යූඇන්පියට මුක්කු ගහන අය අය–වැය ඡන්දෙදි පෙනුණා! | සිළුමිණ

යූඇන්පියට මුක්කු ගහන අය අය–වැය ඡන්දෙදි පෙනුණා!

ඔබ පක්ෂය පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධානයත් සමඟ සාකච්ඡා කළා. එය සාර්ථකයිද?

ඔව්. ඇත්තටම දෙමළ ජාතික සන්ධානයට ප්‍රශ්නයක් නෑ පැවතිය යුත්තේ විධායක ජනාධිපති ධුරයද, විධායක අගමැති ධුරයද යන වග. ඔවුන් පවසන්නේ දෙමළ ප්‍රජාවට බලපාන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් දෙන ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.

රජය හා සෙසු පක්ෂ සමඟත් ඔබ පක්ෂය මේ ගැන සාකච්ඡා කරනවාද?

ඔව්. දැනටමත් ඒ සඳහා දින යොදාගෙනයි තිබෙන්නේ.

මේ සාකච්ඡා අතරේම ඔබ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට පසුගිය සතියේ නුගේගොඩදී ජන රැලියක් පැවැත්වූවා. ‘එහෙන් නැත් නම් මෙහෙන්’ න්‍යායද ඔබ මේ අනුගමනය කරන්නේ?

නැහැ! මෙමඟින් යම් ජනතා මතයක් ගොඩනැ‍ඟේවි විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට.

ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විටත් ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයන් තෝරමින් සිටිනවා. ඔවුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟ වෙයිද?

ඇත්තටම ප්‍රධාන දේශපාලන පක්ෂවලටත් විධායක ජනාධිපති ධුරයට තරග කිරීම ගැටලුවක් වෙලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට යළි තරග කරන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට ලක්ෂ 18ක ඡන්ද ප්‍රමාණයක් තබාගෙන ජනාධිපති වෙන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තෙන් බැලුවොත් ඔවුන් සිතනවා ඔක්තෝබර් මාසෙ පෙරළිය ඔවුන්ට වාසියක් වුණා කියල. ඒත් එවැන්නක් වුණේ නැහැ. ඒ නිසා අප කවුරුත් ගරු කරන පාර්ලිමේන්තුවට බලය දීමට කටයුතු කිරීම වැදගත්.

එහෙත් එජාපය පැවසුවා මේ වසරේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය පමණක් බව...

ඔවුන් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නෑ. තිබ්බොත් ගම්වල ජනතාව ඡන්දෙ දෙන්නෙ නැති නිසා අන්ත පරාජයක් අත් වනවා. ඒ නිසා ඔවුන් බලන්නේ මේ අවස්ථාවේ දේශපාලන කුණාටුවෙන් අයුතු ප්‍රයෝජන ගන්නයි.

අය–වැයෙන් ජනතාවට දුන් සහන ගැන වත් ඔබේ ප්‍රසාදයක් නැත්තේ ඇයි?

ඔය පෙන්වලා තියෙන සහන කිසි දෙයක් සැබවින්ම අය–වැයේ නෑ; ජනතාව පිට බදු සහ දඩ පටවලා විතරයි.

ජිනීවා කතාව ආයෙත් ඇවිත්. අපේ රටේ දේශපාලන පක්ෂ මේ ගැන වැඩි අවධානයක් යොමු කර තිබෙනවා...

මහින්ද රාජපක්ෂ මහතා ඉන්න කල් කිව්වා විදුලි පුටුවක් ගැන. එයාට විදුලි පුටුවට යන්න වුණෙත් නැහැ; ත්‍රිවිධ හමුදාවෙ කාට වත් යන්න වුණෙත් නැහැ. කාලෙන් කාලෙට එන වාත රෝගයක් වගේ තව ටික දවසකින් ඔය කතා ඇරිල යයි.

අය–වැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මඟහැරියා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

ඒකෙන්ම පේනවානේ ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත? දැන් පැහැදිලියිනේ යූඇන්පියට ඇත්තටම මුක්කු ගහන්නේ කවුරුද කියලා. ජනතා විමුක්ති පෙරමුණටනෙ ඇඟිල්ල දිගු කළේ එජාපය ආරක්ෂා කරනවා කියලා! ජවිපෙට එක් ඇඟිල්ලක් දිගු කරද්දී තමන් දිහාවට ඇඟිලි හතරක්ම දිගු වෙලා තිබෙන වග මේ අය තේරුම් ගන්න ඕනෑ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් මේ දිනවල හැම තැනම කතා වෙනවා...

ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන ජනතා අයිතියක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකින් වළක්වන්න හදනවා නම් ජනතා විමුක්ති පෙරමුණ එයට මුලින්ම විරෝධය පළ කරන තැනට එනවා. ජනතාවගේ අරගල අයිතිය වළක්වා, රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාළි ආණ්ඩුවට අවශ්‍ය පරිදි නැවැත්වීමේ පටු අරමුණින් තමයි මේ පනත් සකස් කර තිබෙන්නේ.

මන්නාරම සමූහ මිනීවළේ කාල නිර්ණය වාර්තාව පිළිගන්න බැහැ කියා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසා තිබුණා...

කාල නිර්ණය වාර්තාව අප හදපු-එකක් නොවෙයි. එය සකස් කළේ ඇමරිකාවෙන්. ඇත්ත වශයෙන්ම අප ඒ පරීක්ෂණ වාර්තාව පිළිගත යුතුයි. මාවෙයි සේනාධිරාජා මහත්වරුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න හදන වෑයමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරන්නේ එය යුද සමයේ සිදු වූවක් බව අඟවා, හමුදාවට බැර කරන්නයි.

Comments