අද්මිරාල් කරන්නාගොඩ අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට | Page 2 | සිළුමිණ

අද්මිරාල් කරන්නාගොඩ අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට

අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ පරික්ෂ කටයුතු පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරණු ලබයි.

මේ සම්බන්දයෙන් පසු ගිය 07වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රහස් පොලිසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කරමින් පැවසුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙසයි.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ  ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් මෙම නියෝග නිකුත්කරනු ලැබුවේය.

මෙහිදී විනිසුරු මඩුල්ල  කරන්නාගොඩ මහතාට නියෝග කර සිටියේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම එහිද විනිසුරු මඩුල්ල  කරන්නාගොඩ මහතාට නියෝග කර සිටියේ අද දිනයේ පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවයි.

මෙම නඩුවට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කරන්නාගොඩ මහතා අධිකරණය හමුවේ පොරොන්දු වී තිබුණේ තමන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවටත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමක් සිදු නොකරන බවටත්ය.

පෙත්සමට අදාළ කරුණු සහ කරන්නාගොඩ මහතා විසින් අධිකරණයට ලබාදී ඇති එම ප්‍රතිඥාව සැලකිල්ලට ගෙන මෙම තහනම් නියෝගය නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහන් කළේය.

 

Comments