හත­ර­වන ආණ්ඩුවේ බලය අව­භා­විත වන බවක් පෙනෙ­නවා : සීතා රංජනී | සිළුමිණ

හත­ර­වන ආණ්ඩුවේ බලය අව­භා­විත වන බවක් පෙනෙ­නවා : සීතා රංජනී

සීතා රංජනී යනු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ මතු නොව දේශපාලන ක්ෂේත්‍රයේ ද පූර්ණකාලීන ක්‍රියාධාරිනියකි. රජරට ගුවන්විදුලි සේවයෙන් සිය මාධ්‍ය ගමන ඇරඹි ඇය පසුගිය 08 වන දින සිය 65 වන උපන් දිනය සහ 40 වන මාධ්‍ය මෙහෙවරද සැමරුවා ය. ඒ නිමිති කරගනිමින් ඈ පළ කළ ග්‍රන්ථය විමර්ශී තීරු ලිපි සංග්‍රහය යි. මතු දැක්වෙන්නේ ඇගේ මාධ්‍ය ජිවිතය සහ දේශපාලන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි.

 

පළමුවෙන් ම පෙරියමින්කුලමේ සීතා රංජනි කවුද කියා දැන ගන්න කැමතියි.

70 ගණන්වල මාධ්‍යවලට ලියන අයගේ නම සමඟ ලිපිනයත් පළ වෙනවා. ඒ නිසයි මුල් කාලයේ පළ වූ ලිපි, නිර්මාණ සහ විශේෂයෙන් ගුවන් විදුලියට ලියූ පිටපත් ප්‍රචාරය වන විට පළ වුණේ ගමේ නමත් එක්ක. මුලින් ම පළ වුණේ: අනුරාධපුර, පෙරිමියන්කුලමේ සීතා රංජනී නමින්. ටිකක් නම ප්‍රචලිත වුණාට පස්සෙ පෙරිමියන්කුලමේ සීතා රංජනී වුණා. රජරට සේවයේ මං ක්‍රියාකාරී වූ අවසන් කාලය වන විට පෙරිමියන්කුලමත් හැලිලා නිකම්ම සීතා රංජනී වුණා. ඒ සීතා රංජනී කවි ලියන්න පටන් ගන්නේ පාසල් කාලයේ සිට. මම පාසල් කාලයේ ඉගෙනීමට විතරක් සීමා වුණ කෙනෙක් නෙමෙයි; සමස්ත ලංකා දක්වා ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්. වෙනත් පාසල් සමිති සමාගම් එක්ක වැඩ කළ කෙනෙක්. අදටත් ගුරුවරුන්ට මතක ඇති චරිතයක්. පාසලේ ඉන්න කාලේ සිටම ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවට බැඳී දිස්ත්‍රික්කය පුරා ප්‍රථමාධාර සේවයේ දුර ගමනක් ගිය කෙනෙක්. ගමේ කාන්තාවන් එක්ක වැඩ කළ කෙනෙක්. ගමට සීමා නොවී මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න, අයිතිවාසිකම් ගැන සංවේදී වුණ කෙනෙක්. බොහෝ දුෂ්කරතා මැද සියලු දේට මුහුණ දුන් කෙනෙක්. ඒ මුල්වලින් අද ඉන්න සමාජ ක්‍රියාකාරිනියට පරිවර්තනය වූ කෙනෙක්.

 

පෙරියමින්කුලමේ සිට රජරට සේවය දක්වා ගමනත්, එතැනින් කොළඹට පැමිණීමත් පිළිබඳ විශේෂතා මොනවද?

රජරට සේවය මගේ මාධ්‍ය ජීවිතයට, නැත්නම් ලිවීමට තෝතැන්නක් වුණා. ඊට පෙර කොළඹ ගුවන් විදුලියට නිර්මාණ යැවූ සහ ශ්‍රාවිකාවක් වීම හරහා රජරට සේවය ආරම්භ වන බව දැනගන්නවා. එය ගමේ සිට, ඒ කාලේ විදියට සැතපුම් 4ක 5ක දුරක්. යැවූ පළමු කෙටිකතාව මගේ හඬින් ම ඉදිරිපත් කරන්න ලැබෙනවා. කෙටි කතාවට සහ ඉදිරිපත් කිරීමට ගෙවීමක් ලැබෙනවා. ලිවීම ජීවත් වීමේ මාර්ගයක් කර ගන්න ලැබෙනවා. ඒ නොසිතූ අවස්ථාව ලබා දුන්නේ මට විතරක් නෙමෙයි. ඒ කාලෙ සම්බන්ධ වුණ හැමෝට ම ඒ අවස්ථාව ලැබුණා. ඒ, රජරට කලාපයේ බොහෝ අයගේ හැකියා ඉදිරියට ගන්නට තාත්තා කෙනෙක් ලෙස උදව් කළ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නම් ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදියා නිසා. එදා පටන් ගත් රජරට සේවය සමග සම්බන්ධතාව 1986 දක්වා සියලු වැඩ සටහන්වලට පිටපත් ලියූ ලේඛිකාවක් බවට පත් කරනවා. ඒ ලියූ දේ මෙන්ම සමාජ ක්‍රියාකාරිත්වය නිසා විවරණ නමින් පටන් ගන්න සූදානම් වෙන විකල්ප සඟරාවට එකතු වෙන්න මට කොළඹින් ආරාධනාවක් ලැබෙනවා. කොළඹට පැමිණිමේ විශේෂත්වය එය යි.

 

“කිණිහිර අධ්‍යයන කවය” ආචාර්ය සුනිල් සිරිවර්ධන සහ සීතා රංජනි අතර සම්බන්ධය සිහිපත් කළොත්?

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන එහෙම නැත්නම් සුනිල් අයියා මුණ ගැහෙන්නේ 1983දි විතර. ඔහුත් අනුරාධපුරයේනේ. ඒ වන විට ඔහු ඇවිත් හිටියෙ සෝවියට් රුසියාවේ අධ්‍යාපනය අවසන් කරලා. ඔහු සමඟ මුලින් සම්බන්ධ වෙන්නේ “කාලයේ රාවය” සංගීත ප්‍රසංගය නිසා. නන්දන මාරසිංහ, සුනිල් අයියා, විශාරද ගුණදාස කපුගේ ආදී පිරිසක් එකතුව එ් විකල්ප සංගීත ප්‍රසංගය සූදානම් කරන්නේ ඒ කාලේ දේශපාලන තත්ත්වයට අභියෝගාත්මක වැඩක් විදිහට. කපුගේ අයියා රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියා නිසා මාරේ අයියා, සුනිල් අයියා එහෙම රජරට සේවයටත් එනවා. අපට ආරාධනා ලැබෙනවා ගීත ලියන්න. මම යැවූ ගීත දෙකක් ඒකට තෝරාගෙන තිබුණා. එහෙම හැදුණ සම්බන්ධතා හරහා කාලයේ රාවයේ මංගල දර්ශනයට මං කොළඹ යනවා. ඒ ප්‍රසංගයේ ගායිකාවක් වුණ සුනිලා අබේසේකරත් එහිදී මුණ ගැසෙනවා. ඇයත් පසුව අනුරාධපුරයේ පදිංචියට එනවා. ඒ කාලයේ තමයි අපි සුනිල් අයියලාගේ ගෙදරදි එකතු වෙන්නේ. පොඩි කණ්ඩායමක් විදිහට අපි “කිණිහිර” නමින් එකතු වෙලා රාත්‍රියේ සාකච්ඡා පවත්වනවා. දර්ශනය, දේශපාලනය, කලාව, සාහිත්‍ය යනාදිය කතා කළා. පුංචි පුස්තකාලයක් පවා හදන්න උත්සාහ කළා.

 

කොළඹ ඇවිත් “විවරණ” සඟරාවට සහ “යුක්තිය” පුවත්පතට ඔබ සම්බන්ධ වෙනවා.

ඒ අතීතය කොහොමද?

1986 විවරණ සඟරාව පටන් ගන්නවා. හැබැයි මං එහි වැඩ කළේ අවුරුද්දක් වගේ කාලයක්. නමුත් ඒ කාලය තුළ කොළඹ ආශ්‍රිත සමාජ යහපත අරමුණු කරගත් සියලු ක්‍රියාකාරකම්වලට දායක වන සමාජ ක්‍රියාකාරිනියක් බවටත් පත් වෙනවා. ජනවාර්ගික ගැටලුව මූලික කරගෙන වැඩ කළ ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා ව්‍යාපාරයටත් (මර්ජ්) සම්බන්ධ වෙලා හිටියේ. ඒ සංවිධානවල සාමාජික වෙලා, ස්වේච්ඡාවෙන් සමාජ වැඩවලට, සාකච්ඡා සභාවලට දායක වුණා. මට අවශ්‍ය වුණා ජනවාර්ගික සමගිය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට වැඩක් කරන්න. ජාතීන් අතර අවබෝධය ඇති කිරීම සඳහා සාහිත්‍ය, කලාව හරහා ලොකු සේවයක් කළ හැකි බව මම එදත් විශ්වාස කළා; අදත් විශ්වාස කරනවා. ඒ නිසා සිංහලෙන් නිර්මාණ කරන අය වැඩි වැඩියෙන් ඒ සඳහා යොමු කරවීමේ අරමුණ ඇතිව මම එම ආයතනයට යෝජනාවක් කරනවා “සංකලන” නම් සඟරාව කරන්න. ඔවුන් එයට කැමැති වුණත් වියදම් කිරීමේ ගැටලුව තිබුණා. මුද්‍රණ වියදම විතරයි දරන්න පුළුවන් වුණේ. ඒ නිසා, නිර්මාණ එකතු කිරීම, විශේෂයෙන් දෙමළ සාහිත්‍යකරුවන්ගේ. තමන්ගේ ගැටලුව ගැන ලියූ නිර්මාණ සිංහලට පරිවර්තනය කරවා ගැනීම, ඒවා මුද්‍රණ අකුරු බවට පත් කිරීම, පිටු සැලසුම් කිරීම ආදී සියලු කටයුතු මා විසින් ම කළා. අත්අකුරෙන් සඟරාව ලියලා ඒ සමඟ ම පිටු සැලසුම් කළා. “සංකලන” සඟරාව මා විසින් සංස්කරණය කරන්නේ ඒ විදියට. ඉන් පසුව, තවත් කාන්තා සඟරා කිහිපයක් සංස්කරණය කරනවා. ඒ අතර තමයි 1990දි යෝජනාවක් එන්නේ වෙළෙඳපොළට ඉදිරිපත් කරන පත්තරයක් කරන්න. ඒ වන විට මර්ජ් ආයතනයේ සුනන්ද දේශප්‍රියගේ සංස්කාරත්වයෙන් “යුක්තිය” නමින් පුවත් හසුනක් කළා. යෝජනාව වුණේ මගේ සංකලන සහ සුනන්දගේ යුක්තිය එකතු කරලා පත්තරයක් කරන්න. අපි එහෙම ආරම්භ කළා. මගේ පිටු 4 මා විසින්ම පුරුදු පරිදි සැලසුම් කර දුන්නා. කලාප දෙක තුනකින් පසුව එහෙම වෙන වෙනම වැඩ කරන්නේ නැතිව එක පත්තරයක් විදිහට අවුරුදු 10ක් පුරා පළ කළා. කාර්ය මණ්ඩලයට තව මාධ්‍යවේදීන් බඳවා ගෙන සති අන්ත ප්‍රබල විකල්ප පුවත්පතක් බවට පත් වුණ යුක්තිය පුවත්පත ආරම්භයේ සිට අවසානය දක්වා ම හිටිය එක ම මාධ්‍යවේදිනිය මමයි. මම එහි ජ්‍යෙෂ්ඨ විශේෂාංග කර්තෘ විදිහට වැඩ කළා.

 

මාධ්‍යවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් යන දෙදෙනා ම “සීතා රංජනී” ඇතුළෙ ඉන්නවා. කොහොමද එහෙම වෙන්නෙ?

මාධ්‍යවේදිනියක් විදියට මගේ ලිවීම්වල ඉලක්කය වුණේ: ජනවාර්ගික අයිති, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා අයිති, මාධ්‍ය නිදහස මෙන්ම සමාජ වගකීම් සහිත නිදහස් මාධ්‍ය සංස්කෘතියක් සහ කලා සංස්කෘතික අයිතිවාසිකම් වැනි අයිතිවාසිකම් ක්‍ෂේත්‍ර. මම ඒ අරමුණු සඳහා පෑන මෙහෙයවනවාට සමානවම ඒ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරී වන සිවිල් සමාජ ක්‍රියාකාරිත්ව සඳහාත් එකතු වෙලා ඒවාට දායකත්වය දීලා තියෙනවා. පාරේ අරගල එක්ක ඉඳලා තියෙනවා. එහෙමයි ඒ දෙකම එකක් වෙන්නේ. සීතා රංජනී හිතට එකඟ නැති දෙයක් ලියලා හිතට එකඟ නැති දෙයක් කරන්නේ නැහැ; නැත්නම් රැකියාව විතරක් කරගෙන පැත්තකට වෙලා හිටිය කෙනෙක් නෙමෙයි. සීතා රංජනීගේ ජීවිතය ම එකක් නිසා මාධ්‍යවේදිනිය සහ ක්‍රියාකාරිනිය යන දෙන්නා ම එක ම අරමුණු එක්ක එකට ඉන්නවා.

 

සුළු ජන කොටස් ලෙස නම් කර සිටින දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් අවශේෂ මිනිස්සු පිළිබඳ ඔබේ දැක්ම මොන වගේද?

මිනිස්සු කියන්නේ මිනිස්සුන්ට. කතා කරන භාෂාව, ආගම, විශ්වාස, පිළිගැනීම් වෙනස් වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ වශයෙන් ජීව විද්‍යාත්මකම විතරක් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ලිංගික නැඹුරුතා අනුව වෙනස් තෝරාගැනීම් කරන අය වෙන්න පුළුවන්. ඒත් ඒ හැමෝම උපදින්නේ එකම විදියට; හැමෝම මනුෂ්‍යයෝ. සමාජයක් ලස්සන කරන්නේ ඒ විවිධත්වය යි. එහෙම නම් රටක සාර්ථකත්වය පවතින්නේ ඒ විවිධත්වය ඉවසීම නැත්නම් පිළිගැනීම තුළ යි. කෙටියෙන් ම කීවොත් මනුෂ්‍යයකුට: මම ගැහැනියක්, මම පිරිමියෙක්, මම සිංහල, මම දෙමළ, මම මුස්ලිම් නැත්නම් මම වෙන කවුරුහරි, මම සමලිංගිකයෙක්, ආදී වශයෙන් වෙනස් ලෙස හිතෙන්නේ නැත්නම් මනුෂ්‍යත්වය කියන්න පුළුවන් ඒකට යි.

 

එදා මෙදාතුර දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස ලද අත්දැකීම්වලට අනුව අපේ රට දේශපාලනික වශයෙන් පවතින්නේ කෙබඳු තත්ත්වයක ද?

අද දේශපාලනික වශයෙන් හරිම අස්ථාවරයි. නමුත් මම හිතනවා යම් කිසි හොඳ වෙනස්කම් සිදු වුණා. නිදහස් වාතාවරණයක් ගොඩනැඟුණා. ජීවිත බය අඩු වුණා. රටේ ජාතික ධනය කොල්ලකෑ හොරු, දූෂකයින් යනාදි මහා පරිමාණ අපරාධකරුවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය අපොහොසත් වීම හරහා ඒ ලැබුණු හොඳ දේ සහ නිදහස යටපත් වෙලා. සාමාන්‍යයෙන් සමාජය පුරුදු වෙලා තියෙන්නේ කරන දේට වඩා නොකරන දේට චෝදනා කරන්නයි. නමුත් බලය උදුරා ගැනීම සඳහා විරුද්ධ පාක්‍ෂිකයන් විසින් කරන චෝදනා දේශපාලන බලය සඳහා බව තේරුම් ගන්නත් ඕනේ. යහපාලනයක් වෙනුවෙන් සටන් කළ අයටත් කරන්න චෝදනා ඕනෑ තරම්. ඒ වගේ ම ආණ්ඩුවක් විදියට ගන්නා දේශපාලන ක්‍රියාමාර්ගවල අපරිණතභාව සහ තවත් දේ ඒ අතර තියෙනවා. ජනාධිපති එක පක්‍ෂයක, අගමැති තවත් පක්‍ෂයක ඉන්න විට ඇතිවන ගැටලුත් මේ අස්ථාවර බවට බලපාලා තියෙන බවක් පෙනෙනවා.

 

ඒ තත්ත්වය යහපත් බවට පෙරළාගැනීම සඳහා රටේ ජනතාව කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ අදහස?

ජීවත්වීමේ අරගලය ජනතාවට ප්‍රධාන වෙනවා. ජනතාව හැම දේම තීරණය කරන්නේ ඒකත් සමග යි. ඒත්... රටක් විදිහට පැවතුණ තත්ත්වය සහ අද පවතින තත්ත්වය ගැන සංසන්දනාත්මකව හිතන්න ජනතාවට අපි යෝජනා කළොත් එහෙම කරයිද? එහෙම කළොත් ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපි පසු කර තිබෙන්නේ කොයිතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන යුගයක් ද කියා. කොයිතරම් භීෂණ යුගයක්ද පසු කර තිබෙන්නේ කියා. හමුදාකරණය වූ සමාජ මානසිකත්වයක් තුළ ජනතාව කොතරම් පීඩනයකට ලක් වෙලා තියෙනවාද? ත්‍රස්තවාදයට මුවාවී, කිසිදු වගවිභාගයකින් තොරව කොයිතරම් තරුණ ජීවිත අතුරුදන් කර තිබෙනවා ද? ජනමාධ්‍යවේදීන් කී දෙනෙක් මැරුවා ද? කී දෙනෙක් ප්‍රහාරවලට ලක්වූවා ද? මාධ්‍යය සේවකයන් කොපමණ ඝාතනය වී තිබෙනවා ද? කප්පම් ගැනීම සඳහා කොතරම් ජීවිත නැති කර තිබෙනවා ද? මේවා සාමාන්‍ය සමාජයක් තුළ ඇතිවන ගැටුම් නිසා ඇතිවන අපරාධ නෙමෙයි. බලය අතැතිව සිදු කළ අපරාධ. අද ඒවා සම්බන්ධයෙන් යම් යම් නීතිමය කටයුතු සිදුවන විට, ඒවා වැළැක්වීමට එදා තිබූ ඒ හමුදාමය මානසිකත්වය ම සමාජගත කරන්නට ක්‍රියා කරන හැටි ජනතාව තේරුම් ගත යුතුයි. මට හිතෙන්නේ අතීතය අමතක නොකරනවානම් ජනතාව කළ යුත්තේ යහපාලනයක් ඇති කිරීම සඳහා, අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම ඉක්මන් කිරීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රජය නොකරණ දේ හෝ මන්දගාමී දේ කරවා ගැනීම සඳහා බලපෑම් කිරීමයි; දිනූ නිදහස රැක ගැනීම සඳහා බලපෑම් කිරීමයි. එදිනෙදා ජීවත්වීම ප්‍රධානයි තමයි. ඒත්... රටක් විදිහට හිතනවානම් ඒ දෙකම එකට ගෙන අනාගතයේ යහපාලනයක් සහිත රටක් වෙනුවෙන් වඩා තාර්කිකව කටයුතු කිරීම වැදගත් වෙනවා.

 

මෙබඳු වාතාවරණයක් තුළ ජනමාධ්‍යයේ වගකීම පිළිබඳ ඔබ දරන අදහස කුමක්ද?

මේ වගේ කාලෙක වඩා තාර්කික විය යුත්තේ, විචාරශීලීව කටයුතු කළ යුත්තේ ජනමාධ්‍ය සමාජයයි. දේශපාලන පක්‍ෂ හෝ මතවාදවලට බෙදී වැඩ කිරීමෙන් ජනමාධ්‍ය සතු ඒ සමාජ වගකීම ඉටු වන්නේ නැහැ. ජනමාධ්‍යය කියන්නේ විශේෂ වෘත්තියක්. ඒ කටයුතු කරන අයට සියල්ල පිළිබඳ ඉදිරි දැක්මක් තිබිය යුතුයි. එහෙම වුණාමයි එදිනෙදා සිදුවන දේ ගැන වඩා නිවැරැදි, අපක්‍ෂපාතී සහ සමාජ වගකීම් සහිත වාර්තාකරණයක් කළ හැක්කේ. මේ රට වඩා යහපත් කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය රජයන රටක් හදන්නට, මිනිසුන්ට බියෙන් තොරව ජීවත් වන්නට සුදුසු රටක් කරන්නට, මිනිස්කමට ඔබින රටක් බිහි කරන්නට ඉදිරි දැක්මක් ඇති, සමාජ වගකීම තේරුම්ගත් ජනමාධ්‍යයට විශේෂ කාර්යභාරයක් පවතින බවයි මගේ විශ්වාසය. නමුත් ඒ වගකීමෙන් බැහැරව ඒ හතරවැනි ආණ්ඩුවේ බලය අවභාවිත වන බවක් පෙනෙන්නට තිබෙනවා.

 

Comments