ශබ්ද­කෝ­ෂයේ වච­න­වල එල්ලිලා පරි­ව­ර්තන කාර්ය­ය කරන්න බැහැ | සිළුමිණ

ශබ්ද­කෝ­ෂයේ වච­න­වල එල්ලිලා පරි­ව­ර්තන කාර්ය­ය කරන්න බැහැ

 ‘ඒරන්ගේ ලෝකය’ පුවත්පත් කලාවේදියකු ලෙසට ප්‍රකට රෝහණ වෙත්තසිංහ අතින් මෙරට පරිවර්තන සාහිත්‍යයට එකතුවූු කෘතියකි. ඇමෙරිකානු ලේඛක ජිම් ෂෙපර්ඩ්ගේ ‘The Book of Aron’ කෘතියේ පරිවර්තනයක් වන ‘ඒරන්ගේ ලෝකය’ යුදෙව් ජන සංහාරයට මුහුණ දුන් ඒරන් නමැති දරුවකු කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරනු ලැබූවකි‍. ඇමෙරිකාවේ දැනට වෙසෙන විශිෂ්ට ලේඛකයන් අතර ප්‍රමුඛස්ථානයක් ගෙන සිටින ජිම් ෂෙපර්ඩ් මේ වනවිට නවකතා 7 ක් සහ කෙටිකතා පොත් 5 ක් රචනා කර ඇත. ‘The Book of Aron’ යුදෙව් සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන සම්මාන 2 කින් ද තවත් ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය උලෙළ දෙකකදී වසරේ හොඳම නවකතා ප්‍රබන්ධය ලෙස පිදුම් ලබා ඇත.

‘ඒරන්ගේ ලෝකය’ පරිවර්තනය කළ රෝහණ වෙත්තසිංහ චිත්‍රපට තිර රචනා සහ ගීත රචනයට ද දායක වී සිටින අතර ලංකාදීප, දිවයින පුවත්පත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. පසුව ඔහු සිළුමිණ පුවත්පතේ සමකර්තෘ සහ රසඳුන සංස්කාරක වශයෙන්ද කටයුතු කළේ ය.

 

ඔබ ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. තිර රචකයෙක්. ඔබ ගත් කතුවරයකු ලෙස අතපොත් තබන්නේ ‘ඒරන්ගේ ලෝකය’ කෘතියෙන්. ඔබ ප්‍රථමයෙන් ම පරිවර්තන සාහිත්‍යයට යොමු වුණේ ඒ කෙරෙහි විශේෂ කැමැත්තක් තිබෙන නිසා ද?

මම ලේඛන කලාවට පිවිසෙන්නේ 'විසිතුර' පුවත්පතට ලෝකයේ ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගැන ලිපි පෙළක් ලියමින්. එය පරිවර්තන කාර්යයක්. මම ලංකාදීප පුවත්පතට සම්බන්ධ වන විට විභාගයක් තියලා පරිවර්තන හැකියාව මැන බැලුවා. මම ස්වතන්ත්‍ර නිර්මාණ වශයෙන් චිත්‍රපට තිර පිටපත් රචනා කළත් මගේ වෘත්තිය ජීවිතයේ වැඩි නැඹුරුවක් තිබුණේ පරිවර්තන කාර්යයට. ඒ නිසා මට ස්වතන්ත්‍ර කෘතියක් ලිවීමේ අදහසක් තිබුණේ නැහැ. ඔබ කියූ ආකාරයට ම මම පරිවර්තන කාර්යයට යොමු වී සිටි නිසා මා තුළ ඊට වැඩි කැමැත්තක් තිබෙනවා විය හැකි යි.

 

ඔබ ජිම් ෂෙපර්ඩ්ගේ ‘The Book of Aron’ පොත තෝරා ගත්තේ මොන ආකාරයට ද?

සරසවි පොත් ප්‍රකාශකයන්ගේ පොත් පරිවර්තනය කි‍රීමේ ව්‍යාපෘතිය යටතේ තමයි මට මේ පොත ලැබුණේ. ඇත්තටම එතන පොත් කීපයක් තිබුණා. ඒ අතරින් ‍මම මෙය තෝරා ගත්තේ පොඩි දරුවකුගේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් වන මේ කතාව මට කම්පනයක් ඇති කළ නිසයි.

 

දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගනිමින් රචනා කළ සාහිත්‍ය කෘති ගණනාවක් තිබෙනවා. ඒ පොත් සහ ‘The Book of Aron’ කෘතිය අතර වෙනසක් ඔබ දකිනවාද?

දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගත් කතා රාශිය අතරින් මේ කතාව කුඩා දරුවකු වටා ගෙතෙන නිසා මට ඒ කෙරෙහි විශේෂ කැමැත්තක් ඇති වුණා. දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගෙන දරුවන් කේන්ද්‍ර කරගත් කතා අතරින් 'ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත' සහ 'ඉරි පිජාමා කොලුවා' ගැන කතා දෙක සුවිශේෂී තැනක් ගන්නවා. ඒත් ඒ කතාවල දරුවන් ඉහළ මධ්‍යම පන්තියට අයත් දරුවන්.

මෙහි අපට හමුවන ඒරන් කොලු ගැටයා පීඩිත පන්තියේ දරුවෙක්. ඒ පීඩිත පන්තියේ දරුවා දෙවැනි ලෝක යුද්ධයෙන් නන්නත්තාර වෙන හැටි, නැති බැරිකම සමඟ පරපෝෂිත ‍උවදුරු හා ලෙඩ රෝග කරපින්නා ගන්නා හැටි, කුස ගින්දර නිවා ගැනීමට හොරකමට පෙ‍ලඹෙන හැටි ‘ද බුක් ඔෆ් ඒරන්’ කෘතියේ විස්තර වෙනවා. ඒ පීඩිත පන්තියේ දරුවන් ගැන අනෙක් කතාවල ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවැනි ලෝක යුද්ධය අළලා දරුවන් ඇසුරු කර ගනිමින් බිහිවූ සෙසු නිර්මාණවලට වඩා මට මෙය සුවිශේෂී කතාවක් වුණා. මට පැහැදිලි ව ඒ වෙනස දැනුණා.

 

ඔබේ පරිවර්තන කාර්යයේදී ප්‍රකාශන අයිතිය ලබා ගැනීම සිදුවුණා ද?

එය සරසවි ප්‍රකාශන ආයතනයෙන් ලබාගෙන තිබුණා. ඔවුන් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා විශ්ව සාහිත්‍යයේ ජනප්‍රිය, සම්මානයට පාත්‍ර වූ පොත් රාශියක් තෝරාගෙන ප්‍රකාශන අයිතිය ලබාගන්නවා.

ඊට පසුවයි මා ‍වැනි පරිවර්තකයන්ට පොත් පවරන්නේ. ඒ නිසා කර්තෘගේ අවසරය ලබා ගැනීම සඳහා මට මහන්සි වීමට අවශ්‍ය වුණේ නැහැ.

 

ඔබ ‘ඒරන්ගේ ලෝකය’ පොත රචනා කිරීමේදී යොදාගෙන තිබෙන්නේ ලේඛන වහර නොව භාෂණ වහර. ඒ ඇයි?

මෙම කතාව දිග හැරෙන්නේ පෝලන්තයේ දිළිඳු පවුලක අට හැවිරිදි ඒරන්ගේ දෘෂ්ටිකෝණයෙන්. ඒ නිසා ලේඛන වහරට වඩා භාෂණ වහර ඊට සුදුසුයි කියලා මම තීරණය කළා. අනික සමහරු මට කියා තිබෙනවා පරිවර්තන පොත් කියවන්න අමාරුයි, හරිම නීරසයි කියලා. මම පොතක් පරිවර්තනය කරනවා කියලා යාළුවන්ට කිව්වාම ඒ අය කිව්වේ පරිවර්තනය කළාට කමක් නැහැ කියවන්න පුළුවන් විදිහට වැඩේ කරන්න කියලා. ඒ නිසා මම හිතුවා සරල භාෂාවෙන් කටවහර යොදාගෙන පොත රචනා ක‍ෙළාත් නීරස ගතිය නැතිවෙලා යයි කියලා. ඒ නිසයි මම මෙය රචනා කිරීමේදී කටවහර යොදා ගත්තේ.

 

විදේශීය කෘතියක් පරිවර්තනය කිරීමේදී නොදන්නා සිරිත් විරිත්, ආගමික අැදහිලි වැනි දේ හමුවෙනවා. ‍ඔබ ඒ පිළිබඳ ව අවබෝධයක් ලබා ගත්තේ කොහොමද?

මම බොහෝ තොරතුරු අන්තර්ජාලයෙන් ලබා ගත්තා. උදාහරණයක් හැටියට ‘ගෙටෝ’ කියලා වචනයක් හමුවෙනවා. එහි තේරුම යුදෙව්වන් බලෙන් රඳවා තබාගන්නා ගෙවල්.

මම ඒ වගේ අවස්ථාවලදී තේරුම පමණක් නොවෙයි මම පින්තූර පවා පරීක්ෂා කර බැලුවා.

ඊට අමතරව පොතේ සඳහන් වුණ ආහාර වර්ග ගැන, ආගමික උත්සව ගැන මම අන්තර්ජාලයෙන් සහ පොත්පත් කියවීමෙන් තොරතුරු ලබාගත්තා. දෙවැනි ලෝක යුද්ධය මුල් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට නරඹලා අදහසක් ගත්තා.

ඒ විතරක් නොවෙයි. මම පරිවර්තනයේදී වචනයෙන් වචනය පරිවර්තනය කරන්න ගියෙ නැහැ. එහි තේරුම අරන් අපේකමට ගැළපෙන විදිහට ලිව්වා. උදාහරණයක් විදිහට ඉංග්‍රීසි කියමනේ එක තැනක තිබෙනවා පාප්තුමාටයි සාමාන්‍ය මිනිස්සුන්ටයි කියලා. ඒත් එය ඒ විදිහටම ලිව්වොත් ගැළපෙන්නේ නැති නිසා මම ලොක්කන්ටයි සොක්කන්ටයි කියලා ලිව්වා. අලුකුත්තේරුවා, උල්පන්දම් දෙනවා වැනි වචන මම පොතට ඇතුළත් කළේ පරිවර්කනය අපේකරණය කරන්න. ශබ්දකෝෂයේ වචනවල එල්ලිලා විතරක් පරිවර්තන කාර්යයන් කරන්න බැහැ.

 

අද පරිවර්තන සාහිත්‍ය රැල්ලක් බිහි වී තිබෙන නිසා ම ඉවක් බවක් නැතිව ප්‍රමිතියකින් තොරව පරිවර්තනය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒ පිළිබඳ ව ඔබේ අදහස පැහැදිලි කළ හැකි ද?

අද වෙළෙඳපොළේ ජනප්‍රිය කතා මාලා වෙළෙඳපොළේ අලෙවිය ඉලක්ක කරගෙන සමහරුන් පරිවර්තනය කරන බව පෙනෙනවා. එය ඇතැම් ප්‍රකාශන ආයතන විසින් ම සිදු කරනවා. ඒ අය ඒ පොතේ ගුණාත්මක බව ගැන හිතන්නේ නැහැ.

පරිවර්තනය කරන සමහර ලේඛක ලේඛිකාවනුත් එය තමාට භාරදුන් පැවරුමක් හැටියට කරනවා. එය විඳින්නේ නැහැ. ඇත්තටම පරිවර්තකයා පොත පරිවර්තනය කිරීමට පෙර ‍කියවා රසවිඳින්න ඕනෑ. පරිවර්තකයාට පොත රසවිඳින්න බැරි නම් එය පරිවර්තනය කරන්නේ කොහොමද? එයින් සිද්ධ වෙන්නේ අසාර්ථක පරිවර්තන කෘති වෙළෙඳපොළට නිකුත් වීම. ශබ්දකෝෂයේ වචනවල එල්ලිලා විතරක් පරිවර්තන කාර්යයන් කරන්න බැහැ ඊට වඩා හොඳයි නොකර ඉන්න එක. රැල්ලට අහුවෙලා පරිවර්තනය කරන්න ගියාම තමයි නීරස, අසාර්ථක පොත් බිහිවෙන්නේ.

පරිවර්තනයකදී අදාළ විදේශීය රටේ සිරිත් විරිත්, කෑම බීම, ඇඳුම් පැළඳුම් හැම දෙයක් ගැන ම හොඳ අවබෝධයක් ලබාගෙන වැඩේ පටන්ගන්න ඕනෑ. එහෙම නැතිව සමහරු වචනයෙන් වචනය පරිවර්තනය කරන්න යනවා. එවිට ප්‍රමිතියකින් තොරව පොත් පළ වෙනවා. ඊට පස්සේ ගුණාත්මක බව රැක ගනිමින් නිර්මාණාත්මක ව පරිවර්තනය කරන කෙනා සහ නොකරන කෙනා හැමෝම පාඨකයන්ගෙන් බැණුම් අහනවා.

 

වර්තමාන පාඨකයන් ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා පරිවර්තන සාහිත්‍යයට වැඩි නැඹුරුවක් දක්වන බව පැවසෙනවා. එහි සත්‍යතාවක් තිබෙනවාද?

අද වෙළෙඳපොළේ වැ‍ඩි වශයෙන් දකින්න තිබෙන්නේ පරිවර්තන පොත්. ස්වතන්ත්‍ර පොත් අඩුයි. වර්තමානයේ පළ වන පරිවර්තන පොත් තුළ විවිධ ශෛලී තිබෙනවා. විවිධ වස්තු විෂයන් තිබෙනවා. ඒ නිසා ඒ පරිවර්තන පොත්වල නැවුම් ගතියක් දකින්න පුළුවන්. ඒත් අපේ ස්වතන්ත්‍ර පොත් එකම රාමුවකට කොටු වී ඇති බව පෙනෙනවා. අලුත් වස්තු බීජ හොයාගෙන යන්නේ නැහැ. ඒ නිසා පාඨකයන් ස්වතන්ත්‍ර පොත්වලට වඩා පරිවර්තන පොත්වලට වැඩි කැමැත්තක් දක්වනවා ඇති.

 

ඔබේ ලේඛන කලාවේ ඉදිරි කටයුතු කොහොමද?

‘ඒරන්ගේ ලෝකය’ පොතට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා ම මම දැන් අලුත් වැඩකට අත ගහලා ඉන්නේ. ඒ 2018 නොබෙල් සාම ත්‍යාගය හිමිවුණු ‘The Last Girl’ පොත පරිවර්තනය කිරීම. අයි.එස්. ත්‍රස්තවාදීන් ඉරාකයේ යෂිඩ් ජන කොට්ඨාසය සමූල ඝාතනය කිරීමට සූදානම් වන අවස්ථාවකදී නාදියා මුරාඩි නමැති ඉරාක යුවතිය එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරිනියක් වෙලා තම වර්ගයා රැක ගැනීමට ලොකු සටනක් කරනවා. ඒ සත්‍ය කතාව තමයි මෙම පොතට පාදක වී තිබෙන්නේ. මෙය මට ප්‍රකාශකයා දුන් පොතක් නොවෙයි. මා විසින් ම ඉල්ලා ගත් පොතක්.

හර්ෂා සුගතදාස 

අදහස්