ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ සොඳුරු මතක | සිළුමිණ

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ සොඳුරු මතක

විලියම් ජේ. මෝර්ගන් 1895 දී ඇමෙරිකාවේ දී හඳුන්වා දුන් වොලිබෝලය 1916 දී ලංකාවට ආගමනය විය. ඒ එවකට කොළඹ තරුණ ක්‍රිස්තියාණි සංගමයේ ශාරිරීක අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි වෝල්ටර් ජේ. කැමැක් මග පෙන්වීම යටතේ 1951 සැප්තැම්බර් මස 04 වන දින ලංකා වොලිබෝල් සම්මේලනය පිහිටුවීමත් සමඟ ක්‍රිඩාවක් වශයෙන් නිල පිළිගැනිම වොලිබෝලයට හිමි විය. එදා සිට ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ සොඳුරු මතක සටහන් ගැන ලියවෙන ලිපියේ පස්වන කොටසයි මේ.

එදා වෝකර්ස් කණ්ඩායම මෙහෙයවූ ඩබ්.එල්. සිරිවර්ධන 1966 දීත් මීගමු නවක තරු කණ්ඩායම මෙහෙයවූ ජෝර්ජ් ප්‍රනාන්දුත් 1970 දීත් ලංකා ජාතික කණ්ඩායම් වලට නායකත්වය ලබාදුන් අතර අදටත් ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ රැඳෙන ලාංකේය වොලිබෝල් ක්‍රීඩා පිටියෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෝ වෙති

1964 ජනවාරි මස 24 සිට 30 දක්වා ඉන්දීය ජාතික දිනය නිමිත්තෙන් බැංගලෝරයේ පැවති ජෝන් එෆ් කෙනඩි අනුස්මරණ කුසලානය සඳහා වූ ආරාධිත තරගමාලාවට එවකට ලංකා ජාතික ශූරතා දිනා සිටි ගම්පහ සෙන්ට්‍රල් කණ්ඩායම සහභාගී වූයේ ඩබ්.එල්. සිරිවර්ධනගේ නායකත්වයෙනි. 1966 දී එවකට අන්තර් විශ්වවිද්‍යාලීය වොලිබෝල් ශූරතාවො දිනා සිටි විද්‍යෝදය කණ්ඩායම එල්.එච්. ජයසේකරගේ නායකත්වයෙන් ඉන්දීය අන්තර් විශ්වවිද්‍යාලීය තරගමාලාව සහ 1967 වර්ෂයේදී සුනිල් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ලංකා ඒකාබද්ධ විශ්වවිද්‍යාල කණ්ඩායම ඉන්දියාවේ පැවති ආසියානු විශ්වවිද්‍යාල තරගමාලාව සඳහාත් සහභාගී විය.

1960 දශකයේ සිදුවූ විශේෂතම සිද්ධිය වන්නේ 1966 වර්ෂයේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 4 වන ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ප්‍රථම වරට ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම සහභාගී වීමයි. ඩබ්.එල්. සිරිවර්ධන (ගම්පහ) නායකයා වශයෙන් ද කැමිලස් ඇන්තනී (තුඩැල්ල) උපනායකයා වූ මෙම ඓතිහාසික ජාතික කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන් වූයේ ජෝර්ජ් ප්‍රනාන්දු (මීගමුව), ඩබ්.එල්. පියරත්න (ගම්පහ), කේ. බාලයියා (නුවරඑළිය), ජේ.ඒ.ඩබ්. ජයසූරිය (පොලිසිය), එල්.පී. පෙරේරා (යුද හමුදාව) සහ ඒ.එම්. ගාවින් (යුද හමුදාව) යන ක්‍රීඩකයින්ය. ආර්.ඩී. ප්‍රේමදාස මයා (පොලිසිය) ලංකා කණ්ඩායමේ කළමණාකරු/පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලදී.

රටවල් 12 ක් සහභාගී වු බැංකොක් ආසියානු ක්‍රීඩා උ‍ෙලළේ වොලිබෝල් තරගමාලාවේ 10 වන ස්ථානය හිමි කර ගැනීමට ලංකා කණ්ඩායම සමත් විය. නැවත වරක් ලංකා වොලිබෝල් කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උලෙළක් සඳහා සහභාගි වනුයේ අවුරුදු 52 කට පසුවය. එනම් 2018 ජකර්තා ආසියානු ක්‍රීඩා උලෙළටය.

මෙම 1960-1970 දශකයේ වොලිබෝල් ඉතිහාසය තුළ දක්නට ලැබෙන අවාසනාවන්තම සිද්ධිය වන්නේ මෙම දශකයේ ලාංකීය වොලිබෝල් ක්‍රීඩිකාවන්ට කිසිදු අන්තර්ජාතික අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව නොලැබී යෑමයි. 1963 දෙසැම්බර් මස ඉන්දියාවේ පැවති පූර්ව ඔලිම්පික් තරගමාලාව සහ 1965 ඉන්දු ලංකා ද්විත්ව තරගමාලාවන් සඳහා ලංකා ජාතික පිරිමි හා කාන්තා සංචිත දෙකක් ආරම්භ කළද හදිසියේ මෙම සංචාර අවලංගු වීමෙන් ප්‍රථම වරට ලංකා කාන්තා වොලිබෝල් ඉතිහාසයේ විදේශ සංචාරයක යෙදීමට තිබූ අවස්ථාව ලාංකීය ක්‍රීඩිකාවන්ට අහිමි වීමෙන් බලාපොරොත්තු සුන් කර ගැනීමට සිදු විය.

ලබන සතියට...

Comments