එජාපයට අභියෝගයක්? | සිළුමිණ

එජාපයට අභියෝගයක්?

ඔන්න පැරද්දුවා මෙන්න පැරද්දුවා කිවු අය වැය යෝජනා සම්බන්ධ දෙවැනි වර විවාදය ආණ්ඩුව විසින් ජය ගත්තේ විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකිනි. එක්සත් ජාතික පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් එකට එකතු වී පක්ෂව ඡන්ද 117ක් ලබා දී තිබුණි. විපක්ෂ ව එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව ඡන්දය ලබා දී තිබූ අතර ඊට ඡන්ද 76ක් ලැබී තිබුණි. මන්ත්‍රීවරුන් 31 දෙනෙකුගේ මතය කුමක්දැයි දැන ගැනීම සදහා ඡන්දය ප්‍රකාශ කර නොමැති අතර ඔවුන් සභා ගැබෙන් ඉවත් ව ගොස් තිබුණි.

අයවැය දෙවන වර කියවීමේ යෝජනාවට විපක්ෂ ව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දය ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන් 70ක් පමණි. ඒ සන්ධානයට හිමි මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 95ක් වන අතර; සැලකිය යුතු පිරිසක් අයවැයට විපක්ෂ ව ඡන්දය භාවිතා කිරීම සදහා යොමු කර ගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීරත් අසමත් ව තිබේ. එය වැදගත් දේශපාලන සිදුවීමකි. ඊට හේතුව වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා පෝයවල් වලින් ගණන් හදන විපක්ෂ නායකවරයාට එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කට්ටිවාදී දේශපාලනය එළියට එන්නේ එතැනිනි. තමන් තාමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ තමන්ගේ මන්ත්‍රී ධූරය රැක ගැනීම සඳහා ය. නමුත් ඔහු ඔක්තෝබර් 26 වැනි දා නීති විරෝධීව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තේ ය. එපමණක් නොව කෙතරම් දේශපාලනිකව නූගත්දැයි කියනවා නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන් බහුතරයක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බදවා ගැනීමට ඔහු පියවර ගත්තේ ය.

අඩ සියවසකට ආසන්න දේශපාලන අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂට අවසානයේ තම මන්ත්‍රී ධූරය රැක ගැනීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සරණ යන්නට සිදු විය. මහින්ද රාජපක්ෂ ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් යැයි එහි මහ ලේකම්වරයා ලිඛිත ප්‍රකාශ නොකරන්නට මහින්ද රාජපක්ෂ අද නිකම් ම නිකම් හිටපු ජනාධිපතිවරයකු පමණි.

එහෙව් පුද්ගලයකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සියල්ල කළමනාකරණය කරගෙන අයවැයට එරෙහිව ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කරවා ගන්නට අපොහොසත් වීම පුදුමයට කරුණක් නොවේ. මහින්ද රාජපක්ෂ යනු තවදුරටත් මහා පෞරුෂයක් හිමි දේශපාලන චරිතයක් නොවීම ඊට හේතුවයි. හොර අගමැතිකම් ගන්නට මහන්සි වූවාට පන්සල් වලට ගොස් කටමැත දෙඩෙව්වාට තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළමනාකරණය කර ගැනීමට තරම් ශක්තියක් ඔහුට අද වනවිට නොපවතී.

එහෙත් මහින්ද රාජපක්ෂ අදත් කතා කරන්නේ ආණ්ඩු පෙරළියක් වෙනුවෙනි. නමුත් ඒ ආණ්ඩු පෙරළිය ප්‍රජාතන්ත්‍රවාදීව කර ගන්නට ඔහුට නොහැකි ය.

එහෙත් ආණ්ඩුව පෙරලා දමන්නට අවශ්‍ය ම නම් ඊට පවතින එක් අවස්ථාවක් වන්නේ විසර්ජන පනත් කෙටුම් පත පරාජය කිරීමයි. පසුගිය අගහරුවාදා උදා වූයේ ඒ ස්වර්ණමය අවස්ථාවයි. එනම් අය වැය යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කර ආණ්ඩුව ගෙදර යවා මහා මැතිවරණයක් ලබා ගැනීමේ වාසියයි. නමුත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට ඔවුහු අසමත් වූහ. එමඟින් කියාපාන්නේ ඔවුන් නීති විරෝධී කටයුතු වලට දක්ෂ වූවාට ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු වලට අදක්ෂ බව ය.

පසුගිය දා බැසිල් රාජපක්ෂ මාධ්‍ය අමතමින් කීවේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදුජන පෙරමුණේ නියෝජිතයකු විය යුතු බව ය. එය සහතික කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ යුතු බව ය. ඒ ප්‍රධාන මතයට අමතරව තවත් මත ප්‍රකාශ විය.

යූඑන්පී විරෝධී ව පුළුල් සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එකතුවීම තවමත් ස්ථිර ව ප්‍රකාශ වී නැත. එකට එකතු වීමට වඩා දේශපාලන කරුණු පෙළ ගැසෙන්නේ වෙන් ව රණ්ඩු වීම සඳහා ය. එහෙත් ජනාධිපති ධූරයකට තරග කිරීමේ අවස්ථාව පක්ෂයෙන් බාහිර අපේක්ෂකයකුට දෙන්නට තරම් දේශපාලන අවශ්‍යතා මෝරා ගොස් නොමැති බව බැසිල් රාජපක්ෂ හොඳින් ම දනී.

තවමත් රාජපක්ෂ පාර්ශ්වය ගෝලීය භූ දේශපාලනික අවශ්‍යතා යහමින් තේරුම් ගෙන නැත. ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇත්තේ බැසිල් රාජපක්ෂට පමණි. කලාපීය හා ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති විදෙස් රටවල් සමඟ යහපත් සබඳතා පවත්වන්නේ එ් පක්ෂයෙන් ඔහු පමණි. සෙසු සියල්ලෝ පැරණි ජාතිකවාදී මතවාද තුළින් ලෝක දේශපාලනය ගැන සිහින මවා ගනිමින් සිටිති. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ගෝලීය දේශපාලනය රාජපක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති නොවීමයි.

තවමත් කුමන ප්‍රශ්න තිබුණත් ලෝක දේශපාලන බලවතුන් ගනුදෙනු කරන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ ය. ඔහුට පවා ලෝක දේශපාලනය සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැනීමට අපහසු වී ඇති බව ඇත්තකි. එහෙත් රාජපක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් අවම බලාපොරොත්තුවක් හෝ ලෝක දේශපාලන අධිකාරීත්වයට පහළ වී නැත්තේ රාජපක්ෂ දේශපාලනයට ආවේණික ජාතිකවාදී පැතිමාන නිසා ය. ඔවුන් සියල්ල විග්‍රහ කර ගන්නේ මැදමුලනේ වැඩවසම් ක්‍රමයට ආවේණික ව ය. එවැන්නක් පසුපස ගොස් දේශපාලන සබඳතා පවත්වාගෙන යන්නට විදේශ දේශපාලන අධිකාරියට අවශ්‍යතාවක් මතු වී නැත.

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඉන්දියන් කලාපයේ භූ දේශපාලනිකව උනන්දු බලවතුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය වටා රැඳී සිටින ලකුණු පවතී. එහෙත් ඊට යම් බලපෑමක් කර ගෝලීය දේශපාලනය සමඟ අත්වැල් අල්ලා ගැනීමට ඇති තම සූදානම ප්‍රකාශ කරන්නට තරම් රාජපක්ෂ පාර්ශ්වය ශක්තිමත් වී නැත. එවැනි ශක්තිමත්භාවයකට සූදානම් නම් ඉන්දියානු කලාපීය දේශපාලනයේ සිදුවිය හැකි වෙනස්කම් ද ඊට ධනාත්මකව බලපානු නොඅනුමානය. නමුත් බැසිල් රාජපක්ෂට පමණක් ඒ වෙනස ඇති කරන්නට හැකියාවක් ඇතැයි කිව නොහැකිය.

විපක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ තරග කරන්නේදැයි කතා කිරීම අර්ථ විරහිත ය. ඊට යම්කිසි අර්ථයක් ගෙන එන්නේ තරග කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ද නැත්නම් වෙනත් අයකු ද ලෙස මාතෘකාව වෙනස් වන්නේ නම් පමණි. තරගකරුවා නොව ජයග්‍රහකයා කවුද යන්න තීරණය කිරීමේ දී එය ජාතික දේශපාලන රාමුව ඉක්මවා යන බව නම් ස්ථිර ය.

ජයග්‍රහකයා තීරණය කිරීමේ ඡන්ද කොට්ඨාශය සමස්ත ශ්‍රී ලංකාව යැයි කියැවෙන්නේ ජාතික රාජ්‍ය සංකල්පයට අනුව දේශපාලනය සලකා බලන විට ය. එහෙත් ගෝලීය දේශපාලන අවකාශයක ජයග්‍රාහකයා තීන්දු කරන මැතිවරණ කොට්ඨාශය ජාතික භෞමික සීමාවෙන් ඔබ්බට යයි. ඒ අනුව බොහෝ දේශපාලන සාධක ගොනු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කරන අන්දමට ය. එක්සත් ජාතික පක්ෂයෙන් තරගකරන කුමන හෝ අපේක්ෂකයකුට එය බලපෑමක් වන බව සහතිකව කිව හැකිය.

අදහස්