මන්නාරමේ සිට ජිනීවා දෙස බැලීම | සිළුමිණ

මන්නාරමේ සිට ජිනීවා දෙස බැලීම

අය–වැය පිළිබඳ කතා–බහ එක් පසෙකින් රටේ විවිධ පැති ඔස්සේ සිදු වෙද්දී, රජයේ සංවර්ධන පියවර පිළිබඳ කතා–බහ අතරතුර රාජ්‍යතාන්ත්‍රික තලයේ අවධානය යොමුව ඇති ප්‍රධාන මාතෘකාවක් වේ නම්, ඒ ජිනීවා මානව හිමිකම් යෝජනාවලියයි. මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවලියත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු ආකාරයත් පිළිබඳ පුළුල් කතා–බහක් මේ දිනවල නිර්මාණය වී තිබේ. විශේෂයෙන් පසුගියදා පාර්ලි‍මේන්තුවේදීද මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වන කරුණු කිහිපයක් සාකච්ඡා විය.

2009 වසරේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කොටි ත්‍රස්තවාදි සංවිධානය පරාජය කිරීමෙන් පසු දින කීපයක් ගත වන්නට මත්තෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවේ සිදු වූයේ කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් දැඩි චෝදනාවක් එල්ල විය. එයින් පසු වසර ගණනාවක්ම වාර්ෂිකව අපට එරෙහිව විවිධ යෝජනාවලී ඉදිරිපත් වූ අතර, 2015දී නව රජය බලයට පත් වීමෙන් පසු සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාවට මේ චෝදනා එල්ල වන ශ්‍රී ලංකාවේ රජයද සම–අනුග්‍රාහකයකු ලෙස ඉදිරිපත් වීමයි. මේ සම්බන්ධයෙන් දේශපාලන තලයේ බොහෝ විවේචන ඉදිරිපත් විය. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ අහිතකර යෝජනාද බටහිර රටවල සහ ඒ රටවල දේශපාලනයට බලපෑම් කළ හැකි දෙමළ ඩයස්පෝරාව විසින් ඉදිරිපත් කරන ලදි. විශේෂයෙන් යුද අපරාධ විසඳීම සඳහා විදේශ විනිසුරන්ගෙන්ද සැදුම්–ලත් දෙමුහුන් (හයිබ්‍රඩ්) අධිකරණයක් පිහිටුවීමද එවැනි යෝජනාවකි. එහෙත් රජය ක්‍රමෝපායිකව මේ යෝජනා අත්හැර, අපට කළ හැකි, ලෝකයට වගවිය හැකි මානව හිමිකම් යන්ත්‍රණයක් ගොඩනැඟීමට මේ යෝජනාවලිය හරහා ලෝකයම එකඟ කරවාගත්තේය. විශේෂයෙන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, සත්‍ය සහ සංහිඳියා කොමිසම ඇතුළු විවිධ ආයතනික සහ නෛතික රාමු සහිත වගවීම් ක්‍රියාවලියක් මේ තුළ නිර්මාණය කිරීමට කටයුතු සම්පාදනය විය. එලෙසින්ම මෙරට රණවිරුවන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ඔවුන්ගේ අභිමානය ලෝකය හමුවේ විනාශ නොවන පසුබිමක්ද මේ තුළ නිතැතින්ම නිර්මාණය විය. මේ වන විට මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව තුළද පැහැදීමක් ඇති බව පෙනෙන්නේ මෙවර මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලිය තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ එහි යම් ප්‍රශංසනීය බවක්ද සඳහන් කර තිබීමය. එමෙන්ම අප විසින් අනුගමනය කරන පිළිවෙත ඔවුන් විසින් අගය කරනු ලැබීමය.

රජයට විරුද්ධ බලවේග විසින් මවා ඇති බොරු බිල්ලන් සේම කොටි ත්‍රස්තවාදයට සහ ඊළාම්වාදි නපුරු සිහිනය සැබෑ කරගන්නට ඩොලර් වපුරුවන දෙමළ ඩයස්පෝරාව සහ ඔවුන්ගේ මඟපෙන්වීමන් ශ්‍රී ලංකාව දෙස වපරැසින් බලන ඇතැම් රටවලටද ශ්‍රී ලංකාවේ යථාර්ථය පෙන්වීමට අද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මේ මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාවලිය තුළ ඉඩක් නිර්මාණය වී ඇත. මේ සඳහා දැක්විය හැකි ආසන්නතම නිදසුන වන්නේ මන්නාරමේ සමූහ මිනීවළයි. මන්නාරමේ එක් බිම්කඩක හමු වූ මිනිස් අස්ථි කොටස් හේතුවෙන් මෙය යුද සමයේ සිදු කරන ලද දැවැන්ත මිනිස් සංහාරයක් බවට ලෝකයම දැඩි අවධානයක පසු විය. මෙරට හමුදා යුද අපරාධ දංගෙඩියට නංවන්නට බලා සිටි මේ පිරිස අන්දුන්–කුන්දුන් වන විසඳුමද ආවේ ඇමෙරිකාවේ විද්‍යායතනයක සිදු කෙරුණු කාබන්–14 පරීක්ෂණයකිනි.

ලෝකයම පිළිගත් මේ විද්‍යාත්මක ක්‍රමවේදය හෙළි කරන සත්‍යය පවා ඉවසාගත නොහැකි පාර්ශ්ව තුනක් ඇත. එකක්: ද්‍රවිඩ දේශපාලන පක්ෂයි. ඔවුන්ට දකුණේ හමුදාව සහ දකුණේ පාලනය ඉත්තා කරගෙන දෙමළ ජනතාව රවටා ඡන්ද දිනීමේ දේශපාලනයේ තරු ලකුණක් අහිමි වීමේ වේදනාවක් ඇත. අතිශය විද්‍යානුකූල පදනමකින් සිදු කෙරුණු මේ මන්නාරම් සමූහ මිනීවළ පිළිබඳ වාර්තාව බොරුවක් යැයි කියන්නේ මේ නිසාය. දෙවන පාර්ශ්වය: මෙරට විපක්ෂයයි. ඔවුන්ට අවශ්‍ය වූයේ ලංකාවේ රජය රට බෙදීමට උත්සාහ කරන බලවේගවලට හිණිමං බඳින, දීන එකක් බවට ප්‍රචාරය කරවීමය. ඒ අනුව ඔවුන්ට මේ මන්නාරම් මිනීවළද වෙස්වළාගත් ආශීර්වාදයක් වන්නේ ඔවුන්ට යළි බලයට පත් වීමට මේ සම්බන්ධයෙන් රජය අනුගමනය කරන පිළිවෙත අවභාවිත කළ හැකි වීම නිසාය. එයින් හෙළි වු සත්‍යය මේ ඊනියා ජාත්‍යාලයේ බැටළු හම් පෙරවාගත් වෘකයන්ටද බාධාවකි. තෙවැනි පාර්ශ්වය වන්නේ: රටක් ලෙස අප විසින් සිදු කරන සෑම දෙයකම විවේචන දකින, ඊළාම් සිහිනය ජීවිකාව කරගත්, රටින් පිට ජීවත් වන ජාතීවාදි ජනකොටස්ය. මේ පාර්ශ්ව තුනටම ඇත්ත හෙළිදරවු වීම ප්‍රශ්නයකි. එය ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රවල පවතින ඊළඟ පියවර අවුල් කරවීමට නිසැකවම හේතු වෙයි.

මේ අතර මෙවර රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑමේ පවතින සූදානම වෙනදාට වඩා විශේෂිතය. මේ වන විටත් රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සියල්ලට එකඟ නොවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. යුද අපරාධ සම්බන්ධයෙන් විදේශ විනිසුරන් සහිත දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම මෙන්ම ඇය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අදහස්වලට එකඟ නොවන බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.

අනෙක් විශේෂ කරුණ වන්නේ මෙවර ලෝකයේම අවධානය හිමිව තිබූ ශ්‍රී ලංකා නියෝජනයයි. රජය එක් කණ්ඩායමක් මේ සමුළුව සඳහා සහභාගි කරවන අතරේ ජනාධිපතිවරයාට ඔහුගේ විශේෂ නියෝජිතයන් තිදෙනකු යැවීමේ අදහසක් වෙනම පැවතිණි. එහෙත් අවසානයේ මේ දෙපාර්ශ්වයම එක් අරමුණකට මේ වන විට ගොනු වී එක් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ලෝක දේශපාලනයට දුන් සහතිකයක් වැනිය. එසේ නම් දැන් අපට ඇත්තේ ජිනීවා දෙස හෝ මන්නාරම දෙස හෝ දත නියවීම නොව, රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ගෙන ඇති පියවර තවදුරටත් තහවුරු කරගැනීමය.

Comments