සමා­ජය වෙත හෙලන උපේක්ෂා සහ­ගත බැල්මක්... ‘නිස්සර පෙති’ | සිළුමිණ

සමා­ජය වෙත හෙලන උපේක්ෂා සහ­ගත බැල්මක්... ‘නිස්සර පෙති’

 

කෙර්මනි මාව විකිණුවොත් නුඹ මට කොපමණ ගෙවනව ද?

මසුරන් විසි පහයි

එය මගේ බඳ පටිය වටිනාකම නොවේ.

විමතියට පත් තිමූර් කෑ ගැසීය.

සත්තකින් ම මා බඳ පටිය ගැන කල්පනා කළේ.

එහෙම නැතුව නුඹ වහන්සේ තඹ දොයිතුවක්වත් වටින්නෙ නැහැ.

රාජාධිරාජයාට දුෂ්ටත්වයේ සහ රෞද්‍රත්වයේ මිනිසාට කෙර්මනි කිවිඳා එසේ පැවසී ය.

සත්‍යයේ මිතුරාණන් වූ කිවිඳාගේ කීර්තිය තිමුරයන්ගේ කීර්තියට වඩා අපට නම් සදහට අගනේ ය.

කවියන්ට ඇත්තේ එක් දෙවියෙක්‌ පමණි. එනම් අලංකාර කියමනත්, සත්‍යයේ නිර්භය වචනයත් ය. ඔවුන්ගේ දෙවියන් වනුයේ ඒවා ය. එවැනි කවියනට සදාකාලික කීර්තිය අත් වේවා.

(මාතාව පිළිබඳ පුරාවෘත්තය - මක්සිම් ගෝර්කි අනුවාදය - දැදිගම වි රුද්‍රිගු)

මක්සිම් ගෝර්කිගේ කවියන් පිළිබඳ මේ අර්ථ දැක්වීම අපට හමුවන්නේ ඔහුගේ ඉතා සුවිශිෂ්ට ම කෙටිකතාවක් වන මාතාව පිළිබඳ පුරාවෘත්තයෙනි. ගෝර්කි හෝ මේ කවියා හෝ පොදුවේ ගත් කල කලා නිර්මාණකරුවා වෙත ආරෝපණය කරන නිර්වචනය ඔස්සේ ඔහු විසින් කවියා සියල්ලට ම ඉහළින් ඔසවා තබනුයේ සමාජ ශෝධකයකුගේ ඉමහත් වගකීම කලා නිර්මාණකරුවාගේ උරතල මත පවරමින් ය. මේ කතාවෙහි එන තිමුර් යනු ලෝකයේ භූමි භාගයෙන් විශාල කොටසක් රජවරුන්, සුල්තාන්වරුන් දික්විජය කොට පාගා දමා අත්පත් කර ගත් එම බිම්හි ජීවත් වන කුරා කූහුඹියකුගේ පවා ඉරණම පිළිබඳ නිසි බලධාරියාය, නැතහොත් අසහාය තීන්දුකරුය. හුදී ජනයාගේ ඉෂ්ට දේවතාවා ය.

එහෙත් ගෝර්කි මේ සියලු ම බල පරාක්‍රම උපහාසයට ලක්කරන්නේ ඒවා සියල්ල ම සත්‍යය යෙන් විශාල ලෙස අපගමනය වූ මායාවන් ලෙස ය. ඔහු පවසන්නේ මේ මායාවන් විනිවිද සත්‍යය දකින ඒ සත්‍යය නිරාවණය කිරීමට උත්සාහ කරන කවියා සැමට වඩා ශ්‍රේෂ්ඨ බව ය. චාමිකා අරවින්දි යනු සමාජ ජාල ඔස්සේ මුලින් ම කාව්‍යකරණයේ නියුතු ව සමාජ අවධානය දිනා ගත් නව පරපුරේ කිවිඳියකි. 'නිස්සර පෙති' යනු ඇයගේ මුල් ම මුද්‍රිත කාව්‍ය සංග්‍රහයයි.

ග්‍රන්ථයේ නාමයට සරිලන පරිදි ම මුළු කාව්‍ය සංග්‍රහය පුරා ම කතුවරිය වත්මන් කලබලකාරී සමාජ වතාවරණයන්ගේ ඇති නිස්සාරත්වය විවරණය කිරීමට යත්න දරයි. ඇයගේ බස් වහර අපූරු ය; නම්‍යශීලීය. එහෙත් එහි භාවිතය කුහුල දැනවීමේ හැකියාවේ මද කමක් පෙන්නුම් කරයි. එහෙත් ඇය විසින් චිත්‍රනය කරන්නාවූ නවමු ලෝකය නිසා පාඨකයා හට ආයාසයකින් තොරව ඇයගේ නිර්මාණයන් රස විඳිමේ හැකියාව ලැබෙයි.

හුදෙක් වැල යන පැත්තට මැස්ස ගැසීම හෝ පෙරළුණු පිට හොඳයි කීම යන සංකල්ප වලින් බැහැරව තමන් විසින් දකිනා ලෙසට සමාජයේ පවතින නිස්සාර එමෙන්ම වියැකී යා යුතු මෙන්ම ප්‍රගමනයට භාජනය විය යුතු යැයි සිතන දේ ගැන හඬක් නැඟීම ඇය විසින් ගන්නා උත්සාහය නිසා ගෝර්කි විසින් පවසන කවියාගේ වගකීම ඇය විසින් අවබෝධ කොට ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

සුලබ තේමාවන් මෙන්ම කිසිසේත්ම මින් පෙර කිසිම කවියකු හෝ කිවිඳියක විසින් ස්පර්ශ නොකරන ලද මාන ඔස්සේ ද තම පන්හිඳ මෙහෙයවීමට ඇය විසින් ගන්නා ලද වෙහෙස මේ ග්‍රන්ථයේ කැපී පෙනෙන ලක්ෂණයකි.

උදැ ලි කැත්තට හුරු නොවන්නට

දෑත් සියුමැලි කරා මං

පෑන්, පන්සල් වෙද නලා අම්මටත් හෙණයක් වෙලා දැන්,

ගවුම් යට කර සල්ලි තිබුණත්

වැඩක් නැහැ බන් උඹට ඉන්.

බෙහෙත් දාලා ඇසට වාරුව ගන්න පුලුටක් හිටිය නං

පිටුව - 56

මෙය වර්තමානයේ බොහෝ උගත් දරුවන් සිටින දෙමාපියන්ගේ මහලු වියේ ඛේදනීය ඉරණමයි. තම සරු දිවිය සම්පූර්ණයෙන් දිය කර හරිමින් ඔවුහු තම දරු නට උගන්වති. ඒ ඔවුන් කුඹුරු කොටනවා වෙනුවට සමාජයේ ඉහළ යැයි සම්මත සුදු කරපටි රැකියාවක නිරතවනු දැකීම පරම පිවිතුරු අරමුණ කරගෙන ය. එහෙත් අවසානයේ සිදු වන්නේ ඔවුන් දියුණු රටකට හෝ නගරයට සංක්‍රමණය වීම ය. දරුවන් මුදල් කඳු ඒවා තිබුනත් ඔවුන් පැතූ ලොවෙහි අවසන් සේයාව ද ඔවුන් හැරගොස් බොහෝ කල් ගතවී ඇත.

වැහැරුණු උර තලාවක් හිස් අහස බලා

වියැලුණු දෙතොල මත යයි සිනහවක් ගලා ⁣

සිහිකැඳවුමක් තුළ රසයක තුරැලු වෙලා

දුරුවල ඇහිදාර වැහි මේඝයක් ⁣කලා

විජිතා ගෙදර බාලම දුව නිසා එදා

කවුරුත් ඈට දුන් රැකවල් කෙමෙන් මුදා

රැය පාළුවක හඳ මත පෝරුවක් රඳා

අත පැන් වත්කරේ පිනි කැට වලින් හදා

නිදිගත් තැන් පටන් ඈ දිගැතිම නින්ද

සිහිපත් කරන් සැනසුම ඇය හා වින්ද

වනපෙත් පුරා ඇත පිය සටහන් ඇන්ද

කාලය සිසාරා යන ක්‍රමයක් නැද්ද

පිටුව - 10

දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් තමන් සතු සියලු දේ කැප කරති. එහෙත් ජීවිතයේ සැඳෑ සමයේදී බොහෝ දෙනාට ඉතිරිවන්නේ හුදකලාව පමණි. ඔවුන්ට ජීවිතයේ දැන් ඉතිරිව ඇති එකම සතුට ඒ අතීත මතකයන් පමණි. දෙමාපියන් බොහෝ විට දරුවන්ගේ ලෝකය සුන්දර කරන්නේ තම හැකියාවේ මානයන් ඉක්මවා යමිනි. ‘රැය පාළුවක හඳ මත පෝරුවක් රඳා අත පැන් වත්කරේ පිනි කැට වලින් හදා’ යන කොටසින් මේ අදහස මනා ලෙස චිත්‍රණය වී ඇත. තම බිරිය ද මිය ගිය පසු පසු මේ විසල් ලෝකය තුළ හුදකලා වන මේ පියා තවමත් සිතන්නේ තමන් ඒ අසීමිත දුෂ්කරතා මැද තම දරුවන් වෙනුවෙන් විසල් ලොවක් ගොඩ නඟමින් සිටි ඒ යුගය වෙත යෑමට ඇත්නම් ඒ තරම් සැපතක් වෙන කොහිදැයි කියා ය. සිඟා නොකමින් සිඟා කමින් කුසට හරි හමන් අහරක් නැතිව ගත කළත් ඒ යුගය තම දිවි සැරියේ ස්වර්ණමය යුගය ලෙස ඔහු විශ්වාස කරයි.

වැටුණු හිම කැට පුරා අයිලය,

වසා දමමින් අ⁣පේ පියවර.

කියයි රහසක් ලෙයින් රතුවුණු,

ම⁣ගේ නුඹ ගැන ; නුඹේ මම ගැන.

පිටුව - 32

චින්ගීස් අයිත්මාතව්ගේ දුයිෂෙන් (පළමු ගුරුවරයා) එසේත් නැත්නම් ගුරු ගීතය බොහෝ විට විදේශීය සාහිත්‍ය කෘතියක් ලෙස වැඩිම වශයෙන් ශ්‍රී ලාංකික සමාජයේ කතා බහට ලක්ව ඇති නිර්මාණයයි. ඒ තරමටම එය කියවා නැති අයකුට වුවද හුරු පුරුදු නාමයක් බවට එය පත්ව ඇත. මේ කෙටි නවකතාවේ ප්‍රාථමික තේමාව කුමක්ද යන්න පිළිබඳ ව ශ්‍රී ලාංකික පාඨක සමාජය තුළ තවමත් නිරන්තර වාද හට ගනී. මෙය අප්‍රකාශිත කුලුඳුල් ප්‍රේමය ගැන ලියැවුණි ද, එසේත් නැත්නම් එකල සෝවියට් රජයේ ප්‍රචාරණ උපක්‍රමයක් වෙනුවෙන් සමස්ත් සමාජය වෙනුවෙන් තම ජීවිතයේ සුවඳ කැප කරන අග්‍රගන්‍ය විප්ලවවාදියෙක් ගැන ලියැවුණි ද? නැතිනම් හුදෙක්ම ගුරුවරයකුගේ වගකීම ගැන අර්ථකථනයක් දෙන්නට ලියැවුණි ද?

කෙසේ වුවද එහි සඳහන් අප්‍රකාශිත ප්‍රේමය පිළිබඳ වෘතාන්තය පේළි හතරකට කැටි කර දැක්වීමට කතුවරිය මෙහි සමත් කම් දක්වා ඇත.ලෙයින් රතුවුණු රහසක් යන යෙදීම ඇත්තෙන්ම අපූර්ව ය.

කවුළුව දෙපස මල් කසුකුසුවක මෙතන

මිදුලත පිපුණු මල වෙත ජීවය රැඳින

මේසය මත දුහුලි අැදගත් මල් මුහුණ

කඩදහි පෙති ඔහේ ඇත කම්මැළි කමින

හත්වෙනි දින උපත ලද තැන් පටන් තමා

එක් කුසුමක් යනව මරු ළග දෙදණ නමා

නිස්සර පෙති නොසැලුණත් මද පවනෙ හමා

ඉස්සර වගෙ තවම මේසය උඩම තමා

පිටුව -35

සාරවත් දෙය අසාර ලෙස දකිනා නිසරු දෙය සාරවත් ලෙස දකිනා වත්මන් බහුතර සමාජය දෙස හෙලන ලද උපේක්ෂා සහගත බැල්මක් ලෙස මේ පද්‍යය මෙන්ම සමස්ත ලෙස ‘නිස්සර පෙති’ කාව්‍ය සංග්‍රහය හඳුන්වා දිය හැකිය.

 

Comments