ක්‍රොයිට්සර් සොනාටා | සිළුමිණ

ක්‍රොයිට්සර් සොනාටා

ක්‍රොයිට්සර් සොනාටා යනු ලොව මෙතෙක් පහළ වූ ලේඛකයන් අතුරින් විශිෂ්ඨතමයා ලෙස සැලකෙන රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි (1828 - 1910) විසින් 1889 දී රචිත Kreitzerova Sonata නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය වන The kreutzer Sonata හි සිංහල පරිවර්තනයයි.

කතන්දරය ඇරඹෙන්නේ දුම්රිය මැදිරියක ගමන් ගන්නා මගීන් කිහිප දෙනකු අතර ඇතිවන සංවාදයකිනි. විවාහය ගැනත් ප්‍රේමය ගැනත් ඔවහු සිය මත ඉදිරිපත් කරති. ඔවුනතර සිටින එකම කාන්තාව ගෙනෙන මත කේන්ද්‍ර කර ගනිමින් අනෙක්හු සංවාදයට එක්වෙති. ඇය කියන්නේ විවාහයට පෙර ඔවුනොවුන් දැන හැඳින ප්‍රේම කිරීමෙන් පසු විවාහ වීමෙන් සාර්ථක පවුල් ජිවිතයක් ගත කළ හැකි බවයි. ආලය බලෙන් ඇති කළ හැකි දෙයක් නොවේ ය යනු ඇගේ මූලික අදහසයි. දුම්රිය මැදිරියේ සිටින තලතුනා වැදගත් පෙනුමැති අයෙක් මේ සියල්ල අසා සිට සංවාදයේ යෙදෙන පිරිස අසලට පැමිණි එයට මැදිහත් වෙයි. ඔය කියන්නේ මොන විදිහේ විවාහය පවිත්‍ර කරවන ආලයක් දැයි ඔහු ඇගෙන් විමසයි. ‘නියම සැබෑ ආලය යැයි ඇය පිළිතුරු දුන්න ද එය පැහැදිලි කිරීම ඇයට අපහසු වෙයි. ඔහු ම පසුව ඇයට එය පැහැදිලි කැර දෙයි. ‘ඔයාලා කතා කරන්නේ තියෙන්න ඕනෑ යි කියා හිතන දෙයක් ගැන. නමුත් මා කතා කරන්නේ තියෙන දෙයක් ගැන. ඔය කියන ආලය හැම පිරිමියෙක් ම හැම ලස්සන ගැහැනියකට ම දක්වනවා’

පසුව ඔහු තමා හඳුන්වා දෙමින්, තමා බිරිය ඝාතනය කළ නිසා හිරේට නියම වූ පෝඩ්ස්නශෙව් බව කියයි.

දුම්රිය මැදිරියේ සිටියෝ ඊළඟ දුම්රිය පොළකින් බැස යති. මේ කතාව අපට කියන අය සහ පෝඩ්ස්නෙව් පමණක් දිගටම දුම්රියේ ගමන් ගනිති.

පෝඩ්ස්නශෙව් සිය කතාව අනෙක් මගියා සමඟ කියයි. ඔහු වයස 15 සිට ම ස්ත්‍රීන් ඇසුරෙහි නිරත ව සිටියේ ය. එකල රුසියාවේ මතු නොව සියලු රටවල ධනවත් වැඩිහිටියන් සිය පිරිමි දරුවන් එවැනි ක්‍රියාවල නිරත වීම ඔවුන්ගේ සෞඛ්‍යයට හේතු වෙතැයි ඒවා ඉවසා වැදෑරූ බව ඔහු කියයි. ඇත්තටම නම් තමා ගත කළේ සල්ලාල දිවි පෙවෙතකි’යි ඔහු විස්තර කරයි. පසුව ඔහු විවාහ විමට තීරණය කරයි.

ඔහු ආවාහ කැර ගන්නා තරුණිය මනා රූ සපුවකින් යුක්ත ය. විවාහයෙන් මසක පමණ ඇවෑමේ සිට ඔවුනතර අඬදබර ඇතිවෙයි. ස්ත්‍රීන් සිය සිරුර පිදීමෙන් පුරුෂයන් යටත් කොට ගෙන සිටින බව ඔහුට පසක් වෙයි. ඇයට දරුවෝ ලැබෙති.

දරුවන් කිහිප දෙනෙකු ලැබීමෙන් පසුව සෞඛ්‍ය හේතු නිසා වෛද්‍යවරු ඇයට නැවත ගැබ් ගැනිම තහනම් කරති. මේ නිසා ඔහුට අවශ්‍ය ම දැය වන ලිංගික ඇසුර නැතිව යයි. විවාහයෙන් පසු ඔහු වෙනත් ස්ත්‍රීන් කරා නොයන බැවින් මේ ලිංගික විරමණය ඔහුගේ සිතේ නුරුස්නාකමක් වඩවයි.

කලකට පසු ඔහු තමා හමුවට එන සංගීත ශිල්පියකු සිය බිරියට හඳුන්වා දෙයි. තෘහවෙස්කි නමැති මේ සංගීත ශිල්පියා කාමුකයකු බව දැන ගන්නා නමුත් ඔහු සිය බිරිය ඔහුගේ ඇසුරෙන් මිදැවීමට පියවර නොගනියි. දිනක් බිරිය හා තෘහවෙස්කි ඔහුගේ මැදුරේ දී බීතොවන්ගේ ක්‍රොයිට්සර් සොනාටා වාදනය ඉදිරිපත් කරති. පසු දා තමා මේ නුවරින් පිටත්ව යන බව තෘහවෙස්කි, පොඩ්ස්නශෙව් සමඟ කියයි. පොඩ්ස්නශෙව් පසු දින සිය ව්‍යාපාරික කටයුතු සඳහා දින කිහිපයකට බැහැර යයි. මේ වන විට ඔහු සිය බිරිය හා තෘහවෙස්කි අතර රමණය සිදුවන්නේ යැයි සිතා බලවත් ලෙස ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් සිටියි.

දින තුනකට පසු බිරිය ඔහුට ලිපියක් එවයි. තෘහවෙස්කි සංගීත ප්‍රස්තාර කිහිපයක් රැගෙන ඇය හමුවට ආ බව එහි සඳහන් වෙයි. එදින ම කිසිවකුට නොදන්වා ඔහු ආපසු එයි. ඔහු එනවිට රෑ බෝ වී ඇති නමුත් තෘහවෙස්කි සහ බිරිය පියානෝ වාදනය කරනු ඔහුට ඇසෙයි. හඬ නොනැගෙන සේ පිහියක් රැගෙන එතැනට යන ඔහු එයින් ඇන බිරිය ඝාතනය කරයි; සංගීතකාරයා පැන යයි. නඩුවෙන් ඔහුට සිර දඬුවම් නියම වෙයි. දැන් සිර දඬුවම අවසන් ය. තමා මේ යන්නේ ගම්බද පෙදෙසක පිහිටි තමාට අයත් කුඩා නිවෙසක පදිංචියට ය. දරුවෝ බිරියගේ පාර්ශ්වයේ නෑයින් භාරයට පත් කොට ඇත.

මිනිසුන් සහ ගැහැනුන් අතර පවතින මෘගමය දුරාචාරය සහ ඌරන්ගේ වැනි සබඳතා මෙවැනි සිදුවීම්වලට හේතුව බව පොස්ඩ්නශෙව් කියයි.

මේ කෘතියට තොල්ස්තෝයි නම යොදා ඇත්තේ අමුතු ආකාරයකට ය. බීතෝවන් විසින් ක්‍රොයිට්සර් නම් ජ්‍යෙෂ්ඨ සංගීතවේදියාට උපහාර පිණිස ඔහුගේ නමින් නිර්මිත සොනාටාව ‘ක්‍රොයිට්සර් සොනාටා’ නමි. වයලීනය මූලික කරගත් ඊට පිළිමල් ලෙස පියානෝව වාදනය වන අංග තුනකින් සමන්විත මෙය මිනිත්තු 40 පමණ දිගකින් යුක්ත ය. පෝඩ්ස්නශෙව් ඒ ගැන දක්වන අදහස මෙ පරිදිය : ‘ඔවුන් වාදනය කළේ බීතොවන්ගේ ක්‍රොයිට්සර් සොනාටාව, ඔබ දන්නවා ද එහි මුල් ප්‍රෙස්ටෝව, ඔව් ඔබ දන්නවා, ඕ, ඕ, ඒක මහා භයානකයි. ..’ තවත් වරෙක ඔහු මෙසේ කියයි.: ‘අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා කෙනෙකුට එය භයංකර ආයුධයක්. උදාහරණ වශයෙන් ඒ ක්‍රොයිට්සර් සොනාටාව ගන්න. විශාලෙට කර ඇරපු හැට්ට ඇඳගත් ගෑනු ඉන්න සාලෙක එය වාදනය කරන්නේ කොහොම ද? එවැනි වාදන පවත්වන්නට ඕනෑ තේරුමක් ඇති වැදගත් අවස්ථාවල, ඒ වාගේ ම යම් යම් ක්‍රියාවන් ඒ සංගීතය නිසා ඒ වේලාවේ දී වාදනය කරල සංගීතයෙන් කුල්මත් වූ විට ඒ අනුව ක්‍රියා කළ හැකියි. එසේ නැතිව වෙලාවක් තැනක් නොබලා ශක්තියත් හැඟීමත් ඇවිස්සුණාම එයින් පිට වන්නට මාර්ගයක් නැති උණාම නරකට ක්‍රියා කරනවා. ඒ කෙසේවෙතත් ඒ වාදනය නිසා මා තුළ බියකරු වේගයක් ඇති උණා.’

එකල සමාජ ප්‍රතිසංස්කාරකයන් මෙය දුටුයේ විවාහ ජිවිතයට ගර්හා කරන කෘතියක් ලෙසිනි. ඒ අනුව ක්‍රොයිට්සර් සොනාටා සාර් පාලනය විසින් රුසියාවේ සහ තියඩෝර් රූස්වෙල්ට්ගේ පාලනය විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ද තහනම් කැරිණි. ටෝල්ස්ටෝයි යනු කාම විකෘතයෙකැයි රූස්වෙල්ට් පවසා ඇත. මෙහි කිසිදු අසභ්‍ය හෝ කාමුක කිසිවක් අඩංගු නොවන්නේ ය’යි එක්සත් ජනපදයේ අධිකරණයක් විසින් පසුව තීන්දු කරන ලදී.

මේ කුඩා කෘතිය ලොව මෙතෙක් බිහිවූ ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කැර ලියැවුණු නවකතා අතුරින් වඩාත්ම නිර්මාණාත්මක කෘතිය ලෙස සැලකේ.

එස්.ජී. සමරසිංහගේ කෘතියක් වන ‘ක්‍රොයිට්සර් සොනාටා’ 2003 වසරේ ‘සංස්කෘති’ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිතුත් වී ඇත. මෙහි පළවන්නේ එහි පිටකවරයයි. මේ කෘතිය ම ‘ගැහැනු කවුරුද වරද නොබැඳෙන’ යන නමින් යුතුව 1963 වසරේ ප්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් වී ඇති අතර එය එ් වසරේ හොඳ ම පරිවර්තනයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා තිබේ. මෙහි කලාව පිලිබඳ තොල්ස්තෝයි මතය යන හිසින් යුත් දීර්ඝ විවරණයක් ද ඇතුළත් ය.

අදහස්