දකුණ හොල්ලන ආදරවන්තයින්ගේ සටන | සිළුමිණ

දකුණ හොල්ලන ආදරවන්තයින්ගේ සටන

බිග් මැච් කියන්නේ පිරිමි පාසල්වල සැනෙකෙළි සමයකට. වාර්ෂිකව පවත්නා මේ අපූරු තරගාවලිය සහෝදර පාසල් අතර සහයෝගය වෙනුවෙන් පැවැත්වෙන බවයි කියැවෙන්නේ. මාර්තු මාසය ආරම්භවත්ම බිග් මැච් උණුසුම ඇතිවෙන්නේ කාටත් නොදැනීමයි. අගනුවර වගේම අද වන විට මෙම සංකල්පය ගම් දනව් සිසාරා පැතිරී ගොස් හමාරයි.බිග් මැච් උණුසුම එක්කම ගාල්ල පුරවරයේ ළඟ ළඟම එන “ආදරවන්තයින්ගේ සටන” පිළිබඳවත් ඇත්තේ ආදරණීය ඉතිහාසයක්. ගාල්ල මහින්ද විද්‍යාලය සහ රිච්මන්ඞ් විද්‍යාලය අතර මාර්තු 15 දින පැවැත්වෙන මේ සටන ගැන සහ ඒ සටනේ සොඳුරු මතකයන් ගැන විද්‍යාල දෙකෙහි ප්‍රධාන ශිෂ්‍ය නායකයන් සමඟ යෙදුන පිළිසඳරකි මේ.

ඔබ කව්ද


මහින්ද විද්‍යාලය : මම කුෂාන් ලක්ශිත. එක වසරේ ඉඳලම මම මහින්ද විද්‍යාලයේ අධ්‍යාපන කටයිතු හැදැරීම සිදු කළේ.පොඩි කාලෙ ඉඳලම මම කවුද කියලා හොයන කෙනෙක් මම.

රිච්මන්ඩ් විද්‍යාලය : මම තිළිණ මෙන්ඩිස්. රිච්මන්ඞ් විද්‍යාලයට ඇතුළත් වන්නේ 2005 වසරේ පළමු ශේණියට. 2018 වසරේ මම උසස් පෙළ විභාගයට පෙනී සිටියා.2019 වසරේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනවා.

ආදරවන්තයින්ගේ සටනේ ඉතිහාසය මොනවගේද?

මහින්ද විද්‍යාලය : බිග් මැච් කියන්නේ වාර්ෂිකව පැවැත්වෙන සුහද තරගයකට. රිච්මන්ඞ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර සුහදත්වය වර්ධනය කරන්නට තමයි මේ තරගාවලිය මීට වසර 114කට පෙර ආරම්භ කරලා තියෙන්නේ. මේ සඳහා මුල් වුණේ අප විද්‍යාලයේ වුඩ්වර්ඩ් තුමා සහ රිච්මන්ඩ් විද්‍යාලයේ ඩැරල් පියතුමා. වර්ෂ 1905 දී තමයි මුල් වරට මෙම ආදරවන්තයින්ගේ සටන විද්‍යාල දෙක අතර පවත්වන්නේ.මෙහි විශේෂත්වය වන්නේ ඉහත කී කතෘවරු දෙපළ තමයි මුල්ම තරගයේ තීරකවරුන් ලෙස කටයුතු කරන්නේත්.

රිච්මන්ඞ් විද්‍යාලය : බිග් මැච් කියන්නේ පිරිමි පාසල්වල ළමුන්ගේ ජවය ශක්තිය එළියට එන කාලයක්.මාර්තු මාසය තමයි සාමාන්‍යයෙන් බිග් මැච් සීසන් එක විදියට දක්වන්නේ.මේ කාලයට ඒ ඒ තරගවලට ආවේණික සම්ප්‍රදායන් දකින්නට පුලුවන්. ගාල කිව්වම මතක් වෙන්නේ රිච්මන්ඞ් - මහින්ද ආදරවන්තයින්ගේ සටන.මෙවර එය 114 වන වරට පැවැත්වෙන්නේ.එතරම් කාලයක් අඛණ්ඩව මෙවැනි තරගයක් පවතින්නේ එයටම ආවේණික වූ සම්ප්‍රදාය සංස්කෘතියත් එක්ක.මුල් කාලයේ නම් මෙහි ජය පරාජය තීරණය කෙරුණා. නමුත් දින දෙකකට තරගය සීමා කිරීමත් එක්ක බොහෝ විට ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට සිදු වුණා. රිච්මන්ඞ් විද්‍යාලය අතීතයේ පවත්වාගෙන යනුන් ලැබුවේ මිෂනාරී පූජකවරුන් විසින්.ඉතින් ඔවුන්ට ක්‍රිකට් කියන්නේ සමීප දෙයක්. ඒ නිසා තමන්ට අසල්වැසි මහින්දයත් සමග මෙම ආදරවන්තයින්ගේ සටන ආරම්භකරන්නට ඇති කියලා විශ්වාස කරනවා.

බිග් මැච් ගැන ඔබේ මතකය අවධි  කළොත්?

මහින්ද විද්‍යාලය : පොඩි කාලේ නම් ලොකු අවබෝධයක් තිබුනේ නැහැ මේ සිදුවන දේවල් පිළිබඳව.පෙරඞ් යනවා, ෆස්ට් ෆ්ලෑග් කියනවා නමුත් දැනුම් තේරුම් අඩුයි. මට මතකයි 2008 වසරේ මම 3 වසරේ ඉන්න කාලයේ තමයි මහින්ද විද්‍යාලය මෑත කාලීන තරග ජයග්‍රහණයක් ලැබුවේ. එදා බාස්කට් බෝල් ග්‍රවුන්ඞ් එකේ ඔවුන්ගේ සමූහ ඡායාරූපය ගන්න අවස්ථාවේ කණ්ඩායම් නායකයාගේ ගෙලට දැනූ මල් මාලය අදටත් මං ගාව තියනවා. පුදුමාකාර හැඟීමක් බිග් මැච් එකත් එක්ක බද්ධ වෙලා තිබුණා.ඒ ගැම්ම නිසාම මමත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා 17න් පහළ ක්‍රීඩා කරන කාලෙ මගේ කකුලේ ඇඟිල්ලකට හානි සිද්ධ වෙනවා. එයින් පසුව මට ක්‍රීඩා කිරීම නවත්වන්නට සිද්ධ වුණා. නමුත් බිග් මැච් උණුසුම අදටත් මම සමීපව විඳිනවා.

රිච්මන්ඞ් විද්‍යාලය : පොඩි කාලේ කොඩි අරගෙන ග්‍රවුන්ඞ් එකට ගිහිල්ලා අයියලා වගේ තරගෙට කැගැහුවට මේ මොකක්ද කියන හරිම අදහස දැනෙන්නේ ඌලෙවල් වලින් පස්සේ ශිෂ්‍ය නායක මණ්ඩලයට සම්බන්ධ වීමත් සමගයි. මොකද මැච් එකට සමගාමීව වෙන බොහොමයක් වැඩකටයුතු කරන්නේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින්. චියර් කරනවාට පෙරඞ් යනවාට වඩා ලොකු දෙයක් බිග් මැච් එක ඇතුළේ තියනවා.

බිග් මැච් එක දකින්නේ කොහොමද

මහින්ද විද්‍යාලය : බිග් මැච් එකක තරග කරන කණ්ඩායම වගේම ඊට අදාළ පසුබිම සැකසීමේ ලොකුම කාර්ය පැවරෙන්නේ ශිෂ්‍ය නායක මණ්ඩලයට. ඉතිං පොඩි කාලේ දැකපු ගොඩක් දේවල් වල පසුපෙළ කවුද කියන කාරණාව හොඳින්ම පැහැදිලි වන්නේ මෙතනට ආවට පස්සේ. ප්‍රධාන වශයෙන් මෙම සංග්‍රාමය තුළින් නායකත්ව ගුණාංග වර්ධනය , නොපසුබට උත්සහය ආදී ගුණාංග වර්ධනය කරගන්නට නවක ශිෂ්‍ය නායකයින්ට අවස්ථාව උදාවෙනවා. සරල කාරණාවක් කිව්වොත් පළමු ධජය සඳහා අවශ්‍ය බට කපාගෙන එන්නේ විද්‍යාලයේ ඉදලා ගත්තොත් කිලෝමීටර 40ක් පමණ ඈත පිහිටි යක්කලමුල්ල, කැටන්දොල වැනි ප්‍රදේශවලින්. මහින්දයේ සම්ප්‍රදාය තමයි මේ ප්‍රථම ධජය වෙනුවෙන් රැගෙන එන බටය පාසලට පාගමනින් ගෙන ඒම. දහවල් පාසලේ රාජකාරී අවසන් වී 2න් පසුවයි මේ සඳහා පිටත් වන්නේ, මාර්ග තදබදය සහ අනෙකුත් කාරණා සලකලා අපි රාත්‍රියේ තමයි පාගමනින් එන්නේ. ඒ එන අතරමග කිසිදු අවස්ථාවක බටය බිමින් තබන්නට අවසර නැහැ. ඉතින් එය අතිශය දුෂ්කර කාරණයක් වුවත් එයට මුහුණ දෙනවා. මේ වගේ තවත් අවස්ථා ගණනාවක් තිබෙනවා නායකයෙක් වශයෙන් දියුණු වීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගන්නට අවස්ථාව සැලසෙන.

රිච්මන්ඞ් විද්‍යාලය : කොළඹ බිග් මැච්වලට වඩා වෙනසක් ආදරවන්තයින්ගේ සටනේ පවතිනවා. ප්‍රධාන වශයෙන් විද්‍යාලයන් දෙකෙහිම විනය පවත්වාගෙන යාම සඳහා මුල් වෙන්නේ ශිෂ්‍ය නායක මණ්ඩලය. ෆස්ට් ෆ්ලැග් එක අපි මාර්තු 1 වෙනිදා, මහින්දියන් 3 වෙනිදා.නායකයින් වශයෙන් අපිට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. තරුණ ජවයත් එක්ක පවතින කාලයක් නිසා අපි මේ සියල්ල අතරෙම විද්‍යාලයීය කීර්ති නාමය වෙනුවෙන් ඇප කැප වී සිටිනවා.

මෙවර සූදානම කොහොමද?

මහින්ද විද්‍යාලය : සාමාන්‍යයෙන් බිග් මැච් එකක් දිනන්න තියන ඉඩකඩ අඩුයි දැන්. කොහොම උනත් අප විද්‍යාලය 2008 වසරේ දී ජයග්‍රහනය කරනවා. වෙනදාවගේම මෙවරත් සූදානම් වෙනවා.මාස දෙකකට පෙර ඉඳලා අපි මේ සඳහා සූදානම් වෙනවා. මාර්තු මාසයේ මුල් සතියේ ෆස්ට් ෆ්ලෑග් එක ඒ සඳහා මුල් වන්නේ ශිෂ්‍ය නායක මණ්ඩලය.මෙවර ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ශිෂ්‍ය නායකයින් සිව් දෙනෙක් පිටියට පිවිසෙනවා.ගාල නගරය පුරා ධජ ඔසවන්නත් මෙවර ටෙන්ට් කමිටි එක භාරවත් සිටින්නේ අපි.

රිච්මන්ඞ් විද්‍යාලය : කණ්ඩායම් දෙකම හොඳයි. හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම් 8 අතරට විද්‍යාලයන් 2ම තේරී පත් වී තිබෙනවා. ඉතින් හොඳ තරගයක් දැකබලාගන්න ලැබේවි කියලා විශ්වාස කරනවා.මාර්තු පළමුවෙනිදා අපේ ෆස්ට් ෆ්ලෑග්, මහින්දීයන්ට මාර්තු 3 වෙනිදා.ගාල්ලේ ආදරවන්තයන්ටම විශේෂිත වූ අලංකාර තොරණ නිර්මාණය කරන්නටත් මෙවර කටයුතු සූදානම් කරමින් පවතිනවා.ඒ වගේම පාසලේ අනෙකුත් රාජකාරිත් මෙයට සමගාමීවම සිදු වනවා.

බිග් මැච් එකට සමගාමීව මොනවද සිදු වන්නේ?

මහින්ද විද්‍යාලය : ෆස්ට් ෆ්ලෑග් එකත් එක්ක මුළු ගාල්ලම දැනගන්නවා ගාලු ආදරවන්තයින්ගේ සටන ළඟ එන බව.පෙරඞ් එක වගේම විශේෂයෙන්ම බිග් ඩිබෙට් එක පැවැත්වෙනවා. දැනට ලංකාවේ අඛංඩව පැවති බිග් ඩිබෙට් අතුරින් 100 සීමාව ඉක්මවූ බිග් ඩිබෙට් එක තමයි ආදරවන්තයින්ගේ සටනට සමගාමීව පැවැත්වෙන්නේ.පාසල වෙනුවෙන් හඬ අවදිකරන සහෝදරයන්ට බිග් ඩිබෙට් එක තමයි පාසල් ඩිබෙට් ඉතිහාසයේ ලැබිය හැකි ස්වර්ණමය අවස්ථාව ලෙසට සලකන්නේ.පාසලේ කීර්තිය ආරක්ෂා වන අන්දමින් පාසල් දෙකම මෙම වැඩකටයුතු සිදු කරනවා. ඒ වගේමයි ධර්මපාල උද්‍යානයේ තල් ගසේ ධජය එසවීමත් මහින්දයට ආවේණික වූවක්.

රිච්මන්ඞ් විද්‍යාලය : මාර්තු පළ්මුදා රිච්මන්ඞ් විද්‍යාලයේ ෆස්ට් ෆ්ලෑග් එක.සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින මැච් එක පැවැත්වෙන්නේ.අඟහරුවාදා බිග් ඩිබෙට් එක පැවැත්වෙනවා.මෙවර සත්කාරක පාසල වන්නේ මහින්දය. ඒ නිසා මහින්දීය ඕල්කට් ශාලාවේදී එය පැවැත්වෙනවා. අඟහරුවාදා උදෑසන බෞද්ධ, හින්දු සහ කතෝලික යන ආගමික වතාවත් වලින් සෙත් ප්‍රාර්ථනා කරන අතර බදාදා තමයි පෙරඞ් එක. බ්‍රහස්පතින්දා ආදි ශිෂ්‍යයින්ගේ ක්‍රිකට් තරගය පවත්වනවා. සෙනසුරාදා රාත්‍රියේ ක්‍රිකට් රාත්‍රියත් සෙනසුරාදා උදෑසන රිච්මන්ඞ් කන්ද මෙතෝදිස්ත දෙවස්ථානයේදී ස්තුති දේව මෙහෙයෙන් අනතුරුව සමාප්තිය සටහන් කරනවා.

සමහරු මේ උප සංස්කෘතිය විවේචනය කරනවා ඒ ගැන මොකද කියන්නේ?

මහින්ද විද්‍යාලය : බිග්මැච් කියද්දිම සමහරු අනේ අපොයි කියනවා. ඒකට හේතුව ඒ සංස්කෘතිය තුළ නිර්මාණය වෙලා තියන කලබලකාරී බව.පෙරඞ් යද්දි ට්‍රැෆික් ඇති වෙනවා, කොඩි දාන වෙලාවට අනතුරු වේවි කියලා බය වෙනවා. නමුත් අපි දන්නා අතීතය තුළ එහෙම කිසිම අනතුරක් නම් වෙලා නෑ. සමහර සම්ප්‍රදායන් නිර්මාණය කරන්න අවධානමක් ගන්නම වෙනවා. ඒත් ඒකෙන් නරකක් වෙලා නෑ. මොකද ආදරවන්තයින්ගේ සටන දිහා මුලු ගාල්ලක් බලාගෙන ඉන්නේ ඒ නිසයි. විද්‍යාලයන් දෙකේ සුහදත්වය තවත් වර්ධනය කරගන්නට ලොකු අවස්ථාවක් විදිහටයි මම බිග් මැච් එක දකින්නේ.

රිච්මන්ඞ් විද්‍යාලය :  විවේචනය කිරීමේ අයිතිය ඕනෑම කෙනෙක්ට තියනවා. නමුත් ගාල්ලේ දෙමව්පියන් තම පිරිමි දරුවා රිච්මන්ඞ් විද්‍යාලයට හෝ මහින්ද විද්‍යාලයට ඇතුලත් කරවා ගැනීමටයි ප්‍රමුඛතවම වෙහෙසෙන්නේ. ඊට පාසල් දෙකේ අධ්‍යාපනය මෙන්ම ජනප්‍රියතාවයද බලපානවා. ඒ ජනප්‍රිය බව නැත්නම් ඒ නම නිර්මාණය කරන්නට ගාල්ල ආදරවන්තයින්ගේ සටන ඉවහල් වෙනවා. කට්ට කියන දේ ට හුරු වෙන්න අවශ්‍ය පන්නරය ලබන්න ලැබෙන හොඳ අවස්ථාවක් ලෙසින් මෙය දක්වන්නට පුලුවන්.

මහින්ද පුත්‍රයෙක්/ රිච්මන්ඞ් පුත්‍රයෙක් යනු කවුද?

මහින්ද විද්‍යාලය : කලු රන්වන් වර්ණයෙන් කියාපාන ආධ්‍යාත්මිකත්වය ජීවිතයට උරුමකරගත් කෙනෙක්

රිච්මන්ඞ් විද්‍යාලය : හොර බොරු නැති ඇදකුද නැති ඇත්තේ යුත්තේ රිච්මන්ඞ් පොඞ්ඩෝ

ලොකු අයියා විදියට පොඩි මල්ලිලාට මොකද්ද කියන්න තියෙන්නේ?

මහින්ද විද්‍යාලය : තමන් තමන්ට නායකයෙක් නොවනතා කල් තව කෙනෙක්ට නායකයෙක් වෙන්න තමන්ට බැහැ. මම සාමාන්‍යයෙන් දිගු දුර හීන දකින කෙනෙක් නොවෙයි.කෙටි කාලීන සිහින සැබෑ කරගැනීම මගේ ක්‍රමය.ඉතින් මං කියන්නේ තමාගේ සාර්ථකත්වය නිර්මාණය කරගන්නා අතරෙම තමන් වටා ඉන්න ප්‍රජාවට සේවය කරන්න.

රිච්මන්ඞ් විද්‍යාලය : මම මුලින්ම පාසලට එද්දි මගේ නම යටින් ලියන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. නමුත් මේ වසර 13 අවසානයේදී මම කවුද කියලා කියන්න දෙයක් ලැබුණා නම් ඒ මගේ විද්‍යාලයෙන්. අද වන විට මුල අමතක වූ ආත්මාර්ථය මුල් කරගන්නා සමාජයක් නිර්මාණය වෙන්නේ, ඉතින් මුල අමතක කරන අයට පැවැත්මක් නෑ.ඒ නිසා පරාර්ථය මුල් කරගන්න ස්වාර්ථය තමන් අභිමුවට පැමිණේවි.







 

අදහස්