හැංගිලා ඇවිත් කප්එක ගහපු බුද්ධික | සිළුමිණ

හැංගිලා ඇවිත් කප්එක ගහපු බුද්ධික

සමස්ත තරගයේ ශූරයා

බුද්ධික කොහොමද? 20 වැනි ගුවන් පාපැදි සවාරිය.

හොඳයි, වරදක් නෑ. සැලැසුම් කළ විදිහට තරගය අවසන් කිරිමට හැකි වුණා කීවොත් නිවැරදියි. නමුත් පළමු දිනයේදී මා ඇතුළු මාගේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවම මට්ටමක පැවැතීම අපගේ මානසිකත්වය ව්‍යාකුල කරන්න බලපැවා. පළමු අදියර අවසන් වන විට මම විතරයි ගුවන් හමුදා කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පළමු දසදෙනා අතර සිටියේ. විශාල පසු බෑමකටයි ගුවන් හමුදා කණ්ඩායම ලක් වෙලා සිටියේ. දෙවන අදියර නිමා කරන විට පෙරදින පැවැති තත්වය තරමක් දුරට නිමා කරගැනිමට හැකි වුණා. තුන්වන දිනය අවසන් වන විට 2019 ගුවන් පාපැදි සවාරියේ සමස්ත ආධිපත්‍යය ගුවන් හමුදාව සතු කරගැනිමට අපට හැකි වුණා. එය විශාල ජයග්‍රහණයක්.

කොළඹ සිට මහනුවර දක්වා පළමු අදියරෙන් ජයගත්තේ කඳු නැගීමේ ශූරයා වු සුරංග රණවීර. ඔබ තරගය නිමකළේ කී වැන්නා ලෙසද?

මම තරගය නිමකළේ දසවැන්නා ලෙසයි. ඇත්තෙන්ම දෙහිවල /ගල්කිස්ස ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පාපැදි ක්‍රීඩාවේ නියැළෙන සුරංග රණවීර දක්ෂ ක්‍රීඩකයෙක් ඔහුත් සමග තරගයේ නියැළෙන්නට ගුවන් හමුදා ක්‍රීඩකයෙකු යොදවා තිබුණත් ඔහුට සුරංගට හොඳ තරගයක් දිමට නොහැකි වුණා. ගුවන් හමුදා කණ්ඩායමේ සාමාජිකයාගේ පසුබෑම නිසා අපේ කණ්ඩායමේ සැලැසුම් මන්දගාමී වුණා. මා හැරෙන්නට අප කණ්ඩායමේ කිසිවෙකුට පළමු දසදෙනා අතරට ඒමට නොහැකි වුණා.

ඔබ දෙවන අදියර වු කටුගස්තොට සිට අනුරාධපුරය දක්වා කිලෝ මීටර් 146 ජයගැනිමට උත්සාහ කළේ නැද්ද?

අපි සැලැසුම් කර තිබුණේ තනි පුද්ගල ජයකට වඩා කණ්ඩායමක් හැටියට ඉදිරියට ඒමට. එම නිසා දෙවන අදියර වු කටුගස්තොට සිට අනුරාධපුරය දක්වා වූ කිලෝමීටර 146දී මම හයවැන්නා ලෙස තරගය නිම කළා. එහිදි මට හොඳ කාලයක් වාර්තා කිරීමට හැකි වුණා. දෙවන අදියරේදී මම වාර්තා කළ ස්ථානය ජයමාවතේ සුවිශේෂි ස්ථානයක්.

පළමු හා දෙවන අදියර දෙකම නිමා වෙලාත් ඔබට ජයග්‍රහණයක් නෑ. ඔබගේ ආත්ම විශ්වාසයට එය බලපැවේ නෑද්ද?

ඇයි නැත්තේ? මට පමණක් නොවේ අප කණ්ඩායමේ කිසිවෙකුට අදියර දෙකේදීම පළමු ස්ථාන තුනෙන් එකකටවත් පැමිණීමට නොහැකි විම අපගේ මානසිකත්වය කඩා වැටීමට ඉවහල් වුණා. නමුත් අප සමග සිටි අපගේ පුහුණුකරුවන් මෙන්ම ගුවන් හමුදා නිලධාරීන් හැම විටම දිරිමත් කළා අප සමග අපගේ අඩුපාඩු සාකච්ඡා කළා. අඩුපාඩු සකසා ගනිමින් තුන්වන අදියරට මුහුණ දුන්නා. එහිදි අපට හැකි වුණා තුන්වන අදියරේ ආධිපත්‍යය අප සතු කරගනිමින් ඉතා හොඳ තරගයක් අවසන් කිරීමට.

ඔබ ගුවන් හමුදාවට යොමු වුනේ ක්‍රීඩකයෙකු ලෙසද?

නෑ. මම ගුවන් හමුදාවට යොමු වුණේ ශාරීරීක අභ්‍යාස පුහුණු කරුවෙකු ලෙසයි. 2005 දී ශාරීරීක අභ්‍යාස පුහුණුකරුවෙකු ලෙස රැකියාව ආරම්භ කරමින් තමයි මම ක්‍රීඩාවට යොමු වුණේ. නමුත් මම 1999 වසරේදී ස්ටැන්ඩඩ් පාපැදි තරග සඳහා යොමු වුණා තනි පුද්ගලයකු සේ. මුලින්ම ගුවන් හමුදා කණ්ඩායමට ද තරග කළේ ස්ටැන්ඩඩ් ක්‍රීඩකයෙකු ලෙසයි. පසුව රේසිං කණ්ඩායමට එකතු වුණා.

ගුවන් හමුදාවට එක් වීමට පෙර පාපැදි ක්‍රිඩාවට ඇල්මක් තිබුණාද?

පාසල් කාලයේදී විනෝදයට පාපැදියකින් ගමන් බිමන් ගියත් පාපැදි ක්‍රිඩාවේ නියැළුණේ නෑ. පාසලෙන් පසු ස්ටෑන්ඩඩ් පාපැදි තරග සඳහා සහාභාගී වුණා.

ඔබ අධ්‍යාපනය හැදැරුවේ?

මම අධ්‍යාපනය ලැබුවේ මාවතගම පොකුණබෝව විදුහලෙන්. ඒ වකවානුවේදී ඒ පාසල දුෂ්කර පාසලක්. ඒ පාසලේ ක්‍රීඩාව වර්ධනය කර ගැනිමට තියා අධ්‍යාපනය පුළුල් ලෙස වර්ධනය කර ගැනිමටද අවස්ථා නොමැති තරම්. එම නිසා පාසලේදී ක්‍රීඩාව වර්ධනය කරගැනිමට හැකි වුණේ නෑ. නමුත් පාසල් සමයේදී උද්යෝගයෙන් තොරව මලල ක්‍රීඩාවල නිරත වුණා.

ඔබේ ළමා කාළය කෙසේද?

මට අක්කෙක් හා නංගියෙක් ඉන්නවා. පවුලේ එකම පිරිමි දරුවා මමයි. මගේ පියා ජිවතුන් අතර නෑ. නමුත් මව සිටිනවා. ළමා කාලය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නෑ. ගමේ පාසලේ අධ්‍යාපනය ලබමින් ගම වටා ඇවිද යමින් නිත්‍ය රැකියාවට එනකල් ගමේ ජිවිතය ගත කළා.ගම් මට්ටමින් පාපැදි තරග සඳහා යොමු වුණා.

විවාහකද?

මම විවාහකයි.මගේ බිරිද අමිලා ධනංජනී. මට දරුවන් දෙදෙනෙකු සිටිනවා. එක්කෙනෙක් අවුරුදු 4යි. දෙවැන්නාට මාස 4යි.

ඇයගෙන් ක්‍රීඩාවට ලැබෙන සහයෝගය කොහොමද?

විශේෂයක් නෑ. නමුත් ආශිර්වාදය තියෙනවා. මම දැනට පදිංචිවෙලා සිටින්නේ බිරිඳගේ නිවසේ, කඳානේ. ඒ නිසා මට නිරතුරුව ක්‍රීඩාවට යොමුවිමට හැකියාව තිබෙනවා.

ඹබේ පුහුණුකරු?

මගේ මුල් පුහුණුකරුවා වන්නේ සේනක රණසිංහයි. නමුත් වත්මන් පුහුණු කරු ලෙස සිටින්නේ ගුවන් හමුදා නිලධාරි බාලචන්ද්‍ර හෙන්රි මහතා හා අනිල් සිල්වා මහතායි. ඔවුන් ජාතික තලයේ පාපැදි ශූරයන් ලෙස අත්දැකීම් ලත් ක්‍රීඩකයන්. බාලචන්ද්‍ර මහතා 1980 දසකයේ කිලෝ මීටර් 900කට වැඩි දුරකින් සමන් විත දින 17ක් පැවැති ශ්‍රී ලංකාවේ එකම පාපැදි තරගයෙන් ජයගත් ක්‍රීඩකයායි.

ඉහළ නිලධාරින්ගෙන් ලැබෙන සහායෝගය...

අපි කණ්ඩායමක් ලෙස තමයි පුහුණුවිම්වල නිරතව සිටින්නේ. ගුවන් හමුදා පාපැදි සංචිතයේ 25දෙනෙකු පමණ පුහුණු විම්වල නිතර වෙනවා. තරගයකට ඉන් වැඩිම දක්ෂතා දක්වන 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමයි සහභාගි වන්නේ. අපගේ පුහුණු කරුවන් සැලැසුම් සහගතව අපගේ පුහුණු විම් කාලසටහනක් සකසා තිබෙනවා. ඒ අනුව අප පුහුණු විම්වල නිරත වෙනවා. කටුනායක තමයි අපේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය, සීගිරිය හා දිගන තවත් ගුවන් හමුදා කඳවුරු දෙකක් පුහුණු වීම් වෙනුවෙන් අපට ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති තුමා, ශ්‍රී ලංකා ගුවන් හමුදා පා පැදි සංගමයේ සභාපතිතුමා, ලේකම් තුමා අපට සහයෝගය දෙනවා, අඩුපාඩු සපුරා දෙනවා.

ඔබගේ පා පැදි බාරව කටයුතු කරන කාර්මික ශීල්පීන්ගෙන් ලබෙන සහාය...

සමාන්‍යයෙන් අද ලෝක මට්ටමින් සහභාගිවන තරග කරුවන් දිහා බැලුවාම ඔවුන් පාවිච්චි කරන යතුරු පැදියක් විශාල මුදලක් වෙනවා. අපටත් ගුවන් හමුදාව ඉහළම මට්ටමේ රේසිං පාපැදි ලබා දී තිබෙනවා. නමුත් වසරින් වසර එම පාපැදි වැඩිදියුණු කළ යුතුයි. නැතිනම් අපගේ නිසි දක්ෂතා වර්ධනීය මට්ටමට ගෙන ඒමට හැකියාවක් නෑ. අපට සිටින අති දක්ෂ කාර්මික ශීල්පීන් දෙදෙනා වන අමල් සුරංග හා ඩීන් නුගේරා ඒ අවශ්‍ය තාව නිසි ලෙස සපුරා ලමින් අපට හොඳ සහායක් ලබා දෙනවා.

ඔබ මීට පෙර අන්තර්ජාතික තරගවලට සහභාගී වී නැද්ද?

2014 වර්ෂයේ දී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට සහභාගී වුණා. නමුත් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකි වුණේ නෑ.

20වැනි ගුවන් පාපැදි ශූරයා විමට ලැබීම ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව් මම තෘප්තිමත්. මම මේ ජයග්‍රහණයත් සමග තුන්වතාවක් ගුවන් පා පැදි සවාරිය ජයගෙන තිබෙනවා.මීට පෙර 2011හා 2014 වසර වලදි ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම සුරංග රණවීරට අභියෝග කරන්න ලැබීම ලොකු ජයග්‍රහණයක් ලෙස මම සලකනවා.

සන්නද්ධ සේවා හැරුණු කොට ජාතික තලයේ සිටින අනෙකුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔබ තරගයකදී අධ්‍යනය කරනවාද?

ඇත්තෙන්ම ඔව්. සන්නද්ධ සේවාවේ තමයි අද වන විට දක්ෂන් සිටින්නේ. නමුත් ත්‍රිවිධ හමුදාවෙන් පරිබාහිරව දෙහිවල /ගල්කිස්ස ක්‍රීඩා සමාජය නියෝජනය කරන සුරංග රණවීර දක්ෂ පා පැදි ශූරයෙක් එමෙන්ම වරාය අධිකාරිය කණ්ඩායම මෙන්ම එම කණ්ඩායම නියෝජනය කරන විරාන් රමේෂ් දක්ෂයන්. කුරුණැගල පාපැදි ක්‍රීඩා සමාජය නියෝජනය කරන සඳුන් චාමික ඔහුත් දක්ෂයෙක්.

අපේ ක්‍රිඩකයන් අන්තර්ජාතික තරගවලින් ජය වාර්තා කරන්නේ බොහොම කලාතුරකින් ඒ ඇයි?

අනෙකුත් ක්‍රීඩා ගැන මට ලොකු අවබෝධයක් නැ. නමුත් පාපැදි ක්‍රීඩාව පැත්තෙන් ගත් කළ විශාල වියදමක් දරන්න සිදුවන ක්‍රීඩාවක්. පුහුණු වීම් වල සිටම. ලෝකයේ ඉහළ මට්ටමේ පා පැදියක් විශාල මුදලක් වනවා.ඒ වගේම අමතර කොටස්ද දිනෙන් දින වැඩිදියුණු වෙමින් මිල ඉහළ යනවා. පුර්ණ කාලීනව පුහුණු වීම් වල නිරත විය යුතුයි. සන්නද්ධ සේවාවේ සිටින ක්‍රිඩකයන් මාසික වේතනයක් ලබමින් තමයි පුහුණු විම් වල නිරත වෙන්නේ. නමුත් තනි පුද්ගල හා ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පුහුණු වීම් වල නිරත වෙන්නේ බොහෝ දුෂ්කරතා මැද්දේ. එම නිසා ක්‍රීඩාවේ රැදීමක් නෑ. ජීවන උපාය උපයාගැනීමට යොමුවීමෙන් ක්‍රීඩාව දෙවැනි තැනට ඇද වැටෙනවා. නිසි පුහුණුවක් නොමැති කමින් දක්ෂයන්ට එම නිසා ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදු වනවා. නැතිනම් ලෝකය ජයගැනීම ලෙහෙසි කරුණක්. ඒ වගේම අන්තර් ජාතික මට්මේ තරග අත්දැකීම් නොමැති කමද? අපට තිබෙන අඩුවක්.

බුද්ධික, ඔබ ගුවන් හමුදා කණ්ඩායමේ නායකයා. ඔබේ කණ්ඩායම ගැන ඔබ සැහීමකට පත්වෙනවාද?

ඇත්තෙන්ම ඔව්. මගේ කණ්ඩායම ජාතික තලයේ සිටින ක්‍රීඩාකයන් සමුහයකගෙන් සමන්විත කණ්ඩායමක්. විශේෂයෙන් ඩීන් නුගේරා, ජිවන් ජයසිංහ නවක ක්‍රීඩකයන් වන නිදුෂ් නිරන්ත අෂේන් තාරුක වැනි දක්ෂයන්ගෙන් සමන් විත කණ්ඩායමකට තමයි මම නායකත්වය ලබාදෙන්නේ.

පාපැදි සවාරියකදී ඔබට දුෂ්කරම කොටස ලෙස ඔබ හඳුනාගත් කොටසක් තිබේද?

මුහුදු බඩ මාර්ගය, කඳු මෙන්ම බැවුම්ද කිසිඳු අපහාසුවකින් තොරව තරග වැදීමට පුළුවන් වුණත් අවසන් මිනිත්තු කිහිපයේදී කරට කර තරගයක් දෙමින් ක්ෂණික වේගයක් රඳවා ගැනිම තමයි අපහසු කාර්යක් ලෙස මා මගේ පාපැදි ක්‍රීඩව මඟින් මේ වන විට හදුනා ගෙන තිබේන්නේ. ස්ප්‍රීන්ට් අවදිය මීට වඩා වර්ධනය කරගත යුතුයයි මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් පුහුණු වීම් වල නිරත වෙනවා.

වාර්ෂිකව සංවිධානය වන පාපැදි තරගවලින් ඔබ ජයගෙන ඇති තරග ගැන මතකය අවදි කළොත්...

ජාතික ශූරතාව තෙවරක් ජයගෙන තිබෙනවා, ඒ වගේම හිරු සවාරිය තරගාවලියෙන්ද, දැයට කිරුළ තරගාවලියෙන්ද ජයගෙන තිබෙනවා.

ඉදිරි මාස කිහිපය පුහුණු වීම්වල පමණක්ද නිරත වන්නේ තරගාවලියක් නැද්ද?

ඉදිරියේදී තමයි තරග වැඩිම සංඛ්‍යාවක් තිබෙන්නේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කරන අවුරුදු උත්සව සඳහා පැවැත්වෙන නම් කරන ලද පාපැදි තරග සඳහා අනිවාර්යෙන් සහභාගි විය යුතුයි. එය ශ්‍රේණිගත වර්ගීකරණයට වැදගත් වනවා.

අනාගත බලාපොරොත්තු?

අපට යෑමට තියෙන ඉහළම තරගාවලිය තමයි දකුණු ආසියා තරගාවලිය. දකුණු ආසියානු තරගාවලියට සහභාගී වි කණ්ඩායමක් ලෙස ජයග්‍රහනයක් හෝ තනි ජයග්‍රහණයක් හිමි කරගනිමින් රටට කීර්තියක් අත්කර දීම තමයි මගේ බලාපොරොත්තුව.

 

Comments