අපේ රටේ ධර්මය පිළි­ප­දි­න­වාට වඩා මෙහි ධර්ම­යට ඇති ළැදි­යාව ඉහ­ළයි | සිළුමිණ

අපේ රටේ ධර්මය පිළි­ප­දි­න­වාට වඩා මෙහි ධර්ම­යට ඇති ළැදි­යාව ඉහ­ළයි

* ඒ කාලෙ ඔක්කොම දඟ වැඩ කළා
* ලදී ඔවුන් සිවු­රට හිනා වුණා
* බුදු දහම සොයා පිපා­ස­යෙන් මෙන්
* අපේ පන්ස­ල්ව­ලට ලොකු කාර්ය­භා­ර­යක්

වොෂිං­ටන් නග­රයේ සිට කිලෝ මීටර් 160 දීර්ඝ කැලෑ­බද මාර්ග­යක බට­හිර වර්ජි­නි­යාව දෙසට ගමන් කර­මින් සිටිමි. පළා­තම කොළ පැහැති ආස්ත­ර­ණ­යක් ඇති­රුවා වැන්න. ගමනේ කෙළ­වර අපට හමු­වන්නේ සුවි­සල් අස­පු­වකි. වන­ගත ආශ්‍ර­ම­යකි. එය වෙස්ට් වර්ජි­නියා බෞද්ධ මධ්‍ය­ස්ථා­නය නම් වෙයි. එහි නිර්මා­තෘ­ව­රයා වන්නේ 90 වියැති, ධර්ම­ධර, වින­ය­ධර භික්ෂුන් වහන්සේ නමකි . මුලින්ම ඇමෙ­රි­කාවේ ධර්ම ප්‍රචා­රය සඳහා පැමිණි උන්ව­හන්සේ හේනේ­පොල ගුණ­ර­තන නම් වෙයි. මේ උන්ව­හ­න්සේගේ ජීවි­තය පිළි­බඳ කළ කතා­බ­හකි.

මුලින්ම ඔබ වහ­න්සේගේ ළමා කාලය ගැන මත­කය අවදි කර­මුද ?

මම ඉප­දුණේ නුවර තුම්පනේ හේනෙ­පොල කියන අති දුෂ්කර ගමේ . මුලින්ම ගියෙ මිෂ­නාරී කන්‍යා සොයු­රි­යන් විසින් පව­ත්වා­ගෙන ගිය පාස­ල­කට. මට මත­කයි අවු­රුදු 7 දී විතර මට මහණ වෙන්නම තමා උව­ම­නාව. ඒ කාලේ අපේ අයිය ගෙද­රින් පැනල ගිහිල්ල ඉඳල ආපහු ගෙදර ඇවිත් මට ඉංග්‍රීසි අකු­රුයි, වචන කිහි­පෙ­කුයි ඉගැ­න්නුව. ඕක මම පාඩම් කර­ගෙන නිතර කිය­ව­නව. වැඩි­හි­ටියො අහ­නවා මොන­වද ළමයෝ ඔය කිය­වන්නෙ කියල. මං කිය­නව, කවද හරි මේ භාෂාව ඉගෙන ගෙන මං මේ භාෂා­වෙන් බණත් කිය­නවා කියල. මං දැන් අවු­රුදු 60 කට වැඩි කාල­යක් තිස්සේ කරන්නේ ඒකයි.

ඔබ වහන්සේ පැවිදි ජීවි­ත­යට ඇතුළු වු‍ණේ කොහො­මද?

අවු­රුදු 11 විතර වෙන­කොට, අපේ අප්පච්චි මාව­ත­ගම, වෑඋඩ කිට්ටුව මල­න්දෙ­නියේ පන්ස­ල­කට මාව බාර දුන්න.

ගෙදර යන්න හිතුණේ නැද්ද? දුකක් පාළු­වක් දැනුණේ නැද්ද ?

අප්පෝ මොකද නැත්තෙ. මගේ පුංචි අයි­යයි මායි ගජ යාළුවෝ. , එයාව දාල යන්න බැරි­කම තමා තිබුණේ. මම හොඳ­ටෝම ඇඬුව. මහණ කර­පු­දාට පස්සෙන්දා ලොකු හාමු­දු­රුවෝ විශාල පාත්ත­ර­යක් දීල මට පිණ්ඩ­පාතේ වඩින්න කිව්වා. හාමු­දු­රුවෝ හරිම වසයි. පොඩ්ඩ බැරි වෙන්න බෑ ගහ­නව. එහෙම ගහපු දව­සට මම සිවුරු ගල­වල විසි කරලා ඇබිත්ත කොලු­වෙක්ගෙ සර­මක් ඇඳ­ගෙන පන්ස­ලෙන් පැනල යනව. යන්නෙ අපේ ලොකු අක්ක­ලාගේ ගෙද­රට. ඕන් පහු­වෙ­නිද ලොකු හාමු­දු­රුවෝ ඇවිත් ආයෙත් එක්ක යනව. ඔහොම කීප විටක්ම සිද්ධ වුණා.

මම ඒ කාලයේ කරන්න තියෙන ඔක්කොම දඟ වැඩ කළා, ඒ කාලේ ඇබිත්ත කොල්ලොත් එක්ක එකතු වෙලා බීඩි බිව්ව. බීඩි නැති වුණාම ලොකු හාමු­දු­රු­වන්ගේ බුලත් විටට ගෙනා දුම්කොළ, කඩ­දා­සි­වල ඔතා­ගෙන බිව්ව. අහු­වු­ණාම ඉතිං ලොකු හාමු­දු­රුවො තඩි බානව.

අවු­රුදු 15 විතර වුණාම දව­සක් හිත­වත් ඇබිත්ත කොලු­වෙක් එක්ක එකතු වෙලා පැනල යන්න සැල­සුම් කළා. රෑ හාමු­දු­රුවො ගොර­වන සද්දෙ එන­කම් බලා හිටිය. ලොකු හාමු­දු­රු­වන්ගෙ පට සිවු­රුයි සල්ලි ටික­කුයි හොර­කම් කර­ගෙන හාමු­දු­රුවො නිදා­ග­ත්තට පස්සෙ පැනල ගියා. ඔහොම යන­කොට සොහොන් පිට්ට­නි­යක් තියෙන තුන් මං හන්දි­යක් තියෙ­නව ඔතන පහු කරන්න ටිකක් බයෙන් ගියේ. මොකද මුළු ගමම දන්නව ඔතන හොල්මං තියෙන බව. ඒ හොල්මං කථා වලට අනුව මුලින්ම එන්නෙ ලොකූ කළු බල්ලෙක්. එතැන ඒද­ණ්ඩක් තියෙ­නව. බයෙන් ගැහි ගැහී ඉති­පිසෝ ගාථාව කියා කියා ඔය ඒදණ්ඩ පහු කළා විත­රයි බල්ල ආවා. ඒ එක්කම කණ රත් වෙන්න හෙණ ගහන්න වගේ පාරක් වැදුණා. බැලින්නං පන්සලේ බල්ලත් එක්ක ලොකු හාමු­දු­රුවෝ. අපි දෙන්නගෙ අත් දෙක එකට තියල බැඳලා ගගහ ආපහු පන්ස­ලට ගෙනිච්ච.

ඇමෙ­රි­කා­වට එන්න මඟ පෑදුණේ කොහො­මද?

මීට අවු­රුදු 50 කට විතර කලින් ඇමෙ­රි­කා­වට එන එක වෙනස්ම අත්දැ­කී­මක්.

මම විද්‍යා­ලං­කාර පිරි­වෙනේ අධ්‍යා­ප­නය ලැබුවා. හැම­දාම පන්තියේ පළ­වෙ­නිය. මට හොඳ මතක ශක්ති­යක් තිබුණ. පොතක් එක­ව­රක් බැලු­වම ඉස්පි­ල්ලක් පා පිල්ලක් නෑර සියල්ල මතක හිටිය. ඔහොම ඉන්න අතරේ විදේශ ධර්ම ප්‍රචා­ර­යට පුහුණු කරන ආය­ත­න­යක් දෙම­ට­ගොඩ පධ­න­ඝර පන්සල තිබෙන තැන තිබුණා. එතන භාෂා කිහි­ප­යක්ම ප්‍රගුණ කළා. එහි අවු­රුදු තුනක පුහු­ණු­ව­කින් පස්සෙ මට ඉන්දි­යාවේ සාංචි විහා­රයේ ධර්ම ප්‍රචා­රක කට­යු­තු­ව­ලට එන්න ලැබුණා. ඒ විහා­රය මහා වටිනා තැනක්. බුදුන් වහ­න්සේගේ සහ සැරි­යුත් මුග­ලන් දෙන­ම­ගේම ධාතුන් වහන්සේ වැඩ සිටින එකම තැන. මිහිඳු හිමි­යන්ගේ සහ සංඝ­මිත්තා තෙර­ණි­යගේ මව් මහණ වී සිටි විහා­රය .

එතැ­නින් මැලේ­සි­යා­වට ධර්ම ප්‍රචා­රය සඳහා වැඩම කළා. එහෙ ඉන්න­කොට මඩිහේ පඤ්ඤා­සීහ හාමු­දු­රු­වන්ගේ මැදි­හත් වීමෙන් හරි­ය­ටම මීට අවු­රුදු 50 කට පෙර 1968 වසරේ වොෂිං­ට­නයේ බෞද්ධ විහා­ර­යට අවා.

ඒ කාලයේ ඇමෙ­රි­කාව අදට වඩා වෙනස්. ඔබ වහ­න්සේට මුහුණ දෙන්න සිදු වුණු අභි­යෝග මොන­වද?

ඒ කාලයේ ඇමෙ­රි­කාව තර­මක් වර්ණ­භේ­ද­වා­දියි. මඟ­තො­ටේදී මගේ සිවු­රට ඔවුන් හිනා වුණා. ඇනුම් පද කිව්වා. සිවුර ඇඳ ඇති­රි­ල්ලක් ද කියල ඇහුවා. මම ඒවා උපේ­ක්ෂා­වෙන් ඉව­සුවා. ඒකාලේ ඔවුන් බෞද්ධ භික්ෂුන් වහන්සේ දැක තිබුණේ නෑ. එක දව­සක්, දානය සඳහා සුදු ජාති­ක­යන් ආහා­ර­යට ඕනෙ මොන­වද ඇහු­වම මම කිව්ව බත් සහ හොදි කියලා. පසු­වදා බත් සමඟ මිරිස් කුඩු එවල තිබුණා.

බොහෝ අප­හ­සුතා මැද විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙන ගනි­මින් මම ධර්මය ප්‍රචා­රය කළා. මම වැඩි­පු­රම ඉගැ­න්නුවේ භාව­නාව. මේ කාල­යේදී බොහෝ දෙනෙ­කුගේ උන­න්දුව භාව­නා­වට යොමු වුණා. වරක් මගෙන් භාවනා ඉගෙන ගන්න ආව සුදු ජාති­ක­යකු භාවනා මධ්‍ය­ස්ථා­න­යක් පටන් ගන්න මාත් එක්ක කථා කළා . හැබැයි ඒ මනු­ස්සය දුප්ප­තෙක්.

අපි දෙන්න එකතු වෙලා ඇවිද ඇවිද තැනක් හෙව්වා. එක තැනක් හම්බ වුණා. ඒක ඒ කාලයේ ඩොලර් ලක්ෂ 15 ක් කිව්වා. මේ සුදු ජාති­කයා ඒ ගණන ලක්ෂ 7 දක්වා අඩු කර ගත්තා. ඒ මනු­ස්ස­යාගේ අතින් ඩොලර් 1000ක් ගෙවල ඒ ස්ථානය වෙන්කර ගත්තා. මාස 3ක් ඇතු­ළත ඩොලර් ලක්ෂ­යක් ගෙව­නව කියල. මම ඇහුව ඔහේට පිස්සුද? දැන් කොහො­මද අපි මාස තුන­කින් ලක්ෂ­යක් හොයන්නෙ කියලා. කොහොම හරි හොයමු කියල එයා කිව්වා.

අපි දෙන්න ඔහුගේ පරණ කාර් එකෙන් කිමි 5000 ක් විතර දන්නා හැමෝම හොයා­ගෙන ගියා. සම­හර රාත්‍රි­වල වාහ­නයේ නිදා ගත්තා. ඒ විදි­හට ටිකෙන් ටික ඩොලර් 18000 ක් විතර හොයා ගත්තා. එත­කොට මාස තුනක් පහු වෙලා. දැන් ඉතිං ඈත පාළු පළා­තක පොඩි ඉඩ­මක් ගන්න හෙව්ව. අක්කර 13 ක ඉඩ­මක් හම්බ වුණා. හරි­ය­ටම ඒකෙ ගණන ඩොලර් 18000 යි කිව්වා. ඒක ගත්තා. මේ භාවනා මධ්‍ය­ස්ථා­න­යට දැන් බොහෝ දුර පළා­ත්ව­ලින් විවිධ ජාති­ක­යන් පැමිණ දින ගණන් නැවතී භාවනා කර­නවා.

මේ තරම් දුර බැහැර ප්‍රදේ­ශ­යක භාවනා මධ්‍ය­ස්ථා­න­යක් පව­ත්වා­ගෙන යෑම අප­හසු කට­යු­ත්තක් නෙමේද?

මුලින් අපේ හිත­ව­තුන් කිව්ව හාමු­දු­රු­වන්ට දානෙ ටික­වත් ලැබෙ­යිද දන්නෙ නෑ කියලා. දැන් කුටි 20 ක් තියෙ­නව ප්‍රධාන ගොඩ­නැ­ගිලි 3 ක්. මේ සියල්ල පිරෙන්න භාවනා කරන පිරිස් ඉන්නවා. කිසිම කෙනෙ­කු­ගෙන් සත­යක් වත් අය කරන්නෙ නෑ. සියල්ල පරි­ත්‍යාග වලින් කෙරෙන්නෙ. වන්ද­නාවෙ යනවා වගේ පිරිස් මේ දුර ගෙවා­ගෙන එනවා. අපි දැන් එන අය සීමා කරලා තියෙන්නේ. විදේ­ශි­ක­යන් බුදු දහම පිළි­බඳ භාව­නාව පිළි­බඳ පිපා­ස­ය­කින් වගේ එන්නෙ. ධර්මය තියෙන අපේ රටේ ධර්මය පිළි­ප­දි­න­වාට වඩා මෙහි ධර්ම­යට තියෙන ළැදි­යාව ඉහ­ළයි.

දැනට ඇමෙ­රි­කානු භික්ෂු­වක් සහ සිංහල භික්ෂුන් දෙන­මක් නේවා­සි­කව ඉන්නවා. මම 28 දෙනකු මහණ කර තියෙ­නවා , ඇමෙ­රි­කානු, කැනේ­ඩි­යානු ජර්මන් සහ ජපන් අය බොහෝ දෙනෙක් ඒ අතර ඉන්නවා. ඔවුන් ප්‍රති­ප­ත්ති­යක් ලෙස පස් පව් කරන්නෙ නෑ. බොරු­වට සිල් ගන්නෙ නෑ. ඉතාම ඉහළ වින­ය­ග­රුක බවක් දක්ව­නවා. ඔවුන් ධර්ම­යට ගරු කරන භාව­නා­වට කැමති අයයි. මේ රටේ බුදු දහම වැලඳ ගන්නේ බුද්ධි­මත් අය. මෙහි බුද්ධා­ගම සොයා­ගෙන විත් වැලඳ ගත­යුතු යමක් මිස උප­තින් නිකම් ලැබෙන දෙයක් නොවෙයි.

කොටින්ම අට සිල් පවා පහ­සු­වෙන් දෙන්නෙත් නෑ. අය­දු­ම්ප­තක් ඉදි­රි­පත් කළාම සුදු­සු­කම් අනුව අපි මුලින්ම ප්‍රශ්න මාලා­වක් යොමු කර­නවා. එයින් තෝරා ගන්නා අයට සති තුනක් භාවනා හා ධර්මය උග­න්න­නවා. ඉන් පස්සෙ ප්‍රශ්න මාලා­වක් නැවත යොමු කර අගැ­යී­මක් කර­නවා. එයි­නුත් සුදුසු බව හැඟු­ණොත් තව සති දෙකක පුහු­ණු­වක් දෙනව. ඊට මාස 6 කට පස්සෙ තමා අට සිල් සමා­දන් කර­වන්නෙ.

අපේ රටේ නාම­යත් බුදු දහ­මත් ලෝක­යට බෙදා දෙන ඔබ වහ­න්සේට අපේ රට ගැන එහි සදා­චා­රය පිළි­බඳ මොන­වද හිතෙන්නෙ ?

වරක් අවු­රුදු 8 ක පුංචි දැරි­යක් දෙමා­පිය නෑදැ­යින් සමග මේ පන්ස­ලට ආව. පන්සිල් දුන්නට පස්සෙ ඒ ළමය මා ළඟට ඇවිත්, “හාමු­දු­රු­වනේ බලන්න අපිට පන්සිල් රකින්න පුළු­වන්. අපි එකම වැර­ද්දක් වත් කරන්නෙ නෑනෙ. ඒත් අපේ අම්ම­ටයි තාත්ත­ටයි ඒක කරන්න බෑනේ බොරු කිය­නවා මත් පැන් බොනවා” කියා කිව්වා. එත­කොට අර දෙම­ව්පි­යන්ගේ මුහුණු වෙනස් වුණා.

බලන්න පුංචි ළමයි හරි­යට sponge එකක් වගෙයි. හැම­දේම උරා ගන්නව. ගෙද­රදි දරා­ගෙන කියා ගන්න බැරිව හිටපු දේ මෙතැ­නදි කිව්ව. දරු­වන්ට වැඩි හිටි­යන්ට වඩා හොඳ නරක තේරෙ­නව .

“හෙට ඉස්කෝලේ යන්න එපා. මම ඔයා ලෙඩ වුණා කියල ගුරු­තු­මි­යට ලියු­මක් දෙන්නම්” කියල ඒ දැරි­යගේ අම්ම කිව්වම දැරිය කියල තියෙන්නෙ මට බොරු කියන්න බෑ කියල. අම්ම තරහ ගත්තෙ දැරිය බොරු නොකි­ය­න­වට. අපේ සමා­ජය හදා ගන්න නම් ළමයි ටික හරි­යට හදන්න ඕනෙ. ඒ අය වර­දට යොමු කරන්නෙ වැඩි හිටියො. ඒ වෙනු­වෙන් පන්ස­ලට ලොකු කාර්ය භාර­යක් තියෙ­නව.

අද අපේ ස්වාමින් වහන්සේ වෙතින් ඒ කාර්යය ඉටු වෙන­වාද?

බලන්න ක්‍රිස්ති­යානි ආගමේ මොන පිය­තු­මාද පාර්ලි­මේන්තු යන්න දඟ­ලන්නෙ? ඒකට අපේ හාමු­දු­රු­වරු. දේශ­පා­ලනේ තමන්ට අයිති කාරිය නෙමේනෙ. මේ නිසා තමයි අපේ සමා­ජය පිරි­හිලා තියෙන්නෙ.

විශේෂ ස්තුතිය - කුමාරි පණ්ඩි­ත­රත්න හා රෝහිත වීර­මුණ්ඩ

නාරද විජ­ය­සූ­රිය
සේයාරූ - අනින්ද සම­ර­සේන

අදහස්