සමහර මතක ගූගල් සෙවුමේ හමු වන්නේ නැත... | Page 2 | සිළුමිණ

සමහර මතක ගූගල් සෙවුමේ හමු වන්නේ නැත...

‘මම තවදුරටත් පිරිසිදු ගැහැනියක් නොවෙයි. මාව නිකම් ම නිකන් වේසියක් වන තැනට ඔහේ කටයුතු කළා. දියමන්ති කරාබු කූට්ටමකට මම මගේ සිරුර කුලියට දුන්නා. මීට පස්සෙ බලය සඳහා මට හොයාගන්න පුළුවන් බලවත් ම කුලී කාරයාට, මම ඒක කුලියට දෙන්නට සූදානම්.’

මෙහෙම කියන්නේ මානසී මිත්‍ර ය. මානසි මිත්‍ර නමින් ගූගල් සෙව්වාට ඔබට ඒ චරිතය මුණ ගැසෙන්නේ නැත. ප්‍රබන්ධිත ලෝකයේ සමහර චරිත, ගූගල් සෙවුමේ හමු නොවූවාට ගූගල් වලටත් එහා ගිය මතකයක් ඉතිරි කරන අවස්ථා එමට ය. මානසී එවැන්නියකි.

ඒ පෙර කී වදන් නපුරු යැයි ද නරුම යැයි ද කියන්නට පෙළ ගැසෙනා මිනිස් පෝලිමේ ඉදිරියෙන් ම ඔබත් සිටින්නට හැකිය. තරුණ රැඩිකල්වාදී භාරතීය තරුණ පිරිස අතර උන්මාදයක් වූ ඇය, අල්ලපු රටේ අපේ ද හදවත ‍කොනිති ගසන්නට පටන් ගෙන ඇත්තේ ය. කමලා දාස් ගේ Alphabet of Lust නොකියවූ, කියැවීමෙන් ආතුර වූ පරම්පරාවේ සහෘදයකු නම් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි සිතමි. ‘අනුරාගයේ මුල්පොත’ නමින් මේ අපූර්ව සමාජ වියමන සිංහලයට නඟන්නේ එතරම් ම උපහාසයෙන් හා විචක්ෂණයෙන් සමාජය දෙස බලන ‘ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහයන්’ ය. බරපතළ දේශපාලන කතිකාවක් හා එහි ව්‍යංග්‍යාර්ථයේ වන තියුණු උපහාසයක් එකට කලතන්නට කමලා දාස්ට හැකි වූයේ කිනම් ආශ්චර්යයකින් දැයි මගේ සිත නිරන්තරයෙන් විමැසුම් සහගත වීම; එය කියවා වසර 10කටත් වැඩි කාලයක් නික්ම ගිය අදටත් මට අරුමයකි. මැදිවියට එළැඹෙමින් සිටි ඇයගේ සිරුරේ කාන්තිය විසින් වෙනස් කරන දේශපාලන ගමන් මඟ හාස්‍යයකට වඩා දනවන්නේ අරමුණ පිළිබඳ ව වන වික්ෂෝප බවකි. ඒ වික්ෂෝපය යථාර්ථයක් ව ඇති මෙකල්හි පවා ප්‍රාර්ථනය එය නොවන නිසාදෝ සිතෙහි ගැටුමක් ඇති වීම වැළැක්විය නොහැකිය. මේ සියලු කරුණු ඔබ වෙත මෙසේ ලියන්නේ නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අපට ලේඛකයා භාවිත කරන විධික්‍රමවල අපූර්වත්වය හා පාඨක අපේ මතය ග්‍රහණයට ඒවා කොතෙක් වැදගත් ද යන්න ඒත්තු ගැන්වීමට ය.

‘අනුරාගයේ මුල්පොත’ කියවා ගෙන යන ඇසිල්ලෙහි හමුවන සෑම දෙයක් ම ඔබ සමඟ බෙදා ගන්නට මට වුවමනා ය. එහෙත් එය සාර්ථක කරගැනීම පහසු නැත. බෙදා ගැනීමට කෙතරම් අවශ්‍ය වුවත්, බෙදා ගත නොහැකි දේ අප ජීවිත ඇතුළත කෙතෙක් ඇත්දැයි ඔබ දනී. ඒ හැම දෙයක් ම හැම කෙනකු සමඟ ම බෙදා ගත නොහැකි බවත් ඔබ දනී. එනිසාම එක්වරම නවකතාවේ අවසානයට රැගෙන ගියා යැයි කියා අමනාප නොවී මේ කොටසට අවධානය යොමු කළ මැනවි. මේ වචන බොහෝ භාරතීය කාන්තාවන්ගේ සිහින කුමාරයකු වූ තරුණ ඇමැතිවරයා විජායි රාජේ ගේ ය; වෙනත් ලෙසකින් කියන්නේ් නම් තරුණ මදයෙන් මත් වූ, බහුතරයක් ගැහැනු ඔහු කෙරෙහි ලිංගික පාශයෙහි දෙවරක් නොසිතා බැඳුණු, හැඟීමකින්, බැඳීමකින් තොරව ප්‍රේම කිරීමේ කලාවේ මහත් සේ නිපුණ වූ ඇමැතිවරයාගෙනි. ඒ තරුණ ඇමැතිවරයා මානසීට දමා ගසන වචනවල සමස්ත සදාචාරමය බිඳවැටීම ඍජු ව ප්‍රකාශිත වූවත්, ව්‍යංගයෙන් කියැවෙන්නේ සමස්ත පද්ධතියේ ම වන බිඳ වැටීම නොවේ දැයි ඔබට පසක් වනු ඇති බව මට නිසැක ය.

“අද ඉන්දියාවෙ මිනිස්සු, වැඩියෙන් ම බයේ ඉන්න ගෑනි ඔයා නොවෙයිද? දැන් අගමැති වුණත්, ඔයා අතේ සෙල්ලම් බඩුවක්. ඉතින් ඔයා කියනවා, මම ඔයාව විනාශ කළා කියලා. මානසී, ඔයා ළඟ තිබුණෙත්, ඉහළට නඟින ආශාව විතරයි.”

ඒ වනවිට ඇය ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ බලවත් ම ඇමැති ධුරය වන ස්වදේශ කටයුතු ඇමතිවරිය වූවා ය. විජායි නම් තරුණ සල්ලාල දේශපාලකයා විසින් ඉහළට නැඟීමේ උපක්‍රමයක් ලෙස මහලු අගමැතිවරයාට, මානසී ව බන්දේසියක තබා පුදනු ලබන්නාක් මෙන් ප්‍රධානය කරන්නේ ය. ඉන්දියාවේ බලවත් ම ඇමතිධුරය වන ආරක්ෂක ඇමැතිධුරයට ද මානසී ව ‍‍‍යෝජනා කරන්නේ නක්සලයිට් ව්‍යාපාරයට සම්බන්ධ සඟරාවක ඇය විසින් ලියන ලද ලිපි පිළිබඳ ව කියමින් විජායී ම ය.

මේ කරුණු ගොනු කරන්නට මා උත්සාහ කළේ පැති දෙකක් පිළිබඳ ව ඔබට කියන්නට ය. එකක් මේ අපූර්ව ග්‍රන්ථය ලියන කමලාදාස් ගේ නිදහස් චින්තනයයි; අනෙක ගැහැනියගේ මානසික ඝට්ටනයයි.

ස්ත්‍රිවාදිනියක යැයි නම් කරනු ලැබුව ද එවැනි කිසිදු ව්‍යාපාරයක නිරත ‍නොවූ ඇය ඒ වචනමාත්‍රික ස්ත්‍රිවාදිනියන්ට කිසිදා හමු නොවුණු කාන්තා මනසේ නිදහස්භාවය ගැන නිරන්තර විමසිලිමත් වූවා ය; ලියුවා ය. ස්වාධීන කාන්තාවකගේ පැවැත්ම තීරණය වන්නට මූලික ම සාධකය වන නිදහස් චින්තනය ගොඩනැංවීමේ ලා ඇය ප්‍රබල තීරණාත්මක මෙහෙයක් ඉටු කළා ය. කිවිඳියක වශයෙන් ඇය මේ කාරණා මීට වඩා බරපතළ ලෙස ප්‍රශ්න කළා ය. ඇය නිරන්තර කියන්නේ ‘තමන් ගැහැනුන් බවට පත් කළ හැම දෙය ම පිරිමියාට පුදන ලෙස’ ය. කාමරාගයේ හා ශෘංගාර ලෝලත්වයේ දවටා ස්පර්ශ කළ යුතු - නොකළ යුතු, කිලිටි හා නොකිලිටි යන ගැහැනිය සම්බන්ධ කරන සියලු ම දෑ ඇය සමඟ කාමසම්භෝගයේ යෙදෙන්නට කැමති පිරිමියාට අප්‍රිය නොවිය යුතු බව දක්වයි. මේ ඇය අප වෙත දවටා, ඔතා දෙන්නේ පිරිමින් සොයන ගැහැනියගේ පාරිශුද්ධත්වය පිළිබඳ උපහාසාත්මක දෘෂ්ටියයි. කමලාදාස් ඊනියා ස්ත්‍රීවාදිනියන්ට වඩා වටින්නේ ඒ නිසා ය.

අනෙක් අතට ඇය සනාතන ධර්මයක් මේ මඟින් පවසන්නී ය. මේ ලියැවිල්ල ආරම්භයේ ම සඳහන් කළ එය ගැහැනිය පිළිබඳ සමස්ථාර්ථයයි. ඕනෑ ම දෙයකට ඕනෑ ම අයකු බිය වන්නේ පළමු වතාවේ ය. දෙවැන්නේදී එය සාමාන්‍ය දෙයක් බවට පත් වන්නේ ය. මේ සියල්ල පොදු ධර්මතා වුව ද, ඒ සියුම් බවට ඔබ්බේ වන ඉසියුම් බව නිසා මේවා යම් යම් ආකාරවලට වෙනස් වන්නට පුළුවන. අන්න ඒ ඉසියුම් වෙනස ජීවිතවල ඇත්නම් අපේ සිතේ මේ වික්ෂෝපභාවය ඇති වන්නේ නැත. ලේඛකයා, නිර්මාණකරුවා හැමවිට ම ස්පර්ශ කළ යුතු වන්නේ ඒ වික්ෂෝප සිත බැව් ඔබට කියන්නට මට වුවමනා වී තිබිණි. හැමෝගෙම හිතේ හක්කලං කරන මුත් එළිපිට කියන්නට බය මේ දේවල් කමලා දාස් කියන්නේ දෙවරක් නොසිතා ය. එනිසා ම ඇය පාඨක හදවතේ නොමැකෙන ලකුණක් ඉතිරි කරන්නී ය. නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අපට ඒ ඉසියුම් චින්තනය අසු නොවුණහොත් පාඨක හදවතේ ආදරණීය ම ඉසව්වේ ලැඟුම් ගන්නට නම් වාසනාව හිමි වන්නේ නැත.

 

sumudu.chathur[email protected]

අදහස්