පේරා­දෙ­ණි­යට නොගිය කෙනකු දුටු අපූරු විරහ ගීයක් | සිළුමිණ

පේරා­දෙ­ණි­යට නොගිය කෙනකු දුටු අපූරු විරහ ගීයක්

මේ අතු ඉති පුරෝ­‍ෙගන ‘ලංකා සකුරා‘ එහෙමත් නැත්නම් ‘රොබරෝසියා‘ මල් පිපෙන කාලයයි. කොළඹ විශ්වවිද්‍යාල භුමියේ රොබරෝසියා ගස් කිහිපයක්ම ඇත. ඒ හැරුණ විට කොලෙජ් හවුස් බිමේද රොබරෝසියා ගසක් ඇත. උදෑසනට බිම වැටුණ මල් තණ බිස්ස මත ඇත්තේ රෝස පැහැ පාවඩයක් එළු පරිදිය. කෞතුකාගාරය පසුකර එන විට කහ පැහැ මාරමල් පාර අයිනේ විසිරී ඇත්තේ එක්තරා ලතාවකටය. උදෑසනට පාර පාළුය. පුංචි කහ මල් විසිරි පාර දකින විට එදත් අදත් සිහිවන්නේ මාධ්‍යවේදී සමන් ආතාවූද ලියූ

“දවසක හමුවෙමු

මල්පෙති විසිරුණු මල් පාරේ“ ගීතයි.

කහපාට, රෝස පාට පමණක් නොව මැයි මාසයටත් පෙර රතු මැයිමල් පිපෙන්නට පටන් ගෙන ඇත.

“මේ මැයි ගහ යට

දවසක් දා“

යනුවෙන් ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ ගීතය මලින් පිරුණ මැයි ගස් දුටු විට සිහිවීම ද වැළැක්විය නොහැකිය. කොහොම නමුත් දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාල භුමියේද මල් පිපෙන කාලයයි. වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මල් පිපෙන සමය ගැන විමසූ විට මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය පැවැසුවේ “අපි ඒ කාලෙට මල් අසිරිය බලන්න යනවා. කහපාටට එල්ලෙන මල් රෑන් පුදුම ලස්සනයි.“ කියාය. මල් ගැන කතා කීරිම අරමුණ නොවුණත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන කියන විට විශ්ව විද්‍යාල භුමියේ මල්, හන්තාන, නාට්‍ය පෙන්වන වළ, මහවැලි ගඟ, වැල් පාලම ආදී මේ සියල්ල විශ්වවිද්‍යාල ජීවිතය ගත කළ අයට සොඳුරු අත්දැකීම්ය. විශේෂයෙන් පෙම්වතුන්ට නම් කිසි දිනෙක අමතක නොවන සොඳුරු තැන්ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඒ සොඳුරු පරිසරය ගැන මේ තරම් කියන්නට හේතු වූයේ පසුගිය දිනෙක ඇසූ ගීතයකට පූර්විකාවක් ලෙසිනි.

ලක්ෂමන් හේවාවිතාරණ ගයන ‘හන්තාන සෙලවෙන්න ‘ගීතය ප්‍රේමයේ විරහව තේමා කරගත්තකි. එය තදින්ම අපට දැනෙන්නේ ලක්ෂ්මන්ගේ ප්‍රේමණීය, දුක්බර හඬ මුසුවත් සමඟය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් පසුගිය කාලයේ විශ්වවිද්‍යාලය පිළිබඳ ඒ ඇසුරේ ලියැවුණ පැරැණි මෙන්ම නව ගීත පිළිබඳ තේරිමක් කළේය. තෝරන ලද ගීත අතරට ලක්ෂ්මන්ගේ මේ ගීතයද ඇතුළත් විය. “මේ ගීතය ලියූවේ නාරද. ඔහු ලියූ ගීත දෙකක් මම මීට පෙර ගයා තිබුණා. නාරද මට නැවත ඔහු ලියු ගීත කිහිපයක්ම දුන්නා. මගේ හිත ගියේ මේ ගීතයට. මේ සිංදුවේ එක් තැනෙකට මහවැලිය හැමදාම ගලාවි කියන පදය යොදමු කියලා නාරදට යෝජනා කළා. ඔහු ඊට බොහෝම කැමැති වුණා. මේ ගීතයේ තියෙන්නෙත් විරහව. මම ගීතය ගායනා කරද්දි මගේ අතීත මතකයන්, ප්‍රේමය නිසා මගේ හිත රිදුණු අවස්ථා සිහියට නගා ගන්නවා. අත්දැකීම මගේම කර ගන්නවා. ගීතය සංගීතවත් කළේ ශාන්ත ජයලත් තිසේරා. නාරදගේ පද රචනයට වගේම මම ශාන්තගේ තනු නිර්මාණයටත් බොහෝම කැමැතියි.” ලක්ෂ්මන් කියන්නේය.

අද ප්‍රේම ගීත නම් බොහෝය. ඒ අතරින් ඇතැම් ගී ප්‍රේම විලාපයන්ය. නමුදු හිත සංවේදි බවින් පිරවූ මේ ගීතය ගැන නාරද කියන්නේ මෙවැනි කතාවකි.

“දවසක් නාලක අංජන කුමාර සමඟ මම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයකට ගියා. ඒ පේරාදෙණියේ මල් පිපෙන කාලේ. පුදුම ලස්සනක්. මම ඒ බිමේ ඇවිද්දා. පේරාදෙණිය කියන්නේ රොමැන්තික සංකේතයක්. (මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පුදුම විදිහට ආදරය කළා. උසස් පෙළ විභායට පාඩම් කළේ පේරාදෙණි හීනය හිතේ තියාගෙන නමුත් පේරාදෙණි යන්න බැරි වුණා.) විශ්වවිද්‍යාල භුමියේ ඇවිදින විට මගේ මගේ හිත අලුත් වුණා. මං ප්‍රේමය විඳිනවා. මටත් සිහින ප්‍රේමයක් තියෙනවා. සිහින ඉටුවීමෙන් අවසන් වෙන ප්‍රේමය ලස්සන නැහැ. ප්‍රේමයේ ලස්සන තියෙන්නේ විරහව එක්ක. මා මිත්‍ර ධම්මික බණ්ඩාර ලියූ ‘හන්තානට පායන සඳ‘ ගීතයේ තියෙනවා “මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න” කියලා. මේ පදය මගේ හිතේ තදින් රැඳිලා තිබුණා. මගේ හිත බොහෝ දුර ගියා. මම ගීතයේදි ප්‍රේමණීය කපටි කමක් කළා. ඒ තමයි “අන්තිමම පෙම් හසුන නොබලාම රැක ගන්න“ කියන පද පෙළ.

පෙම්වතුගේ කතා බහ හරි පුදුමයි. ඔවුන් දෙයක් එපා කියන්නේ ඕන කියන එකටයි. පෙම්වතිය කියනවා මට ඔයාව ඕන නෑ කියලා. නමුත් ඇය කියන්නේ ඔහුව තමන්ට අවශ්‍යමයි කියලා. ඔවුන් නෑ, එපා කියන වචනවල සැඟවිලා තියෙන්නේ එවැනි අරුත්. මට හිතෙනවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු, ඉන්න, ඉදිරියේදි එන පෙම්වතුන්ගේ සිහිනයක් සංකේතයක් තමයි මේ ගීතය කියලා.”

‘හන්තාන සෙලවෙන්න...’ ගීතය ගැන පදරචක නාරද එලෙස කියද්දී තම නිර්මාණ දායකත්වය පිළිබද ශාන්ත ජයලත් තිසේරා කියන්නේ මෙවැනි කතාවක්.

“නාරද දැකපු ප්‍රේමය, විරහව හරි අපුරුවට පද වැළ ගැළපිලා තිබුණා. ඒ ගැලපීම නිසාම තනු නිර්මාණය වඩාත් පහසු වුණා. ලක්ෂ්මන්ට තියෙන්නේ වයසට නොයන හඬක්. ඒ හඬ ප්‍රේමණීයයි. ඔහුගේ හඬ මන්දස්වරයේ පිහිටා තිබෙන්නේ. නාරදගේ හා ලක්ෂ්මන්ගේ දායකත්වය උපරිමයෙන් ලැබී තියෙනවා.”

ශාන්ත පවසන්නේ බොහෝ නිහතමානිවය. 

Comments