මොර­වක් කෝරලය සාහි­ත්‍ය­යෙන් බැබ­ළවූ අභ­ය­වි­ක්‍රම පඩි­කාර මුදලි | සිළුමිණ

මොර­වක් කෝරලය සාහි­ත්‍ය­යෙන් බැබ­ළවූ අභ­ය­වි­ක්‍රම පඩි­කාර මුදලි

මෙයට ශත වර්ෂයකට පෙර සිංහල ශබ්දකෝෂයක් නැතිකමේ පාඩුව ගැනත්, ජාතික ගීයක අවශ්‍යතාවත් මතු කළ මහා සාහිත්‍යවේදියා ඔහු ය‍. ‘සිංහලයට මුල්තැන දිය යුතු ය’ කියා පුවත්පත්වලින් ඉල්ලා සිටිමින් සිංහල භාෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු යයි හඬක් නැඟීමට පුරෝගාමි වූ මොරවක් ‘කෝරළයේ තාත්තා’ ලෙස ‍ප්‍රකටව සිටි ජී.එෆ්. අභයවික්‍රම පඩිකාර මුහන්දිරම් රාළහාමි සාහිත්‍යය ලැදි කිවිය­‍ෙරකි. 1920 දී පමණ සිංහල නවකතාවේ පුරෝගාමියකු වන බෙම්තොට ඇල්බට් ද සිල්වා කිවියාණන් විසින් එවකට ගුරු පදවියට පියවරක් තබා සිටි මොරවක පී‍.ඇෆ්. අභයවික්‍රම මහතාට සුබ පතමින් යවන ලද කවියක් මෙසේය.

මතු සොඳ කවියකුව - ලැබ විසි ලිය වර ම

යුතු මෙහෙයක් කරන ලෙස මවු බස ගැන ම

මිතු රිඳු අබය වික්ක්‍රම තරුණ ගුරු තෙ ම

සිතු සැපතින් දිනේවයි - සුබ පතමි ම ම

ලයනල් ඩබ්ලිව්. ද සිල්වා සංස්කරණය කළ ‘වර්තමාන සිංහල කවීන්ද්‍රයෝ’ කෘතියේ සඳහන් වන ආකාරයට කවදත් දුහුනන්ගේ දියුණුව පැතූ බෙම්තොට කිවිඳුගේ මේ ආශිර්වාදයෙන්, පසු කලෙක ප්‍රයෝජනවත් ශාස්ත්‍රීය ව්‍යාපාරයක යෙදෙන පිණිස අභයවික්‍රම මහතාට ධෛර්යයක් ලැබුණු බැව් කෘතඥතාවෙන් යුතුව ප්‍රකාශ කර තිබුණි.

සිංහල ශබ්ද කෝෂයක් නැතිකමේ පාඩුව ගැන උනන්දුව දක්වමින් අභයවික්‍රම මහතා පුවත්පතකට ලියූ ලිපියක මෙසේ ද සඳහන් විය.

“දැනට සිංහල භාෂාවට ඕනෑ කර තිබෙන්නේ සංස්කෘතික භාෂාවෙන් තිබෙන වාචසප්තිය වැනි හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වැබ්ස්ටර්ගේ ආකාරාදිය වැනි ග්‍රන්ථයකි. මෙය නොකළ හැකි දෙයක් නොවේ. නමුත් එක් කෙනෙක් දෙන්නෙක් විසින් සම්පූර්ණ කිරීමට වෑයම් කරනු ලැබීම ඒ කටයුත්තේ සම්පූර්ණ ප්‍රතිඵලය පිණිස නොපවතී.”

මහනුවර පැවැත්වූ ශාස්ත්‍රීය සම්මේලන රැස්වීමකදී මේ කාරණය ඉදිරිපත් කොට මොරවක කවියා විසින් පවත්වන ලද කතා නිෂ්ඵල නොවීය. ලේඛනයෙහි ශූරයකු වූ ඔහු විසින් ලියන ලද ශාස්ත්‍රීය ලිපි දිනමිණ, සිංහල සමය, ලංකානාද, ශ්‍රී ලංකා ශ්‍රී, මහජන සඟරාව, සිරිලක ආදී පුවත්පත්වල පළ විය. කලිසන් කාරයන්ට පහර දී ඔහු විසින් ‘සිරිලක’ සඟරාවට ලියූ ලිපියක් ගැන මහා කවි ජී.එච්. පෙරේරා 1923 වසරේ ලේඛකයාට එවූ කවි පෙළක මුල කවිය මෙසේ ය.

දැය පෙම් වඩා ‘සිරිලක’ සඟරෙහි කදි ම

මනරම් බසින් ගළපා ඔබ මසෙහි මෙ ම

‘කලිසන් කාරයන්’ ගැන පළ කළ ලියු ම

පසසම් ඉතා යෙහෙකැයි ඉත සිතිනි ම ම

1963 දී පමණ පුවත්පත් වි‍ශේෂාංග ලේඛකයකු ලෙස ප්‍රකට මු. අරුක්ගොඩ ‘සරසවිය’ පත්‍රයට සතිපතා ලියූ ‘පිරුණු ජීවිත’ විශේෂාංගයට අභයවික්‍රම පඩිකාර මුහන්දිරම් තුමා හමුවීමට මොරවක එතුමාගේ වලව්වට ගොස් ඇත්තේ නිල් තේ ගස් මැදින් අහසට නැගී තිබුණු මාලිගාවක් වැනි බංගලාවකට ය.

“ආයුබෝවන්” කියා අරුක්ගොඩ‍යන් පිළිගත් එතුමා පැනවූ අසුනේ මිදුල පැත්තට මුහුණ ලා වාඩි විය. වටයට ම බඳින ලද තාප්පයක් මෙන් මොරවක කඳු ගැට ඔහු ඉදිරියේ සැතපුම් කීපයක් නැගී තිබෙනු දුටු ඔහුට ඒ හැම කන්දක්ම නිල් පැහැ වී ඇත්තේ තේ ගස් වලින් බව වටහා ගත හැකි විය. තේ දලුවල ගැටී ගෙන ආ සීතල සුළං අරුක්ගොඩගේත්, අභයවික්‍රම මුහන්දිරම් තුමාගෙත් මුහුණු සිප ගෙන දොර ජනෙල් අස්සෙන් ගෙට ඇතුළු විය.

“මෙහෙ බණ්ඩාරවෙල වගේය” අරුක්ගොඩ කීවේය.

“ඇත්ත, නිවී සැනසිල්ලේ ලියන්න කියන්න නම් හොඳ පැත්ත” යි එතුමා කීවේය.

අභයවික්‍රම ලේඛකයා ලියන්නට පටන්ගෙන ඇත්තේ 1909 හරියේ සිට ය. මුලින් ම ‘සිංහල සමය’ පත්‍රයටය. 1915 තරම යුගයේ ‘පී.එෆ්. අභයවික්‍රම මහතා, මොරවක’ කියා තමන් වෙත එන ලියුම් කවරවල යටින් තැපැල් මහත්තයා විසින් ඉංග්‍රීසියෙන් ‘මොරවක’ කියා නොලියූ එකක්වත් නැති බව දකින විට එතුමා තුළ ඉපදී ඇත්තේ බලවත් වේදනාවකි. ඒ කාලයේ යගිරල නායක හාමුදුරුවන්ගේ ශ්‍රී ලංකා සඟරාවටත් වැඩිය ලිව්වේ අභයවික්‍රම ලේඛකයා ය.

‘අභයවික්‍රම’ නම සාහිත්‍ය රසිකයන් අතර වඩාත් ප්‍රකට වූයේ ‘ගංගා රෝහණ වර්ණනා ව්‍යාඛ්‍යානය’ ප්‍රකාශනය වූ පසු ය. එහි ඇත්තේ ද රමණීය පසුබිම් කතාවකි‍. එතුමාගේ වචනවලින් එය මෙසේ ය.

“දවසක් ඒ පොතේ පිටපතක් කියවා බැලූ එතුමාගේ හිතවතෙක් ඒ පොත මට එවා තිබුණේ ‘ගංගාරෝහණ වර්නණාව මුලින් (ක්‍රි.ව‍. 1806 ලියූ කවියා වූ මාතර දාවිත් ද සරම් විජයසේකර මුහන්දිරම් කෙනෙක් වුණා. දැන් තියෙන්නෙ ඒ පොතේ ව්‍යාඛ්‍යානය කළ ලේඛකයාටත් මුහන්දිරම් කමක් ලැබෙන එකයි” කියා ය. එහෙත් ඒ කාලේ මුහන්දිරම් කමක් ලැබීමේ කිසිම අරමුණක් අභයවික්‍රම මහත්මයා තුළ තිබුණේ නෑ.”

ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල විසින් ලියූ ‘සිංහල සාහිත්‍යය වංශය’ කෘතියේ සඳහන් වන්නේ මාතර දාවිත් ද සරම් විජයසේකර මුදලිඳුන් විසින් නිල්වලා නදියේ කරවූ මහ පිංකම නිසා ගංගාරෝහණ වර්ණනාව නමින් එළු සිලෝවක් අපේ සාහිත්‍යයට එක් වූ බව ය. එහෙත් පොත අවසාන එන සිලොවෙහි සඳහන් පරිදි මේ සිලොව කරන ලද්දේ ගිරුවාපත්තුවේ ගොවිවංසයේ උපන් සමරසේකර දිසානායක නම් කවියකු විසිනැයි ද ‘සිංහල සාහිත්‍ය වංශය’ කෘතියේ සඳහන් ව ඇත.

දොන් පේද්‍රස් ෆ්‍රැන්සිස් අභයවික්‍රම 1886 මැයි මස 28 වැනිදා මොරවක් කෝරළේ මොරවක උපත ලැබීය. දොන් පේද්‍රිස් ප්‍රදිනන්දියස් අභයවික්‍රම රාළහාමි සහ දෝන සෙබනා ගුණසේකර හෙට්ටිආරච්චි හාමිනේ යන දෙමාපියන් ගේ පුත් රුවනක් වූ ඔහු මොරවක රජයේ සිංහල පාසලෙහි ප්‍රධානාචාර්ය ඩයස් අබේවික්‍රම වැඩිමහල් සොහොයුරාය. (කීර්තිමත් පරිපාලන නිලධාරියකු හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ධූරය හෙබවූ නන්ද අබේවික්‍රම මහතාගේ ලොකු තාත්තා මුහන්දිරම් අභයවික්‍රමය.) මාතර දිසාවේ ගොඩපිටිය වැස්ලියන් මෙතෝදිස්ත මිශ්‍ර පාසල හා මොරවක ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාවේද ඉගෙනුම ලැබූ ෆ්‍රැන්සිස් ශිෂ්‍ය ගුරුවරයකු ලෙස කළුතර පනාපිටියේ කලපුගම නෝර්මන් විද්‍යාලයේ පුහුණුව ලබා ඇත. පසුව උප ගුරුවරයකු ලෙස වැලිගම් කෝරළයේ මලිදූව පාසලේ සේවය කොට හිනිදුම් පත්තුවේ දෙල්වල පාඨශාලාවේ විදුහල්පති ලෙස ද කටයුතු කොට විශ්‍රාම ලබා ඇත්තේ කොටපල පාසලේ අධිපති වශයෙනි.

අභයවික්‍රම මුහන්දිරම් තුමා විසින් 1935 වසරේ සම්පාදිත ‘ප්‍රාතිහාර්ය ශතකය’ විස්තරාර්ථ වර්ණනා කෘතිය ගැන එතුමා මෙසේ සඳහන් කර ඇත.

“ශ්‍රී ඝනශාක්‍ය මුනීන්ද්‍රයන් විසින් තීර්ථකයන්ගේ මාන මර්දනය කොට ලනු වස් ‘ගණඩම්බ’ වෘක්ෂ මූලයෙහි දී දක්වන ලද යමකමහාප්‍රාතිහාර්ය වර්ණා කිරීම කථා ශරීරය කොට රචනා කරන ලද මේ මධුරමනොහර කාව්‍යයාගේ නාමය කර්තෘ පාදයන් විසින් කාව්‍යයෙහි අනිර්දිෂ්ටය. ‘ප්‍රාතිහාර්ය ශතකය’ කර්තෘවරයාගේ ද නාමය නො දක්වයි. ග්‍රන්ථාන්තරයෙක ද ඒ අප විසින් නො දක්නා ලදී. එතෙකුදු වුවත් සාලියාලේ මණිරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත යයි ප්‍රකට ය. මුනීන්ද්‍රයන් වහන්සේගේ ගුණවර්ණනායෙන් වෘක්තෘශ්‍රොතෘ ජනයන් විසින් ලැබිය යුතු පුණ්‍යඵලය හා ශාක්‍යසිංහයන් වහන්සේ වෙත ශ්‍රද්ධා භක්ති වර්ධනය ද සිංහල සාහිත්‍යයට සංග්‍රහයක් කිරීම හා නවීනයන් කාව්‍ය නිර්මාණයෙහි උත්සාහවත් කොට ලීම ද නවීනයන් කාව්‍ය නිර්මාණයෙහි උත්සාහවත් කොට ලීම ද මෙහි ප්‍රයෝජන විසින් ඉෂ්ට යයි තැකිය හැකිය.

මේ කාව්‍යය නිම වූ වර්ෂය ද නො දක්වන ලදය. එසේ වුව ද ශ්‍රී බු.ව. 2290 දී ක්‍රි.ව. 1747 දී රාජ්‍ය ශ්‍රීයට පැමිණ පන්තිස් වසක් ලක් රජය කළ කීර්ති ශ්‍රී රාජසිංහ නරදේවයන්ගේ රචිත යැයි සලකමු.”

අභයවික්‍රම මුහන්දිරම් තුමාට මේ කෘතිය සංස්කරණය කිරීම සඳහා පැරණි පුස්කොළ පිටපත් සපයා දීමෙන් වැලිගම අග්‍රබෝධි විහාර පරිවෙණාධිපති කීර්ති ශ්‍රී ධර්මරතන හිමියන් ද, උපදෙස් දීමෙන් හා ග්‍රන්ථාන්තරයෙන් හා උපදෙස් දීමෙන් පෑලියගොඩ විද්‍යාලංකාර මහා විද්‍යාලයේ උප ප්‍රධානාචාර්ය මොරවක ශ්‍රී සිද්ධාර්ථ හිමි හා ශොධ්‍යපත්‍ර බැලීමෙන් විද්‍යොදය මහා විද්‍යාලයේ ආචාර්ය වැලිපිටියේ සොරත හිමියන්ගෙන් ද ලද අනුග්‍රහය ග්‍රන්ථයේ ගෞරවය දියුණු වීමට හේතු වූ බව අභයවික්‍රම මුහන්දිරම් සඳහන් කර ඇත.

පඩිකාර මුහන්දිරම් පී.එෆ්. අභයවික්‍රම විසින් සංස්කරණය කළ ‘එළුසිලෝ ශතකය’ වනාහි සංස්කෘත ඡන්දස් නියමයට අනුව වර්ණ වෘත්තාන්ත‍යන්ගෙන් රචිත එළු සිලෝ පොත් බොහෝ නොවන බව සඳහන් කරයි. මේ එළු සිලෝ ශතක කාව්‍ය සංස්කෘත ඡන්දස් අනුව රචනා කරන ලද්දෙකැයි කීම ද අයුක්තියක් නොවේ යයි ද හෙතෙම පවසා ඇත.

මුහන්දිරම් අභයවික්‍රම සංස්කරණය කළ ‘කාලිංගබෝධි ජාතක කාව්‍යයේ’ අවසානයෙහි එන නිගමන පද්‍යයන්ගෙන් පෙනී යනුයේ එය ක්‍රි.ව. 1799 දී දුනුවිල ඒකනායක ධර්මකීර්ති නම් මුදලි විසින් ලියැවුණ බව ය. මේ කාව්‍ය ග්‍රන්ථය රාජාධිරාජසිංහ රාජයන්ගේ කාලයෙහිදී ලිවීමට පටන්ගෙන ශ්‍රී වික්‍රමරාජසිංහ නරපතීන්ගේ රාජ්‍යොදයයෙන් පළමුවන වර්ෂයෙහි සම්පූර්ණ වූ බවයි.

මොරවක කවියාගේ සංස්කරණය වෙනත් කෘති අතර ඔවාමුතුහර, අක්ෂරමාලා වර්ණනා, සිංහල ව්‍යාකරණය දරුවන් සඳහා ලියන ලද කෘති ලෙස හඳුනාගත හැකි ය. ‘සුපැතුම් කව’ මධුරතම සුලලිත කාව්‍ය රචනයකි. ‘සුභාෂිත කාව්‍යය’ ප්‍රති සංස්කරණයෙන් පදාර්ථ භාවාර්ථ ග්‍රන්ථ පද විවරණාදියෙන් ‍උපලක්ෂිත ය.

අභයවික්‍රම මුහන්දිරම් විවාහ වූයේ ගාල්ලේ තල්පේ පත්තුවේ පිලානේ පදිංචි ලියනගේ දොන් කොරනේලිස් ද සිල්වා මහතා සහ මා ගෙදර විතානගෙයි දෝන අනෝ මහත්මියගේ එකම දියණිය වූ කැතරිනා ලියනගේ මෙණෙවිය සමඟ ය. දියණියන් තිදෙනෙක් සහ පුත්තු සිව් දෙනෙක් සිටී.

එතුමාගෙන් භාෂා සාහිත්‍යයට හා සමාජසේවා කටයුතු රාජ සේවය සලකා 1950 රාජොත්පත්ති උත්සවයේ දී කඩුකස්තාන පළඳවා පඩිකාර මුහන්දිරම් ගෞරව නාමය පිරිනමන ලදී.

තමාට ලැබුණු රුපියල් පහළොවේ මාසික වැටුපෙන් රුපියල් දෙක - තුන ඉතුරු කරමින් ස්වත්සාහයෙන් දියුණු වූ මෙතුමා පසු කාලයකදී තේ වතු හිමියෙක් වූ බව ද තරමක ධනයක් රැස් කළ බව ටී.ඇස්. ධර්මබන්ධු විසින් ලියනු ලැබූ ‘සිංහල වීරයෝ’ කෘතියේ සඳහන් වී ඇත.

සැකසුරුවම එතුමාගේ ජීවිතයේ තේමා පාඨය විය.

“මම කලකට පෙර අසනීප වෙලා කොළඹ මහා රෝහලේ හිටියා. මගේ ඇඳට අල්ලපු ඇ‍‍ඳේ හිටියේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි.

“මම දුක් විඳල හම්බ කළේ. වැටුපෙන් රුපියල් පහළොවෙන් රුපියලක් දෙකක් ඉතුරු කරන්නයි සෑම මාසෙක වෙහෙසුණේ” එතුමා මට කීවා.

අභයවික්‍රම මුහන්දිරම් මූ. අරුක්ගොඩ නම් මාධ්‍යවේදියාට කියා තිබුණි. මේ විස්තරය එන්නේ අරුක්ගොඩ විසින් එහි ඔහු මෙසේ ද කියා තිබුණි.

“වතුපිටි ඇරෙන්න මහන්සියෙන් රැස් කළ තවත් වස්තුවක් අභයවික්‍රම මුහන්දිරම් තුමාට තියෙනවා. ඒ බොහෝ දුර අංග සම්පූර්ණ පුස්තකාලයකුයි. වයස අවුරුදු 76 ක (1963 වර්ෂයට) පසු වුණත් තවමත් වතුපිටි වැඩ කෙරෙන හැටි සොයා බලන්නට එන මුහන්දිරම් අභයවික්‍රම වෙහෙස නිවා ගන්නට යන්නේ පුස්තකාලයටයි‍. එතුමා මාත් කැටුව පුස්තකාලයට ගියා. අල්මාරි පුරවා පැරණි සහ අලුත් පොත් තිබෙනවා. මේසය මත දැනට විවේක ලැබෙන හැටියෙන් සුද්ධ කරගෙන යන පැරණි සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් පෙරළා තිබෙනවා.”

සියම් නිකායේ මල්වතු පාර්ශ්වය මුහන්දිරම් තුමාට “සාහිත්‍ය කීර්ති විද්‍යාචන්ද්‍ර යන උපාධිය ද විද්‍යොදය විශ්වවිද්‍යාලය මඟින් 1963 වසරේ ‘ශාස්ත්‍රපති’ ගෞරව උපාධිය ද පිළිගන්වා ඇත.

අභයවික්‍රම මුහන්දිරම් තුමා විවේකය ගත කර ඇත්තේ තම හිතවතුන් හමුවෙන්නට යමිනුයි. තමන්ගේ අලුත්ම ඕපල් රථයෙන් වැඩිම තෙල් ප්‍රමාණය දාන්නේ ඒ වැඩේට යයි එතුමා ‘සරසවිය’ පත්‍රයට කියා තිබුණි. සතියකට වරක්වත් කොළඹ ආවොත් හිතවතුන් තුන් හතර දෙනෙකුවත් හමුවී යන්නට අමතක කොට නැත. එකම හිතවතා දහවරක් බලන්නට ගියත් ඒ දහ වාරයේම හිතවතාටත් හොඳම වර්ගයේ තේ පැකට්ටුවක් ගානේ ගෙන යෑම අභයවික්‍රම මහතාගේ පුරුද්දක්ලු.‍

අභයවික්‍රම මුහන්දිරම් තුමා තම හිතමිතුරු ඩබ්ලිව්.ඇෆ්. ගුණවර්ධන වාසල මුදලිතුමා වෙත යවන ලද කව් පෙළකි මේ.

පෙර’පර සතර සිඳු

නැණ නැවින් දුටු පරතෙර

සැරද ජයසිරි විඳ විඳ

ගුණවඩන මුදලිඳු තුම

පවර සුරගඟ හිම’ඹ කොඳ හර

ප‍ඬෙර කිරිසිඳු යසස් හර සොඳ

නෙවර දිගඹුන් ගෙලෙහි සුපැළඳු

සුසිරි ගුණ නැණ දරණ මන නද

ළතර සිරිකත සතත උර තුළ

විසුම් ගත් මුව තඹර විසි ලඳ

පතර කුළුණැති මැතිඳු එව් පත

පිළිගතිමි තියු පුදෙන් එක බඳ

සාහිත්‍ය කීර්ති විද්‍යාචන්ද්‍ර පඩිකාර මුහන්දිරම් ශාස්ත්‍රපති පී.‍එෆ්. අභයවික්‍රම මහතා 1967 ජීවිතයෙන් සමුගත්තේ ය. 

අදහස්