මේ සසර මඟ දුර වැඩි නිසා අමාලී ඇහැ­ළි­ය­ගොඩ | සිළුමිණ

මේ සසර මඟ දුර වැඩි නිසා අමාලී ඇහැ­ළි­ය­ගොඩ

අමාලී ඇහැළියගොඩ නූතන සිංහල කිවිඳි පරපුරට එක්වන නවතම සාමාජිකාවයි. ඒ කන්ද පාමුල (2019 සන්ථව ප්‍රකාශන) ඇගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. නවීන සිංහල කවිය පෝෂණයෙහිලා තරුණ කවි පරපුර, විශේෂයෙන් ම කිවිඳියන්ගේ ආගමනය කැපී පෙනෙන බව, පසුගිය වසර කිහිපය පුරා අප’තට පත්වූ බොහෝ කාව්‍ය නිර්මාණ සංග්‍රහ විමසීමේදී පෙනෙන ලක්ෂණයකි. වරින්වර ලියූ කවි පන්ති කිහිපයක් එකතු කොට ගෙන, කෙසේ හේ ප්‍රකාශකයකු ලවා හෝ තම මුදලින් හෝ කාව්‍ය සංග්‍රහයක් පළ‍කොට ගෙන කිවිඳියක වීමේ ආසාවත්, කල් ගත වූවද තමන් විසින් වසර කිහිපයක් තුළ ලියූ කියූ දෑ යළි යළි කියවා, කපා කොටා බලා සුදුසු යැයි හැ‍ඟෙන නිර්මාණ තෝරාගෙන පොතක් පළකර ගැනීමත් අතර ඇත්තේ විශාල වෙනසක් බව, නව පරපුරේ බොහෝ නිර්මාණකරුවන්ට නොවැටහීම කනගාටුවට කරුණක් වේ. එහෙත් මේ චෝදනාව සම්පූර්ණ සත්‍යයක් නොව අර්ධ සත්‍යයක් බව අපට සාක්ෂාත් කරදෙන ආධුනික කවි කිවිඳියන්ගේ ඇතැම් කාව්‍ය සංග්‍රහ ද පළවන බව සඳහන් කළ යුතු වේ. මෙනයින් සලකා බලන කල්හි අමාලි ඇහැළියගොඩ කිවිඳිය ආශ්චර්යයකින් ප්‍රාදුර්භූත වූ කිවිඳියක් නොව බොහෝ කල් කවියෙහි නිරතව සිට තම පළමු කෘතිය එළිදැක්වීමට පැමිණි කිවිඳියක් වන්නීය.

‘මේ සසර මඟ දුර වැඩි නිසා’ නම් වූ නිර්මාණයෙහි පෙනෙන සාධනීය ලක්ෂණ ඔස්සේ අමාලී ඇහැළියගොඩ ගේ කවි ලකුණු හඳුනා ගැනීමට හැකි වේය යන්න අපගේ විශ්වාසයයි.

තව ම අහසට නැඟෙන්නේ

එදා පෑ යූ සඳමමයි

මල් කෙවෙනි මත නටන්නේ

උදා හිරු රැස් විතරමයි

බෝ දුරක් යන්නට ඉඩ නොදී

තනිව අප ආ ගමන්

හිරු සඳු මැදිව තරු පූදිනා

ඉසිඹ­ුවක් නැති විරාමෙක

එකට පායන්නට නැතත්

එකට ඉන්නට වේ තවත්

මා හිමියනේ අපි එක්ව යන

මේ සසර මඟ දුර වැඩි නිසා

ගේ පුරා විසිරෙන කිරි සිනා

සුරතල් තෙපුල් සරතැස නිවයි

ලෝ දහම ගැන කම්පා නොවී

සිත දිරි දෙන්න අප ළඟ හිඳියි

වෙහෙසකර දිවි මඟේ

ගිම් නිවා ගමු දරු ස්නේහයෙන්

මා හිමියනේ අප එක්ව යන

මේ සසර මඟ දුර වැඩි නිසා

සංසාර මාර්ගය දුර ය. දුක ය. ඉදින් කෙසේද මේ දුර වැඩි මේ දිගු ගමනෙහි අප ඇවිද යන්නේ? කවියේ කතා නායිකාව ඉදිරියේ ඇති ප්‍රශ්නය එයයි. සසර මග දුර වැඩි බව කිවිඳිය පවසන්නීය. ඈ අතීත මතකයට පිවිසෙන්නීය. එහි සුන්දරත්වය, චමත්කාරය, පෙරදා පරිදිම ය.

‘තව ම අහසට නැඟෙන්නේ

එදා පෑයූ සඳම මයි

මල් කෙවෙනි මත නටන්නේ

උදා හිරු රැස් විතරමයි..”

මෙතෙක් ජීවිතයේ ඈ තනිව මඟ ගෙවා පැමිණ සිටින්නීය. එහෙත් දැන් ඒ තනි ගමනට නිමාවකි. පෙරදා පෑ යූ සඳ අද ද එලෙසම වූවත්, මල් කෙවෙනි මත නටන්නේ උදා හිරු රැස් පමණක් ම වූවත්, ඇගේ දිවි මඟ අපගේ දිවි මඟ ලෙසින් අද වෙනස් වී ඇත. හිරු සඳු මැදි වුණු විවේකයත් නැති මොහොතක එක්ව පායන්නට නොහැකි වූවත්, එක්වී ඉන්නට සිදුවන්නේ, මේ සංසාර ගමනෙහි දුර වැඩි බැවිනි. හිරු සඳු මැදි වී තරු පූදිනවා යන්නෙන් කිවිඳිය සංකේතානුසාරයෙන් පවසන්නේ කුමක් ද? ලෝ දහම කුමක් ද? දුකින්, තැවුලින්, සන්තාපයෙන් පිරුණු දිගු ජීවන ගමනක් ද? කතානායිකාවට ඔහු සමඟ ජීවන මඟ එක් වී වෙසෙන්නට සිදු වී ඇත්තේ දිගු වූ සසර ගමනක හුදෙකලාව ජීවත් වීම අපහසු බැවිනි. සසර මඟ දුර වැඩි වන කල්හි එමඟ දුෂ්කර බව ව්‍යංග­්‍යයෙන් පැවසේ. ලෝ දහම පිළිබඳ කම්පා නොවී, ජීවිතයේ ගිමන සරතැස නිවා ගන්නේ කෙලෙසද?

දිගු සංසාර ගමනෙහි ඔහු සමඟ එක් වී යන කලට සරතැස නිවෙන්නේ ගේ පුරා විසිරෙන කිරි සිනා හා සුරතල් තෙපුලිනි. ලෝක ධර්මතාව පිළිබඳ කම්පා වන්නට ඔවුනට අවස්ථාවක් නොලැබේ. සිතට ධෛර්යය ගෙන ඒමට වෙහෙසකර ජීවන මඟෙහි ඔවුන් අසල සිටින්නේ දරුවන් ය. දරු සෙනෙහස තරම් උතුම් වූ සම්පතක් කොහි වෙද දිවි ගමනේ තනිව ගමන් ගත් දෙදෙනෙකුට?

ගේ පුරා විසිරෙන කිරි සිනා

සුරතල් තෙපුල් සරතැස නිවයි

ලෝ දහම ගැන කම්පා නොවී

සිත දිරි දෙන්න අප ළඟ හිඳියි

කවියේ කතානායිකාව, ඇගේ හිමියන්ට, ජීවිතයේ පංගුකරුවාට යෝජනා කරන්නේ, මේ දිගු සසර ගමනේ ඔවුන්ගේ සෝක තාප නිවා ගැනීමට දරු සෙනෙහස සෑහේය කියායි.

අමාලී ඇහැළියගොඩ කිවිඳිය තෝරා ගන්නා අත්දැකීමෙහි ගැඹුරක් වේ. එය සරල ජීවන ප්‍රවෘත්තියක් නොවේ. කුටුම්බ ජීවිතයෙහි එක්තරා අවස්ථාවක, තනිවන ගැහැනියකගේ හා පිරිමියකුගේ ජීවිත අතර ගොඩනැගෙන අන්තර් සබඳතා මඟින් ජීවිතය සංකීර්ණ බවට පත්වන මොහොතක ජීවිතය, සසර මඟ, හඳුනාගත්, වටහාගත් බිරියකගේ ඇතුළු හද ගැබ විවර කෙරෙන නිර්මාණයකි මේ සසර මග දුර වැඩි නිසා නිර්මාණය. ආදරය, ප්‍රේමය, විෂයයෙහි ම තවත් පැතිකඩක් ස්පර්ශ කරමින්, තම කාව්‍යානුභූතිය ගොඩනගා ගන්නා කිවිඳිය සරල හා සුගම බසකින් එය ප්‍රතිනිර්මාණය කර තිබෙනු හැ‍ඟේ. එදා පෑයූ සඳමමයි, මල් කෙවෙනි මත නටන්නේ, හිරු සඳු මැදිව තරු පූදිනා, ගේ පුරා විසිරෙන කිරි සිනා, ගිම් නිවාගමු දරු ස්නේහයෙන් වැනි කාව්‍යොත්ති අමාලී ඇහැළියගොඩ කිවිඳියගේ බස සරසන අබරණ වැන්න. අනාගතය පිළිබඳ සුබවාදී අපේක්ෂා රැසක් තබා ගත හැකි කිවිඳියකගේ ආගමනය ඒ කන්ද පාමුල දී දිටිමි.

අදහස්