නෝර්වේ, ස්වීඩ්න් සහ ෆින්ලන්ඩ් කියන රටවල්. ශ්‍රී ලංකාව කොළ ගත්තෙ දකුණු අප්‍රිකාවෙන් සහ කැනඩාවෙන්. මං ගියා කලින් වැඩකළ උපාලි ගෲප් එකට. ඔවුන් මගෙන් කොළ මෙට්‍රික් ටොන් පන්සියයක් මිලට ගත්තා. ඔවුන්ට මං හොඳ මිලක් සහ වට්ටමකුත් අරන් දුන්නා. ඒ වෙනුවෙන් මට ස්වීඩන් කොම්පැනියෙන් එවා තිබූ මුදල රුපියල් අසූ පන්දාහක්. මං බෙදලා බැලුවා. ස්ටේට් ට්‍රේඩින් එකේ පඩිය වගේ 28 ගුණයක්. ඒ කියන්නෙ මාස 28 ක පඩියක්. ස්ටේට් ට්‍රේඩින් එක අවුරුදු ගණනක් නොගත්තු සහ ප්‍රතික්ෂේප කරපු අවස්ථාව, මං අයිති කරගත්තා. වැඩේට බැස්සා. පත්තර කන්තෝරු ගිහින් ඇවිදලා ඕඩර් ගත්තා.

ව්‍යාපාරවලින් හැමදේම ලැබුණද...

ලැබුණා. හැබැයි, මගේ ගෙදරට තිබුණු හොඳ නම නැතිවුණා‍. ඒක වුණේ, රෑ දෙක තුන වෙනකල් මං එළියේ වැඩ කළ නිසා. ස්වීඩනයේ වැඩ පටන් ගන්නෙ, අපේ වෙලාවෙන් රෑ දොළහෙන් විතර පස්සෙ. විශේෂයෙන් පත්තර කන්තෝරුවල ටෙන්ඩර තියෙන දාට, මං දෙක තුන වෙනකල් ටෙලෙක්ස් ගැහුවා. උත්තර එනකල් බලා හිටියා. ඉතින් ගෙදර යන්නෙ දෙගොඩ හරි ජාමේ. මං එන්නෙ වැඩ කරලා කිව්වට අම්මා පිළිගත්තෙම නැහැ. එයාලට මේ ජීවිතේ පුරුදු නැති දෙයක්. මහන්සිවෙලා ගෙදර ගියාම හැමදාම බැණුම්, කිව්වෙම වෙන වැරැදි වැඩ කරලා එනවා ඇති කියලා. අන්තිමේ අම්මා දොර අරින්නෙම නැතිව ගියා. වත්තෙ ටැප් එකෙන් බඩ පිරෙන්න වතුර බීලා, පඩිය උඩ මුළු රෑම ගත කරපු දවස් අනන්තයි.අම්මා ඇත්ත තේරුම් ගත්තේ, එයාගෙ ‍ජීවිතයේ අවසන් දවස් කිහිපයේදි..

ඔබ ප්‍රතික්ෂේපවීම්වලට මුහුණ දීලා නැද්ද...

ලේක්හවුසියට ගිය පළමු දවසෙ අදාළ නිලධාරියා ඇහුවා, ‘ඔය ළමයට පිස්සුද’ කියලා. ගනේෂලිංගම්... ශිවාජිලිංගම්... ලාවෝස්... මේ වගේ ලොකු කොම්පැනි එක්ක ඔය ළමයට හැරෙන්නවත් පුළුවන්ද... කමක් නෑ‍... ආපු එකේ තේ එකක් බීලා යන්න’ කියලා ප්ලේන්ටියකුත් දුන්නා. හැබැයි මං අත් හැරියේ නැහැ. සතියක් ගානේ ගියා. නිකම් හරි කතා කළා. මේක හැමදාම බලාගෙන හිටි කෙනෙක් හිටියා. ඒ එවකට සමාගම් ලේකම්, චන්ද්‍රසේකර මහත්තයා. දවසක් දා ඔහු කතා කළා. මගෙන් විස්තර ඇහුවා. අන්තිමේ එක අවස්ථාවක් දුන්නා. අවුරුදු 33 කට උඩදී ලේක්හවුස් කියන දැවැන්ත ආයතනයේ මට අවස්ථාව උදා වුණේ ඔය විදියේ ප්‍රතික්ෂේපවීම් ගණනාවකට පස්සේ.

මොනවද ඔබට තිබෙන සෙසු ව්‍යාපාර...

හැත්තෑ ගණන්වල අග භාගයේ ඉඳලා බිස්නස් කළාට ‘ස්කෑන් ඒජන්සිස්’ නමින් මගේ පළමු බිස්නස් එක ලියාපදිංචි කළේ 1986. ඊළඟට, 1995 මම, සෙන්ට්‍රල් ඒ.සී. සිස්ටම් ඇතුළත් ඉංජිනේරු ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ තමයි, ස්ක‍ෑන් ඉංජිනියරින් ආයතනය. ඒවා සාමාන්‍ය වායු සමීකරණ පද්ධතීන් නෙවෙයි. රෝහල්, හෝටල්, අපාර්ට්මන්ට් වගේ දැවැන්ත ව්‍යාපෘතිවලට අදාළ වායු සමීකරණ පද්ධති. ලෝකෙ හොඳම සන්නාමයක් වන ‘කෝනෙ’ විදුලි සෝපාන, එලිවේටර්ස් සහ එස්කැ‍ලේටර්ස් ලංකාවට සහ මාලදිවයිනට ගෙන්වන එකම නියෝජිතයා අපි. අපිට විතරයි ‘කෝනෙ’ ලිෆ්ට් ගෙන්වන්න අවසර තිබෙන්නේ. දැවැන්ත බිල්ඩිමක් හදන කෙනකුගෙ, ප්‍රධාන අවශ්‍යතාවන් තුනවන, ලිෆ්ට් එක, පවර් ‍- ජෙනරේටරය සහ වායු සමීකරණ කියන අවශ්‍යතා තුනම මේ ආයතනය හරහා සිදුවෙනවා.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

උපාලි විජේවර්ධන මහත්තයා හැමදාම හවස හය හමාරට ඔෆිස් එකට එනවා. ඒ එනකොට එයාගෙ ලංකාවේ සහ පිටරට ව්‍යාපාරවල එදා දවසෙ දළ ආදායම හදා තිබිය යුතුයි. අද ‍වගේ ඊමේල් - ඉන්ටර්නෙට් නැති යුගයක රටේ හතර දිග්බාගයේ සහ පිටරටිනුත් මේ තොරතුරු ගෙන්වා ගෙන හවස හය වෙද්දී ඒ ෂීට් එක හදන වගකීම පැවරුණේ මට. මහා පීඩනයක් වගකීමක් ඇති වැඩක්. උදේ ඔෆිස් කාමරයට යන මම ආපහු එළියට ආවේ රෑට.‍ එළි‍ෙය වෙන කිසිම දෙයක් මම දන්නෑ.

ජීවිතයේ වැඩියෙන් ම මහන්සි වූ යුගය ද ඒ...

ඇත්තටම. ඒ නිසා ම මං ඒ රස්සාව අත් හැරියා. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ විභාගෙ ලියලා රාජ්‍ය සේවයට ගියා. එතැන කළමනාකරුවො 35 ක් හිටියා. මං සියල්ලන් අබිබවා යන තරමට දක්ෂව වැඩ කළා. මට පැවරුණු මුල් ම රාජකාරිය, ආයුධ සහ පතුරම් ගෙන්වන ටෙන්ඩරයක්. විවෘත ආර්ථිකයේ පැමිණීමත් සමඟ මේ ආයතනයටත් ලොකු බලපෑමක් තිබුණා. අපි දොළොස් දෙනෙක් බඳවා ගත්තේ, මේ අලුත් ආර්ථිකයට රාජ්‍ය ආයතනය හුරු කිරීම සඳහා පුහුණු කරන්න. කවදාවත් තුවක්කුවක් අල්ලලාවත් තිබුණෙ නැති මං, ලංකාවේ යුද්ධයට අවශ්‍ය ආයුධ සහ පතුරම් එක්ක තවත් ජීවිතයක් පටන් ගත්තා‍. මට වැඩ කරන්න තිබුණෙ රජයේ රස පරීක්ෂක එක්ක. අමාත්‍යාංශවල නායකත්වය වගේම, පොලිසිය සහ හමුදාවත් එක්ක.

පුද්ගලික අංශයේ අය රාජ්‍ය සේවයට ගියාම, ඒ අයත් ඉබේ නිද්‍රාශීලී වෙනවා. ඔබට එහෙම නොවුණේ...

උපාලි එකේ කට්ට කාලා, ලබපු හොඳම පන්නරය නිසා. මං එතැන කැපී පෙනෙන චරිතයක් වුණා. කලබල ඉවර වුණාම රජයෙන් මට ප්‍රශංසා කරල විශේෂ ලියුමක් දුන්නා. ඒ, එකම එක පතුරමක්වත් දෙපැත්තෙම ත්‍රස්තවාදීන් අතට යන්න නොදී ආරක්ෂා කිරීම වෙනුවෙන්‍. ඔය කාලෙම තමයි, මං ලංකාවට ඩියුටි ‍ෆ්‍රී ෂොප් සංකල්පය හඳුන්වා දුන්නෙ. හේතුව, ඒ කාලෙ පිටරට රස්සාවට යන බොහෝ අය පිටරටින් ෆ්‍රිජ්, ටී.වී‍. වගේ ලොකු ඉලෙක්ට්‍රික් බඩු අරන් ආවා. ඉතින් ලංකාවට එන ඩොලර් ප්‍රමාණය අඩුවුණා.... බඩු වැඩි වුණා... ඒ වෙලාවෙ මං යෝජනා කළා, ලංකාවෙන් මේ දේවල් ගන්න පුළුවන් විදියට ඩියුටි ‍ෆ්‍රී සාප්පු අරින්න කියලා.

 පුංචි කාලෙත් ඔ‍බ දක්ෂයෙක් ද....

එකේ පන්තියෙ ඉඳලා මං ගියේ කොළඹ ආනන්දෙට.

අටේ පන්තියෙ ඉඳලා මං හිටියෙ වැඩිම ලකුණු ගන්න ළමයි ඉන්න, බෙස්ට් ක්ලාස් එකේ. මං ගණිතයේ දක්ෂයෙක්. ඒ නිසා උසස් පෙළට මං මැත්ස් කළා. ඒ එක්කම සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණා. බාහිර වැඩ කෙළවරක් නැති වුණා. සමහර දාට පීරියඩ් හතර පහ මග හැරුණා. මට තේරුණා, මං පහුබහිනවා කියලා, ඒත් තවත් පැත්තකින් ඉස්සරහට ගියා. නායකත්වය... වගකීම් දැරීම අතින් ජීවිතයට පන්නරයක් එකතු වුණා. ප්‍රතිඵල ආවා. විශ්ව විද්‍යාලෙ යන්න බැරි වුණා.

ඔබට තිබුණා ආපහු විභාගෙ කරන්න...

මට ඕනෙ වුණේ මොන මගකින් හරි ඉංජිනියරින් කරන්න. මගේ ගේ ඉස්සරහා හිටියෙ උපාලි විජේවර්ධන මහත්තයගෙ ඥාතිවරියක්. ඒ යුවළ මට හුඟක් ආදරෙයි. ඒ ‘ආන්ටි’ මට උපාලි ගෲප් එකේ රස්සාව අරන් දුන්නා. රස්සාව කරන ගමන් මං හුඟක් වියදම් කරගෙන පිටරට විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කළා. අවස්ථාවනුත් උදා වුණා. ආදායම් පෙන්වන්නට සිදුවීම සහ ඇපකරුවො වගේ ප්‍රශ්න හින්දම මට වීසා ලැබුණෙ නැහැ.

දෙමවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු වටිනාම දේ කුමක්ද...

මගේ තාත්තා පාණදුර උසාවියේ රෙජිස්ට්‍රාර්. උසාවියේ මුදල් පොත් - ගිණුම් සතේට ගණන් බැලුවා. බැලන්ස් නොවන, අඩුවෙච්චි එක සතයක් පවා, රතු පෑනෙන් ලියාගෙන වරු ගණන්, ගණන් හද හදා හෙව්වා. ‘අනුන්ගෙ එක සතයක්වත් ගන්න එපා...’ ඒ තමයි තාත්තා අපිට දීපු වටිනාම ජීවිත ආදර්ශය. අම්මත් එහෙමයි. අපේ නොවන මකන කෑල්ලක්වත් අපි ළඟ තියෙන්න බැහැ. අම්මා හරියට ඒ දේවල් හෙව්වා. අයියාට, අක්කට, මට දෙමවුපියො දුන් වටිනාම දේ තමයි, ඒ විනය, අවංකකම.

 පවුලේ බාලයා නිසා වැඩිම ආදරේ ඔබට වෙන්න ඇති...

නැහැ. මගේ අයියයි අක්කයි මට වඩා හුඟක් ලොකුයි. වයස් පරතරය අවුරුදු හය හතක් විතර. ඒ දෙන්නම ඉගෙන ගන්න හුඟක් දක්ෂයි. මහාචාර්ය ප්‍රීනි අබේනායක මගේ අක්කා. අයියා කිංස්ලි අබේනායක. ජාත්‍යන්තර තලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක්. පුංචි කාලෙත් ඒ දෙන්නාට තිබුණෙ වෙනම ගමනක්. අම්මා - තාත්තාගෙ ආදරෙත් වැඩිපුරම ලැබුණෙ අයියට. ඊළඟට අක්කට. පවුලෙ බාලයා කියලා එහෙම හුරතල් වෙන්නවත් වැඩියෙන් ආදරේ ලබන්නවත් මගේ ඉරණමේ ලියැවිලා නොතිබුණා වෙන්න ඇති. ඒ ගැන දැන් දුකක් නැහැ.

කවුද ඔබ කැමැති ව්‍යාපාරිකයින්...

උපාලි විජයවර්ධන. ඔහු තරම් දක්ෂ, ජාත්‍යන්තරයට ගිය ව්‍යාපාරිකයෙක් අපේ රටේ තවම බිහිවෙලා නැහැ කියලයි මං නම් හිතන්නෙ.

 Do Or Die… මෙහෙම අවස්ථා ඔබේ ජීවිතයේ උදාවෙලා නැද්ද....

රුපියල් තුන්දාහක බෝනස් එකත් අතේ තියාගෙන මං සලාකා එකට ගිහින් ඒකෙ සාමාජිකත්වය ගත්තා. මොකද, රෑ ජාමේ හැමදාම ටෙලෙක්ස් ගහන්න ඕ‍නෙ නිසා . ටෙලි‍ෆෝන් කෝල්ස් ගන්න ඕනෙ නිසා. මට කාර්යාලයක් නැහැ. රෑ වෙද්දී හැමදාම පානදුරේ ඉඳන් මං කොළඹ එනවා මේ වැඩේට, අම්මා මාව දොර වැහුවෙත් ඒ නිසා. අන්තිමේ ප්‍රශ්නෙ උග්‍ර වෙලා මට ගෙදරින් යන්න වුණා. රෑ තිස්සේ අනාචාරයේ යන පුතෙක් පවුලට අවනම්බුවක් ...එච්චරමයි . අම්මා කිව්වේ. එදා ගෙදරින් යන්න වුණෙත් රැක. කාර් එකක් තිබුණු යාළුවෝ පවා මාව මඟ හැරියා ඒ වෙලාවෙ මට හිතුණා මැරෙන්න. පවුලේ අයට කවදත් මං ගැන ලොකු හැඟීමක් නොතිබුණු බව දැන දැනත් මං දරාගෙන ජීවත් වුණා. ඒත් එදා තමයි මං අන්තිමට කඩා වැටුණු දවස. පානදුර තැපැල් කන්තෝරුව ළඟ හිටගෙන මැරෙනවද... ජීවත් වෙනවද කියලා පැය ගාණනක් මං කල්පනා කළා. දෙවියන්ට පිං සිද්ධ වෙන්න මං ගත්තේ ජීවත් වෙනවා කියන තීරණය. දෙමවුපියෝ දරුවන්ව අවිශ්වාස නොකළ යුතුයි, කියන ජීවිත පාඩම මං ඉගෙන ගත්තෙත් මේ සිදුවීමෙන්. මගේ එකම පුතාට මං හොඳම යාළුවා වුණේ මේ දුක්බර අත්දැකීම් නිසා වෙන්න ඇති.

ජීවිතයට ලැබුණු ලොකුම පන්නරයත් එයමද...

නැහැ. මට අවුරුදු හතරක්වත් නැති ක‍ාලෙ අකුරු කියෙව්වෙ මතුගම ලොකු අම්මලගෙ ගෙදර. මං තවමත් දන්නෑ ඇයි මාව ගෙදරින් යැව්වෙ කියලා. එදා අකුරු කියවලා මතුගම ඉඳන් පාන්දර ආවේ ලොකු අම්මගෙ පුතාගෙ කාර් එකේ. මට හතරයි. එයාට විසි ගණනක් ඇති. නිදිමතේම එයා මාව කාර් එකේ පිටිපස්සේ සීට් එක ළඟ බිම දිගා කෙරෙව්වා. පානදුර ගාලු පාරේ ගේ පේන මානයේදී තමයි උස්සලා සීට් එක උඩින් තිබ්බේ. ගෙදර ඇවිත් හුඟක් දවස් යනකල් මං හිටියේ අන්ද මන්ද වෙලා. පොහොසත් නෑයන්ගේ වෙනස්කම් මගේ පුංචි හිතට ‍හුඟක් දැනුණා. කවද හරි පෝසත් වෙන්න ඕනේ කියන සිතිවිල්ල අවුරුදු පහක්වත් නැති මගේ හිතට ආවේ එදා. කවුරුත් විශ්වාස කරන එකක් නැහැ, ඒ තමයි, මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය.

 මේ පවුලේ ව්‍යාපාරයක් ද...

ඔව්. මගේ බිරිය සහ එකම පුතාත් මේ ආයතනයට වැඩකරනවා. වැඩ නම් හ‍ැමෝම වැඩ. තමන්ගෙ තැන කියලා අපි කවුරුවත් හිතු හිතූ හැටියට හැසිරෙන්නෙ නැහැ. අපි හැමෝමත් මේ ආයතනයේ නීති පද්ධතියට යටයි.

 ඔබේ ජීවිතයෙන් කවුරුහරි ඉගෙන ගන්නවට කැමැති හොඳම දේ කුමක්ද...

මං බිස්නස් කරන්නෙ ශිල්පෙ ඉගෙන ගෙන. මගේ බිස්නස් ප්‍රඩක්ට් එක ගැන විතරක් නෙවෙයි, මගේ තරගකාරයන්ගේ ප්‍රඩක්ට්ස් ගැනත් මං දැනුවත්. ඕන කෙනෙක් මට චැලෙන්ජ් කළොත් මං ඒක බාර ගන්නවා. අතීතයේ දවස් මතක් වෙලා ඇස්වලට කඳුළු පිරුණට, බිස්නස්වලදී මං යකෙක්. මං කාටවත් බය නැහැ. යටත් වෙන්නෙත් නැහැ. කවුරුවත් නිසා මං පටන් ගත්තු වැඩ අත්හරින්නෙත් නැහැ. මේ තැනට මං ආවේ රිදුම් දීපු හිත , හොඳට පදං කරගෙන.

ඔබේ බිස්නස්වලට ජාත්‍යන්තර බලපෑම් නැද්ද...

ඇයි නැත්තෙ. ඉන්දියානුවන්ගෙන් තමයි බේරෙන්නම බැරි. ඔවුන් අපේ එයාර් කන්ඩිෂන් අංශයේ සියයට හැටක කඩා වැටීමක් ඇතිකර හමාරයි. ‘යුද්දෙ කාලෙ බිස්නස් මීට හොඳයි..’ කියලා මිනිස්සු කියන්නෙ නිකම් නෙවෙයි. ඒ කාලේ පිටරටවලින් මේ තරම් අපේ රටට බිස්නස් කියාගෙන ආවේ නැහැ. ඉස්සර ආවා නම්, දක්ෂ ජපනා. එක්කෝ ඇමරිකන්කාරයා. අද ඉන්නේ චීන්නු සහ ඉන්දියන්කාරයො. හැම තැනකම ඔවුන් ඔෆිස් ඇරගෙන රිංගනවා. අපේ හැම බිස්නස් එකම කඩනවා. අපි කරන ව්‍යාපාරවලට අපිට හොරෙන් යනවා. ලාභ අඩුකරලා, බිස්නස් එක කඩා ගන්නවා. පිටින් මේ තත්වය වැඩිය කාටවත් නොපෙනුණාට යටින් සිද්ධ වෙන්නෙ, මහා ව්‍යසනයක්.

 මොනවද ඔබට තිබෙන පිටරට ආයතන...

සිංගප්පූරුවේ තිබෙන ‘ස්කෑන් ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට්ස්’ අපේ ආයතනය හරහා මාලදිවයින, කොරියාව, බංගලාදේශය වගේ රටවලට අවශ්‍ය සේවාවන් සපයනවා. එයාර් කන්ඩිෂන්, ලිෆ්ට්, එලිවෙටර්ස්, එස්කැලේටර්ස් සහ පැකේජින් මැෂින් සවි කිරීම වැනි සේවා දැවැන්ත ලෙස සපයන ආයතනයක් ඒක. ආසියාවේ තිබෙන ලොකුම ප්ලාස්ටික් පැකේජින් ප්ලාන්ට් එක කොරියාවේ සවි කළෙත් අපි.

 වෙන මොනවද ඔබෙන් පිටරටට වන සේවා...

‘චයිනා - වන් බෙල්ට් - වන් රෝඩ්’ කියන දැවැන්ත ව්‍යාපෘතියෙන් මුහුදු, දුම්රිය මාර්ග සහ මහා මාර්ග හරහා රටවල් කිහිපයක් ජාලගත කරනවා. ඒ ව්‍යාපාරයේ විවිධ අංශ සඳහා ඔවුන් මේ වන විට ආසියාවේ විවිධ විද්වතුන් පත් කරනවා. නිවුස් පේපර්ස් පබ්ලිෂින් සහ ටෙක්ස් බුක්ස් ප්‍රින්ටින් කියන අංශයේ ආසියානු ‘අධ්‍යක්ෂ - ව්‍යාපෘති’ කියන තනතුරට ඔවුන් මා පත් කර තිබෙනවා.

අදහස්