‘ශ්‍රී ලංකාවේ ආර්ථික හැසිරීම පිළිබඳ විවරණයක්’ | සිළුමිණ

‘ශ්‍රී ලංකාවේ ආර්ථික හැසිරීම පිළිබඳ විවරණයක්’

වත්මන් ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික වාතාවරණය අවබෝධ කරගැනීම සඳහා ගෝලීය ආර්ථිකය ක්‍ෂුද්‍ර ආර්ථික දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කරගැනීම වැදගත් වේ. වර්තමාන ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් ඇති ගැටලූවක් නොවේ. කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ද මෙම තත්ත්වය අපට දැකගත හැක. සංවර්ධනය වෙමින් පවතින වෙළඳපොළ (EMs) මත ඇති වූ දැඩි ආර්ථික පීඩනය මීට මාස කිහිපයකට ඉහත සංවර්ධිත වෙළඳපොළ (DMs) කෙරෙහි ද ව්‍යුහාත්මකව බලපවත්වනු දැකිය හැකි විය. ඉතාලියේ ෆිස්කල් සම්බන්ධ අර්බුදය, Brexit අභියෝගය හා සම්බන්ධව එක්සත් රාජධානිය මුහුණපෑ අර්බුදය හා චීන - ඇමරිකන් වෙළඳ සංග්‍රාමය යන කරුණු මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව බෝයගොඩ මහතා අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන බෝයගොඩ මහතා, ”ශ්‍රී ලංකාව සහ අනෙකුත් EMs රටවල් යනු විශේෂයෙන් ඇමරිකාව වැනි රටවල අරමුදල් මත ශුද්ධ මූල්‍ය ගලායාම් රැඳී පවත්නා රටවල් වේ. මෙය වඩාත් බලපෑම් කරන්නේ රටේ විනිමය හුවමාරුව වෙතයි. බොහෝ EM රටවල් තම ව්‍යාපාර සහ ජංගම ගිණුම් පවත්වා ගෙන යනු ලබන්නේ හිඟ ශේෂයන් යටතේය. මෙවැනි රටවල අපනයන ක්ෂේත්‍රය මුළුමනින්ම රඳා පවතින්නේ ප්‍රාථමික භාණ්ඩ හෝ අඩු වටිනාකම් සහිත ප්‍රත්‍යස්ථ මිල සහිත අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා මත වන අතර එම රටවල් ආනයනය කරනු ලබන්නේ මුළුමනින්ම අප්‍රත්‍යස්ථ, අත්‍යවශ්‍ය භාණ්ඩ වේ. මෙවැනි රටවල් ඍජු විදේශ ආයෝජන (FDIs )වලට එරෙහි දේශීය ආයෝජන සැලසුම් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීමට ද උනන්දුවක් දක්වයි. මෙම සම්බන්ධතා ජාලය විසින් සමස්තයක් ලෙස ගොඩනගනු ලබන්නේ ව්‍යුහමය වශයෙන් ඉතා දුර්වල ආර්ථික රාමුවක් වන අතර මෙමගින් ගෝලීය ආර්ථික සචලතාව කෙරෙහි ඍණාත්මක බලපෑම් එල්ල කරනු දැකිය හැකිය. ගෝලීය ආර්ථික සචලතාව මෙවැනි අසීරු තත්ත්වයක පවතිද් දී මෑත කාලීන දේශපාලනික අස්ථාවරභාවයන් නිසා ද ජාතික ආර්ථිකය අඩපණ වීම යනු වඩාත් සංකීර්ණ හා බැරෑරුම් තත්ත්වයක් වෙත දේශීය වෙළඳපොළ ඇද දැමීමකි.”

ලෝකයේ වත්මන් භූදේශපාලනික හා ආර්ථික සුසමාදර්ශ මාරුවීම් පිළිබඳව ද අදහස් දක්වන බෝයගොඩ මහතා එම තත්ත්වය මෙසේ විග්‍රහ කරයි. ”ඇමෙරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල ආණ්ඩු සහ ඇතැම් යුරෝපීය රටවල් ද චීන ආධිපත්‍යට අභියෝග කරමින් ජාතික ආර්ථික රටාවන් වර්ධනය කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. චීන සහ ආසියානු කලාපය සමස්තයක් ලෙස සලකනු ලබන්නේ ඇමරිකානු හා බටහිර රටවල පරිභෝජනය උදෙසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කේන්ද්‍රස්ථානයක් වශයෙනි. ජාතික ආර්ථික ප්‍රතිපත්තිය යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය රට තුළම සිදු කිරීමේ උපක්‍රමය ගෝලීය අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති අතර මේ නිසා ඇතැම් විට පද්ධතිය සමතුලන ලක්‍ෂ්‍යය වෙත ළඟා වනු දැකිය හැකිය”

2008/2009 වසරවල පැවැති ගෝලීය මූල්‍ය අර්බුදයේ පශ්චාත් බලපෑම් පිළිබඳ පෙන්වා දෙමින් බෝයගොඩ මහතා සඳහන් කරන්නේ ”ලෝක ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමට මුහුණ පෑ අවස්ථාවේ සංවර්ධනය වෙමින් පවතින වෙළඳපොළ රටවල් තම පොලී අනුපාතයන් ශුන්‍යට ආසන්න මට්ටමකට හෝ ඍණ තත්ත්වයට පවා පත් කරන්නට කටයුතු කළේය. ඇතැම් විට ද්‍රවශීලකතාවන් වෙළඳපොළ වෙත මුදා හරිමින් ද ඔවුන් කටයුතු කරන්නට වූයේ පෙර අත්නොවිඳි මෙම බැරෑරුම් තත්ත්වයෙන් තම ආර්ථිකයන් මුදවා ගැනීමේ පරමාර්ථයෙනි. මෙම අධිකතර ද්‍රවශීලතාවන් හා ශුන්‍යයට ආසන්න පොලී අනුපාතයන් එම රටවල සිට සංවර්ධනය වෙමින් පවතින වෙළඳපොළ (ඉන්දියාව, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් කරා ගලා එන්නට විය. ආකර්ෂණීය පොලී අනුපාතයන්ගේ ආධිපත්‍ය තවමත් එම රටවලට රඳා පවත්වා ගන්නට මේ නිසා හැකි වී ඇත. එහෙත් වර්තමානය වන විට නැවතත් එම ප්‍රවාහය විවිධ ආකූලතාවන් නිසා ආපසු හැරෙමින් තිබේ.”

ඍජු විදෙස් ආයෝජන සහ දේශීය ආයෝජන අතර වෙනස සහ එහි බලපෑම පිළිබඳ සඳහන් කරන ඉන්ද්‍රජිත් බෝයගොඩ මහතා මෙසේ ද සඳහන් කරයි. ”ඍජු විදෙස් ආයෝජන යොදා ගනු ලබන්නේ නිෂ්පාදන පරමාර්ථයෙනි. ඒවා දීර්ඝ කාලීන ආයෝජන වන අතර වෙළඳ ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථා උත්පාද කරමින් හා නිෂ්පාදන ධාරිතාවන් පුළුල් කිරීමේ සැබෑ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය උදෙසා ඉවහල් වෙමින් ක්‍රියාත්මක වේ. අනෙක් අතින් දේශීය ආයෝජන රටේ ප්‍රාග්ධන වෙළඳපොළ වෙත පැමිණ රජය, ව්‍යාපාර බැඳුම්කර, කොටස් වෙළඳපොළ වැනි මූල්‍ය වත්කම් මත ආයෝජන සිදු කරයි. මෙම ප්‍රබල මූල්‍ය ගලායාමේ පරිසරය විසින් ශක්තිමත් නොවන ආර්ථිකයන් ඇති රටවල් මත ඇති කරන බලපෑම ඉතා විශාල වූවකි. බහුතරයක් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික රටාවන් ව්‍යුහාත්මකව ශක්තිමත් ඒවා නොවන අතර දේශීය ආයෝජන වැඩි වශයෙන් අසාර්ථක වීම තුළ එම රටවල් උග්‍ර ද්‍රවශීලතාවන්ට ගොදුරු වීමේ අවදානමක් පවතී. රටේ ආර්ථික ක්‍රියාකාරකම් පාලනය කිරීමේ හැකියාව පවා මෙමගින් අහිමි වීමේ හැකියාව ඇත. කෙසේ වුවද, දේශීය ආයෝජන අධෛර්යමත් නොකරන අතරම ඍජු විදෙස් ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් අනාගතයේ ඇතිවිය හැකි ගෝලීය ප්‍රාග්ධන ගලායාම්වල සිදුවන උච්ඡාවචනයන්ගෙන් අපේ ආර්ථිකය ආරක්‍ෂා කරගැනීමේ හැකියාව පවතී.”

ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද අදහස් දක්වමින් බෝයගොඩ මහතා මෙසේද සඳහන් කරයි. ”අපේ රටේ ආර්ථිකයේ ඇති ප්‍රධාන දුර්වලතාවක් වන්නේ අපනයන ක්ෂේත්‍රයේ පවත්නා අඩු දායකත්වයයි. දශක දෙකකට වැඩි කාලයක් පුරා අපගේ අපනයන ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා නිසි ජාතික වැඩසටහනක් තවමත් සකස් වී නොමැත. කුමන ආකාරයකින් හෝ එය දේශීය ව්‍යවසායකයන් විදෙස් වෙළඳපොළ වෙත භාණ්ඩ අපනයනය කිරීම දිරිමත් කරන වැඩපිළිවෙළක් විය යුතු අතරම එය ජාතික ආර්ථිකයට ප්‍රමාණවත් තරම් අපනයනකරුවන් හඳුන්වා දීමේ හැකියාව ඇති, මනාව සැකසූ ජාතික වැඩසටහනක් ද විය යුතුය. තවදුරටත්, ජාතික සැලැස්මක් සහ ක්‍රියාවට නැ‍ඟීම රටට අවශ්‍ය වන අතර එය අපනයනය උදෙසා පමණක් නොව විදෙස් මූල්‍ය ගලනය ප්‍රවර්ධනය කරන සමස්ත බාහිර අංශ උදෙසා ද සැලකිලිමත් වෙමින් සැකසූවක් විය යුතුය. මෙමගින් යහපත් බාහිර ප්‍රවාහයන් වර්ධනය වී රටේ ආර්ථික සංවර්ධනය හා කාර්යසාධනය යහපත් අතට හැරෙනු ඇත.”

ශ්‍රී ලංකාවේ ආර්ථික හැසිරීම පිළිබඳ විමර්ශනයක් යන සාකච්ඡාව අවසන් කරමින්, බෝයගොඩ මහතා මෙසේ සඳහන් කරයි. ”ආර්ථික විද්‍යාව යනු තේරුම් ගැනීමට අමාරු විෂයක් නොවේ. නමුත් එහි ඇති අන්තර්ගතයන් අපේ එදිනෙදා ජීවිතවලින් වියුක්තව පවතින ඒවා වේ.

අප කැමති වුවත් අකමැති වුවත්, අප සියල්ලෝම එහි බලපෑමට යටත්ව සිටින්නෙමු. මේ නිසා අප අතුරින් එහි මූලධර්මයන් හා හේතු සහ බලපෑම් පිළිබඳ අවබෝධ කරගන්නා තැනැත්තා වෙතින් වඩාත් වගකීම් සහගත සමාජ හැසිරීමක් පිළිබඳ අපට බලාපොරොත්තු තැබිය හැකිය.

අදහස්