ඉන්දියාවේ අලුත්ම උන්මා­දය අභි­න­න්දන් | සිළුමිණ

ඉන්දියාවේ අලුත්ම උන්මා­දය අභි­න­න්දන්

ඉන්දි­යාවේ වරින් වර වීර­යන් මෙන්ම විවිධ මෝස්තර එළි දැකීම සුල­භය. දැන් අලුත්ම ප්‍රවණතාව වී ඇත්තේ අභි­න­න්දන්ය. ඔහුගේ නමින් මේ දින­වල උප­දින බිලි­ඳුන් නම් කිරීම දැන් විලා­සි­තාව වී ඇත. ඒ අතරේ ඉන්දි­යානු රැවු­ල්කා­ර­යින් බාබාර් සාප්පු­වල පිරෙන්නේ අභි­න­න්දන් මෙන් උඩු රැවුල හැඩ කර ගැනී­ම­ටය.

බොහෝ දෙනකු වීර­යන් වන්නේ ඔවුන් ‘උඩින්’ යන­තෙක් පමණි. එහෙත් බිම ඇද වැටුණු පසු වීර­යකු වූ පුද්ග­ල­යකු ගැන දැන් මුළු ආසි­යා­වේම කතා­බ­හට ලක්වෙයි. ඔහු අභි­න­න්දන් වර්ත­මාන්ය. ඉන්දීය ගුවන් හමු­දාවේ වින්ග් කමා­න්ඩර් අභි­න­න්දන් දැන් ඉන්දීය වීර­යෙකි. ඔහු නිකම්ම නිකම් වීර­යකු නොව පර­ම්ප­රා­වෙන්ම වීර­යකු වන්නේ ඔහු එම වීර පර­ම්ප­රාවේ තෙවැනි පර­පුර නියෝ­ජ­නය කරන්නා නිසාය. අභි­න­න්දන්ගේ පියා එයාර් මාෂල් සිම්හ­කුට්ටි වර්ත­මාන් ඉන්දීය ගුවන් හමු­දාවේ ප්‍රහා­රක ගුවන් යානා නිය­මු­වකු ලෙස සේවය කර මින් වසර 5කට පෙර විශ්‍රාම ලැබීය. හෙතෙම ඉන්දීය සම්මා­න­යට පාත්‍රවූ ගුවන් හමුදා නිල­ධා­රි­යෙකි. පියාගේ පියා හෙවත් අභි­න­න්දන්ගේ සීයා ද ඉන්දීය ගුවන් හමුදා නිල­ධා­රි­යෙකි. අභි­න­න්දන්ගේ බිරිය තන්වි මර්වා ද විශ්‍රා­මික ගුවන් හමුදා නිල­ධා­රි­නි­යකි. එප­ම­ණක් නොව ඔහුගේ සහෝ­ද­ර­යාද ඉන්දීය ගුවන් හමුදා නිල­ධා­රි­යකු බව මාධ්‍ය පව­සයි.

අභි­න­න්දන් නිර්භීත පවු­ලක පුත­ණු­වෙකි. මේ ගැන තොර­තුරු පව­සන ඉන්දීය මාධ්‍ය ඔහුගේ මව ගැනද තොර­තුරු හෙළි කරයි. ඇය වෛද්‍ය­ව­රි­යකි. ජීවිත කාලය පුරාම අර­ගල සහිත රට­වල සේවය කළ ඇය අර­ගල නිසා පීඩා­වට පත් මිනි­සුන් වෙනු­වෙන් සේවය කරන කාන්තා­වකි. ඇය ශෝභා වර්ත­මාන්ය. ‘සීමා මායිම් නොමැති වෛද්‍ය­වරු’ සංවි­ධා­නයේ ප්‍රබල සාමා­ජි­කා­වක ලෙස ඇය ලයි­බී­රි­යාව, සිරි­යාව, ඉරා­ණය, හයිටි වැනි රට­වල සහ ගල්ෆ් යුද්ධ­යේදී ඉතා දරුණු සටන් පැවති ප්‍රදේ­ශ­යන්හි රෝහල් පව­ත්ව­මින් සේවය කළ වෛද්‍ය­ව­රි­යකි. ඇය වර්ත­මා­නයේ ළමා ලිංගික අප­හ­රණ චෝද­නා­ව­ලට ලක්වූ­වන්ට දැඩි දඬු­වම් පැමි­ණ­විය යුතු­යැයි බල කර­මින් ‘ඔන්ල­යින්’ සට­නක් ගෙන යන්නීය.

අභි­න­න්දන් ගේ මිග් 21 බයි­සන් වර්ගයේ ගුවන් යානය පකි­ස්තානු ගුවන් හමුදා මගින් වෙඩි තබා බිම හෙළනු ලැබුවේ පසු­ගිය 26 වැනි­දාය. ඉන්දු - පකි­ස්තානු ගුවන් සට­න­කදී අත්අ­ඩං­ගු­වට පත් පළමු ගුවන් හමුදා නිල­ධා­රියා ලෙසද අභි­න­න්දන් වාර්තා­ගත වෙයි. පකි­ස්තානු අත්අ­ඩං­ගු­වට පත්වූ පැය ගණන මොහු ඉතා නිහ­ඬව සියල්ල ඉවසා දරා සිට ඇත්තේය. ඒ ඔහුගේ පවුලේ ජාන­ව­ලින් ආ නිර්භී­ත­කම නිසා බව­ටද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

පකි­ස්තානු හමුදා අතට පත්වී­මට පෙර අභි­න­න්දන් හසු­වූයේ ගම්බද ජන­තා­ව­ටය. ඒ මොහොතේ ඔහුට හොඳින් ගුටි­බැට දෙන අන්දම වීඩියෝ පටි­ගත කිරීම් මගින් ලොව පුරා කාටත් දැක ගත හැකි­විය. පකි­ස්තානු හමුදා භාර­යට පත්වූ අභි­න­න්දන්ට තමන් හොඳින් සැලකූ බව පව­ස­මින්, තේ කෝප්ප­යක් තොල ගාමින් සිටින අභි­න­න්දන්ගේ වීඩියෝ පකි­ස්තා­නය ලොව පුරා මාධ්‍ය ජාල­ව­ලට එක්කර තිබුණේ පහ­ර­දීම් නිසා ඔහුගේ ඇසක් ද ඉදිමී තිබූ අන්දම හොඳින් පෙනෙ­ද්දීය. පසුව එම වීඩි­යෝව මකා දමා තිබිණි.

පකි­ස්තාන හමුදා බාරයේ සිටිද්දී නිල­ධා­යකු ඇසූ ප්‍රශ්න­ව­ලට අභි­න­න්දන් පිළි­තුරු දුන්නේ ඉතා පරි­ණ­ත­වය.

ඔබ ඉන්දි­යාවේ කුමන පළා­තේද?

සමා­වෙන්න මේජර් මං ඒ ගැන ඔබට කිව­යු­තු­මද? මං දකුණේ.

ඔබේ තේ කෝප්පය රස­වත් යැයි හිත­නවා?

ඔව්, එය ඉතා අන­ර්ඝයි. ඔබට ස්තුතියි.

පකි­ස්තානු නිල­ධා­රි­යාගේ මීළඟ පැනය වූයේ අභි­න­න්දන්ගේ ගුවන් යානය කුමන වර්ග­යේද යන්නය. අභි­න­න්දන් ඊට දුන්නේ දැඩි පිළි­තු­රකි.

“සමා­වෙන්න මේජර්, මං ඒ ගැන ඔබට කිව­යුතු නැහැ. එහෙත් ඔබ දැන­ට­මත් ඒ පිළි­බඳ තොර­තුරු සොයා ගෙන ඇති­බව සහ­ති­කයි.”

ඔබේ ගමනේ අර­මුණ මොකද්ද?

මට සමා­වෙන්න මා ඒ ගැන කිව­යුතු නැහැ.

ඒ සංවා­දය පකි­ස්තා­නය විසින් මාධ්‍ය ජාලා වෙත නිකුත් කර ලැබ තිබී ජිනීවා සම්මු­ති­යට පට­හැනි බැවින් පසුව එම වීඩි­යෝව ඉවත් කර ගනු ලැබ තිබිණි.

පකි­ස්තානු බල­ධා­රීන් භාරයේ සිටි පැය 60ක කාල­යේදී ඔවුන් තමාට ශාරී­රි­කව වධ හිංසා පැමි­ණ­වූයේ නැති නමුත් සැල­කිය යුතු මට්ටමේ මාන­සික පීඩ­න­ය­කට ලක්වූ බව අභි­න­න්දන් ආපසු ඉන්දි­යා­වට පැමිණි පසු ඒඑ­න්අයි පුවත් සේව­යට පවසා ඇත්තේය. සිය­රට පැමිණි පසු පූර්ණ වෛද්‍ය පරි­ක්ෂා­වට ලක් කෙරුණු ඔහුගේ තුන­ටිය පහළ ප්‍රදේ­ශයේ හා ඉල­ඇට ආශ්‍රි­තව තුවාළ තිබූ බව හෙළි­විය.

අභි­න­න්දන් පකි­ස්තානු අත්අ­ඩං­ගු­වට පත්වී­මත් සමඟ ඉන්දීය මාධ්‍ය සිද්ධිය වාර්තා කළ අන්දම පිළි­බඳ අල්ජ­සීරා පුවත් සේවය ඇතුළු බොහෝ අන්තර් ජාතික මාධ්‍ය ඔස්සේ කතා­බ­හට ලක්විය. බොහෝ මාධ්‍ය පැව­සුවේ ඇතැම් ඉන්දි­යානු මාධ්‍ය සිද්ධිය ප්‍රචා­රය කළේ දෙරට අතර ඇවි­ළෙ­මින් පැවැති ගින්නට පිදුරු දම­මින් බවය. ඇතැම් ඉන්දි­යානු මාධ්‍ය, ඉන්දි­යාව මෙයට වහා ප්‍රති­චාර දැක්විය යුතු­බව පුන­පුනා පව­සන ඉන්දි­යානු බල­ධා­රීන් දිගින් දිග­ටම සම්මුඛ සාකච්ජා සඳහා කැඳ­ව­මින් තම මතය ඉදි­රි­යට ගෙන ගියේය. කෙසේ වෙතත් ලෝක් සභා මැති­ව­ර­ණය මුව­විටේ තිබි­යදී ඇතැම් ඉන්දි­යානු දේශ­පා­ල­න­ඥ­යෝද කල දුටු­විට වළ ඉහ ගැනී­මට ප්‍රයත්න දැරූහ.

අභි­න­න්දන් ඉන්දි­යානු වීර­යකු බවට පත්වී­මත් සමඟ විශේ­ෂ­යෙන්ම ආසි­යානු සමාජ මාධ්‍ය ජාලා හරහා ඔහු හා ඔහුගේ පවුලේ උද­වි­යගේ යැයි පැව­සෙන සේයාරූ සංස­ර­ණය වන්නට විය. මේ අත­රින් කාගේත් කතා­බ­හට ලක්වූයේ ඉන්දීය අග­මැති මෝදි සමඟ අභි­න­න්දන්ගේ බිරිය හා පුත්‍රයා පෙනී සිටින බව පැව­සෙන සේයා­රු­වකි. එහෙත් පසුව සොයා බලද්දී එය ව්‍යාජ සේයා­රු­වකි. ඒ බව හෙළි කරනු ලැබුවේ සමාජ මාධ්‍ය හා වෙඩ් අඩ­වි­වල පළ­වන ව්‍යාජ තොර­තුරු සොයා බැලීම සඳහා වන ඉන්දීය රාජ්‍ය මෙහෙ­යුම් යාන්ත්‍ර­ණය විසිනි. එම සේයා­රුව ජන්ද අපේ­ක්ෂ­ක­ය­කුගේ ජන්ද ගුණ්ඩු­වක් බවද හෙළි­විය.

සිය­රටේ ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ගේ හා මාධ්‍යන්හි මේ ප්‍රය­ත්නය ආපසු මවු­රට බලා පැමිණි අභි­න­න්දන්ගේ ද දෝෂ­ද­ර්ශ­න­යට ලක්විය.

දෙරට අතර සාමය පළ කිරී­මක් ලෙසින් අභි­න­න්දන් නිද­හස් කරන බවට ඉම්රාන් ඛාන් පකි­ස්තානු අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කිරී­මත් සමඟ මාර්තු 01වැනිදා උදෑ­සන සිට ම ඉන්දි­යානු පකි­ස්ථානු අමාරි වගා දේශ සීමාව ආස­න්නයේ අභි­න­න්දන්ගේ විශාල සේයාරූ හා බැනර් රැගත් ඉන්දි­යා­නුවෝ හා මාධ්‍ය­වේ­දීහු රැස්ව­න්නට වූහ. පැයෙන් පැය අභි­න­න්දන් රැගෙන එන­තුරු බලා සිටි­යද සවස වන­තෙක්ම ඔහු රැගෙන ඒම ප්‍රමාද වෙද්දී ඒ සැවොම නොස­න්සුන්ව බලා සිටි­යහ. එම ප්‍රමා­ද­යට හේතුව හෙළි වූයේ පසු­වය. ඊට හේතු වූයේ පකි­ස්තානු බල­ධා­රීන් දේශ­සී­මාව හරහා අභි­න­න්දන් බාර දීමට පෙර ඔහුගේ ප්‍රකා­ශ­යක් පටි­ගත කිරී­මය.

කීප වරක්ම සංශෝ­ධ­න­යට ලක් කිරී­මෙන් අන­තු­රුව ට්විටර් සමාජ මාධ්‍ය හරහා එළි දක්වා තිබූ ඒ වීඩි­යෝව පකි­ස්තානු රජය මගින්ම පසුව ඉවත් කර­ගෙන තිබිණ. එම වීඩි­යෝව පකි­ස්තානු ප්‍රචා­ර­ණ­යට සරි­ලන සේ අභි­න­න්දන්ට තර්ජ­නය කර පටි­ගත කරවා ගත්තක් ද යන්න අපැ­හැ­දිලි අතර බොහෝ දෙනා ඒ බවට සැක කරන්නේ වීඩියෝ පටය කීප­ව­රක්ම සංශෝ­ධ­නය කළ බවට සාක්ෂි ඇති හෙයිනි. මිනිත්තු 24ක් දිග වීඩි­යෝවේ 17 පොළක් සංශෝ­ධ­නය කර ඇති බව දක්වා ඇති එක් ට්විටර් ප්‍රේක්ෂ­ක­යකු එම වීඩි­යෝව හුව­මාරු නොක­රන ලෙස­ටද ඉල්ලීම් කර තිබිණ.

අභි­න­න්දන් පකි­ස්තානු එෆ් - 16 ප්‍රහා­රක යාන­යක් බිම හෙළූ බවට උදම් අනන ඉන්දි­යානු ගුවන් හමු­දාව මේ අතර පවසා ඇත්තේ අභි­න­න්දන් නිද­හස් කිරී­මට පෙර පකි­ස්තා­නය නිකුත් කළ ඉහත කී වීඩි­යෝවේ ඒ ගැන කිසිම සඳ­හ­නක් නැති බවය.

අභි­න­න්දන් නිද­හස් කෙරෙන දා පෙර­වරු 8.30ට පමණ පකි­ස්තා­නය එම වීඩි­යෝව දේශීය මාධ්‍ය වෙත නිකුත් කළේය. තමා අල්ලා ගත් අන්දම විස්තර කරන අභි­න­න්දන්, පකි­ස්තානු හමුදා වෘත්තී­මය වශ­යෙන් කට­යුතු කළ ආකා­රය පස­සනු ඉන් ප්‍රචා­රය කෙරිණි. තමා ඉල­ක්ක­යක් හඹා යමින් පකි­ස්තානු දේශ සීමාව හරහා ගිය බවද ඔහු ඉන් පවසා තිබිණි.

උදෑ­සන සිට බලා සිටි­යද අව­සා­නයේ පකි­ස්තානු බල­ධා­රීන් අභි­න­න්දන් රැගෙන පැමි­ණියේ රාත්‍රී 9.30ට පම­ණය. අභි­න­න්දන් බාර දෙන මොහො­තේද පකි­ස්තා­නය වීඩි­යෝ­වක් නිකුත් කළේය. ඔහු පකි­ස්තානු හමුදා නිල­ධා­රීන් සමඟ විනෝද වන අන්දම දැක්වෙන එම මිනිත්තු දෙකේ වීඩියෝ පට­යද පසුව ඉවත් කර ගත්තේය.

මේ සිය­ල්ල­ටත් වඩා ලෝකය පුරා පතළ වූයේ අභි­න­න්දන්ගේ පුත් ටාවිෂ් වෙත පකි­ස්තා­නය විසින් එවනු ලැබූ බව කියන ලිපි­යකි. අභි­න­න්දන් යනු සිය පවු­ලට බෙහෙ­වින් ආද­රය කර­න්නෙකි. මෙනි­සාම හිතට වදින අන්ද­මින් ඔහුගේ පුතු අම­ත­මින් ඒ ලිපිය ලියා ඇත්තේය. කාශ්මී­රයේ දරු­වන්ට සිය පවුල් සම­ඟින් ආද­ර­යෙන් කල්ගත කිරී­මට වරම් නොමැ­ත්තේද යනු­වෙන් විම­ස­මින් ලියා තිබූ එම ලිපිය අව­සන් කර තිබුණේ ‘පියා සමඟ සතු­ටින් කල් ගත කරන්න’යනු­වෙනි.

අභි­න­න්දන් පකි­ස්තා­න­යට පැමි­ණියේ අහසේ රෝස මල් විසු­රුවා හැරී­මට නොව කිසි­යම් අණක් ඉෂ්ට කිරී­මට බව පව­සන බොහෝ දෙනා එම ලිපියේ යටි අරුත ගැන සතුට පළ කරති. ඉන්දීය ගුවන් නිල­ධා­රියා සම්බ­න්ධ­යෙන් පකි­ස්තා­නය කට­යුතු කළ අන්දම ගැන දැන් ලෝක­යේම ප්‍රසං­සාව එර­ටට ලැබී තිබේ.

කෙසේ වුවද, දැන් අභි­න­න්දන් ඉන්දි­යාවේ වීර­ය­න්ගෙත් වීර­යෙකි. දැන් ඉන්දි­යා­නුවෝ අලුත උපන් බිලි­ඳුන් අභි­න­න්දන් නමින් නම් කරති. එසේම ඔහු මවු­රට පැමි­ණෙන දා ඉන්දි­යානු වෙරළ තීර පුරා අභි­න­න්දන්ගේ විශාල වැලි මූර්ති සකසා තිබුණේ ඔහු කෙරෙහි ඉන්දි­යා­නු­වන්ගේ සිතේ ඇති ළෙන්ග­තු­කම පළ කර­මිනි.

ඉන්දි­යානු අග­මැති මෝදි මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙද්දී මෝදි අනු­ක­ර­ණය කර­මින් ඉන්දි­යා­නුවෝ තලප්පා පැල­ඳි­යහ. මෝදි මෝස්ත­රයේ ඇඳුම් ඇන්දාහ. රැවුල් වැවූහ. දැන් ඉන්දි­යානු පිරි­මින්ගේ අලුත්ම විලා­සි­තාව වී ඇත්තේ අභි­න­න්දන් රැවු­ලය. ඉන්දි­යාවේ ප්‍රාන්ත පුරා ඇති බාබර් සාප්පු මේ දින­වල රැවු­ල්කා­ර­ය­න්ගෙන් පිරී ඇත්තේ අභි­න­න්දන්ගේ මෙන් දෙප­සින් උඩට කැර­කැ­වුණු විලා­සි­තා­වට රැවුල් කප්පවා ගැනී­ම­ටය.

අදහස්