LOLC ට්‍රිලියන සමාජයට | සිළුමිණ

LOLC ට්‍රිලියන සමාජයට

2018 දෙසැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය තුළදී LOLC සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියනයේ කඩඉම ඉක්මවමින් රුපියල් ට්‍රිලියන 1.008 කරා ළඟා වී තිබේ. එම ජයග්‍රහණය උදෙසා සමූහයේ නොසැලෙන ස්ථාවර මූල්‍ය ක්ෂේත්‍රය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැක්වූ කාර්ය සාධනය , විවේක - විනෝදාස්වාද, වැවිලි, ඉදිකිරීම්, සනීපාරක්ෂක, වෙ‌ෙළඳාම් සහ නිෂ්පාදන ආදී මූල්‍ය නොවන අංශවල සිදු කළ උපාය මාර්ගික ආයෝජනද ඉවහල් වී ඇත.

සමූහයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන LOLC ෆිනෑන්ස්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්, LOLC සමූහයට වත්කම්වලින් 29% කට දායක වී ඇති අතර ඒවායේ ඒකාබද්ධ වත්කම් සංචිතය රුපියල් බිලියන 297කි. මූල්‍ය සමාගම් තුනෙහි සමස්ත ණය නිකුතු රුපියල් බිලියන 216ක් වූ අතර සමස්ත පොලී ආදායම 2018 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ මාස 9 තුළ රුපියල් බිලියන 44ක් ලෙස සැසඳුම් කාලසීමාවට සාපේක්ෂව 6%කින් වර්ධනය විය. එම සමාගම්වල ප්‍රාග්ධනය, නියාමනයේ අවශ්‍යතාවට වඩා ඉහළ අගයක පවතින අතර LOFC සහ CLC යන සමාගම් දෙකම Moody's ආයෝජන සේවාවේ අනුබද්ධ ICRA මගින් ‘A’ ලෙස වර්ගීකරණය කර ඇත.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලද විශේෂඥතාව, වෘත්තීයභාවය සහ අත්දැකීම් සමඟ LOLC සිය ගෝලීය ආයෝජන පැතිකඩ විදහා දැක්වීමට සමත් විය. LOLC හි ප්‍රථම විදේශීය ආයෝජනය, කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC, සමූහයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.

කම්බෝජියා ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකයකු වන PRASAC හි කොටස්වලින් 19 %ක් අත්පත් කරගැනීමට රුපියල් මිලියන 62ක් ආයෝජනය කිරීම සඳහා LOLC වෙත 2007 වසරේදී ඇරයුමක් ලැබිණි.

එම ආයෝජනයේ අගය එකතු කිරීම තවදුරටත් තහවුරු කරමින් LOLC එහි හිමිකාරත්ව ප්‍රතිශතය ගතවූ වසර ගණනාව තුළ 19 % සිට 70% දක්වා ඉහළ නංවා ඇත.

LOLC සිය කලාපීය ක්ෂුද්‍ර මූල්‍ය පියසටහන් ගතවූ වසර කිහිපයේදී මියන්මාරය, පාකිස්තානය, ඉන්දුනීසියාව සහ පිලිපීනය වෙත ව්‍යාප්ත කළේය.

සමූහය 2014 වසරේදී කාම්බෝජයේ සිය දෙවැනි ආයෝජනය සිදුකරන ලදී. කම්බෝජියාහි 97% ක ප්‍රතිශතයක් අද LOLC සතුවේ. 2017 වසරේදී සිය ඒකාබද්ධ ව්‍යාපෘතිය වන Pak – Oman බැංකුවේ ප්‍රධාන කොටස්කරු වන ලෙස පාකිස්තාන රජය සහ ඕමාන්හි සුල්තාන් රජය LOLC වෙත ආරාධනා කළේය. දැඩි ණය ඇගයීම, ඵලදායී හා ඉලක්කගත අවදානම් කළමනාකරණය සහ මූල්‍ය - තාක්ෂණික සැකසීමේ ක්‍රියාවලිය ආදී LOLC සමූහයේ තාක්ෂණික නිපුණත්වය, Pak – Oman වෙත ව්‍යවසායකයන් ගොඩනැඟීම සඳහා වන ඔවුන්ගේ ඉලක්ක සපුරාලීම සඳහා මනා සහායක් ලබාදෙනු ඇත.

2018 වසරේ මුල් භාගයේ දී PT. Sarana Sumut Ventura හි පාලන අයිතිය ලබා ගනිමින් LOLC සමූහය ඉන්දුනීසියාවට ප්‍රවේශ විය.

LOLC සමූහයේ සමස්ත වත්කම් වලින් විදේශ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වත්කම්, රුපියල් බිලියන 560ක් ඉක්මවා ඇති අතර, 2018 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ මාස 9 තුළ සමූහයේ බදු වලට පසු ලාභය සඳහා රුපියල් බිලියන 12.7කින් දායක වි තිබේ.

අදහස්