සිංහල ඉගෙන ගන්නා රුසි­යා­නුවෝ | සිළුමිණ

සිංහල ඉගෙන ගන්නා රුසි­යා­නුවෝ

රුසි­යාව කියූ සැණින් අපේ මත­ක­යට එන කරුණු කාරණා ගොඩකි. ලෙනින්, ස්ටාලින්, ගෝර්කි, තෝල්ස්තෝයි, පුෂ්කින්, යූරි ගගා­රින්, තෙරෙ­ස්කෝවා මෙන්ම පුටින් ඇතුළු නම් පෙළ ඉතා දිගු ය. එසේ ලොව හෙල්ලූ ලොව ලොකුම රටේ තරුණ තරු­ණියෝ පිරි­සක් පසු­ගි­යදා ලේක්හ­වු­සි­යට ගොඩ­වූහ. ඔවුහු නිකම් ම රුසි­යානු තරුණ කාණ්ඩ­යක් නොව රුසි­යාවේ මොස්කව් නුවර රාජ්‍ය විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල භාෂාව හදා­රන විද්‍යා­ර්ථ­යින් ය. මේ ඔවුන් සමඟ ගෙවුණු සොඳුරු හෝරා­වක් අළලා ලිය­වු­නකි.

රුසි­යාවේ සිංහල ඉගෙන ගන්නා මෙම ශිෂ්‍ය කණ්ඩා­යම හය­දෙ­නෙ­කු­ගෙන් යුක්ත ය. මක්සිම්, වලඩ් හා මුසාන් යන තරු­ණ­යන් සහ බාබරා, වැලේ­රියා සහ දාර්ෂා යන තරු­ණි­යන් පසු­ගි­යදා ලංකා­වට පැමිණ සිටියේ අධ්‍ය­යන චාරි­කා­වක් සඳහා ය. මෙරට රුසි­යානු තානා­පති කාර්යා­ලය හරහා රුසි­යානු සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය එය සම්බ­න්ධී­ක­ර­ණය කර තිබිණි.

“අපි මොස්කව් විශ්ව­වි­ද්‍යාලේ සිංහල ඉගෙන ගන්නවා. දැන් අවු­රුදු දෙකක්. මම සිංහල ඉගෙන ගන්න කැමැ­තියි. කැම්පස් යන්න ඉස්ස­රත් ලංකාව ගැන හුඟක් දන්නවා. නමුත් දැන් අපි ලංකාවේ ඉති­හා­සය, භූගෝලෙ, සංස්කෘ­තිය ඉගෙන ගන්නවා. ඉතින් දැන් ලංකාව ගැන හුඟක් දන්නවා” වලඩ් අප සමඟ කතා­බ­හට මුල­පි­රු­වේය.

දහ­නම හැවි­රිදි වියේ පසු­වන වල­ඩ්ගෙන් සිංහල ඉගෙන ගැනීම අප­හසු නැත්දැයි අපි ඇසීමු.

“ටිකක් අමා­රුයි. ඒත් අපි කොහො­ම­හරි ඉගෙන ගන්නවා”ඔහු පිළි­තුරු බැන්දේ හිනැ­හෙ­මෙනි.

ඔවුන්ගේ සිංහල උච්චා­ර­ණය හරි අපූරු ය. වච­න­යෙන් වච­න­යට මඳ විරා­ම­යක් දෙමින් ඔවුන් සිංහල කතා­ක­ර­න්නට තත­නන හැටි බලා සිටීම පවා සුන්දර ය. එය බැරි බැරි ගාතේ අපි ඉංග්‍රීසි කතා­ක­ර­න්නට හුරු වූ අන්දම සිහි­පත් කර­වයි.

“සිංහල ඉගෙන ගන්න නම් ටිකක් අමා­රුයි. ලංකා­වෙන් රුසි­යා­වට ගිහින් ඉන්න මගේ යාලු­වෙක් ඉන්නවා. මම ගොඩක් වෙලා­වට එයා එක්ක කතා­ක­රන්නෙ සිංහ­ලෙන්. එයා­ගෙන් ලංකාව ගැන ගොඩක් විස්තර දැන­ගන්න ලැබුණා” මුසාන් ද අපේ කතා­බ­හට හවු­ල්වු­ණේය.

ලංකා­වට පැමිණි සති දෙකක කාලය තුළ අනු­රා­ධ­පුර, හබ­රණ, මිරිස්ස, ගාල්ල, නුව­ර­එ­ළිය, නුවර, ඇල්ල ඇතුළු බොහෝ ප්‍රදේ­ශ­වල සංචා­රය කිරී­මට ඔවුන්ට අව­ස්ථාව ලැබී තිබුණි. “අපි අලිත් දැක්කා. අපේ රටේ අලි නෑනෙ” මූසාන් තම සංචා­රයේ සොඳුරු තැන් සිහි­පත් කළේය. එමෙන්ම ඔහුට ලංකාව ගැනත් ලංකාවේ ඔහු ආසා කරන දේ ගැනත් කිය­න්නට බොහෝ දේ තිබුණි.

“ලංකාවේ ගෑනු ළම­යි­නුත් හරි ලස්ස­නයි” එහාට මෙහාට ටිකක් ඇඹ­රුණු ඔහු වචන ගැළ­පු­වේය. “ලංකාව බොහොම ලස්සන රටක්. මම ලබන අවු­රු­ද්දෙත් ලංකා­වට එනවා”

රුසි­යාවේ සිට පැමිණි අනෙක් තරු­ණ­යාගේ නම මක්සිම් ය. නිකම්ම මක්සිම් නොව මක්සිම් ගෝර්කි ය. තම නම කියූ පසු ඔහුට ද මඳ සින­හ­වක් පහළ වුයේ මක්සිම් ගෝර්කි ගැන නොදන්නා කෙනෙක් නැති බව දන්නා නිසා විය යුතු ය. මහා ගත්ක­තු­ව­රයා මෙන්ම මේ ගෝර්කි ද සාහි­ත්‍ය­යට ලැදි­යාව ඇත්තෙකි.

“අපි සිංහල සාහි­ත්‍ය­යත් ඉගෙන ගන්නවා. ඒ වගේම දකුණු ආසි­යාවේ ඉති­හා­සය ගැනත් ඉගෙන ගන්නවා. මම ලංකා­වට බොහොම කැම­තියි. ලංකාවේ ආගම් ගොඩක අය මිශ්‍ර වෙලා ජීව­ත්වෙ­නවා. එයා­ලව එහෙම දකි­න­කොට ගොඩක් ලස්ස­නයි”තව­මත් දහ අට හැවි­රිදි වියේ පසු­වන අඩි හය­ක­ටත් වඩා උස කොල්ලා කීය.

ඔහු සිංහල සහ රුසි­යානු භාෂා සංස­න්ද­න­ය­කට ද ඉදි­රි­පත් වුණේය.

“සිංහ­ලයි රුසි­යානු භාෂා­වෙයි සමා­න­කම් තියෙ­නවා. උදා­හ­ර­ණෙ­කට හතර කියන සිංහල වච­න­යට රුසි­යානු භාෂා­වෙන් කියන්නේ චත­රක් කිය­ලයි”

වැලේ­රියා පැවසූ අන්ද­මට ඈ සිංහල ඉගෙන ගන්නේ අනා­ග­ත­යේදී ලංකාවේ සේවය කිරීමේ අර­මු­ණෙනි. එය බොහෝ දුරට ලංකාවේ රුසි­යානු සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය විය හැකි බව ද ඈ පැව­සු­වාය.

“අපි ලංකා­වට ඇවිත් වැඩ­ක­රන්න කැම­තියි. සම­හ­ර­විට මෙහේ රුසි­යානු සංස්කෘ­තික ආය­ත­නයේ වැඩට එන්න අපිට පුළු­වන් වෙයි. ඒ වගේම සම­හ­ර­විට ගයිඩ් කෙනෙක් විදි­හට ලංකාවේ වැඩ කර­න්නත් මට පුළු­වන් වේවි. විශේ­ෂ­යෙන්ම ලංකාවේ දකුණු පළා­ත්ව­ලට දැන් ගොඩක් රුසි­යාවෙ සංචා­ර­කයෝ එනවා. ගොඩක් අය කසාද බඳින්න, විවේක කරන්න, සර්ෆ් කරන්න ලංකා­වට එනවා. මම රුසි­යානු භාෂා­ව­ටයි සිංහ­ල­ටයි අම­ත­රව ඉංග්‍රීසි සහ ප්‍රංස භාෂාත් කතා­ක­ර­නවා. ළඟ­දීම අපි සංස්කෘත සහ හින්දි භාෂාත් ඉගෙන ගන්න හිතන් ඉන්නවා”.

“රුසි­යාව කිව්ව ගමන් මිනිස්සු හිතන්නේ සමා­ජ­වාදෙ ගැන. තාම රුසි­යාව සමා­ජ­වාදී රටක් ද?” බාබ­රාට එල්ල කෙරුණේ දේශ­පා­ලන ප්‍රශ්න­යකි.

“රුසි­යා­වට සමා­ජ­වාදී කියල කියන්න බැහැ මං හිතන්නෙ. හැබැයි ගොඩක් අය තාමත් අපේ රට දිහා බලන්නේ සෝවි­යට් යූනි­යන් එක විදි­හ­ටයි. ඒක වැර­දියි. අනික ඇත්ත­ටම කිව්වොත් අපේ රටේ ආර්ථිකේ එච්චර හොඳ නැහැ දැන්”

සිංහල භාෂා­ව­ටත් එහි උච්චා­ර­ණ­ය­ටත් බොහෝ ඇල්මක් දක්වන බාබරා ද සිංහල උගෙ­නුම අඛ­ණ්ඩව කර­ගෙන යාමට අදි­ටන් කර­ගෙන සිටි­න්නීය.

“මගේ දැන් උපා­ධිය ඉවර වුණාට පස්සේ ලංකා­වට ඇවිත් වැඩි­පුර ඉගෙන ගන්න කල්පනා කර­නවා. සම­හ­ර­විට කැල­ණිය යුනි­ව­ර්සිටි එකට යන්න පුළු­වන් වේවි. මං සිංහල භාෂා­වට කැමැති ඒක උච්චා­රණ වෙන විදිහ නිසායි. සිංහ­ල­වල හරි ලස්සන ශබ්ද තියෙ­නවා”

දාර්ෂා තර­මක් දාර්ශ­නික ය. ඈ ද සාහි­ත්‍ය­යට ඇල්මක් දක්ව­න්නි­යකි.

“මං සිංහල ඉගෙන ගන්න හිතුවේ ලංකාවේ සංස්කෘ­ති­ය­ටයි බෞද්ධ ආග­ම­ටයි කැමැති නිසායි” කතා­බ­හට ඈ එක්වූයේ එලෙ­සිනි.

“ඒ කියන්නේ ඔයා බෞද්ධ­යෙක් ද?”

“නැහැ මං බෞද්ධ­යෙක් නෙමේ. හැබැයි මං ඒ ආග­මට කැම­තියි”

“සිංහ­ලයෝ හරිම ඉක්ම­ණින් කතා කරන නිසා තේරුම් ගන්න අමා­රුයි. ලිය­න්නයි කිය­ව­න්නයි ටිකක් ලේසියි. අපිට සිංහල පොත් කිහි­ප­යක් තියෙ­නවා. ලංකාවේ ගුරු­ව­ර­යෙක් මොස්ක­ව්වල ජීවත් වෙනවා. එයත් එක්ක අපි සිංහල පුරුදු වෙනවා.අපි ලබන මාසෙ සංස්කෘ­තයි දෙම­ළයි ඉගෙන ගන්න පටන් ගන්නවා” ඈ පැව­සු­වාය.

සිංහල සාහිත්‍ය ගැනත් මාර්ටින් වික්‍ර­ම­සිංහ ගැනත් දාර්ෂා තර­මක් දැන උන්නා ය. “සිංහල සාහිත්‍ය නම් අමා­රුයි කිය­වන්න. අපි මාර්ටින් වික්‍ර­ම­සිං­හගේ පොත් ටිකක් ගත්තා. තාම කිය­වූවේ නැහැ. මාර්ටින් වික්‍ර­ම­සිං­හගේ මඩොල් දූව රුසි­යාවේ භාෂා­වෙන් තියෙ­නවා. ඒක කිය­වලා තියෙ­නවා. රුසි­යාවේ ගොඩක් දෙනා වික්‍ර­ම­සිං­හව දන්නවා”

“දාර්ෂා ලංකාවේ ආසම දේ මොකක්ද?”

“මම සිංහ­ල­යොන්ට ගොඩක් කැම­තියි. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. තව,කට දන කෑම­ව­ල­ටත් ආසයි. රොටි, කොත්තු, ෆ්‍රයිඩ් රයි­ස්ව­ලට කැම­තියි” විසි හැවි­රිදි යුව­තිය කීවේ සොඳුරු සින­හ­ව­කින් ද මුව සර­සා­ගෙන ය.

සමු­ගන්නා මොහො­තේදී වැලේ­රියා තම අතේ තිබූ ජංගම දුර­ක­ථ­නය මා අතට දුන්නා ය. “ඔයා වට්ස්ඇප් ඉන්න­වද? මේ අංකෙට ඔයා ලිපිය ලිව්වම මට එවන්න. මං අනිත් අය­ටත් පෙන්න­න්නම්” ඇගේ සුහද ඉල්ලීම ද ඉටු­කළ යුතුව ඇත.

ඡායා­රූප - රංජිත් අසංක
රජිත ජාගොඩ ආරච්චි

අදහස්