මට දැන් හත­ළි­හයි! | සිළුමිණ

මට දැන් හත­ළි­හයි!

 

“වෙ‍ෙළඳ පොළේ රවුමක් යන්න. මිල ගණන් දැන ගන්න. මංගල ට්‍රේඩ් සෙන්ටර් වෙත එන්න. මිල ගණන් සසඳන්න”

 

මේ වෙළඳ දැන්වීම එදා ගුවන් විදුලිය ඇසූ ඔබට තාමත් මතක ඇතුවාට සැක නැත. එය ලියුවෙත්, කියවුවෙත් ඔබේ හිතවත් සීලරත්න සෙනරත් ය. ඔහුගේ පුරා හතළිස් වසක මාධ්‍ය දිවියෙහි තිර - සාර මනාව කැටි කළ අපූරු අපදානයක් කියවන්නට ලැබීමි.

එහි රචක සම්මානනීය ගත් කතුවර ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක පියරත්නයන් ය. චරිත කතාවක් සිත් ගන්නා සුළු ආකාරයෙන් ලිවීම අසීරු ය. සරල වූ බස් වහරක් සිය කෘතියට යොදා ගත්නා පියරත්නයන් එම අභියෝගය මනාව ජය ගෙන ඇත. අද මෙන් හතු පිපෙන්නාක් මෙන් නිවේදකයන් බිහි නොවු එවක ගුවන් විදුලි මාධ්‍යවේදීයකු වීමේ අසීරු අභියෝගය සීලරත්නයන් ජය ගත් අයුරු කෘතියේ මුල් භා‍ගයේ විස්තර කෙරේ. ගුරු වෘත්තියෙන් දිවි ගමන ඇරඹූ ඔහු සිය හ‍ඬෙහි වූ සුවිශේෂීත්වයට නිසි ස්ථානය එළි පෙහෙළි කර ගත් අයුරු වෙනත් ක්ෂේත්‍රයක සිට නිවේදනයට රුචිකම් දක්වන්නෙක් හට ගුරු කොට තැකිය හැකිය. ගුවන් විදුලිය වඩා විශිෂ්ටයන් තෝරා ගැනීම වස් ගෙන යන සුක්ෂම පටිපාටිය කෘතියේ මුල් කාණ්ඩයෙන් හෙළි වේ. මනා සංයමයෙන් යුතුව පියවරෙන් පියවර සිය නිවේදන දිවිය දියුණු කර ගත් අයුරු සහ ඒ සඳහා සීලරත්නයන්ගේ තිබූ කැපවී, අම්පාර, මඩකලපුව වැනි ඈත පිටිසර සේවයේ නියුතුව සිටියදී වියහියදම් දරා ගෙන පටිගත කිරීම් සඳහා නිතිපතා ගුවන් විදුලියට ඔහු පැමිණි අයුරු මේ කෘතිය කියවන්නකුට පැහැදිලිව පෙනෙනු ඇත.

ගුවන් විදුලි නාට්‍යයන්හි හඬ නළුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය අරඹන සීලරත්න සෙනරත් ගුවන් විදුලි නාට්‍ය රචකයකු දක්වා තම නිර්මාණ හැකියාව විදහා දක්වන අයුරු මේ ග්‍රන්ථයෙන් ගෙනහැර දක්වයි. වෙ‍ෙළඳ වැඩසටහනෙන් ස්වකීය දස්කම් දැක් වූ සෙනරත් “ඔව් - නෑ- බෑ” නිකාඩෝ රස බඳුනෙන් විනාඩියක් පමණයි” සහ “පිබිදෙන ගායක පරපුර” ආදී වැඩ සටහන් මඟින් ශ්‍රාවකයා තුළ නොමැකෙන මතක රැඳ වූ අයුරු අපදානය හෙළි කරයි. “මහවැලියෙන් දැයට පිපෙන මල්”, “තේ දල්ලයි අරුණැල්ලයි” ආදී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ඔස්සේ ද ඔහු සිය නම රැන්දු අයුරු පියරත්නයන් විග්‍රහ කරයි.

ජාතික සංහිදියාව පිළිබඳ ව වැඩි පුර කතා කරන වර්තමානයේ මාධ්‍ය ජීවිතයේ දුෂ්කර අවස්ථා ජය ගැනීමට සීලරත්නයන්ට උපකාර වූ අයුරුත් විවිධ තනතුරු ලැබීමට පවා එය ඉවහල් වූ අයුරුත් අශෝක පියරත්න සිය කෘතියෙහි ගෙන හැර දැක්වීම බොහෝ මාධ්‍යවේදීන් ඇතුළු අප සැම අවධානය යොමු කර යුතු කරුණකි.

මෙම අපදානය කියවුවකුට සීලරත්න සෙනරත් තරම් ප්‍රබල දේශපාලන චරිත සමීපව ඇසුරු කළ වෙනත් මාධ්‍යවේදියෙක් පිළිබඳ සිතිය නොහැකි තරම් ය. එමෙන්ම ඔහු විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ ජනප්‍රිය චරිත සමීපව ඇසුරු කළ අයෙකි. ස්වකීය පුද්ගල සබඳතා සිය මාධ්‍ය දිවිය පහසු කර ලූ අයුරුත්, නිසි අයුරින් විවිධ පදවී තානාන්තරයන් ලැබීමට ඔහුට උපකාර වූ ආකාර මනාව විග්‍රහ කෙරේ. එහි වූ වැදගත් කරුණ වනුයේ එකී දේශපාලන සහ පුද්ගල චරිතවලට වහල් නොවී ස්වකීය වෘත්තීය ගමනෙහි ඔහු ඉදිරියට යන අයුරුයි. නිවේදන ශිල්පයට අමතරව ගුරු වෘත්තියේ සිට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධූරය තෙක් නොයෙක් භාරධූර නිලයන් හෙබවූ සීලරත්න සෙනරත්, එකී අභියෝග මැදින් මයික්‍රෆෝනය අමතක නොකර සිය හඬ මාධුර්යය ශ්‍රාවක සවන්පන් අතර රැඳ වූ කාර්යය ශුර චරිතයකි. පරමාදර්ශි චරිතයක් වූ සෙනරත් දක්ෂතාවන් සතු බොහෝ නවකයන්ට නිවේදන වෘත්තියේ ඉදිරියට ඒමට මඟ හසර හෙළි කළ අයුරු අශෝක පියරත්නයන් සිය සටහන්හි දක්වයි. ඒ අතර අද සම්මානනීය ගුවන් විදුලි ශිල්පීන් හඬ කැවීම් ශිල්පීන් හා රූපවාහිනී නිවේදක නිවේදිකාවන්ද සිටීම මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍වේදීයා හට සතුට දනවන කරුණකි.

නවක මාධ්‍යවේදියන්ට අනුබල දීමෙන් නොනවතින සීලරත්න සෙනරත් නව ගුවන් විදුලි සේවා ගණනාවක් නිර්මාණයෙහිලා සිය පුළුල් අත්දැකීම් නිර්ලෝභිව බෙදා හදා ගත් අයුරු කතුවරයා විග්‍රහ කරයි. ඔහුගේ එකී මාධ්‍ය මෙහෙවර අද ඔහු ප්‍රධානත්වය දරන චීන අන්තර්ජාතික ගුවන් විදුලියේ දේශීය සේවාව දක්වා විහිදී යයි.

සීලරත්න සෙනරත් ‍නම් ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීයාගේ හතළිස් වසරක මාධ්‍ය ජීවිතයේ කටුක, මෙන්ම රස බර තොරතුරු ද, දුෂ්කරතා මැද ඔහු ලද ජයග්‍රහණ පිළිබඳව එළි දක්වමින් අශෝක පියරත්නයන් විසින් රචිත මෙම මාහැගි කෘතිය නූතන මාධ්‍යවේදීන්ට බොහෝ දෑ උකහා ගත හැකි සාර සංග්‍රහයක් වනු නොඅනුමානය.

අදහස්