ගී කියන කන්දේ සිට දේදුනු අනන්තයට... | සිළුමිණ

ගී කියන කන්දේ සිට දේදුනු අනන්තයට...

  • වැඩිම වාර ගණනක් අය-වැය ඉදිරිපත් කළ මුදල් ඇමැති මෙවර අය-වැය දකින හැටි
  • එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා සහශ්‍රකයේ බිහිවූ විශිෂ්ටතම ව්‍යවසායක වැඩසටහනයි
  • අය-වැය කොච්චර හොඳ වුණත් ක්‍රියාත්මක වෙන හැටි ගැන කල්පනාවෙන් සිටිය යුතුයි

අය-වැය සමස්තයක් ලෙස රටක ආර්ථික ප්‍රගමනයට, ආයෝජන ප්‍රවර්ධනයට හෝ සංවර්ධන විප්ලවයකට පාරිසරික සාධක බලපෑමක් ඇති කළා යැයි අප යෝජනා කළහොත් පාඨක ඔබ එසැනින් එය පිළිනොගන්නා බැව් අප දනිමු. එහෙත් මෙහි මතු දැක්වෙන කරුණු සැලකිල්ලට ගත් විට ඔබ ද අප සමඟ එකඟ වන බව අප ඉඳුරා ම විශ්වාස කරමු. එයට නිදසුන් ලෙස අප මෙරට මුදල් ඇමතිවරුන් දෙනෙනකු තෝරා ගෙන අපගේ තර්කය ගොඩනැඟීමට බලාපොරොත්තු වෙමු. ඉන් එක් අයෙක් වන්නේ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් මහතා වන අතර, දෙවැන්නා වත්මන් මුදල් ඇමති, මංගල සමරවීර ය.

රොනී වාර්තාගත අයවැය එකොළහක් එළිදැක්වූ අතර, එහි පළමු අයවැය හරහා මේ රටේ තිබූ ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කරමින් විවෘත ආර්ථිකය හඳුන්වා දීම ද විශේෂත්වයකි. ඊට අතිරේකව ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පාලන සමය තුළ මෙරට ස්ථාපිත වූ මහා පරිමාණ කර්මාන්ත, ආයෝජන, නිවාස වැඩපිළිවෙලවල්, කඩිනම් මහවැලි ව්‍යාපාරය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය, විශ්ව විද්‍යාල, වරාය, ගුවන් තොටුපළ, ලක්ෂ ගණනින් වූ රැකියා, ග්‍රාමීය ආර්ථික වැඩ පිළිවෙලවල්, අධ්‍යාපනයේ විප්ලවය ඇතුළු සංවර්ධන නවෝදයට මඟ විවර කර දුන්නේ ද රොනී ගෙන ආ අයවැය මගිනි. ඔහු සිය මුදල් අමාත්‍ය ධූර කාලය පුරා අයවැය ලේඛන සකස් කළේ, බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශයේ පිහිටි තම පරපුරට අයත්, සුප්‍රකට ගී කියන කන්ද වතුයායේ බංගලාවේ සිට ය. මැල් මහතාට අයත් කොළඹ හා මාතර ප්‍රදේශයේ නිවාස මෙන්ම සියලු පහසුකම් සපිරි මුදල් අමාත්‍යාංශය ද පසෙකලා ඔහු සිය භාරදූර කර්තව්‍ය සඳහා ගී කියන කන්ද වත්ත තෝරා ගැනීමට ද සුවිශේෂී හේතුවක් තිබිණි. ඒ මහතා කියා සිටින්නේ තමා ගී කියන කන්ද අයවැය සම්පාදනයට තෝරා ගත්තේ එහි ඇති පාරිසරික මනරම් භාවය තුළ නිරවුල් මනසකින් එය ඉටු කිරීමට ඒ ස්ථානය උපස්ථම්භ වන නිසා බවයි.

මිනිස් කටහඩ, රථවාහනවල ශබ්දවලින් තොර ගී කියන කන්දේ නිශ්චල භාවය බිඳින්නන්, සොබාදමේ කොටස්කරුවන් ම පමණි. ගී කියන කන්දේ හඬ නැඟුණේ කුරුලු කූඡනයේ හා කඩා හැලෙන දිය දහරාවන්ගේ හඬ හා ගහ කොළේ සිරි සිරිය පමණි. ඒ අනුව මෙරට යෝධ සංවර්ධන මාවතකට ගෙන යෑමට රොනීට නිවැරදි දිශානතිය එදා පෙන්වා දී ඇත්තේ ගී කියන කන්දේ සොබා මාතාව හැර වෙන කවුරුන්ද ? අප මේ ගෙවමින් සිටින්නේ ද ආර්ථික වශයෙන් අතිශයින් දුෂ්කර වූ කාලපරිච්ජේදයකි. ඒ අගාධයට රට ගෙන ගිය ඇත්තෝ අද විපක්ෂයේ සිට රජයෙන් ප්‍රශ්න කරන්නේ ‘නුඔලාට මේ රට ගොඩනැඟිය නොහැකිද ? ‘ යන කුහක පැනයයි. වත්මන් මුදල් අමාත්‍ය, මංගල සමරවීර මහතා 2019 වසර සඳහා වන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්නේ මෙවැනි සංයුක්ත හා සංකීර්ණ ආර්ථික හා දේශපාලන වටාපිටාවක සිට ය.

දේශපාලන මතවාද කරපින්නා ගත්තවුන් කුමක් කීවද නව ආර්ථික සංස්කෘතියකට මග කියන සාර්ථක අයවැය ලේඛණයක් මංගල ඉදිරිපත් කළ බැව් මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් මෙන්ම අංක ගණිතය දන්නා ඕනෑම පුරවැසියකු ද අගය කරනු ඇත. මාධ්‍ය ඉදිරියේ කුමන දේ කීව ද මෙවර අයවැයට විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂයේ හෘදය සාක්ෂියක් ඇති සෑම දෙනාට ම නොහැකි වූයේ ද ඒ නිසා ය. එදා රොනී ගී කියන කන්දේ සිට අයවැය හැදුවාක් මෙන් මංගල මෙදා අයවැය හැදුවේ ද ගී කියන කන්දේ අසිරියට නොදෙවෙනි පාරිසරික බිමක සිට ය; ඒ මනරම් බොල්ගොඩ ගං තෙර රමණීය භූමි භාගයක පිහිටි සිය දේදුනු අනන්තයේ නිසල අරනේ සිට ය. කොළඹ නගරයේ පිහිටි සුවිසල් අමාත්‍යාංශය තුළ සිට එය සිදු කිරීමට ඕනෑතරම් පහසුකම් ලබා දී ඇති අවස්ථාවක මංගල ඒවා භාවිත කළේ නැත.

ඒ සඳහා ඔහුට අවශ්‍ය වූයේද සුපිරි සැප ඇති අමාත්‍යාංශය වෙනුවට පරිසර මාතාවගේ සෙනෙහස බවට සැක නැත. එසේ නම් ගී කියන කන්දේ මනරම් පරිසරයත්, දේදුනු අනන්තයේ සිහිල් සුවයත් ඇතුළත් සොබාදමේ නිමැවුම් රටේ ආර්ථික ප්‍රගමනයට දායක වූයේ ය යන අපගේ තර්කයට ඔබ ද අනුගත වනු ඇතැයි අප විශ්වාස කරමු. මුදල් අමාත්‍ය, මංගල සමරවීර මහතාගේ අයවැය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී ඇති මේ අවස්ථාවේ මංගලගේ අයවැය සම්බන්ධයෙන් විචාරයක් කිරීමට හොඳ ම සුදුස්සා විය හැක්කේද හිටපු මුදල් අමාත්‍ය, රොනී ද මැල් ය.

මෙරට භාණ්ඩාගාරය පිහිටවූ සමයේ සිට භාණ්ඩාගාර සේවයේ නිරත වූ සිවිල් සේවා නිලධාරියෙක් මෙන්ම රටේ විවිධ ප්‍රදේශ වල දිසාපතිවරයෙක්, සමූපකාර කොමසාරිස් වරයෙක්, ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිවරයෙක් ලෙස ද මෙරට කීර්තිමත් මුදල් ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙසද ඔහුගේ නිර්නායක අදත් අවිවාදාත්මක වේ. එබැවින් 2019 අයවැය පිළිබඳව රොනී ද මැල් මහතා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඒ මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකස් වුණි.

ඔහුගේ විග්‍රහය වූයේ මංගලගේ අයවැය, ආයෝජනය, සංවර්ධනය, සමාජ සුබසාධනය යන ක්ෂේත්‍ර සමබරව පවත්වා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරූ අයවැයක් ලෙසයි. ඒ අනුව ඇතැම් දේශපාලඥයන් සඳහන් කරන පරිදි මංගලගේ අයවැය කොළේ වසා ගැසූ ලියවිල්ලක් විය නොහැකි ය.

මෙවර අයවැය සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් රොනී කියා සිටින්නේ, සමාජයේ සිටින සියලු ම දෙනාට අයවැයේ ප්‍රතිථල භුක්ති විඳීමට පහසුකම් සලසා තිබීම තවත් හොඳ බවයි. ලක්ෂ හයක් (06) ඉක්ම වූ රටේ හදවත බඳු වූ රජයේ සේවකයන්ගේ සිට ආයෝජකයා, ව්‍යවසායකයා, ගොවියා, වැවිලිකරුවා, රණවිරුවා, පාසල් දරුවා, සරසවි සිසුවා, ආගමික නායකයන් ඇතුළු සමස්ත සමාජය කෙරේ අයවැය මඟින් අඩු වැඩි නැතිව අවධානය යොමු කිරීම ඊට හේතු පාදක වන්නට ඇත. ආර්ථිකය නංවන කිසිදු යෝජනාවක් මෙවර අයවැයේ නැතැයි වාචාල දොඩවන කුහකයන් වෙත ද රොනී අතුල් පහරක් එල්ල කරයි.

ඔහු පවසන්නේ ඒ චෝදනාව පදනම් විරහිත බවයි. තරුණ ව්‍යවසායකයන් ඇතුළු අලුත් වෙළඳ පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් හොඳ යෝජනා රැසක් මෙවර අයවැයේ ඇති බැව් පෙන්වා දෙන ඒ මහතා, ඊට උදාහරණ ලෙස ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා‘ වැඩසටහන ගෙන හැර දක්වයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යනු නව සහස්‍රකයේ මෙරට බිහිවූ අතිශයින් නිර්මාණශීලි ම ව්‍යවසායක ක්‍රියාන්විතයයි. “හඳට ගියත් මාතර බත් කඩයක්“ ඇතැයි කියමක් තිබේ. එයට හේතු වන්නට ඇත්තේ රුහුණෙන් පැන නැඟ රට ලෝකය දිනූ මැලිබන් මුදලාලිලා, නවලෝක මුදලාලිලා, හරිස්චන්ද්‍රලා, ඩීන් බ්‍රදර්ස්ලා, දාස මුදලාලිලා ඇතුළු දහස් ගණනක් ව්‍යවසායකයන්ගේ දියුණුව හා ව්‍යාප්ත වීම තුළ අදත් මේ රට බැබළෙන නිසාවෙන් විය යුතුය. මාතරින් උපන් දේශපාලනඥයෙක් ලෙස මංගලගේ ඇඟේ ද ව්‍යාපාරික ඥානය නැති වන්නට බැරි ය. දේශපාලඥයකු ලෙස ව්‍යාපාර කර ධනය ඉපැද්දීම වෙනුවට ඔහු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා අංකුර ව්‍යවසායකයන් දහස් ගණනක් රටට උපයා දීමට උත්සාහ දරා ඇත. රොනී අගය කරන්නේ මංගලගේ ඒ සංකල්පයයි.

සොබාදම් මාතාවගේ නිමැවුම් හරහා යම් මානව සන්හතියකට උරුම වන්නාවූ ප්‍රතිලාභ මෙතෙකැයි කිය නොහැකි තරම් ය. ජීවීන්ගේ ප්‍රාණසරි අම්ලකර වායුව ලබාදීම, සෙවණ, ජලයේ උපතට මාතෘත්වය, ආහාර පාන, පාරිසරික සමතුලිතභාවය මෙන්ම ඇස පිනවන පාරිසරික අලංකාරය ද ඒ අතරින් ප්‍රධාන වේ.

අද විපක්ෂයේ සිටිමින් කෑ මොර දෙන අය, පසුගිය ඔවුන්ගේ රාජ්‍ය පාලන සමයේදී සිය න්‍යාය පත්‍රයේ මුල් තැන දුන්නේ අපනයනයට නොවේ. ඔවුන් අපනයනයෙන් ලබා ගත හැකි විදේශ විනිමය වෙනුවට විදේශ ණය කෙරේ විශ්වාසය තබා ක්‍රියා කළේය. එපමණක් නොව මෙරටට සුවිසල් විදේශ විනිමය ගෙන එන අපනයනකරුවන් දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කළ ජනාධිපති අපනයන සම්මාන උළෙල පවා 2010 වසරෙන් පසු පවත්වා නොතිබීම නිසාවෙන් ඒ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් කළකිරීමට පත්ව සිටියේ ය. එය නැවත ආරම්භ කළේ මේ රජය පැමිණි පසුව ය.

හිටපු මුදල් අමාත්‍යවරයාගේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාව වැනි රටක් දියුණුව කරා ගෙන යෑමට ඇති හොඳ ම මාර්ගය අපනයනය දියුණු කිරීම බවයි. රටේ වෙළඳ ශේෂය අඩු කර ගැනීමට ඇති එක ම මඟත් එය බව මැල් මහතා පෙන්වා දෙයි. මංගලගේ අයවැය ලේඛණයෙන් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගෙන ඇති යෝජනාවන් හිටපු මුදල් අමාත්‍යවරයා සුවිශේෂී අගය කිරීමට ලක් කරන්නේ ඒ නිසා ය. විශිෂ්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලෝකයේ ඉහළ ම විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබා ගැනීමට ශිෂ්‍යත්ව පිරිනැමීම ද ඉතා හොඳ යෝජනාවක් බැව් පවසන මැල් මහතා, මෙමඟින් ගමේ පාසැල් දරුවන්ට හොඳ අවස්ථාවක් හිමි වීම ඒකාන්තයෙන් ම සිදු වෙන බව ද අවධාරණය කළේ ය. අපේ දරුවන් සතු නොවන උසස් දැනුම කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් හෝ හාවර්ඩ් වැනි සරසවි වලින් හෝ ලබා ගෙන රටේ දරුවන්ගේ බුද්ධි වර්ධනය හරහා රටේ දියුණුවට ඉවහන් කර ගත යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

තේ හා රබර් කර්මාන්ත නඟා සිටුවීම සඳහා නැවත වගා කිරීමේ සහනාධාරය දෙගුණ කරන්නට අයවැයෙන් කරන ලද යෝජනාව අගය කරන හිටපු මුදල් අමාත්‍යවරයා, එය ඒ කර්මාන්ත වල යෙදී සිටින රබර් හා තේ වගාකරුවන්ට ලොකු සැනසිල්ලක් බව ද පවසා සිටී. පසුගිය සමය පුරා රබර් වගාකරුවන්ට බලපෑ විවිධ දුෂ්කරතා හේතුවෙන් ඔවුන් ඒ වගාවෙන් ඈත්වෙමින් පැවති අතර, වගාව නැවත ඇරඹීමට බොහෝ අය මැලි වූහ. මෙරට රබර් කර්මාන්ත සඳහා පසුගිය කාලයේ කෘත්‍රිම රබර් ආනයනයටද ක්‍රියා කළ බැව් අසන්නට ලැබිණි. ඒ සඳහා මෙවර අයවැයේ ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට රොනී ද මැල් මහතා සිය ප්‍රසාදය පළ කළේ ඒ නිසයි. කුරුඳු කර්මාන්තයට අත දීම සඳහා ද එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීම යහපත් ප්‍රවණතාවක් බවයි ඒ මහතා පවසන්නේ.

රොනීගේ අයවැය විග්‍රහය මෙන්ම ඔහු පෙන්වා දෙන තවත් වැදගත් කටයුත්තක් වෙතද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි අපගේ විශ්වාසයයි. ඔහු කියා සිටින්නේ කොතරම් හොඳ අයවැය යෝජනා සහිත ලේඛණයක් ඉදිරිපත් කළත්, ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු සහ අතපසු වීම් සිදුවීම් වැළැක්විය නොහැකි බවයි. එබැවින් මුදල් අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ ඉහළ නිලධාරීන් ඉතාමත් විමසිලිමත් ව සිට අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව දැඩි සෝදිසියෙන් ක්‍රියා කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දේ.

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයට විශේෂ අවධානයක් යොමු කර තිබීම ද මැල් මහතාගේ සුවිශේෂී අගය කිරීමට ලක් විය. ගම්පෙරළිය හරහා රටේ අස්සක් මුල්ලක් නෑර සියලු මැතිවරණ කොට්ඨාශ සඳහා එක ලෙස මුදල් වෙන් කර තිබීම ද පැසසිය යුතුය. පසුගිය සමයේ කුමන්ත්‍රණකාරී ලෙස බලය ඩැහැගත් විපක්ෂය සිය පළමු ක්‍රියාමාර්ගය ලෙස සිදු කළේ මේ ‘ගම්පෙරළිය‘ හරහා ගමේ පාර, බෝක්කුව, බස් නැවතුම, සහ පොදු පහසුකම් ලබාදීම නවතා දැමීමයි. මෙවර අයවැය හරහා එය වඩාත් වේගවත් කර ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබීම පැසසිය යුතුයි.

මෙරට අයවැය ඉතිහාසයේ එක දිගට අයවැය වාර්තා එකොළහක් ඉදිරිපත් කරමින් වාර්තාවක් පිහිට වූයේ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා ය. ඉන් අනතුරුව ඒ ආසන්නයට පැමිණියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පමණි. එහෙත් ඒ වාර්තාව සම කිරීමට හෝ කැඩීමට ඔහුට ද හැකියාව නොලැබිණි. මේ සම්මුඛ සාකච්ඡාව අවසන් කරමින් රොනී කියා සිටියේ ඇතැම් විට අනාගතයේදී මංගල සමරවීර ඇමතිතුමා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිය හැකි බවයි. තව ද තමා නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයෙන් බිහිවූ මුදල් අමාත්‍යවරයෙක් ලෙස තම වාර්තාව අභිබවා යාමට මංගල සමරවීර මුදල් ඇමතිවරයාට හැකියාව ලැබේවායි ද ඒ මහතා නිර්ව්‍යාජව ප්‍රාර්ථනා කළේ ය.

එමෙන්ම, මේ වැදගත් යෝජනාවලිය ඉතා හොඳින් ක්‍රියාත්මක වීමට නම්, එය අධීක්ෂණය කිරීමට උගත් බුද්ධිමත්, දක්ෂ, වැඩ කළ හැකි තරුණ මන්ත්‍රීවරුගේ සහාය ලබා ගනිමින් පසු විපරම් කිරීමෙන් සාර්ථක ප්‍රතිථල අත්කර ගැනීමට හැකියාවක් ලැබෙන බැව් ඒ මහතා විශ්වාසය පළ කළේ ය.

මහ පොළොවේ පැළ නොවන, ආර්ථික සංකල්ප මත පමණක් පදනම් ව න්‍යායාචාර්යවරුන් සකස් කොට මුදල් ඇමතිවරයකුගේ මුවින් එළිදැක්වූ ලේඛණයන් හේතුවෙන් පසුගිය දශක දෙකමහාරක පමණ කාලය පුරා ජනතාව පීඩාවට පත් වූහ. රටේ මිනිසුන් ඉල්ලා සිටියේ ඒ වෙනුවට ප්‍රායෝගික දර්ශනයක් පදනම් කරගත් ජනතාවට වග කියන දේශපාලනඥයෙක් විසින් ඉදිරිපත් කරන අයවැයකි. සරල ව කියන්නේ නම් රොනී ද මැල් ඉදිරිපත් කළ ආකාරයේ අයවැයකි. මංගල සමරවීර මහතා 2019 වසරේදී සපුරාලන්නේ ඒ ජනතා අපේක්ෂාවයි. එහි සරල අර්ථය වන්නේ දැන් රටේ මිනිසුන්ට බලාපොරොත්තුවක් ඇති බවයි. [email protected]

 

අදහස්