‘සිරිකොත ගමට’ ඇරඹෙයි | සිළුමිණ

‘සිරිකොත ගමට’ ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කරන ‘සිරිකොත ගමට’ ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා පානදුර, තොටවත්ත ප්‍රදේශයේදී ආරම්භ විය. ඒ, කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. කළුතර දිස්ත්‍රික්කයට අයත් කළුතර, පානදුර, හොරණ, අගලවත්ත, මතුගම, බේරුවල, ... ආදී ප්‍රදේශ රැසක එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරිමට එක්වූහ.

2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රතිලාභ ලැබෙමින් තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එක්වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කරන බව සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය කාලය තුළ අප සිදු කළ සංවර්ධන වැඩකටයුතු වල ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග, විදුලිය, ජලය වැනි සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අප ඇති කළා. අපේ ආණ්ඩුව මොනවද කළේ කියා අද ඇතැම් අය විමසා සිටිනවා. අපි අඬබෙර ගහන්න ගියේ නැහැ. නිහඬව වැඩ කළා. එහි ප්‍රතිඵල ඉදිරියේදී භුක්ති විඳීමට හැකි වෙනවා. වසර හතරක් තුළ අප සිදු කළ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵල ලැබීම ආරම්භ වී තිබෙන මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව පිහිටුවන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමග එක් වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කර සිටිනවා”. යැයි පැවසීය. සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ එදින පුරා කළුතර දිස්ත්‍රික්කයේ සියලූ මැතිවරණ කොට්ඨාශවල ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ වැඩපිළිවෙළ යටතේ පාක්‍ෂිකයින් මෙන්ම සෙසු ජනකොටස් මුණගැසෙමින් ඔවුන්ගේ අදහස් හා සුවදුක් විමසා බලමින් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොට්ඨාශයෙන් කොට්ඨාශයට ගියේය. එදින(10) පෙරවරුවේ පානදුර පැවැති වැඩසටහනෙන් අනතුරුව සිරිකොත ගම ගෙන යෑමේ දෙවන පියවර හොරණ නගරයෙන් ආරම්භ විය.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා මඟ දෙපස ඇති වෙළෙඳ ව්‍යාපාර හා නිවෙස්වලට ගොස් ජනතාව දැනුවත් කර පක්‍ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීය. අග්‍රාමාත්‍යවරයා සමඟ එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම්, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජාතික සංවිධායක නවීන් දිසානායක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා, සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු එජාප ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

බණ්ඩාරගම පැවැති ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. "සිරිකොත ගමට ගෙන යෑමේ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. ප්‍රාදේශීය සභා, නගර සභා, පාළාත් සභා සියලුම මන්ත්‍රීවරුන්, නියෝජිතයන් මේ ප්‍රදේශයේ ශාඛා සමිති ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. එදා සිරිකොත ගමට වැඩසටහනෙන් අපි ගමට ආවේ විපක්ෂය ලෙසටයි. නමුත් අද අපි සිරිකොත ගමට වැඩසටහන සමඟ ගමට එන්නේ ආණ්ඩු පක්‍ෂය ලෙසටයි. ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු රට වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කිරීමෙන් පසුව අද අපි ගමට පැමිණ තිබෙනවා. අපි ගමට එන්නේ මහින්ද රාජපක්‍ෂ වගේ බොරුවට සංවර්ධනය ගැන කියවීමෙන් නොවෙයි. අපි රට වෙනුවෙන් කළේ කුමක් දැයි ඔවුන් විමසනවා. 2009 ඔවුන් ජිනීවා සමුළුවට ගොස් සියලූදෙනාම යුද අධිකරණයට යැවිය යුතු යැයි පැවසුවා. 2010 වසරේ ආණ්ඩු බලය ලබාගත්තත් වසර 6 ක් එක දිගට ආණ්ඩුව ගෙන යාමට ඔවුන්ට නොහැකි වුණා. විශාල ලෙස ණය ලබාගෙන ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. වෙනත් රටවල් අපට ණය ලබාදීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ආණ්ඩුව අස්ථාවරවනු ඇතැයි බියෙන් ඔවුන් ඉක්මන් මැතිවරණයක් පැවැත්වුවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, ගම්මානවල සංවර්ධනය අඩාල වුණා. ඒ කාලයේ අපි සංවර්ධනය දුටුවේ මාධ්‍යයෙන් පමණයි.අපි රට වෙනුවෙන් විශාල ලෙස වැඩකටයුතු කළත් ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නේ නැහැ. දැන්වත් එම තත්ත්වයෙන් මිදී අපි කරන සංවර්ධනය රට තුළ ප්‍රචාරය කරාවි යැයි අපි සිතනවා. අපිට භාර දී තිබුණේ විනාශ වූ රටක්.නැවත රට ගොඩනැගේවි යැයි විශ්වාසයක් තිබුණේ නැහැ. රට සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස බෙදී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී තිබුණා. බලය ලබාගැනීමෙන් පසු අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ගෙනාවා. ව්‍යවස්ථාදායක සභාව ඇති කළා. අධිකරණය, රාජ්‍ය සේවා, මානව හිමිකම් පිළිබඳ ස්වාධීන කොමිෂන් ඇති කළා. තොරතුරු දැනගැනීමේ පනත, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ජාතික විගණන පනත ඇති කිරීම, ප්‍රාදේශීය සභා, පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීම, මූල්‍ය වංචා විමර්ශනයට මූල්‍ය අපරාධ අංශය ඇති කිරීම, විශේෂ උසාවි ඇති කිරීම ආදී විශාල ප්‍රතිපත්තිමය වැඩකොටසක් රට වෙනුවෙන් ඉටුකිරීමට අපට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් 26 වැනිදා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදු වෙන විට රටේ ජනතාව ඒ වෙනුවෙන් නැඟී සිටියා. ඔබ කැමැති එක්සත් ජාතික පක්‍ෂයටත්, මටත් නැවතත් ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය ශක්තිය අපට ලබාදුන්නා. මහින්ද රාජපක්‍ෂ අපි කළේ කුමක්දැයි අසන ප්‍රශ්නයට හොඳම පිළිතුර එයයි

මින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කළුතර දිස්ත්‍රික්කය පුරා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සමඟ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන්වලට එක්වූ අතර; ගමින් ගමට යමින් ශාඛා සමිති පිහිටුවීම, සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම, පාක්ෂිකයන්ගේ ගැටළු හඳුනා ගැනීම ඒවාට විසඳුම් ලබාදීම සඳහා නව යෝජනා අදහස් ලබා ගැනීම හා පාක්ෂිකයින්ට නව ජවයක් ලබාදෙමින් ඔවුන් ශක්තිමත් කිරීම ද එදින පුරා ක්‍රියාත්මක විය. එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම, ප්‍රාදේශීය සභා, පළාත් සභා හා කළුතර දිස්ත්‍රික් පක්ෂ ක්‍රියාකාරිකයින් රැසක් එක්ව සිටියේය. මෙම පක්ෂ නායකයන් දිනය පුරා කළුතර දිස්ත්‍රික්කයේ සිය පාක්ෂිකයන් සමග රැඳී සිටිය ආකාරය දැක ගත හැකි විය.

ඉදිරියේදී මෙම වැඩසටහන දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණයවන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහි දෙවැනි අදියර අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව මෙම සංකල්පයේ නිර්මාතෘ එජප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Comments