එක ලපයා | සිළුමිණ

එක ලපයා

 

පරිවර්තිකාව - එරංගා පෙරේරා

ප්‍රකාශනය - ග්‍රැෆිකෙයා

මිල - රු. 300

නෙදර්ලන්ත ලේඛිකා 'එවලින් ෆන් දොර්ත්' විසින් ලියන ලද 'Eentje Geentje, het lieveheersbeestje' නම් වූ ළමාකතාවේ සිංහල අනුවාදයයි.

'ලේඩිබර්ඩ්' ලෙස හඳුන්වනු ලබන රතු පැහැති කුරුමිණි රංචුවක් අලළා ගොඩනැඟුණු කතාවක් අන්තර්ගත මේ කෘතිය කුඩා දරුවන්ගේ භාවිතයට උචිත පරිදි ඔප කඩදාසියෙන් මුද්‍රිතව, ඝන පිටුවැස්මකින් නිමවා තිබේ. මුල් කෘතිය සඳහා 'ගෙර්දා වෙස්ටරින්ක්' විසින් නිමවන ලද සිතුවම් මෙහිදීද භාවිත කර ඇති අතර, පරිවර්තනයට යොදාගෙන ඇත්තේ ඕලන්ද භාෂිත මුල් කෘතිය වීම විශේෂත්වයකි.

'මුතූ' නමින් දිගු කලක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ නිර්මාණකරණයේ යෙදෙන පරිවර්තිකාවගේ ප්‍රථම මුද්‍රිත ග්‍රන්ථ ප්‍රයත්නයයි.


කවි මඩුව කැඩී බිඳී ගිය පසු...

 

කරුණා පෙරේරා

 

යුවතියකට, කාන්තාවකට රූපය රුවට තබා ගන්නට ආලේපන උදව් කරන්නේලු! ඒ රූපය පිරිමින්ගේ බැල්ම ඇය වෙත කැඳවයි. එලෙස කැඳවනු ලබන රූපය ඔහුට යම්කිසි විදියකින්, යම්කිසි දවසක වියෝ දුකක් දෙන්නේ ද එතැනදී ඔහුගේ කවි සිත පිබිදෙන්නේ නම් දුකට කියන කවක්, ගීතයක් උපත්දන්නට විලිරුදා ඇතිවන්නේ ය. පිරිමින්ගේ මන බඳන දේහ විලාශයෙන්, ඔවුන් සියොලඟ ගල්වන සුවඳින් ඔවුන් හා බැ‍ඳෙන, බැ‍ඳෙන්නට සිත් ඇති යුවතියකට ද කාන්තාවකට ද දිනෙක ඒ සිත් බිඳී ගියහොත්, දුකට කියන කවක් ගීතයක් උපද්දන්නට විලිරුදා ඇතිවන්නේ ය.

ඒ විලිරුදාව මිහිරියාවකි.

‘බිඟුහු මල් පැණි බොත්

පණුවෝ මල්හි පෙති කත්

මෙකවෙහි රස පුවත්

කැමති අයුරින් විඳිනු යහපත්’

මේ, ප‍ී.බී. අල්විස් පෙරේරා 1963 දී ලියූ කවියකි. ආදරය, ගැහැනිය, සොබාදහම ගැන කවි ලියන අතර සමාජ විෂමතාවය ගැන ද කවි ලියූ ‍කවි කිය‍‍ූ අල්විස් පෙරේරා, කවිය ජනයා අතරට ගෙන යාමට, ඔහුගේ නිර්මාණ ශක්තිය මෙන් ම ප්‍රබල හඬ ද ඉවහල් කරගත්තේ ය.

ඉස්සර කවි මඩු ය. දැන් ගී මේලා ඇත. ඒ ගී මේලාවලදී නටන්නට ද පුළුවන‍. ඉස්සර කවි මඩුවලට ආ රසිකයෝ කලබල නොකළහ. හිටිවන කවි කියන කවියන්ගේ හපන් කම්වලින් රසවත්වීමට, කවියෙන් කියැවෙන අරුත හා එක්වී රසවත් වන්නට රසිකයෝ උනන්දු වූහ. මල්හි පෙති කන පණුවෝ එතැන්හි නොවූහ.

අද පැවැත්වෙන ගී මේලාවල කලබල බොහෝ ය. ගී මේලා රාත්‍රිය පහන් වූ කල්හි, ගී සංදර්ශන පැවැත්වූ බිම සිදුවූ බොහෝ කලබල ගැන සාක්ෂි ඉතුරුවෙයි. එදා තව එකක් යයි හිටිවන කවි ගායනා කළ කවියන්ට ආරාධනා ලැබිණි.‍ ඒ සුහද ආරාධනාවකි. ඒ ඉල්ලූ කවියේ වූයේ තාලෙට ගැයීම ද? ප්‍රබල හඬද...? ඒ දෙකම විය හැකියි. තව එකක් යි හඬ ගෑ මිනිසුන් වේදිකාවෙන් ආ කවි හ‍ඬෙහි අරුත්වලට පෙම්බැඳි අයය. බොළඳ සතුටක් නොව රුදුරු ලෙස පීඩනයට පත් ජීවිතවල, ගරා වැටෙන අපේ හැදියාවේ කාලකණ්ණිකම ගැන දැඩි කැක්කුමක් ඇතිව උන් නැඟූ හඬය ඒ. ඉල්ලීමය ඒ... සතුටේ සහ ප්‍රශංසාවේ අත්පොළසන් හඬය ඒ.

අපි ජන කවියෙන් රසවත් වෙමින් හැදී වැඩී ආ ජනතාවක් වෙමු. අන්දරේලා කවි කීවේ පඬුවන්ගෙන් ලත් උගත්කමින් හෝ පණ්ඩිත මානිත්වයෙන් නොවේ. ඔහු ජීවත්වීම කලාවක් ලෙස ගෙන ජීවිතය කවියක් කර ගත්තෙකි. නැති බැරිකම් ඔහු පසුපස පැමිණිය ද ඔහුට සැහැල්ලු සිතින් කවියක් කියන්නට පුළුවන්කම තිබිණි. ඉන් මෙහා කාලයට පිවිසෙන විට අපට කවි කොළකාරයෙක් සිටියේ ය. රටේ සිදුවූ දුක්බර පුවතක්, ආන්දෝලනාත්මක පුවතක්, ඔහු කවි කළේ ය. ඒවා අච්චු ගැසුවේ ය. සත දහයයි කවි කොළේ... හන්දියක බස් නැවතුම් පොළක වෙළෙඳ පොළක ඔහුගේ හඬ ගිගුම් දුනි. ජනකාය ඔහු වටා ගොනු විය.

ඔහු විපතක් ගැන ආරංචියට කවියේ රස එකතු කළේ ය. ඉහ අත බදාගෙන නෑඬුවාට ජනයා හදවතින් කඳුළු වැගුරූහ. අනිකාගේ දුක, නන්නාඳුනන එකාගේ විපත කවියා විසින්, මෙත් සිත් ඇත්තන් උපද්දන මෙවලමක් බවට පත්කර ගනු ලැබිණි. කවි කොළකාරයාට ඒ වෑයම සඳහා ආභාසය දුන්නේ එකල සිටි කවින් ය.

දුප්පතකුගේ ඇවුරුණු මිටි ගෙයට කුඩා

කණමැදිරියා දෙයි එළියක් හඳට වඩා

සිහි කළ හැකිය එය දෙනෙතිනි කඳුළු කඩා

වෙහෙසිය යුතු ද අප ඉර හඳ ගැනම දොඩා”

මේ උඳුගොඩ නවරත්න කවියා, දුප්පත්කමේ විඩාව කවි ඇසින් සමාජගත කළ සැටියකි. ඒ එදාය. මෙදා...? අපේ තරුණ කවි සිත් යුක්තිය, සාධාරණය උදෙසා කවිය සිහින් පිහිතුඩක් ලෙසින් ගෙන සමාජගත විසරගෙඩි පුපුරුවා හැර ඕජස් ඉවත් කිරීමට තැත් දරයි. මේ රුවන් බන්දුජීව කවියාගේ නිර්මාණයකින් උපුටා ගත් පද කිහිපයකි.

“උලකුඩය දේවියට

පුතෙක් ලැබිලලු අන්න

සැළලිහිණියෝ උඹට

කොහොම සතුටක් ඇද්ද...?

මේ අසාපන් මිතුර මං ගෙදර නැති අතර

ගැරඬි පතයෙක් ඇවිත් වනසලා මගෙ ගෙදර

පොඩි දුවගෙ පියාපත් බිම තිබුණි හැම තැනම

ඒ දුකට ළය පැලී මිය ගිහින් මගෙ සොඳුර

උලකුඩය දේවියත්, රජතුමත්, හිමි නමත්

සෝත පණිවුඩ තුනක් එවා තිබුණා මිසක

මගේ හිත හැදෙන්නට පුංචියට හරි යමක්

කියා යන්නට කියා ආවෙ නෑ මළ ගෙදර

මේ අලුත් අදහස්වලට සමාජය පුරා නිදහසේ ගලා යන්නට අවකාශය නැත. මේ බිම සිත්පිත් නැතිකවුන් ගේ කෙළි බිමකි. ඒ බිම මත වැගුරුණු ලේ කඳුළු යමක් මුමුනයි. කවියෙන් මත්වීම වෙනුවට, මත් පෙත්තකින්, මත් දියරකින්, අයිතියට ඉඩදෙන දුමකින් මත්වීමේ විපාකය මේ යයි මුහුනයි. මහ මග පණ අදින මිනිසකුගේ ගලා යන ලේ දහරාව ළඟ මොහොතක් නොරැඳි තමාගේ ගැලවීම සඳහා පැන යන පරපුරක් ඇති කිරීම සඳහා නොවේ, මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේ දැ’යි නුවණ විමසූ මහින්ද හිමි අපට දුන් සංස්කෘතියේ හරය!

අපි අපෙන් ඈත්වී සිටිමු. අපි අපේ මනුස්සකම විකොට මත් පෙති ගනිමු. ජීවිතයේ දුක් නිවාගන්නට විෂමත් ද්‍රව්‍ය ජාවාරමේ පංගුකාරයන් වී කුලියට ගී ගයමු. ඔබ ගයයි. උන් නටති...

හතරවටින් වරකර ඇති විපත්ති ගැන හාන්කවිසියක් නොදන්නා, මන්මතින් සිටින්නෝ ජීවිතය නොදකිති. ජීවිතය දැනෙන්නේ, හැ‍ඟෙන්නේ සිහි මුළාවට පත් නොකර ගත් හදවත් වලටයි!

‘තැනින් තැන හඬන පැල්පත්වලට උඩින්

විටින් විට ඇදින අටවන උගුල් මැදින්්

වතින් වත සිනා තවරා සතුටු සිතින්

ඉතින් දැන් කරව පියසර කොළොම් තොටින්’

මේ පුර වැනුම කපිල එම්. ගමගේ කවියා‍ ගේය දුකට කියන කවිවල, රසයත් ඉන් මතුකරන හරයත් දැනෙන්නේ අඩවන් දෑසින් අඩ නින්දෙන් සිට අවදි වී තෝන්තුවාවෙන් එකල මෙකල වන නිවටුන්ට නොවේ!

 

අදහස්