කවි මඬල | සිළුමිණ

කවි මඬල

ලඳුන්

ඉරට ඉරගල සඳට සඳගල
කියා, කවි කිවු ලඳුන්
පයට පාවට ඉහට මුතුකුඩ
කිසිත් නොපැතුව ලඳුන්
රුවට රූබර වතට ගෝමර
පතා නොසිටියි සඳුන්
හිතට දුක්ගෙන, හෙටට යහපත,
බලා විකිණෙයි ලඳුන්

දිනිති දීපිකා
(ජගත් කාන්තා දිනය වෙනුවෙනි)


සිකුරී

දත් බුරුසු ඇති­ල්ලෙන වතුර ටැංකිය ළඟ සද්දෙට
ඇහැ­ර­වා­ගෙන කඩි සිත හැකි පමණ වේගෙට
ගිය මාසෙ ගත්ත ප්‍රින්ටඩ් සාරිය
ලෝබ­ක­ම­කින් පෙර­ව­ගෙන
සුවඳ දිය­රෙන් වසා­ගෙන නොදැ­නෙ­න්නට
සිතේ දිය­වන ගින්දර
සින්න වෙන්නට පෙරුම් පුරන
කර මාල­යත් සඟ­වා­ගෙන හැකි තර­ම­ටම
සිකුරි දුව­නවා කැල­ණි­වැ­ලි­යට
ටොක් ටොක් හඬින් ඇති­ල්ලෙන
අඩි උස සෙරෙප්පු දෙක
ලෙස්ස­න්න­ටත් දැන් ළඟය මාසෙ පඩි­යත් ඉව­රය
කකුල් දෙක නතර නොවුණ ද සිත නත­ර­වෙන
ඉහ­ළ­වත්ත සොහොන ළඟ
හීන් හඬින් පිට­වෙන බිලිඳු සුව­ඳක ඉකිබිඳුම
බාල මේකප්වලට නොහැ­කිය
හංගගන්නට තව දුරට
පටිය කැඩුණු හෑන්ඩ් බෑගයේ
කැඩුණු පටිය හංග­ගෙන
ඉරි­තළා ගිය ස්මාට් ෆෝන් එක
සම­ච්චල් කර­නවා මැකී ගිය මත­කෙ­කට
කෝච්චි සීසන් එකට පුළු­වන් නම්
වැඩි කර­න්නට මාසෙක සොච්චම
කොහොම යන්න ද ස්ටාෆ් බස් එකක
සිකුරි සිත­නවා තනි­යම
ඉහින් කනින් වැගි­රෙනා දහ­ඩිය
පැව­සු­වෙම අහිමි අසනි වැස්සක සල­කුණ
කළු ගැහෙ­න්නට ළඟ කරාබු දෙක
පැව­සුවේ බැංකු­වට සින්න වුණු
මත­කෙක දිරච්ච ලකුණු
මුහු­දට යන අද­හස අත් හරින මෝඩ ඇළ ළඟ
තැබූ අඩිය ආප­ස්සට ගන්නට දෙව­රක් හිත­න්නට
සේල­යින් ගොඩක අත­රමං වුණු අම්මාගේ මුහුණ මතක් වෙන්නට සිකු­රිට ඇති විය එය හොඳ­ටම
ළා රතු පාට ආද­රයේ ඉර
ඔච්චම් කර­මින් බැස යන ­විට සවස
ප්‍රින්ටඩ් සාරි­යම දාඩි­යෙන් තෙමෙන විට
ලැටිස් පටි ගෙදර සොඳුරු නවා­තැන යන්න
සිකු­රිට සිත­න්නට බොහෝ දේ ඉතිරි කළ

ප්‍රියාශා රන්වල


මධු­වි­තක

මම නුඹව
දි


ළෙ
මි
මධු­වි­තක
විඩෙන් විඩ හඳ විරි­ත්තුව රැයක
මධු බඳුන පුර­ව­මින්
බිතු අතර කළ­ත­මින්
හිස් කළෙමි
යළි
යළිත්
පෙර මතක
හඳ ඔබා
මධු­වි­තක
කෙඳි­රු­වෙමි සඳ­ව­තට
ඉතින් ඒ අව­සන්ය.
මත් සිඳුණු
මා මසැස
මත රැඳුණු
පළමු රුව
නුඹේ රුව

චාමරී ෆොන්සේකා


අම්මා

ඉස්සර අපෙ අම්මා
මගෙන් නිත­රම වදේ කිවුවා…
දැනුත් අපෙ අම්මා
එ් කතා­වම නිතර කියනා…
ගණ­න­කට නොගත් මා
අම්මා නන් දොඩ­න­වයි කිවුවා…
වුණු දාක අම්මා
අැගේ හද­වත දැනෙයි කිවුවා…
දුන්නෙ ගුටි පෙම්මා
හදා ගන්නට බවද කිවුවා…
හිතු­ව­ක්කාර මා
නේක රිදවූ බවද කිවුවා…
පන්ති යන අතර මා
හොරෙන්ම පෙම් බැන්දා…
අහු­වුණු දා අම්මා
උඹව ගස් බඳි­න­වයි කිවුවා…
ඔහුව අත නෑර මා
උපා­ධි­ය­කුත් අතට ගත්තා…
එ්කම නම් වුව­මනා
කරලා දුන්නා ඔන්න කිවුවා…
දැන් මාත් අම්මා
දුවක් මයි වුව­මනා කිවුවා…
අනේ මගෙ අම්මා
මාව කෝමද හැදුවෙ හිතුණා…
අඬන විට පිම්මා
මතක් වේ මට මගේ අම්මා…
අදත් මගෙ අම්මා
දරුවො මදි­වට මිනිපිරී කිවුවා…
කිය කියා අම්මා
මගේ දරු­ව­ටත් කවි කිවුවා…

චතුරි ගවේ­ෂිකා සම­ර­කෝන්
 


දෙදෙ­නෙක්

බෝ මැඩ අබි­යස
දෑඟිලි බැඳ­ගෙන
සිල් රක්නා කත
වල්ල­භ­යට පින
අනු­මෝ­දන් කර­විය
ජීවි­තය අබි­යස
හැරදා විළි­බිය
වීදි සරණ ලිය
ඒ මිනි­සා­හට
අභි­නි­ෂ්ක්‍ර­මණ‍යෙ
මග පෙන්වා දුනි

සීවලී අත්ත­නා­යක


සීතල රැයක ඇති­වන හැඟු­ම්...

කල්අඩි පාල­මට හඳ පෑයුව රෑක
පාලම් ඇන්ද ළඟ තනි වී එක දාක
සිටියා තනි­වෙලා සිති­වි­ල්ල­ක‌ ­ශෝක
මත­කය සිතට වද දුන්නා ලෙස නේක
කර­දිය කැරළි මත සඳ පෙන සුමුදු කැටී
අතරේ පාලමේ දිගු සෙවණැල්ල වැටී
දිය රැළි සුළිය­කට අසුවී සැලෙන හැටී
හිස් බැල්ම­කින් බොඳ වී ඇති දෑස දිටී
පාලම මතින් දහ­වල පා නැගු යුවතී
හේතුව කිමද සුන්දර මොහො­තක නොමැතී
බිය­සැක නිසාදෝ අඩ අඳු­රට පැවතී
දහ­වල වගෙයි රෑටත් වෙන­සක් නොවෙතී
එක ලේ ගලන දෙව­තක දෙබ­සක වෙනස
දැනු­ණිද කල්අ­ඩියෙ පාල­ම­ටත් මෙලෙස
හැමදා තිබේ­විද මේ අඩ­ඳුරු දවස
අරු­ණෝ­ද­යක් නැති­වේ­විද හෝ කෙලෙස
පාලම මත සැලුණ මිණි කිංකිණි සල­ඹයි
යළි දෙස­වන් අසන රිසි­යෙන් සිත කල­ඹයි
ඒ හඬ හඹා යන්නට සිතු­විලි පොල­ඹයි
සීතල රැයක ඇති­වෙන හැඟු­මන් බොළ­ඳයි
කල්අඩි පාලමේ පීනා යන මාළු
බාදා කවර අප හට වන්නට යාළු
එලෙ­සින් වුණොත් අපි ඔක්කොම සැන­සේලූ
අතැ­ඟිලි පා සළඹෙ මා සුර­තට දේලූ
පාලම යට ඉඳන් මාළුන් කී ගීත
දුක්බර වුණත් මේ අඩ­ඳුරු රෑ සීත
බාදා­ව­කින් තොර හඳ පෑයූ දා මෑත
ගී හඬ පා සලඹ හැඬ­වෙයි සුවි­නීත

කලා­භූ­ෂණ ගාමිණි ලිවේරා
මුන්ද­ලම
 

අදහස්