AIRTEL’S FASTEST වඩා වැඩි වේගයක් සොයා යයි | සිළුමිණ

AIRTEL’S FASTEST වඩා වැඩි වේගයක් සොයා යයි

භාර්ති එයාර්ටෙල් ලංකා ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා සොයා යන වැඩසටහනකට මුලපුරයි. මෙකී වැඩසටහන පසුගියදා ආරම්භ වූ අතර දිවයින පුරා වේගවත්ම පන්දු යවන්නා සෙවීමේ තරග පවත්වමින් ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන තරුණයා සහ තරුණිය තෝරා ගැනීමට නියමිතය. මෙය පාසල් මටිටමෙන් හා ආධුනික මටිටමෙන් තේරීම් සිදු කරනු ඇත.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු “මෙය මම ක්‍රියාත්මක කිරීමට අදහස් කළ දෙයක්. මෙම කාලීන අවශ්‍යතාව සපුරාලීම සඳහා මැදිහත්වීම වෙනුවෙන් එයාර්ටෙල් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාව පුරා සැගවුණු දක්ෂතා ඇති සිසුදරුවන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඒ සැවොම ජාතික කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමේ තම සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරයි. මේ වැඩසටහන ඒ සඳහා මහගු අවස්ථාවක් ලබා දෙන අතර මෙරට වෙනස්ම ආකාරයකින් නියෝජනය කරන ක්‍රීඩා තරු කිහිපයක් සොයා ගැනීමට මෙම වැඩසටහන උදව් වනවා නිසැක. ” යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

යාපනය, පොලොන්නරුව, මඩකලපුව, මාතර, බදුල්ල, රුවන්වැල්ල, ගම්පහ, කුරුණෑගල, නුවර, හොරණ සහ කොළඹ ආවරණය කරමින් පැවැත්වෙන මෙම විවෘත තරගාවලිය සඳහා අවුරුදු 16 - 24 ත් අතර ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි ය. මෙම තරග වටයන්හීදී වේගවත්ම පන්දු යවන්නන් සිය දෙනෙකු තෝරා ගන්නා අතර ලසිත් මාලිංග, අනූෂ සමරනායක සහ චමින්ද වාස් යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත එයාර්ටෙල් සුපර් ස්ටාර් පුහුණු කණ්ඩායම යටතේ පුහුණු කඳවුරකට සහභාගී කරවනු ලැබේ. ඉන් පසුව ඔවුන් අභියෝග පෙළකට මුහුණ දීමට සලස්වා සෑම කණ්ඩායමකම වේගවත්ම ක්‍රීඩකයා තෝරා ගනු ලැබේ.

“තරුණයන් සවිබලගැන්වීම සදහා එයාර්ටෙල් අඛණ්ඩව ක්‍රියා කරන අතර ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනයට සහ සංවර්ධනයට පසුබිම සකස් කිරීම මෙන්ම අවස්ථාවන් ලබා දීම කළ යුතු යැයි පවසන භාර්ති එයාර්ටෙල් සමාගමේ ප්‍රධාන විධායක, AIRTEL’S FASTEST වැඩසටහන ඒ සදහා වූ තවත් උදාහරණයක් බවද පවසයි. ලොව හොදම වේගවත්ම පන්දු යැවීමේ පුහුණුකරුවන් කිහිපදෙනෙකු සදහා අපි ආයෝජනය කර ඇති අතර ඔවුන්ගේ පළපුරුද්දෙන් මෙම තරුණ තරුණියන් පිරිස ප්‍රයෝජනයක් ගනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. මෙම ව්‍යාපෘතිය සදහා වූ අපගේ හවුල්කරුවා වන දෙරණ සමඟ එක්ව මෙම තරගාවලිය කොටස් 20 කින් යුත් වැඩසටහනක් ලෙස ප්‍රදර්ශනය කෙරෙන බව ද ප්‍රකාශ කරයි. ” භාර්ති එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඩේ වැඩිදුරටත් පවසයි.

Comments