කොල්ලනේ... නටමුද අපි ‘ජහුටාවක්’ | සිළුමිණ

කොල්ලනේ... නටමුද අපි ‘ජහුටාවක්’

“ආයු­බෝ­වන්... වාස­නා­වන්.. ප්‍රදේ­ශ­වාසී හැමට කරන ආරා­ධ­න­යයි මේ... ලබන පුර­ප­ස­ළො­ස්වක පෝය දා රාත්‍රී අටට ගොඩ­ලන්ද වෙලේ කමතේ දී නැටුම්.. ගැයුම්.. විහිළු සමග සිරි­සේන ගුරු­න්නා­න්සේගේ ජුහු­ටා­වක් පෙන්වනු ලැබේ. .. කල්වේලා ඇතිව විනෝ­ද­වෙන්න සතු­ටු­වෙන්න ... එක­තු­වෙන්න.. ස්තුතියි...”

කර­ත්තයේ බැඳි යකඩ කට ගම දෙව­නත් කරයි. සරල සැහැල්ලු දිවි පෙවෙ­ත­කට මැදිව දවස ගෙවූ එවක ගැමි­යන්ට මේ ආරං­චිය කනට මී බිඳු එක් කර­න්නාක් මෙන්විය. අස්වනු කපා පාගා ගෙට ගත් පසුව නිද­හස් වන කමත වටා රොද බදින ගැමියෝ කල­කින් ලැබෙන මේ අව­ස්ථාව අත් නොහැර ආශ්වා­ද­නය කළෝය.

ඉතා ප්‍රාථ­මික තත්ත්ව­යන් මත නිර්මා­ණය වු මේ නාටක, වින්ද­නය ඒකා­යන අර­මුණ කොට නිර්මා­ණය වූ වග අවි­වා­දි­තය. ඉන් බැහැර යමක් ගැමියෝ අපේක්ෂා නොක­ළහ.

ලක්දිව සාම්ප්‍ර­දා­යික නාට්‍ය සම්ප්‍ර­දා­යන් පිළි­බඳ විශ්ලේ­ෂ­ණ­යක යෙදෙන මහා­චාර්ය එදි­රි­වීර සර­ත්ව­න්ද්‍ර­යන් පව­ස­නුයේ පෙර දවස කෙසේ වෙතත් පන­හේ­ද­ශ­කය පමණ වන වන විට දේශිය යැයි කිව­හැකි අංග සම්පුර්ණ වු කලා­ත්මක නාට්‍ය කලා­වක් මෙරට නොවු බවය. එහෙත් ගම්බද පැව­තියා වු කෝලම්, සොකරි, නාඩ­ගම්, තොවිල්, පවිල්, ගම්මඩු, පාම්මඩු, පුනා­මඩු, කංකාරි ආදි­යෙහි නොදි­යුණු තත්ව­යන් මත වුව ද යම් යම් නාට්‍ය අංග තිබු බව මහා­චාර්ය සර­ත්ච­න්ද්‍ර­යන්ගේ අද­හස විය.

ඉන්දි­යා­වෙන් ආ කතාව බොරු­වක්

එක්ද­හස් නව­සිය හැටේ දශ­කයේ දී සතර කෝර­ලය සහ රජ­රට කේන්ද්‍රී­යව බිහිවී අද ද ශේෂව ඇති ගීත නාටක වෙසෙ­සක් පිළි­බද මෑත­කදී අපට අස­න්නට ලැබුණේ කුරු­ණෑ­ගල කටු­පොත දමු­ණුව ප්‍රදේ­ශ­යෙනි. භරත මුනි­ව­ර­යාගේ නාට්‍ය වර්ගී­ක­ර­ණ­යට අනුව නාට්‍ය ධර්මී සම්ප්‍ර­දා­යට ගැනෙන, සතර අභි­න­යම මනාව නිරූ­ප­නය වන දෙබස් කතන මුද්‍රා නාට්‍ය විශේ­ෂ­යක් ලෙස වර්ත­මා­න­යේද මෙම නාටක සුළු වශ­යෙන් හෝ කුරු­ණෑ­ගල සහ රජ­රට ගම්මැ­දි­වල දක්නට ඇත්තේය. නාට්‍ය රංග­න­යට පෙරා­තුව සර­ස්ව­තිය උදෙසා පූජා නැටුම පැවැ­ත්වීම ද මෙහි තවත් විශේ­ෂ­ත්ව­යකි.

අද මේ නාට්‍ය විශේ­ෂය රැක ගැනී­මට දායක වී ඇත්තේ කුරු­ණෑ­ගල, කටු­පොත, දමු­ණුව, අලං­කාරේ ප්‍රදේ­ශයේ විසු එම්.පී. සිරි­සේන මාස්ටර් නම් කලා­ක­රු­වෙකි. ඔහු මෙම කලාව තව­දු­ර­ටත් සංව­ර්ධ­නය කර­මින් පසු­බිම් සංගී­තය සහි­තව දෙබස් පසු­බි­මින් සපයා ගමින් ගම ගොස් නාටක ප්‍රද­ර්ශ­නය කරයි. දේශීය කලා ශිල්පි­යෙකු ලෙස කන්දේ­ගෙ­දර සර­සවි කලා­ය­ත­නය නමින් ආය­ත­න­යක් පිහි­ටුවා මෙම ගීත නාටක කලාව තව­දු­ර­ටත් ප්‍රව­ර්ධ­නය කිරී­මට ඔහු වෙහෙ­සිණ. එවක් පටන් අද දක්වාම පව­ති­නුයේ සිරි­සේන කලා­ක­රුවා එදා ආරම්භ කළ නාට්‍ය සම්ප්‍ර­දාය බව තතු දන්න­වුන්ගේ විශ්වා­ස­යයි.

පසු­බි­මින් දෙබස් සප­යන විට අංග චල­න­යෙන් දෙබ­සට සම­පාත වන සේ රංග­න­යෙන් දායක වීම මෙහිදී නළු නිළි­යන්ට පැව­රෙන කාර්ය­භා­ර­යයි. මෙම නාට්‍ය සම්ප්‍ර­දාය ඉදි­රි­යට ගෙන යමින් පසු­කා­ලී­නව කටු­පොත, සිය­ඹ­ල­න්ග­මුව සර්ධා­රාණි කලා සංග­මය පිහි­ටුවා ගත් එම්. පී. සර්ධා­පති මහතා ද කන්දේ­ගෙ­දර සර­සවි කලා­ය­ත­නයේ ආර­ම්භක සාමා­ජි­ක­යෙකි. අද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇති සිය­ලුම ගීත නාටක සංගම් ව්‍යාප්ත වී ඇත්තේ ද කන්දේ­ගෙ­දර සර­සවි කලා­ය­ත­නයේ ආභා­සය ඔස්සේය. මේ කලා­ක­රු­වන් වැඩි­දෙ­නකු අද ජීව­තුන් අතර නැත. මෙම ශිල්පීන් සමග සංගීත ශිල්පි­යෙකු ලෙස පසු­කා­ලී­නව සම්බ­න්ධවූ වර්ත­මා­නයේ ගුවන් විදුලි ප්‍රවෘත්ති සංස්කා­ර­ක­ව­ර­යෙකු ලෙස කට­යුතු කරන ගුණ­ති­ලක සුරි­ආ­රච්චි මහතා ගීත නාටක සම්ප්‍ර­දායේ අහු­මුලු හොදින් දත් අයෙකි. අතී­ත­යත් වර්ත­මා­න­යත් යා කර­මින් ඔහු පැව­සුයේ මෙවැනි අද­හ­සකි.

කොල්ලනේ අපි ජහු­ටා­වක් නට­මුද?

“අද ගොඩක් අය මේ නාට්‍ය කලාව කොහොම හැදු­ණාද කියන නිධාන කතාව දන්නේ නෑ. අතී­තයේ අපේ පැරණි කලා­ක­රුවෝ රස­වි­න්ද­නය සදහා විවිධ විදිහේ නාට්‍ය ගම්වල රඟ දක්වලා තියෙ­නවා. මේකත් එක සම්ප්‍ර­දා­යක්. මේ නාට්‍ය­ව­ලට ජහුටා කියන නම නිකන්ම ආපු එකක්. ඒකට විශේෂ අර්ථ­යක් නෑ. මේ නම ඉන්දීය ආභා­ස­ය­කින් ලැබුණා කියන එක අමු­ලික බොරු­වක්.

අස්වැන්න ගෙට ගත්තට පස්සේ කමත හිස්වෙ­නවා. එත­කොට කලා­වට හිතැති ගමේ වැඩි­හි­ටි­යෙක් ‘කොල්ලනේ අපි ලබන පෝයට ජහු­ට­යක් නට­මුද’ කියලා තරුණ පිරිස එකතු කර­ග­න්නවා. ඒ කාලේ රඟ­පෑම ගැහැ­නුන්ට නොගැ­ළ­පෙන බවට මත­යක් තිබුණු හින්දා නිළිය විදි­හට රඟ­පෑ­වෙත් පිරි­මි­න්මයි. යොදා­ගත් දිනට පෙර නාට්‍යයේ පුහු­ණුව අව­සන් කරලා ඒ ගැන අවට ගම්ව­ල­ටත් ප්‍රචා­ර­යක් කර­නවා. අපේ ගමේ කොල්ලෝ පුරුදු පුහුණු වුණු ජහු­ට­යක් අස­වල් ගමේ, අස­ව­ලාට අයත් කමතේ දී, පස­ළො­ස්වක පෝය දවසේ රාත්‍රියේ රඟ දක්වන බව තමයි ඒකෙන් කියැ­විලා තියෙන්නේ.” ඔහු පව­සයි.

මුල් වක­වා­නුවේ කුරු­ණෑ­ගල, කටු­පොත, වාරි­ය­පොල ආදි ප්‍රදේ­ශ­වල රඟ දක්වා ඇති මෙම නාටක යාබ­දව පිහිටි අනු­රා­ධ­පු­රයේ ගම්මැදි වලට ද පසු­කා­ලී­නව ව්‍යාප්ත වී ඇත. පිහිටි බිමෙහි සැකසු පටු එළි­ම­හන් වේදි­කා­වක පැදු­රක වාඩි­ලා­ගත් ශිල්පීන් වයන ඩොලැ­ක්කිය, සර්පි­නාව, බට­න­ලාව, ගැට බෙරය, රබාන ආදි සාම්ප්‍ර­දා­යික වාද්‍ය භාණ්ඩ වැයෙද්දී මෙම ගීත නාටක රඟ දක්වා ඇත. නළු, නිළි­යන් රගන අතරේ තවත් ශිල්පීහු පිරි­සක් පසු­බි­මෙහි හිද ජව­නි­කා­වට අදා­ළව හඬ මුසු කරති. ගී ගායනා සඳහා තවත් ශිල්පී කණ්ඩා­ය­මක් සුදා­න­මින් හිඳිති. වේදි­කාව වට­කො­ට­ගත් විවිධ රස විඥා­න­ය­න්ගෙන් යුතු විසල් පිරි­සක් රැය පහන් වන තුරු මේ නාට්‍ය නැර­ඹී­මට රොද බඳිති.

ගම්මැ­දි­වල අස්වනු නෙළන වක­වා­නු­වත් සම­ගම මෙම නාට්‍ය රඟ දැක්වීම එදා මෙන්ම අද ද පිළි­වෙත වී තිබේ.

මේ නාටක සඳහා අන්‍යය වු සම්ප්‍ර­දා­යන් පව­තින බව සුරි­ආ­රච්චි මහතා පව­සයි.

රංග භූමිය රවු­මක්

“දෙබස් කථන මුද්‍රා නාටක පෙන්වන කිසිම තැනක එළි­ම­හන් රංග භුමිය හත­රැ­ස්වට සකස් කරන්නේ නෑ. රංග භුමිය අනි­වා­ර්යෙන් හදන්නේ රවුම් හැඩ­ය­ක­ටය. ජන­තාව නාට්‍ය නර­ඹන්නේ මේ විදි­හට වෘත්තා­කා­රව සකස් කළ රංග භුමිය වටේ එකතු වෙලා. ඒ තමයි මුල් කාලයේ නාට්‍ය නටන්ඩ කමත යොදා ගැනීමේ ආභා­සය. අද දක්වාම ඒ සම්ප්‍ර­දාය ආරක්ෂා වෙලා තියෙ­නවා. අද මේ කලාව යම් පසු­බෑ­ම­කට ලක්වෙලා තියෙ­නවා. ඇතැම් ගීත නාටක කණ්ඩා­යම් එහි ප්‍රමි­තිය ආරක්ෂා කර­ගැ­නී­මට අපො­හො­ස­ත්වීම සහ තවත් සම­හ­රෙක් ප්‍රමි­තිය ඉහළ දැමී­මට ගොස් සම්ප්‍ර­දා­යෙන් පිට පනි­නවා. සම­හරු කරන්නේ මුල්කා­ලීන නිර්මාණ අනු­ක­ර­ණය කරන එක විත­රයි. අලුත් යමක් කරන බවක් පේන්නේ නෑ. මේ කලාවේ සම්ප්‍ර­දාය ආරක්ෂා කර­ග­නි­මින් නවී­ක­ර­ණය වීමයි විය යුත්තේ. ඒත් සංකර වෙන්ඩ බෑ. ඒ දේ කරන්න හැකි­යාව තියෙන්නෙ කලාව ගැන හසළ දැනු­මක් ඇති ශිල්පි­යෙ­කුට විත­රයි.”

ඓති­හා­සික කතා පුවත්, ආග­මික පණි­විඩ සහිත නාට්‍ය මෙන්ම සමාජ හා උප­දේ­ශා­ත්මක කතා මෙම ගීත නාටක සඳහා තේමා වෙයි. ප්‍රේමය, විර­හව, වීර­ත්වය සේම හාස්‍යය ද මේ බොහො­ම­යක් නාටක වල පොදු තේමාය. සිරි­ස­ඟබෝ, විහා­ර­ම­හා­දේවි, රාමා­ය­නය, සකු­න්තලා එවැනි නාටක කිහි­ප­යකි. මේ එක් ගීත නාටක කණ්ඩා­ය­මක් සදහා 15 - 20 ත් අතර පිරි­සක් සම්බන්ධ වේ. මෙසේ සම්බන්ධ වන බොහෝ­දෙ­නෙ­කුගේ ප්‍රධාන ජීව­නෝ­පාය මෙයම බව පැවසේ.

අනු­රා­ධ­පු­රය, කැකි­රාව ආස­න්නයේ ඇති කෝණ­ප­ති­රාව ගම්මා­නයේ ශ්‍රීපාලි සත්සර කලා සංග­මයේ නිර්මාතෘ සර­ත්චන්ද්‍ර ලිය­නගේ මහතා මෙම ගීත නාටක කලාව අනා­ග­ත­යට දායාද කිරී­මට වෙහෙ­සෙ­න්නෙකි.

ජහු­ටාට ඈත ගම්ව­ලින් ඉල්ලීම්

“දැන් නාට්‍ය පෙන්වන විදිහ ඉස්ස­ර­හට වැඩිය ටිකක් වෙනස්. ඒ කාලේ මුලින් කෙටි නාට්‍ය­යක් පෙන්නලා පස්සේ පැය තුනක් විතර දිග නාට්‍ය­යක් පෙන්නුවා. ඒත් දැන් කෙටි නාට්‍ය­යක් පෙන්නන්නේ නෑ. මුදල් හොයන අව­ශ්‍ය­තාව ඉස්ස­ර­හට ඇවිල්ලා තියෙ­නවා. රෑ 09 ඉඳලා 12.30 විතර වෙන­කන් සින්දු කිය­න්න­කැ­මැති අයට ආධු­නික ගීත ප්‍රසං­ගය පව­ත්ව­නවා. එතැන ඉඳලා පාන්දර තුන විතර වෙන­කන් සල්පි­ලයි, මල් වට්ටි වෙන්දේ­සි­යයි පව­ත්ව­නවා. ඒ හැම­දේම ඉවර වෙලා පාන්දර තුනට විතර පටන් අර­ගෙන උදේ හය විතර වෙන­කන් තමයි ගීත නාට්‍ය පෙන්නන්නේ. නොවැ­ම්බර්, දෙසැ­ම්බර්, ජන­වාරි මාස­වල ඇරු­ණ­හම අනිත් මාස­වල අපි නාට්‍ය පෙන්නන්න යනවා. දැන­ටත් අපිට හොඳ ඉල්ලු­මක් තියෙ­නවා. යුද්දේ තිබුණ පද­විය, වැලි­ඔය වගේ ප්‍රදේ­ශ­ව­ලින් පවා අපිට ආරා­ධනා එනවා.

පහු­ගිය දව­සක අපි පදවි ශ්‍රී පුර ගමක නාට්‍ය පෙන්නුවා. එන පිරිස එළි­වෙ­න­කන්ම රඳවා ගන්න එක ලේසි නෑ. ඒකට විවිධ අලුත් දේවල් එකතු කරන්න වෙලා තියෙ­නවා. සම­හර නාට්‍ය කණ්ඩා­යම් සැන්ඩෝ දර්ශන වගේ දේවල් එකතු කර­ගෙන තියෙ­නවා.”

ගමේ මිස තව­මත් නග­රයේ ප්‍රසිද්ධ නෑ

සාම්ප්‍ර­දා­යික වාද්‍ය භාණ්ඩ­ව­ලින් බැහැ­රව නුතන වාද්‍ය භාණ්ඩ භාවි­තය ගීත නාටක කලාවේ ගතා­නු­ග­තික බව විනාශ වීමට හේතුවී ඇති බව ද මෙම ශිල්පිහු පව­සති. වසර තිහක පමණ කාල­යක සිට සාම්ප්‍ර­දා­යික බව ආරක්ෂා කර­මින් මෙම කලාව අනා­ග­ත­යට දායාද කිරීම මේ කලා­ක­රු­වාගේ අපේ­ක්ෂා­වයි.

මාතලේ, කුරු­ණෑ­ගල හා අනු­රා­ධ­පුර වැනි දිස්ත්‍රික්ක කිහි­ප­යක හැරුණු විට මෙම ගීත නාටක කලාව නග­ර­බ­දව ප්‍රච­ලි­තව නැති බවත් මෙම ශිල්පිහු පව­සති.

ගීත නාටක රංගන ශිල්පි­නි­යක වන අයි­රාං­ගනී දිසා­නා­යක මහ­ත්මිය මෑත කාල­යක සිට ජහුටා රංග­න­යට දාය­ක­ව­න්නීය.

“අපිට ආරා­ධ­නා­වක් ලැබු­ණාම දවස් හත­රක් නැත්නම් පහක් ඒ තැන්වල නාට්‍ය පෙන්ව­නවා. ලොකු ආදා­ය­මක් නෑ. ඒත් කණ්ඩා­යමේ කාට­වත් පාඩු­වක් නොවන විදි­හට තමයි අපි ආරා­ධනා බාර­ගන්නේ. සම­හර අය වෙන රස්සා කරන ගමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට ආරා­ධ­නා­වක් ලැබු­ණොත්

කොහේ වුණත් අපි යනවා. කොහොම වුණත් ආත්ම තෘප්ති­යට මුල්තැන දීලා තමයි මේ හැම­දේම කරන්න වෙලා තියෙන්නේ. ඝෝෂා­කාරි සංගි­තය යොදා­ගෙන මේ කලාව කරන්න බෑ. එකෙන් වෙන්නේ මෙහි අන්‍ය­තා­වය විනාශ වීමයි.”

මේ ගීත නාටක ජන සම්ප්‍ර­දාය, වටි­නා­කම්, අව­තුම්, පැව­තුම් හා බැදුණු සාම්ප්‍ර­දා­යික කලා අංග­යන්හි පිලි­බි­ඹු­වක් බඳුය. එහෙත් ජහුටා නාට්‍ය පිළි­බඳ ඒවා රැක ගැනීමේ වැද­ග­ත්කම ගැන වග­කි­ව­යුතු කිසි­වෙ­කුගේ හෝ නිසි අව­ධා­නය යොමුව නොති­බීම අභා­ග්‍ය­යකි.

ඡායා­රූප - තඹු­ත්තේ­ගම විශේෂ
ඩබි­ලිව්. ප්‍රදීප්

අදහස්