රාජ­කු­මා­රි­කා­වක් ව අපේ පුතාට නිකං දෙයිද? | Page 2 | සිළුමිණ

රාජ­කු­මා­රි­කා­වක් ව අපේ පුතාට නිකං දෙයිද?

නීලකගේ පියා සිටින්නේ විසඳාගත නොහැකි ප්‍රශ්න රැසකට මැදිවය. තමා කර ඇත්තේ හිතුවක්කාර වැඩකි.

සිංහල දෙමළ මිනිසුන් කාලාන්තරයක් තිස්සේ සමාදානයෙන් ජීවත්වූ ජාතීන් දෙකකි.

ජිනදාස හේරත් නමැති දුම්රිය රියැදුරා සරෝජණී නැමැති දමිළ ශිෂ්‍යාව දුටුවේ යාපනේ මහජන පුස්තකාලයේදී ය.

දුම්රිය යාපනයට ගිය පසු ඊළඟ ගමන් වාරය ආරම්භ වන තෙක් පුස්තකාලයට ගොස් පොතක් පතක් බැලුවේය. පුස්තකාලයාධිපතිවරයා හේරත් දන්නේ සෑහෙන කලෙක සිට ය.‍

කොළඹින් ගෙන්වා ගැනීමට අවශ්‍ය පොතක් පතක් ගෙන්වා ගන්නේ ඔහු ලවාය. අම්මාට අවශ්‍ය විරල බෙහෙත් ගන්නේ ඔහුගේ මාර්ගයෙනි. හේරත් පුස්තකාලයේ සිටින දවස්වලට ශිවසංකර හමුවීමට ඉඳහිට එන තැනැත්තිය ඔහුගේ සොහොයුරිය බව දැනගත්තේ කලකට පසුවය.

නාට්‍ය හා රංගකලාව හදාරන ඇයට පොත්පත් ප්‍රශ්න පත්‍ර ගෙන්වා ගත්තේ හේරත් ලවාය. උතුර දකුණ ජාතීහු මේ යුද ගැටුම් ඇති වීමට පෙර සමාදානයෙන් ජීවත්වූහ. මේ දුම්රිය ගමන වුව ද විශ්වාස නැත. බරපතළ ලෙස අවිශ්වාසය ගොඩ නැගී තිබිණි. ජාතිවාදී මනුෂ්‍ය ඝාතන සිදු වෙමින් පවතින බව දැන ගත්තත් ඔවුන්ට ඒවා ප්‍රශ්න නොවීය. මේ දෙදෙනාගේ ඇසුර නොරිස්සූ පිරිසක් ද වූහ. ආදරයට ජාති - කුල බාධාවී තිබුණේ නැත. මේ ඇසුර නිම වූයේ යාල් දේවි දුම්රියෙන් හේරත් සිය මනමාලිය දැකගෙන ඒමෙනි. එය කිසිසේත් සරල සිද්ධියක් වූයේ නැත. ජාතිවාදීන්ට මේවා ප්‍රශ්න වුවත් යහපත් පවුල් දිවියකට සරෝජාට හා හේරත්ට ප්‍රශ්නයක් වූයේ නැත.

නෑදෑ පරපුර ද ඇය එකවරම රැහැට පිළිගත්තේ නැත. කැපී පෙනෙන ගැහැනුකම සියල්ල අබිබවා ඉදිරියෙන් සිටියා ය.

“ඇයි දුකින් වගේ.?” ස‍රෝජා සැමියාගෙන් ඇසුවාය.

ඔහු පිළිතුරක් දුන්නේ නැත.

පුතාගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් සරෝජාට ඇත. මේ අයුරෙන් නූණත් තමාද අනන්තවත් ප්‍රශ්නවලට මුහුණදී ඇත.

“දැන් ඔය මහාරාජා ඇවිදින් තියෙන්නෙ ඇයි කියල දන්නවද?” සරෝජා විමසුවාය.

“මේක අපේ පැත්තෙන් විතරක් බලන්න හොඳ නෑ. ඒ කුමාරිකාව ගැහැනියෙක්. දෙමවුපියන්ට දරුවන් ගැන සෙවීමේ වගකීමක් තියෙනවා” සරෝජා කීවාය.

“ඒකෙ කිසි තර්කයක් නෑ‍. එන්න ඇත්තෙ පුතාව හම්බවෙන්න ඕනෑ” හේරත් කීවේ ය.

“ඒනිසා අපි හුඟාක් පරිස්සම් වෙන්න ඕනෑ. මිනිස්සු හරි කෲරයි. පුතාගෙ ජීවිතයට කරදරයක් වෙන්නත් බැරි නෑ”

“ඔව්. මටත් මේ අත්දැකීම තියෙනවා. ඒ දවස්වල මාව මරන්න කට්ටිය හිටියා.”

“අම්මා ආදරේ දන්න ගැහැනියෙක් නිසා මට කැමැති තීරණයක් ගන්න කීවා. අප දෙන්නා එක් වෙනවට අකැමැති වුණේ නෑ.”

“ඇයි අප්පා. ඒ‍ වගෙ දෙමළ මනුෂ්‍යයො අද බිහිවන්නේ නෑ. ඒ දෙන්නා නිසා තමයි අපි මේ විදිහට ඉන්නෙ.”

“මේ මහාරාජා මොන බලාපොරොත්තුවකින් ආවද දන්නෙ නෑ. හොඳ හිතකින් ආව වෙන්න බෑ.”

“ඔව් ඇත්ත. රාජකුමාරියක්ව අපේ පුතාට නිකං දේවිද?”

“‍‍ඔව් ඒක තමා. පුතාට කල්පනාවෙන් ආශ්‍රය කරන්න කියමු”

“මම අර පුතාගෙ යාළුවට කිව්වා. ඒ දරුවා මෙයාව ආරක්ෂා කරයි.”

“මහා රාජා එක්ක රාමා සීතා හිටපු තැන බලන්න යන කතාවකුත් කිව්වා.”

* * *

නීලකට එම ඇමතුම ලැබුණේ ගමනට සූදානම් වෙමින් සිටියදී ය. මොන ප්‍රශ්න තිබුණත් චම්පාගේ පියාට සැලකීම තම යුතුකම වෙයි. ඔහුගේ කුමන සැලසුම් තිබුණත් ඒවාට වඩා ආගන්තුක සත්කාරය වැදගත් වේ.

“ඔයාට කොහොමද?” නීලක ඇසුවේය.

“මට නෙවේ ඔයාට කොහොමද? මට මේ ඔයත් ඉන්නෙ.”

“මම දැන් නිකම්ම කෙනෙක් නෙවේ. මම රාජ කුමාරයෙක්.”

“එහෙම වුණොත් අනිවාර්යයෙන් ම ඔබ රාජකුමාරි වෙනවා.”

“මට ඔය කිසි දෙයක් එපා‍. මට එක සිහිනයක් තියෙනව. ඔයා මගේ කරගන්නා තෙක් මේ සටන නවත්තන්නෙ නෑ.”

“ආත්මයක් ආත්මයක් පාසා පතාගෙන ආ ඒ පැතුම ඉටු කරගන්න ඕන.”

“ඔයා නැති වුණොත් මේ ආත්මෙදිත් මම මැරෙනවා.”

“පරාජය බාරගන්න එපා‍. අපි මේ ආත්මෙදි ජයගනිමු. අද මොකද කරන්නෙ”

“අපි දළදා මන්දිරයට යනවා.”

“ලංකාවට ආවම ඔයාව දළදා මාළිගාව නෙමේ කතරගම, හැම කෝවිලකටම එක්ක යනවා.”

“ඔයාට දෙයක් කියන්ට තියෙනවා. තවම අප්පවත් දන්නෙ නෑ.”

“අප්පට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.”

ඔහු මොහොතක් නිහඬව සිටියේ ය. හැම රටකම බලය වෙනුවෙන් කුමන්ත්‍රණ වෙන අවස්ථා සුලබය. කාශ්‍යප මුගලන් සහෝදරවරු සිහිසුනට සටන් කළහ.

“ආරංචියක් තියෙනව, හිතෙන විදිහට තේරුම්ගන්ඩ බෑ. අප්පා නැති අතර බාප්පා රජකම ගන්න කුමන්ත්‍රණය කරනව කියල ආරංචියි.”

“කලබල වෙන්න එපා. ඒ වගේ ම මේක සාමාන්‍ය දෙයක් විදිහට හිතන්නටත් එපා ඕනෑම වෙලාවක ඔයා එන්න.”

“මට මේ කුමාරිකාවක් විදිහට ඉන්න ඕනෑ නෑ. කොයි වෙලාවක හරි එනව.‍ අප්පව ආරක්ෂා කරගන්න.”

* * *

මේ පැමිණි ගමනේදී ලංකාවේ වැදගත් ස්ථාන කීපයක් නැරඹීමට ඔහු සිතා සිටියේය. නීලක හොඳ ගති ගුණ ඇති පුද්ගලයෙකි. එසේ වූ පමණින් ඔහු රාජවංශයට ඇතුළත් කරගත නොහැකි ය. එයට නිසි දඬුවම් දීමට සූදානම් කර ඇත. මුදල් හා තෑග්ගක් ලෙස මෝටර් රථයක් දීමට කතා කරගෙන ඇත. එසේ නොමැති නම් නීලකව ඝාතනය කිරීමට නියමිතව ඇත.

රාම් මෝහන් වෑන් රියේ පසුපස අසුනේ අසුන් ගත්තේ ය. ආරක්ෂක නිලධාරීන් පසු පස රථයේ එනු පෙනේ. මේ පිළිබඳව කිසිවෙක් දන්නේ නැත. අවසරයක් ලද සැණින් ඔවුන් නීලක මරා දමනු ඇත. මේ ගමනේ යෙදුණත් මහාරාජා නීලක සමඟ වැඩියෙන් කතා බස් කර නැත. කුමරියගේ පුනරුත්පත්ති කතා නිසා කතාබස් කර ප්‍රශ්නය විසඳීමට ආවා විනා මෙලෙස කතා කිරීමට ආවේ නැත. කන්ද උඩරටට රථය ඇදී යද්දී ඔහුට සියල්ල අමතකව ගියේය.

“යසස් කඩුගන්නාවෙ ඔය ලස්සන තැනක නතර කරපාං.”

“ලොක්කා අන්ද මන්ද වෙලා බලන් ඉන්නව.”

යසස් කඩුගන්නාව සුන්දරත්වය නරඹන පිරිසකට නුදුරින් රථය නතර කළේ ය.

“සර් ටිකකට බහිනවද?”

“ඔව් අයිසෙ බහිනවා.”

ඔහු සිනා මුසු මුහුණින් යුතුව කීවේය.

යම් ලෙසකින් මේ දසුන කුමරිය දුටුව හොත් සතුටට පත් වනු ඇත. ඔහු සිය කැමරාවට ඒ දසුන් හසු කරගත්තේ ය‍‍.

 

ලබන සතියට...

අදහස්