මේක අය–වැයක් නොවේ‍;ණය–වැයක්! | Page 2 | සිළුමිණ

මේක අය–වැයක් නොවේ‍;ණය–වැයක්!

විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රකාශ කළා මෙවර අය–වැය ඡන්දය විමසන අවස්ථවේ පරාජය කරන බව. එහෙත් රජය ප්‍රථම ඡන්ද විමසීම වැඩි ඡන්ද 40කින් ජයග්‍රහණය කළා...

අය–වැය ලේඛනයක් ඉදිරිපත් කළාම විපක්ෂයේ භූමිකාව ජනතාවගේ පැත්තේ හිටගෙන, එහි අහිතකර ප්‍රතිවිපාක වැඩි නම් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම. අප විශ්වාස කළා ආණඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප කොටසත් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වෙලා අය–වැයට විරුද්ධව ඡන්දය දෙයි කියලා. ඒත් පළමු වර ඡන්ද විමසීමේදී කොටසක් පමණයි ඡන්දය දුන්නේ. මා සිතනවා කාරක සභා අවස්ථාවෙන් පසු මීට වඩා මන්ත්‍රී සංඛ්‍යාවක් විරුද්ධව ඡන්දය දෙයි කියලා.

ඔබ සිතන්නේ මුල්වර ඡන්දය නොදුන් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම දෙවන වර ඡන්දය විමසීමේදී ඡන්දය දෙයි කියලද!

මොකද, අය–වැය ලේඛනය නිම වූ වහාම පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගියා. ඒ පීඩනය වැඩියෙන් ජනතාවට දැනෙන්න පටන් ගන්න ‍කොට ඔවුන් මෙයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරයි. මොකද, මොවුන් ජනතාවගෙන් ඡන්දයක් ලබාගත යුතුයි නේ...

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ එකට සිටිනවා කීවාට, ඔවුන් අය–වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකිරීමත් සමඟ එය අසත්‍යයක් බවට පත් වනවා කියලා කාට හරි කියන්න පුළුවන්...

විශාල විරසකයක් තිබුණු, වෙනස් දහරා දෙකක ගමන් කළ කණ්ඩායම් දෙකක් තමයි මේ එකතු වී තිබෙන්නේ. දවසකින් දෙකකින් වන සුමට ක්‍රියාවලියක් නොවෙයි මෙය. ඒත් අද වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ආණ්ඩු විරෝධි බල කඳවුර ඉදි කිරීම සඳහා මේ පාර්ශ්ව දෙක දැඩි උත්සාහයක නිරත වෙමින් සාකච්ඡා රැසක් සිදු කරමින් සිටිනවා.

‘ආණ්ඩු විරෝධි බල කඳවුරක්’ ගැන ඔබ පවසනවා. ඇත්තට ඔබ සිතන්නේ මේ සඳහා කවර පිරිස් සහයෝගය දේවි කියලාද?

මේ සඳහා සියලු දෙනාටම එකමුතු වන්න සිද්ධ වනවා. විශේෂයෙන් පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව සියලු දෙනාටම ආණ්ඩුවට විරුද්ධව හිටගන්න සිද්ධ වනවා. මොකද, මේ පනතින් ත්‍රස්තවාදය පමණක් නොවෙයි; ගොවි, කම්කරු, ශිෂ්‍ය, වෘත්තීය සමිති උද්ඝෝෂණ නැවැත්වීමට රජයට හැකියාව ලැබෙනවා. උද්ඝෝෂණත් නවත්වලා ඒවා ත්‍රස්තවාදි පනත යටතේ ඒ ගොඩටම දාන්නයි උත්සාහය.

මුදල් ඇමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරනවා. මෙවර අය–වැයෙන් තරුණයන්ට වසන්තය පැමිණ ඇති බව...

විවාහ යුවළවලට සහ ත්‍රිරෝද රථ හිමියන්ට දෙන සහන ණය ගැන මෙහි පැවසෙනවා. හැබැයි මේ ණය දෙන්නේ රජය නොවෙයි; බැංකු විසිනුයි. ඒ නිසා මම මේ අය–වැයට කියන්නේ ‘අය–වැයක් නොවෙයි ණය–වැයක්’ කියලයි. රජය කලින් යෝජනා කළ ණය යෝජනා ක්‍රම නිසා බැංකුවලට මිලියන ගණන් මුදල් ගෙවන්න තිබෙනවා. මේ අලුත් ණයත් ක්‍රියාත්මක කළ හොත් බැංකු කඩා වැටෙනවා; හරියට ෆිනෑන්ස් සමාගම් වගේ!

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණය යන මැතිවරණ තුනෙන් කුමන මැතිවරණය ඉදිරියට එයි කියා ඔබ සිතනවාද?

මේ වන විට අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධිව මැතිවරණ කල් දැමීමට රජය ක්‍රියා කරමින් සිටිනවා. ඒත් දැන් ජනතාව දැඩි පීඩනයකින් ඉන්නේ. මේ පීඩනය තව වැඩි කාලයක් දරාගෙන සිටීමට ජනතාව සූදානම් නැහැ. රජයට විරුද්ධව ඕනෑම පක්ෂයකට ඡන්දය දී මේ රජය ගෙදර යවන්න ජනතාව සූදානම් බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. මට දැනෙන විදියට මොන මැතිවරණය තිබුණත් එජාපය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පරාජයට පත් වනවා.

එජාපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ප්‍රකාශ කළා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජයට පත් කරනවා කියලා. එහෙත් ඡන්දයක් විමසීමට අවශ්‍ය නොවන බව අගමැතිවරයා පවසා සිටියා. මොකක්ද ඇත්තටම මෙතන සිද්ධ ව‍ුණේ?

අගමැතිවරයා දන්නවා මේ වැය ශීර්ෂය පරාජය වුව හොත් පාර්ලිමේන්තුව තුළ සියලු දෙනා එක පැත්තක හිට ගැනීමෙන් පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය වෙනස් කරන්න සිදු වනවා. එහෙම වුණොත් ජනාධිපතිවරණය පවත්වන්න වන්නේ එජාප නොවන ආණ්ඩුවක් යටතේ. ඒකට මුහුණ දෙන්න අගමැතිවරයා සූදානම් නෑ. ඒ නිසා තමයි අගමැතිවරයා ප්‍රකාශ කළේ ඡන්දයක් අවශ්‍ය නොවන බව.

 

Comments