මට හැම තිස්සෙ ම මෙයා මුර­කරගෙන ඉන්න පුළු­වන්ද? | සිළුමිණ

මට හැම තිස්සෙ ම මෙයා මුර­කරගෙන ඉන්න පුළු­වන්ද?

පියා ද දිය­ණිය ද අතර උද්ග­තව වන දබර හෝ ගැට­ලු­ව­කට මින්ම­නත මැදි­හත් නොවන බවට ගිවි­ස­ගෙන හුන් සුනන්දා “එපා එපා” යි මුර ගෑවාය. ඇය වෙනදා මෙන් ම ඔවුන් අත­රට පැන්නාය. එහෙත් වෙනදා මෙන් සිරි­මාන්න සිය දිය­ණිය අත් නො­හ­ළේය. ඔහු‍ෙග් අතුල් පහර ඉව­සීම පහසු නැතත් අමාලි විලාප දෙන්නට මුව විවර නොක­ළාය.

ඒමලානික හා කෘත්‍රිම ආලෝක දහ­රා­වෙන් නැහැ­වෙ­මින් ඇය ඍජුව හා නිර්භ­යව හිට­ගෙන සිටි­යාය. ඇගේ දෙනෙත කොත­රම් පැහැ­දිලි වී දැයි කිව­හොත් ඇගේ ම පියා පවා මඳක් පැකි­ළු­ණේය. සැහැල්ලු ටීෂ­ර්ටය ද කොට කලි­සම ද ඇය වෙත එක් කළ ඉල­න්දාරි පෙනු­මට බාධා කර­මින් කෙටි කෙස් කලඹ දෙවුරේ ගැටිණ. ඇගෙන් ප්‍රශ්න කොට දඬු­වම් දෙන්නට නොව ඇය ඇකයේ හොවා ගනි­මින් සිප සන­හා­ල­න්නට සිත් දෙන තර­මට ඇය හුරු­බු­හුටි වූවාය. ළාබාල බවක් ඉසි­ළු­වාය.

“දැං වෙලාව කීයද?”

සිරි­මාන්න දාරක ස්නේහ­යට නොව කෝප­යට ඉඩ හැරි­යේය.

“මම ඔර්ලෝ­සු­වක් දාන්නෙ නෑනේ තාත්තා...”

අමාලි ගණ­න­කට නොගෙන ලබා­දෙන උත්ත­රය ඔහුගේ කෝපය දෙගුණ තෙගුණ කර­වයි.

“දැං ඉන්න අය වෙලාව බලන්නෙ ඔර­ලෝ­සු­වෙන්ද...? ඔය ෆෝන් මඟු­ලෙන් කරන්න බැරි ඉටි ගෙඩි­යක් නෑනේ...”

රාත්‍රී ආහා­රය සඳහා ඉඳි­ආප්ප තැම්බූ බව දැනුම් දෙන්නට පැමිණි සුනන්දා විපි­ළි­සර වූවාය. නඩු විභා­ග­යක් ආරම්භ කොට තිබෙන බව බැලූ බැල්මට පෙනී ගියෙන් ඇය ගොළුව ගියාය.

“හරි.. වෙලාව පැත්ත­කින් තියමු. දැං මොකක්ද ඔය ඇඳ­ගෙන ඉන්නෙ?”

සිය නැග­ණිය දෙස ද නොප­හන් බැල්මක් හෙළූ සිරි­මාන්න නැව­තත් ප්‍රශ්න කළේය.

“ඇඳු­මක්..”

අමාලි නොපැ­කි­ළව උත්තර දුන්නාය.

“ඇඳු­මක් බව නං ඉතිං ඇස් පේන ඕන මෝඩ­යෙ­කුට පේන­වනේ..” යි කී ඔහු සාවඥ සිනා­වක් පෑවේය.

“ඒ කියන්නෙ ඇස් පේන්නැති අය නුව­ණ­ක්කා­රයි කියන එකද?”

කුහු­ල්බර නොවැ­ට­හෙ­න්නි­යගේ භූමි­කා­වට අව­තීර්ණ වීම අමා­ලිට කජු කන්නා ව‍ාගේ පහ­සුය.

“අමා..” යි සුනන්දා හඬ ගෑවේ ඒ රංග­නය වහාම හැඳි­න­ගත් බැවිනි.

‘ඇයි පොඩි නැන්දේ?”

අමා­ලිගේ බැල්මේ ද ස්වර­යේද ගැබ්වූ අවි­හිං­ස­ක­ත්වය අප­ම­ණය.

“ඕක ඇඳ­ගෙ­නද අමා ඔයා එළි­යට ගියේ?” යි සුනන්දා මහත් සංවේ­ග­යෙන් ඇසු­වාය.

“ඇයි? මොකක්ද මේකෙ තියෙන වරද..?”

යම්තම් දෙදණ වැසෙන කොට කලි­සමේ පහත වාටි­යෙන් අල්ලා­ගත් යුව­තිය නිරූ­පි­කා­වක් පරි­ද්දෙන් වට­යක් කැර­කු­ණාය.

“අමා..?”

ඒ සුන්දර චල­නය නොඉ­වසූ සුනන්දා පෙර පරි­ද්දෙන් ම හඬ ගෑවාය.

“ඇඳ­ගෙන ගියේ මොකක්ද... එළි­යට ගියේ කා එක්කද මොකේද කියන එක නංගි දැන­ගන්න එපායැ. දැං මෙතන නිකං බොරු­වට කෑග­හලා වැඩක් නෑනේ..”

සිරි­මාන්න ඇයට ද චෝදනා කළේය. ඇගේ හිස පහ­තට නැමිණ.

“නංගි ඉන්න හින්දානේ මම ඉස්කෝ­ලෙට වෙලා හිත නිද­හසේ ඉන්නේ. ඒත් ඉතිං ගෙදර ඇවිත් බල­න­කොට මෙයා නෑ.. කව­දා­වත් නෑ... කොයි ලෝකෙ යන­වද මොකා එක්ක යන­වද කියලා නංගි දන්නෙත් නෑනේ. ඉතිං මං අහන්නෙ නංගි මෙතන ඉන්න එකෙන් වැඩක් තියෙ­න­වද...?”

තමාට පල නොකියා පලා බෙදන බවක් හැඟී ගියෙන් සුනන්දා බල­වත් සිත් තැවු­ලෙන් මුව විවර කළාය.

“මට ඉතිං හැම තිස්සෙම මෙයාව මුර කර­ගෙන ඉන්න පුළු­වන්ද අයියෙ? පුංචි දරු­වෙක් නම් වඩා­ගෙන හරි ඉන්න තිබ්බා. මේ ගෑනු ළමි­ස්සි­යක් මම කොහොම පරෙ­ස්සම් කර­න්නද.. හිටි හැටියෙ මං යනවෝ කිය­නවා... අර පච්ච­යාගෙ බයික් එකට නඟි­නවා යනවා.. මං ඉතිං පස්සෙං දුව­න්නද...?”

ඇ‍ගේ නිද­හ­සට කරුණු ගෙන­හැර පෑම පිළි­බ­ඳව සිරි­මාන්න සෑහී­ම­කට පත්වූ බවක් නොපෙ­නිණ.

“තමුන්ගෙ වග­කීම ඉෂ්ට නොකර මොන මොන හේතු කිව්වත් වැඩක් නෑ නංගියේ..”

ඔහු කල­කි­රී­මෙන් පැව­සු­වේය.

අත­කින් මුව වසා­ගත් සුනන්දා පුටු­වක් මත ඇද වැටු­ණාය. දෙව­ස­රක් මුළුල්ලේ තමා සිදු කළ කාර්ය­භා­රය ඇග­යී­මට තබා අව­ධා­න­යට හෝ ලක් නොවීම පිළි­බඳ ඇය බෙහෙ­වින් ළතැ­වූ­වාය.

“තමා ඔය කොහෙද යන්නෙ? ඔහොම ඉන්නවා..” යි සිරි­මාන්න තර­වටු කළේ හෙමින් සීරුවේ මඟ­හැර යෑමට තැත් කළ යුව­තිය දෙස බලා ගත් වන­මය. හැරී බැලූ අමාලි ළගන්නා සිනා­වක් පෑවාය. එකෙ­නෙහි එබ­ඳුම හස­රැ­ල්ලක මත­ක­යෙන් ඔහුගේ අඳුරු හෘදය දැවී ගියේය.

“අයි­ය­ටයි නංගි­ටයි රණ්ඩු කරන්න ඇරලා මං පැත්ත­කට වෙන්න හැදුවෙ.. මට ඉතිං ඔය දෙන්න­ගෙන් කාගෙ­වත් පැත්තක් ගන්න බෑනේ.. ඔයා තාත්තා.. එයා නැන්දා.. මං පව් තාත්තා..”

සිරි­මාන්න යටි­තොල විකා ගත්තේය. විවිධ වයස් මට්ට­ම්ව­ලට අයත් විවිධ තරා­ති­ර­ම්වල දරු­වන් සමඟ කට­යුතු කිරී­මේදී පවා ඔහු මේ සා අප­හ­සු­තා­වට පත් නොවෙයි. එහෙත් මේ මායා­කාරී හා සිතැඟි සඟවා ගනි­මින් වෙන­කක්ම පිට­තට දමන යුව­තිය පාල­නය කර ගන්නට තමා අපො­හො­සත් බව පිළි­ග­නි­මින් ඔහු මඳක් කල්පනා කළේය.

“හානේ..”

අමාලි නැංවූ විස්මිත රාව­යෙන් ඔහු තිගැ­ස්සු­ණේය. ඇගේ දෙනෙත යොමු වී තිබුණේ හඬා වැටෙන සුනන්දා වෙතය.

“අන්න ඔයාගේ නංගි බබා අඬ­නවා...”

සැබැ­වින්ම සුනන්දා හඬ­මින් සිටි­යාය. සැලෙන දෙවුර ඇගේ සිත් වේද­නාවේ තරම කියා පෑවේය.

“අඬලා ප්‍රශ්න විස­ඳා­ගන්න පුළු­වන් නම් මටත් බැරි­යැයි පැත්ත­කට වෙලා අඬන්න.” යි නොසැ­ල­කි­ල්ලෙන් කී සිරි­මාන්න දිය­ණිය වෙත ළංවිය.

“පුතේ...”

ඒ හැඟී­ම්බර හඬ ද බැල්ම ද ප්‍රිය නොකළ යුව­තිය “මට බඩ­ගි­නියි” යි කෙඳිරි ගෑවාය.

“මට ඇත්තම කියන්ඩ අමා.. මොකක්ද ඒ රස්ති­යා­දු­කා­ර­යා­ගෙයි ඔයා­ගෙයි තියෙන ගනු­දෙ­නුව...?”

ඇගේ දෙඇස පවා හිනැ­හෙ­න්නාක් ‍බඳු ය.

තමාගේ හොඳම මිතුරා පිළි­බ­ඳව පියා හා නැන්ද­ණිය තුළ පැස­වන සැකය දන්නා හඳු­නන යුව­තිය සිනාව වළකා ගන්නට වෑයම් නොක­ළාය.

හඬ නඟා හිනැ­හෙන දිය­ණිය ද නිහ­ඬව වැල­පෙන නැග­ණිය ද අතරේ මංමු­ළාවූ මිනිසා හදි­සියේ ම බෙරි­හන් දුන්නේය.

“නව­ත්ත­නවා.. නව­ත්ත­නවා.. දෙන්නම. දෙන්නම ඔය ඇඬි­ල්ලයි හිනා­වයි නව­ත්ත­නවා.”

ඒ බිහි­සුණු ගෙර­විල්ල මුළු­ම­නින් ම නොවුණ ද යම් තර­ම­කින් හෝ සඵල විය. අමාලි කෙසේ වෙතත් සුනන්දා වහා නැඟී සිටියේ ඉකිය මැඬ­ග­නි­මිනි. කඳුළු සැලූ වගට සාක්ෂි දර­මින් ඇගේ දෙඇස රත් පැහැ ගැන්වී තිබිණ.

සිය ව්‍යාජ සිනාව නවතා ගත් අමාලි තව­දු­ර­ටත් ඔහු දෙස බලා සිටි­යාය.

“හිනා­වෙන එකේ­වත් අඬන එකේ­වත් තියෙන වැරැද්ද මොකක්ද තාත්තා...?” යි ඇය කුතු­හ­ල­යෙන් වෙළී ගිය බාලි­කා­වගේ වෙස ඉසි­ළු­වාය.

“හිනා­වෙවී හරි අඬ අඬා හරි ප්‍රශ්න­යක් විස­ඳා­ගන්න බෑනේ..”

“මොකක්ද ප්‍රශ්නෙ?”

ඇය නොපැ­කි­ළව ප්‍රශ්න කළාය. බියෙන් චකි­ත­යෙන් හේබා ගිය සිසු සිසු­වි­යන් කිසි විටෙ­කත් ප්‍රශ්න කර­න්නට තබා හිස නඟා බල­න්න­ට­වත් තැත් නොද­රති.

“‍කිසි දෙයක් දන්නෙ නෑ වගේ අහන ලස්සන...”

ඔහු ඇය දෙස රවා බැලු­වේය. ඒ රැවුම ගණ­න­කට නොගත් ඇය දෙවුර හැකි­ළු­වාය. අති­ශ­යින් සුවි­නීත ගැහැ­නි­ය­කට මේ සා හිතු­ව­ක්කාර දිය­ණි­යක ලැබුණේ කෙසේ­දැයි සිත­මින් ඔහු උගුර පාදා ගත්තේය.

“මං අහපු ප්‍රශ්න­යට උත්ත­ර­යක් ලැබුණෙ නෑ අමා.. ප්‍රශ්නෙට උත්තර හිනා­වක් හරි ඇඬි­ල්ලක් හරි නෙමෙයි..”

“හිනාවේ ඇඬිල්ලේ විත­රක් නෙමේ තාත්තා නිශ්ශ­බ්ද­තා­ව­යේත් උත්තර තියෙ­නවා. තාත්තලා ගුරු­වරු නිසා ඉතිං ප්‍රශ්නෙට උත්තරේ වච­න­ව­ලින් ම ඉල්ල­නවා.”

වියැකී ගිය කෝපය දලුලා වැඩිණ.

“මෙතෙන්ට මගේ වෘත්තිය ඇදලා ගන්න ඕන නෑ අමා.. තේරු­ණාද..? මට දැන­ගන්න ඕන මෙච්ච­රයි. අර රස්ති­යා­දු­කා­රයා එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද? එච්ච­රයි. ඇයි ඒකට කෙළින් උත්ත­ර­යක් දෙන්න බැරි?”

ඇයද කෝප­යට පත්වූ­වාය. නොඑසේ නම් තවත් රංග­න­ය­කින් ඔහු කල­ඹා­ල­න්නට ඉඩ තිබිණ.

“බ්‍රයන් රස්ති­යා­දු­කා­ර­යෙක් නෙමේ. එයාට ලස්ස­නට සින්දු කියන්න පුළු­වන්. කවදා හරි එයා මේ රටේ සුපිරි සිංගර් කෙනෙක් වෙන එකක් නම් නෑ. මොකද දැං ඉතිං සල්ලි තියෙ­නව නම් ඕන ගොළු­වෙ­කුට සිංදු කියන්න පුළු­වන්නෙ... පට්ට විෂු­වල් එක­කුත් එක්කම.”

ඔහු ඇගේ දෙවු­රින් අල්ලා සෙලෙව්වේ ඉව­සුම් නොදෙන කෝප­යෙනි.

“මට උගේ පැටි­කි­රි­යෙන් වැඩක් නෑ අමාලි.. මං අහන්නෙ උඹෙයි උගෙයි සම්බන්ධෙ ගැන.. ඌ මේ රටේ තියා මුළු ලෝකෙ ම ප්‍රසිද්ධ ගාය­ක­යෙක් වුණත් මං ඌට උඹව දෙන්නෙ නෑ.. අන්න ඒක හොඳට මතක තියා­ගනිං...”

පියාගේ සවි­මත් අතැ­ඟිලි ඇගේ සියු­මැලි උර­හිස් රිද­වා­ලයි. වේද­නාව යට­පත් කර­ග­න්නට වෙර දර­මින් ඇය “බ්‍රයන් මාව ඉල්ලු­වද තාත්තෙ..? මොනාද මේ කියන පිස්සු කතා...?” යි කෑගෑ­වාය.

“කොල්ලෙක් එක්ක කොයි වෙලා­වෙත් රවුම් ගහන්නෙ එත­කොට කිසිම සම්බ­න්ධ­යක් නැතුව..? ඒක යකාගේ කතා­වක්නෙ... උඹ ඔය කතාව කියපං ගිහිං අමු මෝඩ­යෙ­කුට.. මාව රව­ට්ටන්න උඹ ඉගෙන ගත්තා මදි අමාලි..”

“ඔව්... තියෙ­නවා... සම්බ­න්ධ­යක් තියෙ­නවා... සම්බ­න්ධ­යක් තියෙ­නවා...”

පියා ද දිය­ණිය ද අතර උද්ග­තව වන දබර හෝ ගැට­ලු­ව­කට මින්ම­නත මැදි­හත් නොවන බවට ගිවි­ස­ගෙන හුන් සුනන්දා “එපා එපා” යි මුර ගෑවාය. ඇය වෙනදා මෙන් ම ඔවුන් අත­රට පැන්නාය. එහෙත් වෙනදා මෙන් සිරි­මාන්න සිය දිය­ණිය අත්නො­හ­ළේය. ඔහු‍ෙග් අතුල් පහර ඉව­සීම පහසු නැතත් අමාලි විලාප දෙන්නට මුවර විවර නොක­ළාය.

“එපා... එපා ගහන්න.. අනේ ගහන්න එපා... අයියේ අතා­රින්න අයියේ... අනේ මගේ කෙල්ල අතා­රින්න...”

සුනන්දා හද කම්පා කර­වන හඬින් විලාප දුන්නාය.

ලබන සතියට‍...

අදහස්