වරද ඇත්තේ විද්‍යුත් මාධ්‍යවල පමණක් නොවේ | සිළුමිණ

වරද ඇත්තේ විද්‍යුත් මාධ්‍යවල පමණක් නොවේ

උදෑසන රූපවාහිනී නාලිකාවලින් පුවත්පත් සිරස්තල කියැවීම නිසා තමන්ගේ ව්‍යාපාරයට මූල්‍යමය හානියක් සිදු වෙද්දීත් මුද්‍රිත මාධ්‍ය වගේ වගක්වත් නැතිව නිහඬ ව සිටිමින් තමන්ගේ නිවටකම ප්‍රදර්ශනය කරන බව කණගාටුවෙන් වුවද සඳහන් කිරීමට කැමැත්තෙමි. විද්යුත් මාධ්‍ය මඟින් සිදු කරන මේ අකටයුත්ත ගැන පුවත්පතේ යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කිරීමට තරම් කශේරුවක් තිබුණේ සිළුමිණ පුවත්පතට පමණකි. පුවත්පත් වෙළෙඳපොළට නිකුත්වීමෙන් පසු සන්ධ්‍යා කාලයේදී පුවත්පත් සිරස්තල කියැවීමට හැකිය. එවිට පුවත්පත් අලෙවියට හානියක් සිදු නොවේ.

ජනතාව වල්මත් කරවන විද්යුත් මාධ්‍ය මැයෙන් මාර්තු තුන්වන දින සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපිය අපගේ දැඩි අවධානයට ලක්විය. විද්‍යුත් මාධ්‍ය ඒකාධිකාරයට බියෙන් සහ සත්‍යය කිවහොත් තමන්ට රූපවාහිනි නාලිකාවලින් ආරාධනා නොලැබේ යන සැකයෙන් නිහඬ ව සිටින බුද්ධිමතුන්ගේ අවධානය ඊට යොමුවන්නේ නම් සමාජයට වැඩදායක ප්‍රතිඵල අත්වේයැයි කල්පනා කරමි. මගේ මේ ලිපියෙන් යථොක්ත ලිපියට ඌන පූරණයක් ව‍ශයෙන් කරුණු කිහිපයක් දැක්වීමට අදහස් කරමි. ඒ ලිපියේ සඳහන් කරුණු බොහොමයක් විද්යුත් මාධ්‍යයට පමණක් නොව මුද්‍රිත මාධ්‍යයටද අදාළ වන බව පෙනේ.

උදෑසන රූපවාහිනී නාලිකාවලින් පුවත්පත් සිරස්තල කියැවීම නිසා තමන්ගේ ව්‍යාපාරයට මූල්‍යමය හානියක් සිදු වෙද්දීත් මුද්‍රිත මාධ්‍ය වගේ වගක්වත් නැතිව නිහඬ ව සිටිමින් තමන්ගේ නිවටකම ප්‍රදර්ශනය කරන බව කණගාටුවෙන් වුවද සඳහන් කිරීමට කැමැත්තෙමි. විද්යුත් මාධ්‍ය මඟින් සිදු කරන මේ අකටයුත්ත ගැන පුවත්පතේ යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කිරීමට තරම් කශේරුවක් තිබුණේ සිළුමිණ පුවත්පතට පමණකි. පුවත්පත් වෙළෙඳපොළට නිකුත්වීමෙන් පසු සන්ධ්‍යා කාලයේදී පුවත්පත් සිරස්තල කියැවීමට හැකිය. එවිට පුවත්පත් අලෙවියට හානියක් සිදු නොවේ.

සන්ධ්‍යාව වන විට මුළු පුවත්පත ම අන්තර්ජාලයට එක් කරන බැවින් උදෑසන පුවත් සිරස්තල කියැවීම අවශ්‍ය නොවේ. උදෑසන පුවත් සිරස්තලට සවන් දීමෙන් ප්‍රේක්ෂකයන් කලකිරීම්වලට සහ කෝපයට පත්වන අවස්ථා මම ඇස් පනාපිට දුටුවෙමි. උදෑසන රූපවාහිනිය නරඹා කෝපය වෛරය ආදී විකාර සිතිවිලිවලින් සිත පුරවාගෙන දවස ආරම්භ කළ විට දවසේ වැඩ කටයුතු සාර්ථකව කළ නොහැකි වේ.

ප්‍රථමයෙන් ම පුවත්පත්වල පළ වෙන සිරස්තල දෙස බලමු. බොහෝවිට පළවන්නේ රටේ කොතනක හෝ සිදු වූ මංකොල්ල, මිනීමරුම් සොරකම් පිළිබඳ තොරතුරු ය. එසේ නැතිනම් තමන්ට හිතවත් දේශපාලකයන්ට වාසිදායක ලෙස සකස් කළ ප්‍රවෘත්තියකි. ඒ ප්‍රවෘත්ති සත්‍ය නොව බොහෝ විට උපකල්පනය කළ ඒවායි.

සති අන්ත පුවත්පත් හැම එකකම පාහේ දේශපාලනඥයන් සමඟ කරන සම්මුඛ සාකච්ඡා පළ කෙරේ. ඒ සාකච්ඡා තුළින් ගම්‍යවන්නේ මේ දේශපාලකයන් වැඩි දෙනෙකුට දේශපාලන න්‍යාය හෝ දෘෂ්ටිිය පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ දැනුමක් නැති බවයි. අපි කුඩා කාලයේදී පාසලේදී ප්‍රජාචාරය නමැති විෂයයක් උගත්තෙමු.

එහෙත් මේ දේශපාලන සංවාදවලට සහභාගීවන සමහර ඇත්තන් ප්‍රජාචාරය විෂයය පාසල්වල ඉගැන්වූ බව අසාවත් නැති බව පෙනී යයි. රටේ ප්‍රජාවත් චාරයත් නැති තත්ත්වයට ඇද දැමීමට මෙම දේශපාලන සංවාද හේතු වී තිබේ. පාර්ලිමේන්තුවේ පමණක් නොව ප්‍රදේශීය පරිපාලන ආයතන පවා නූගත් දේශපාලනඥයන්ගෙන් පිරී පැවතීම රටේ අවාසනාවකි. මෙයට මහජනතාවට දොස් නගා ඵලක් නැත. මැතිවරණවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂවල නායකයන් වගකීම් රහිතව කටයුතු කිරීම හේතුවෙන් නූගතුන් පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයට පමණක් නොව ප්‍රදේශීය ආයතනවලටද පත්වී එම ආයතන පමණක් නොව රට ම පරිහානියට ඇදගෙන යති.

මීට දශක කිහිපයකට පෙර බො‍හෝ පුවත්පත්වල ශාස්ත්‍රීය අතිරේකයක් පළ විය. ඒ අතිරේකයේ සමාජයට වැදගත්වන ශාස්ත්‍රීය කරුණු අැතුළත් ලිපි පළ විය.

එමඟින් සාමාන්‍ය ජනතාවටත් ශාස්ත්‍රිය ලෝකයේ ආලෝකය ලැබිණ. එහෙත් මේ වන විට සිදුව ඇත්තේ කුමක්ද? නූගත් නිළියන්ගේ අඩ නිරුවත් පින්තූර යොදා ගනිමින් කාමෝද්දීපනය කරන අතිරේකයක් පුවත්පත්වලට එක් කිරිම නම් සිදුව තිබේ.

නළු නිළියන් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡා පිටු පුරා පළවන අතර ඒ එකකවත් සමාජයට හෝ රටට වැඩදායක වන කිසිදු අදහසක් පළ නොවේ. හිස් මිනිසුන් ජනප්‍රිය කරවීමේ ව්‍යායාමයක් වන එමඟින් ජනතාවගේ රසඥතාව විනාශ කළ විට ඔවුන් අයාලේ යන බවටත් ඔවුන්ව පාලනය කිරීම පහසුවන බවටත් දේශපාලඥයන්ට උපදෙස් ලැබී ඇති බව පෙනෙන අතර ඒ උපදෙස් අනුව ම පුවත්පත් ආයතන කටයුතු කරන බව පෙනේ.

මත්ද්‍රව්‍ය වෙ‍ෙළඳාමට පහසුවෙන් ම තරුණ පරපුර යොමු කර ගත හැක්කේ මෙවැනි ව්‍යාපාරවලින් පමණි. එපමණක් ද නොවේ. ගම්බද අහිංසක තරුණියන්ට ප්‍රචාරය ලබාදෙන මුවාවෙන් විවිධ අපචාර ක්‍රියාවලට යොමු කරන බවක් ද දක්නට ලැබේ.

විද්යුත් මාධ්‍යවල පමණක් නොව සෑම පුවත්පතක ම පාහේ දෛනික ජ්‍යොතිෂ අනාවැකි පළ කරනු දක්නට ලැබේ.

අලුත් මාසයක් ආරම්භ වන විට සහ අලුත් අවුරුද්දක් ආරම්භ වන විට පුවත්පත්වල පිටුවක් ම ජ්‍යොතිෂ අනාවැකි සඳහා වෙන් කෙරේ. මේ අනාවැකි සාර්ථක වූ බවට ජ්‍යොතිෂඥයින්ට උදම් ඇනිය හැකිය. මන්දයක් ඔවුන් පළ කරන අනාවැකි සෑම එකක් ම දෛනිකව සිදුවන සංසිද්ධීන් වන බැවිනි. අලුත් අවුරුදු පලාපල වල බොහෝ විට දක්නට ලැබෙනුයේ එම වසරේ කලාකරුවකුට මාරක අපලයක් පවතින බවයි. පාර්ලිමේන්තුවේ කලකෝලහාල ඇති වන බවටත් රිය අනතුරු බහුලව සිදුවන වර්ෂයක් බවටත් ඔවුහු අනාවැකි පළ කරති.

මේ අනාවැකි කියන්නට අමුතුවෙන් ජ්‍යොතිෂ්‍ය ඉගෙන ගන්නට අවශ්‍ය නොවේ. මෙමඟින් සිදු කෙරෙනුයේ ජනතාවගේ අවිද්‍යාවට ඇද දැමිමයි.

සිංහල පුවත්පත් සිංහල භාෂාවට කරන්නේ ද විශාල හානියකි. සමහර වාර්තාකරුවන්ගේ වාර්තා කියවූ විට ඔවුන් කියන්නට අදහස් කරන්නේ කුමක්දැයි වටහා ගත නොහැකිය. අක්ෂර වින්‍යාස දෝෂවල කෙළවරක් නැත. පාසල් දරුවකුට රචනයකට කරුණු සොයා ගැනීමට පුවත්පත්වලින් කිසිදු පිටිවහලක් නොලැබේ.

අපි කුඩා අවදියේ රචනා ලිවිමේදී පුවත්පත් පෙරළා බලමින් කරුණු සොයා ගතිමු. එහෙත් අද වන විට රචනයකට කරුණු සොයා ගැනීමට තබා කියවන්නට සුදුසු ලිපියක් සොයා ගැනිමද අසීරු ය.

අධ්‍යාපනයට, විද්‍යාවට සහ සංස්කෘතික හරයන්ට වැදගත්වන ලිපි පුවත්පත්වල පළවන්නේ කලාතුරකිනි.

ජනතාව අවිද්‍යාවෙන් මුදා ගැනීමේ වගකීමෙන් වැඩි කොටසක් හිමිවන්නේ පුවත්පතටයි. එහෙත් පුවත්පත් එය අමතක කර දමා දේශපාලනඥයන්ගේ නිසරු අදහස්වලට ප්‍රමුඛත්වය ලබා දීම ම සමාජ සාරධර්ම පිරිහීමට හේතුවක් වී තිබේ.

විද්යුුත් මාධ්‍යවල ඉදිරිපත් කරන නිසරු වැඩසටහන්වලට ඇබ්බැහිවීම නිසා දරු පරපුර පොතපත කියැවීමෙන් ඈත්වෙන බව ජනතාව වල්මත් කරවන විද්යුත් මාධ්‍ය ලිපියෙන් ද පෙන්වා ද තිබිණ. අපි ද එය අනුමත කරන්නෙමු.

විද්යුුත් මාධ්‍ය වල්මත්ව සිටියත් එමගෙහි නොගොස් ජන විඥානය අවදි කරවීමේ වගකීම පුවත්පතට තවමත් ඇත.

මෙරට පුවත්පත් ආරම්භ වූ වකවානුවේ වාසය කළ පුවත්පත් සංස්කාරකවරු ඒ වගකීම මැනවින් ඉටු කළහ. ඉදිරියටත් එය එසේම සිදුවිය යුතු බව අපි විශ්වාස කරමු.

 

Comments