හිටි­වන කවිය මිය ගියේ නැහැ | Page 2 | සිළුමිණ

හිටි­වන කවිය මිය ගියේ නැහැ

ලෝක කවි දිනය යෙදී තිබෙන්නේ මාර්තු 21 වැනිදාට ය. රටකට ආවේණික වූ සංස්කෘතික හර පද්ධතීන් සමඟ බැඳී තිබෙන කවි සංරක්ෂණය කිරීමේ අරමුණින් නම් කර තිබෙන ලෝක කවි දිනය පිළිබඳව අස්පර්ශනීය උරුමයන් පිළිබඳ ජාතික උපදේශන මණ්ඩලයේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහචාර්ය කමල් වලේබොඩ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

 

“ලෝක කවි දිනය” අන්තර්ජාතිකව කවියට දිනයක් වෙන් කිරීම පිළිබඳව මුලින් ම කතා කරමු නේද?

ලෝක කවි දිනය යුනෙස්කෝ සංවිධානයේ 30 වැනි සැසි වාරයේදී, එනම් 1999 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළේ. මෙහි අරමුණ වුණේ කවිය තුළින් සිදුවන වාග් සම්ප්‍රදාය බලවත් කිරීම. ලෝකයේ බොහෝ සංස්කෘතීන් සමඟ කවිය බැඳී පවතිනවා. උදාහරණයක් හැටියට ලංකාව ගත්තොත් හිතේ පාළුව, කාන්සිය මග හරවා ගැනීමේ අරමුණින් ගායනා කළ කවි ජනකවි වශයෙන් සමාජගත වුණා.

තොවිල් හා යාතු කර්මවලදී තොවිල් කවි බිහි වුණා. අම්මා දරුවන් නිදි කරවීමට ගැයූ කවි නැළවිලි කවි බවට පත් වුණා. නර්තනයේදී වන්නම් කවි ගායනා කළා. රජ්ජුරුවන් වර්ණනා කිරීමට ප්‍රශස්ති කවි ගායනා කළා.

අපි ‘ගාථා’ කියලා හඳුන්වන්නේ පාලියෙන් කවිවලට කියන වචනයකට. පිරිත් අපි විරිතකට ගායනා කරනවා. මේ විදිහට සලකා බලන විට අපේ ජීවිතයේ ආගමික ඇදහිලි, නර්තනය, විනෝදය, දුක සතුට හැම දෙයක් සමඟම කවිය බැඳී තිබෙනවා. අපේ රටේ වගේ ම ලෝකයේ සෙසු රටවල්වලත් එහෙමයි. ඒ ඒ සංස්කෘතීන් සමඟ කවිය අන්‍යොන්‍ය වශයෙන් බැඳී තිබෙනවා. ඒත් අද ඒ සංස්කෘතික මූලයන් විනාශ වී යෑමේ තර්ජනයක් මතුවෙලා. ඒ සංස්කෘතීන් පෝෂණය වූ කවි රැක ගැනීම, මිනිසාගේ නිර්මාණශීලී හැකියාවන් අවදි කිරීම යන අරමුණින් තමයි ලෝක කවි දිනය ලෙස මාර්තු 21 වැනිදා නම් කර තිබෙන්නේ. අද වනවිට පද්‍ය ගායනය ලෝක අවශ්‍යතාවක්. ඒ නිසයි කවියේ වාග් සම්ප්‍රදාය බලවත් කිරීම යන තේමාව ඔස්සේ ලෝක කවි දිනය පවත්වන්නේ.

 

ලෝක කවි දිනය ලංකාවට තවම හුරු නැහැ නේද?

ඔව්. ලංකාවේ මෙය පැවැත්වීම ආරම්භ කළේ 2013 වර්ෂයේ.‍ ඒ කාලයේ සංස්කෘතික ඇමැතිවරයා ලෙස කටයුතු කළේ ටී.බී. ඒකනායක මහතා. සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් වශයෙන් විජිත කණුගල මහතා සේවය කළා. ලෝක කවි දිනය පටන් ගත් මුල් කාලයේ කොළඹ උත්සවයක් පැවැත්වීම පමණයි සිද්ධ වුණේ. ඒත් පසුගිය වසරේ සිට ලෝක කවි දිනය උත්සවයකට පමණක් සීමා නොකර ඉන් ඔබ්බට ගෙන යා යුතුයි යන අදහස පෙරදැරි කරගෙන කටයුතු කළා.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ මූලිකත්වයෙන් ජාතික හිටිවන කවි තරගයක් පැවැත්වූවා.

මේ වසරේ එය වඩාත් පුළුල් ආකාරයට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

 

මෙම වසරේ ‘ලෝක කවි දිනය’ සැමරීම සිද්ධ වෙන්නේ මොන ආකාරයට ද?

මෙම වසරේදීත් ජාතික හිටිවන කවි තරගය පැවැත්වෙනවා. මෙම තරගයට තරගකරුවන් 1000ක් පමණ අයදුම්පත් එවා තිබුණා. දිස්ත්‍රික් මට්ටමෙන් තරග පවත්වලා අවසන් පූර්ව තරගයට 142 දෙනකු තෝරා ගත්තා.

අවසාන මහ තරගයේ විශිෂ්ටතම හිටිවන කවියා තේරීමේ තරගයට 11 දෙනෙක් තේරී සිටිනවා. විශිෂ්ටතම හිටිවන කිවිඳිය තේරීමේ තරගයටත් 11 දෙනෙක් තෝරා තිබෙනවා.

ඒ හැර තරුණ හිටිවන කවියා සහ තරුණ හිටිවන කිවිඳිය තේරීමේ තරගයට අට දෙනෙක් තේරී සිටිනවා.

ඊට අමතරව මෙවර හොඳම හිටිවන කවි කණ්ඩායම තේරීමේ තරගයට 10 දෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. අවසාන මහා තරගය පැවැත්වෙන්නේ මාර්තු 21 වැනිදා.

එම අවසාන මහා තරගයේදී හිටිවන කවි කීමේ හැකියාව, මාතෘකාවට අදාළව කවි කීම, අභිනය ඉදිරිපත් කිරීමේ හැකියාව, කවි දෝෂවලින් ඉවත්වීම සහ කවි විරිතට ගායනා කිරීම යන නිර්ණායක පහ යටතේ තරගකරුවන් විනිශ්චයට ලක් කෙරෙනවා. මෙම ජාතික හිටිවන කවි තරගය හැර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ සංස්කරණය යටතේ ‘කොළඹ කාව්‍ය සමීක්ෂා’ පොත එළිදැක්වෙනවා.

A4 ප්‍රමාණයේ පිටු 300 ක අනුරාධපුර යුගයේ සිට අද දක්වා කවිය පැමිණි ගමන් මග ගැන මෙහිදී කතා කරනවා. මෙය ලංකාවේ කවියේ ඉතිහාසය ගැන වගේ ම කොළඹ යුගයේ කවිය පිරිහීම ගැන කතා කරන ඉතා වටිනා ශාස්ත්‍රීය කෘතියක්.

 

අද දවසේ හිටිවන කවි කීම සමාජයේ අවතක්සේරුවට ලක් වන කාරණයක් බවට පත්වී ඇති බවත් පෙනෙනවා?

ඔව්. වර්තමානයේ හිටිවන කවියේ පසුබැස්මක් තිබෙනවා. අද කවි කියන එක ලජ්ජාවට කාරණයක් වෙලා. අද හැමතැනම දකින්න ලැබෙන්නේ බටහිර ආකෘතියට අනුව කෙරෙන වේග රිද්මයේ ගායනා.

බටහිරකරණයට ගැති නොවුණොත් කොන් වේවි කියන හැඟීම නිසා අද සමාජයේ බොහෝ දෙනෙක් ඒ පසුපස හඹා යනවා.

අපේ දේශීය ගායනා සොබා දහමේ රිද්මයත් එක්ක බැඳුණේ. උදාහරණයක් හැටියට සමුද්‍රඝෝෂ විරිතෙන් අපි කවි ගායනා කළා. ඒ කියන්නේ මුහුදු රැල්ලෙ රිද්මයට අපි කවි කිව්වා. ඒ විදිහට අපි සොබා දහමේ රිද්මයට කවි ගායනා කරපු අය.

ඒත් අද සමාජය අන්ධානුකරණයට ලක්වීමෙන් අපේ කවි ගායනා යටපත් වෙලා. කවිය අපෙන් ඉවත් වී යනවා. අද ජනමාධ්‍යයත් මේ අන්ධානුකරණයට යටවෙලා. ජනමාධ්‍යත් අපේකම අමතක කරලා ලාභය මූලික කරගෙන කටයුතු කරනවා. අද ජාතික හා පෞද්ගලික රූපවාහිනි නාළිකා එකකින්වත් හිටිවන කවි මඩුවක් පෙන්වනවාද? ගුවන් විදුලි නාළිකා ගත්තොත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවය, කඳුරට ගුවන් විදුලිය, රංගිරි ගුවන් විදුලිය වැනි සීමිත නාළිකා කීපයක විතරක් හිටිවන කවි මඩුවලට වෙලාව වෙන් කරදී තිබෙනවා.

අද ගුවන්විදුලි, රූපවාහිනි නාළිකාවල කටයුතු කරන නිවේදක නිවේදිකාවන්ට කවියක් ගායනා කරන්න පුළුවන්ද? නිකං පද 4 කියවනවා විතරයි. සමාජයේ හැමතැනින් ම අපේ කවිය, දේශීය සංස්කෘතික මූලයන් විනාශ කරන පසුබිමක් නිර්මාණය වී තිබියදී හිටිවන කවි නොනැසී තවමත් පැවැතීම ගැන අපි සතුටු විය යුතුයි. හිටිවන කවිය මිය ගිහින් නැහැ. හිටිවන කවිය මරා දමන්නත් බැහැ.

 

කොළඹ යුගයේ කවියේ බිඳ වැටීමට පේරාදෙණි විචාරය බලපෑ බවට මතයක් තිබෙනවා. එය සත්‍යයක් ද?

ඔව්. එය සත්‍යයක්. පේරාදෙණි ගුරුකුලය යුරෝපයේ යථාර්ථවාදී කලාව, රොමාන්තිකවාදය කරපින්නා ගෙන කොළඹ යුගයේ කවියට නිර්දය ප්‍රහාර එල්ල කළා.

කොළඹ යුගයේ කවියට විතරක් නොවෙයි, නවකතාවටත් දරුණු විවේචන එල්ල කළා. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ගුරුවරුන්ගේ අදහස්වල එල්බ ගත් ගෝලයන් පිරිසක් තමයි එදා සරසවියෙන් පිටවුණේ. ඒ ගෝලයොත් පාසල්වලට ගිහින් ඉගැන්නුවේ ඔවුන්ගේ ගුරුවරුන්ගේ අදහස්.

වගකිවයුතු පුටුවල හිටියෙත් මෙම ගුරුවරුන් සහ ගෝලයෝ. ඒ නිසා කොළඹ යුගයේ කවීන්ටත් ඔවුන්ගේ සිව්පද ආකෘති කවිවලටත් තැනක් ලැබුණේම නැහැ.

පේරාදෙණි ගුරුකුලයෙන් කොළඹ යුගයේ කවියට පහර වැදුණා. ඒ එක්කම නිසදැස් කවිය නමින් අලුත් සම්ප්‍රදායක් බිහි වුණා.

 

කෝල්මුර කවි, වැදි කවි යනාදී දුර්ලභ කවි ලංකාවේ කවියට අයත් වෙනවා. එවැනි කවි සංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් ලෝක කවි දිනය නිමිත්තෙන් සිදුවෙනවාද?

ඔව්. අනිවාර්යයෙන් ම සිද්ධ වෙනවා. විශ්ව විද්‍යාලවල සිටින ආචාර්ය මහාචාර්යවරුන් සරසවි සිසුන් සමඟ විෂය ප්‍රාමාණිකයන් සොයාගෙන ගිහින් වඳ වී යන කවි වගේ ම දේශීය සංස්කෘතික අක්මුල් තොරතුරු එක් රැස් කරනවා.

කෝල්මුර කවි, උඩරට කවි, පහතරට කවි, සබරගමු කවි වගේ ක්ෂේත්‍ර ගණනාවක් අපි අධ්‍යයනය කරනවා. රොබට් නොක්ස් එදා හෙළදිව පොතේ කියා තිබුණ ලංකාවේ සෑම ගමකම කවියෙක් හිටියා කියලා. දැන් බලන්න අනුරාධපුර යුගයේ දොළොස් මහා කවීන් හිටියා.

මහනුවර යුගයේ රජ කළ රාජාධිරාජසිංහ රජතුමා හොඳ කවියෙක්.

කෝට්ටේ යුගයේ හිටපු ආඬි ගුරුන්ව අපහසුතාවට පත් කරලා ගමෙන් එළවා දමන්න සිංහලයන් යොදා ගත්තේ කවි ගායනා. ලංකාවේ නිදහස් හටන බලවත් කළේ කවිය. ලංකාවේ කවියේ අනන්‍යතාව ගැන අපි තොරතුරු රාශියක් එකතු කරගෙන තිබෙනවා.

ලෝක කවි දිනයේ අරමුණ වෙන්නෙත් ඒ ඒ රටවල්වලට ආවේණික කවි සුරක්ෂිත කර, නෛසර්ගික කුසලතා අවදි කිරීම. ඒ නිසා අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා.

 

වර්තමානයේ ෆේස්බුක් කවීන්, බ්ලොග් කවීන් බිහිවීමේ ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

එය යහපත් ප්‍රවණතාවක්. අද බ්ලොග් කවිවල සදැස් කවි වැඩි වශයෙන් දකින්න පුළුවන්. සමහර කවි කිවිඳියන් එකතු වෙලා කවිය ගැන ‍උගන්වන වෙබ් අඩවි නිර්මාණය වී තිබෙනවා‍.

ජනමාධ්‍ය විසින් කවිය යටපත් කිරීමට උත්සාහ කළත් අන්තර්ජාලය හරහා කවිය මතුවීම සුබ ලකුණක්. අද තරුණයන්ට ජනමාධ්‍යයේ සදැස් කවි ලියන්න ඉඩක් නැහැ. ඒ නිසා ඔවුන් ඒ සඳහා අන්තර්ජාලය තෝරාගෙන තිබෙනවා.

අද අන්තර්ජාලයේ හිටිවන කවි මඩු පවා තිබෙනවා. දැන් නම් ජනමාධ්‍යයට ආපසු හැරෙන්න සිද්ධ වෙනවා. නැතිනම් අද ජනමාධ්‍ය තරුණයන් අතින් ප්‍රතික්ෂේප වේවි.

 

අදහස්