යකඩ යකාට පණ දෙන සොඳුරු ගැහැනු | සිළුමිණ

යකඩ යකාට පණ දෙන සොඳුරු ගැහැනු

* මැදිරි ඇතුළත පින්තාරු කරන්නෙත් කාන්තාවෝ
* රත්මලානේ වැඩබිමේ පිරිමි එක්ක කරට කර වැඩ

කාන්තා දිනය නිමා වූවා පමණි. එහෙත් එක් දිනක් නොව සැම දාම ඇය ඇග­යු­වාට ඇගේ සේව­යට ප්‍රශංසා කළාට කමක් නැතැයි සිතෙන් නේ සිය නිවසේ වැඩ­ක­ට­යු­තු­ව­ලට අම­ත­රව රටේ සංව­ර්ධ­නය සමාජ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් ලබා­දෙන දාය­ක­ත්වය දකින විටය. “වැඩ ඇරී -වැඩට යති ගැහැනු” යැයි කවියකු කියන ලෙසම එවැනි කාන්තා­වන් පිරි­සක් සොයා අප ඉකුත් දිනෙක ගිය ගම­නක කතා­වකි මේ.

ඇය හැඩ­කා­රය. පැහැ­පත්ය. නමුදු දෑත්වල තැවරී ඇත්තේ කළු පැහැ මජංය. සාමා­න්‍ය­යෙන් නම් කාන්තා­වෝ නිය­පොතු හැඩට කපා දෑත් පිරි­සු­දුව තබා­ගැ­නී­මට කැමැ­තිය. යකඩ, විදුලි කම්බි සමඟ පොර බැඳිම නිසා ඈ දෑත් ගොර­හැ­ඬිව තිබිණි.

මම ඇගේ දෑත් පිරි­මැද බැලීමි.

“ගෙදර යන්න ඉස්සෙල්ලා පෙට්රල් දාලා අත් දෙකේ තියෙන මජං යව­නවා. එහෙම නැතුව මේවා යවන්න වෙන ක්‍රම­යක් නෑ. අත් දැවිල්ල ගන්නවා.” බියු­ටිකා කියයි.

මජං එක්ක හැප්පෙන මේ කාන්තා­වන් කවු­රුන්දැයි දැන් ඔබ විම­සි­ලි­මත් වනු ඇත.

ඔබ දින­පතා දුම්රියේ ගමන් ගන්නා අයෙකු නම් බස් රථයේ යෑමට වඩා ඔබ ප්‍රිය කරන්නේ දුම්රියේ යෑමට විය යුතුය. ඒ කොත­රම් සෙනඟ සිටි­යත් ගමන ඉක්මන් බැවිනි. දුම්රිය ගැන පැමි­ණිලි බොහෝය. විටෙක මඟීන් මැසි­විලි නඟන්නේ දුම්රිය ප්‍රමා­දය ගැනය. තවත් විටෙක සැප පහ­සුව ගැනය. ජනේල කැඩිලා, වහලේ තෙම­නවා, ෆෑන් ගලවලා, අසුන් අබ­ලන් වෙලා මඟියෝ සෑම විටම මැසි­විලි නඟති. දුම්රි­යක් ප්‍රමාද වූ විට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­ව­ටම බැණ වදින ඔබ දුම්රි­යක නඩත්තු අංශය ගැන කෙදි­න­ක­වත් සිතු­වේද?

පිරි­මින් හා කරට කර වැඩ කරන කාන්තා­වන් ද දුම්රිය නඩත්තු අංශයේ සිටින බවට ලද තොර­තු­රක් අනුව පසු­ගිය දා අපි රත්ම­ලාන වැඩ බිමට ගියෙමු. මට බියු­ටිකා හමු වූයේ ඒ ගිය ගම­නේ­දීය.

සියු­මැලි දෑතක් හිමි ඇය බර වැඩ කරන්නේ කෙසේද?

ඒ මසිත උපන් සිතු­වි­ල්ලයි. දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්යා­ල­වල කාන්තාවෝ බොහෝ සේවය කරති. විශේ­ෂය නම් මේ කාන්තා­වන් වැඩ බිම්වල සේවය කිරී­මය.

සියල්ල කරන්නේ ජීවත් වීම සඳ­හාය. දැනට එම ආය­ත­නයේ සේවය කරන කාන්තාවෝ සේව­යට පැමි­ණෙන විට තමන්ට අයත් කාර්යය කුම­ක්දැයි නොදැන සිටි­යහ. එහෙත් දුම්රිය වැඩ­බි­මට පැමිණි පසු ඔවුහු එයට හුරු­ව­න්ටත් සිය රැකි­යා­වට ආද­රය කර­න්න­ටත් පටන් ගත්හ.

කොළඹ පැවති දුම්රිය වැඩ­බිම රත්ම­ලා­නට රැගෙන එන ලද්දේ 1935 අවු­රු­ද්දේ­දීය. දුම්රිය අලු­ත්වැ­ඩියා කිරීම, එන්ජින් අලු­ත්වැ­ඩියා කිරීම ආදි සියලු කට­යුතු සිදු කෙරෙන්නේ මේ වැඩ­බි­මේය. වැඩ­බිමේ කාර්ය පිළි­බඳ අද­හස් දක්වන රත්ම­ලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජී­නේරු කීර්ති හේවා­වි­තා­රණ මහතා.

“මේ ස්ථානයේ තුන්ද­හස් පන්සි­ය­ය­කට වැඩිය සේවය කර­නවා. ඉංජී­නේ­රු­වන් විසි­පස් දෙනෙකු සිටි­නවා. ඒ අත­රින් දහ­දෙ­නෙක්ම කාන්තාවෝ. දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් සියලු යන්ත්‍ර සූත්‍ර, නඩත්තු කරන්නේ මේ ස්ථානයේ. පිරිමි සේව­ක­යන් සමඟ කාන්තා­ව­නුත් මෙහි වැඩ කර­නවා.

හේවා­වි­තා­රණ මහ­තාගේ හඳුන්වා දීමෙන් පසු වැඩ කරන කාන්තා­වන් බැලී­මට ගියෙමු. අබ­ලන් වූ දුම්රිය මෙන්ම අලු­ත්වැ­ඩියා කිරී­මට ගෙන ආ දුම්රිය මැදිරි, අලු­තින් පින්තාරු කරන ලද දුම්රිය මැදිරි තැන තැනය. වැඩ­බිමේ දී කෙරෙන කාර්ය­භා­රය හඳුන්වා දෙමින් එහි එක් එක් අංශය වෙත අප ගෙන ගියේ දුම්රිය කළ­ම­නා­ක­රණ තාක්ෂණ නිල­ධාරි එන්. එච්.එස්. චමින්ද මහ­තාය.

“දුම්රිය බල­වේග කට්ටල, එන්ජින් සහ මැදිරි, නියා­මක මැදිරි එහි උපාංග, ආදි බර අලු­ත්වැ­ඩියා සහ සහැල්ලු අලු­ත්වැ­ඩියා කිරීම් කෙරෙන්නේ මෙහෙ. පැය විසි­හ­තර දාහ­කට වඩා හා පැය තිස්හය දාහ­කට වඩා දිව්වට පස්සේ සෑම දුම්රිය එන්ජි­මක්ම අලු­ත්වැ­ඩියා කර­නවා. ඒ අලු­ත්වැ­ඩියා කිරී­මේදී මේ කාන්තා­ව­න්ගෙන් හොඳ සහා­යක් ලැබෙ­නවා. මුල් කාලේ මේ අය බොහෝම හෙමින් වැඩ කළේ. නමුත් දැන් ඔවුන්ගේ දෑත් මේ සියුම් වැඩ­ව­ලට හුරුයි. දැන් ඔවුන් කාර්ය­ක්ෂ­මයි.” කාන්තා­ව­න්ගෙන් ලැබෙන සහාය පිළි­බඳ පැවැ­සුවේ දුම්රිය අධී­ක්ෂණ කළ­ම­නා­කරු අජිත් සහ­බන්දු මහ­තාය.

අම්බ­ල­න්ගොඩ සිට රත්ම­ලාන වැඩ­බි­මට පැමි­ණෙන රමණි ප්‍රියංකා දුම්රිය විදුලි පරි­පථ සක­සන්නියකි.

“මම මේ රස්සා­වට ආවේ දෙද­හස් දාහ­තර වසරේ. මම උසස් පෙළ විභා­ගය කළා. කම්ක­රු­වන් ලෙසයි බඳවා ගත්තේ. ඇත්තම කිව්වොත් ආව අලුත මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අපට හැම දේම කියලා දුන්නා. දැන් නම් කරන රස්සාව ගැන ආසා­වක් තියෙ­නවා. තව­මත් මගේ සේවය ඉස්ථිර නැහැ. දවස් පඩි­යට තමයි සේවය කරන්නේ.” රමණි පව­සයි

චමිලා ප්‍රියං­ගනී පදිංචි වී සිටින්නේ රත්ම­ලා­නේය.

“මගේ මහ­ත්තයා මුලින් මේ වැඩ­බිමේ සේවය කෙරුවා. මීට වසර කිහි­ප­ය­කට පෙර ඔහු මිය ගියා. මට ජීවත් වෙන්න ක්‍රම­යක් නැති නිසා මම රස්සා­වක් ඉල්ල­ගෙන ආවා. ඒ අනුව තමයි මට මේ රස්සාව ලැබුණේ. මම ඉස්කෝලේ නවයේ පන්ති­යට විත­රයි ඉගෙන ගත්තේ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අය තවම ඉගෙන ගන්නවා.

මේ වැඩ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. මෙහෙට ආවාට පස්සේ හිමින් හිමින් ඉගෙන ගත්තා.

චමිලා එසේ කියයි. ඇය අස­ලම වාඩි වී යම් කාර්ය­යක නියැළී සිටින්නී බියු­ටි­කාය.

“මම පයා­ගල ඉඳලා වැඩට එන්නේ. මුල් දව­ස්වල නම් අත්වල කළු­පා­ටට මජං ගෑවෙන කොට හිතට දුකක් දැනුණා. දැන් එහෙම නැහැ. ගෙදර යන්න ඉස්සෙල්ලා පෙට්රල් ගාලා අත්වල තියෙන කළු­පාට යව­නවා. ඒත් ඒක හොද දෙයක් නෙමෙයි. මේ විදුලි වැඩ ඉගෙන ගත්තට පස්සේ මට දැන් ගෙදර විදුලි පංකා­වක් වුණත් ගල­වලා හදන්න පුළු­වන්.” බියු­ටිකා තම රැකි­යාව ගැන කියන්නෙ එලෙ­සිනි.

ඒ.ඩී. සකු­න්තලා අපට හමු වූයේ ආමි­චර් අංශ­යේ­දීය. ඇය කොයිල් එතීමේ කාර්ය කරයි.

සකු­න්ත­ලාලා බියු­ටි­කාලා රම­ණි­ලා­ගෙන් සමු­ගෙන අප ගියේ අංක 25 අංශ­ය­ටය. එහි මැහුම් වැඩ මෙන්ම වර්ණ ආලේප කිරීම ආදිය ද සිදු කැරේ. ඒ දිවා කෑම පැයයි. බොහෝ අය අප යන විට කෑම ගැනීම සඳහා ගොස්ය. ඇතැම් අය විස්තර කතා කිරී­මට කැමති වුවද පත්ත­රයේ පින්තූර පළ කර­න­වාට විරුද්ධ වූහ.

“මැහුම් අංශයේ කාන්තාවෝ පස් දෙනෙක් හා පිරිමි විසි එක් දෙනෙක් සේවය කර­නවා. සම­හරු මහන්න දැන­ගෙන ආවේ. සම­හරු මෙහෙ ඇවිල්ලා පුරුදු වුණා. මේ අංශ­යෙන් තමයි ආසනවලට කුෂන් කවර මහන්නේ, ඒවා අන්ද­වන්නේ. සීට් වැඩ­ව­ලට අම­තර අමා­ත්‍යාං­ශයේ තිර රෙදි මැසීම, ගිලන් ඇද­න්වල රෙද්ද මැසීම වගේම කොළ හා රතු කොඩි මැසීම කර­න්නෙත් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට අවශ්‍ය රෙදි මහ­න්නෙත් මෙහිදි.”

අධී­ක්ෂණ කළ­ම­නා­කාර විජේ­සේ­කර මහතා පැවැ­සුවේ මැහුම් අංශයේ කාන්තා දාය­ක­ත්වය පිළි­බ­ඳය.

මෙලනි සේවය කරන්නේ මේ අංශ­යේය.

“රස්සා­වට එන­කොට අපිට මොන­වද කරන්න තියෙන්නේ කියලා දැන­ගෙන හිටියේ නැහැ. මෙහෙ ඉන්න අය අපට වැඩ කියා දුන්නා.” යනු­වෙන් මෙලනි පව­සද්දි සුදිපා ද අප හා කතා­වට එක් වූවාය.

“හේමන්ත අයියා තමයි වැඩ කියා දුන්නේ. මුලදී සම­හර වේලා­වට අපට වැර­දුණා. බොහෝම සහ­යෝ­ග­යෙන් අපි හැමෝම වැඩ කරන්නේ.” සුදීපා කියයි.

බදු­ර­ලිය, මතු­ගම, බණ්ඩා­ර­ගම, කළු­තර, අග­ල­වත්ත, මග්ගොන, අලු­ත්ගම, අග­ල­වත්ත ආදි ප්‍රදේ­ශ­වල සිට කාන්තාවෝ සේව­යට පැමි­ණෙති. නි‍ෙව­සේද සියලු වැඩ­ක­ට­යුතු නිම කොට මෙහි සේව­යට පැමි­ණෙන ඇය මහ­ජන සුබ සිද්ධිය වෙනු­වෙන් තම දාය­ක­ත්වය නොපි­රි­හෙළා ලබා දෙයි.

කර්මාන්ත ශාලා අංක 25 එක් පැත්තක ඇත්තේ දුම්රිය පින්තාරු අංශ­යයි. පින්තාරු අංශයේ කාන්තාවෝ ඒ වන විට කෑමට ගොස් සිටි­යහ. එක්තරා අන්ද­ම­කට එය අමු­තුම තැනෙ­කයි සිතේ. එම අංශ­යෙන් කරන සේවාව පිළි­බඳ අපට විස්තර කළේ සොයි­යාය. ඔහු ඒ අංශයේ වැඩ පරීක්ෂ­කය.

“පේන්ටින් අංශයේ කාන්තාවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ තියෙන දුම්රිය මැදි­රි­වල ඇතු­ළත කඩ­තොලු කපලා පොටි ගාලා මැදලා ඉස්ටි­කර් ගල­වලා තීන්ත ගාන්නේ කාන්තාවෝ. මේ අයට කොයිම වේලා­ව­ක­වත් පලංචි උඩ නැඟලා කරන වැඩ බාර දෙන්නේ නැහැ. කෝච්චි­වල තුන්වැනි පළමු පන්ති­ව­ලට වෙන් වූ වර්ණ තියෙ­නවා. දුම්රිය පෙට්ටි ඇතුළේ ඒ වර්ණ ගල්වන්නේ කාන්තාවෝ. අව­දා­නම් වැඩ­කට කියලා මේ අය කරන්නේ මැදිරි යට කළු ගෑම. ඒක නම් යට ඉඳන් ගාන්න ඕන. ඒ කළු ඇස්ව­ලට වැටීමේ අන­තු­රක් තිබෙ­නවා. ඒ කළු ඇදු­ම්වල ගෑවෙ­නවා. සම­හර වේලා­වට හිසට වැටෙ­නවා. කොහොම නමුත් ඒ වැඩ කරන්නේ වරු­වක් විත­රයි. කාන්තාවෝ කියලා වෙන­සක් නෑ මේ අය­ගෙන් අපේ වැඩ­බි­මට ලොකු සහා­යක් ලැබෙ­නවා.” ලලිත් කියයි.

උසස් රැකි­යා­වල නියැ­ළෙන සියු­මැ­ලි­යන් සේම යකඩ එක්ක පොර බදන සියු­මැ­ලි­යෝද අප අතර සිටිති. දුම්රි­යෙන් යන විට දුම්රිය මැදිරි අව­ල­ක්ෂණ කිරී­මට හෝ විකෘති කිරී­මට යෑමේදි ඔබට ඇය සිහි­වනු ඇත. මෙය සියු­මැලි දෑත­කින් දහ­ඩිය මහ­න්සි­යෙන් හැඩ කළ දුම්රිය මැදි­රි­යකි... එහෙ­මත් නැත්නම් දුම්රිය අසු­නකි යන්නය.

අදහස්