විදෙස් චිත්‍ර­පට | සිළුමිණ

විදෙස් චිත්‍ර­පට

යූරි - ද සර්ජිකල් ස්ට්‍රයික් 2016 යූරි ප්‍රහාරයට කෙරුණු සිනමා උත්තමාචාරය 2019 වසරේ බොලිවුඩයේ බ්ලොක්බස්ටරය වී අවසන්ය. මෑතකදී ඉන්දීය ගුවන් හමුදාව විසින් පාකිස්තානු ත්‍රස්ත කඳවුරට පහර දීමත් සමඟ සිනමා පටයට ලැබෙන ප්‍රතිචාර වඩාත් ඉහළ ගොස් ඇත. එවන් කාල වකවානුවක රසිකයන්ට රුධිරය වීර රසයෙන් උණුසුම් කර ගත හැකි තවත් සිනමා නිර්මාණයක් මාර්තු 31 වැනිදා සිට තිරගත වීමට නියමිතය. එයද සත්‍ය කතා පුවතක් ඇසු­‍ෙරන් නිමවූවකි. මෙය ඉන්දියාව එදා මෙදාතුර මුහුණ දුන් යුද සටන් අතර අභිමානවත්ම සටනක් ලෙස සැලකෙයි. සරගර්හි නම් ඒ සටන සිදු වූයේ 1897 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විසින් ඉන්දියාවේ බොහෝ පෙදෙස් යටත් කර ගෙන සිටියදීය. බ්‍රිතාන්‍යයන්ගේ ඊළග වෑයම වූයේ ඇෆ්ගනිස්තානය යටත් කර ගැනීමයි.

අලුතින් ගොඩනඟන ලද බ්‍රිතාන්‍ය, ඉන්දීය හමුදාවේ සික් රෙජිමේන්තුව කේසරි (කුංකුම හෙවත් කහ) සේවය කරන අතරේ මියයෑම අභිමානයක් ලෙස සැලකූ දඩබ්බර පිරිසකි. හවිල්දාර් ඉෂාර් සිං (අක්ෂේ කුමාර්) නිතර බ්‍රිතාන්‍ය නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගත්තේය. මේ නිසා දඬුවමක් ලෙස අවිචාරවත් විනයානුකූල නැති තවත් සික් සොල්දාදුවන් විසි දෙනකු වෙසෙන සරගර්හි වෙත හවිල්දාර් ඉෂාර් සිං යවන ලදී. මේ අපූරු සික් සොල්දාදුවන් කණ්ඩායම ඉෂාර් සිංගේ නායකත්වය යටතේ දසදහසකින් යුතු ඇෆ්ගනිස්තානු කණ්ඩායම යුද බිමේදී 1897 සැප්තැම්බර් 12 වැනිදා පරාජය කළ සුලෝහිත සටනේ අපූර්වත්වය කේසරි සෙලියුලොයිඩ් පටයේ විද්‍යමාන කරයි.

ඉෂාර් සිං චරිතය අක්ෂේ කුමාර්ට සුවිශේෂීය. ඒ චරිතයට අධ්‍යක්ෂ අනුරාග් සිංගේ ප්‍රථම තෝරා ගැනීම වූයේද ඔහුය. ඔහු පන්ජාබ් ජාතිකයකු වීමත් මින් පෙර සික් ජාතිකයකුගේ චරිතය සාර්ථකව රඟපා තිබීමත් ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය. අක්ෂේට මුළු සිනමාවලිය පුරාම හමුදා ඇඳුමින් සැරසී සිටීමට සිදුවූ අතර ඔහු වෙනුවෙන් එකම මෝස්තරයේ හමුදා ඇඳුම් තිහක් මසා තිබේ. එක් ජවනිකාවකදී දූවිල්ලෙන් රුධිරයෙන් නැහැවෙන නිල ඇඳුම ඉවත් කර අලුත් නිල ඇඳුමක් ලබා දෙමින් රූ ගත කිරීමේ කාලය නිෂ්පාදකයන් ඉතිරි කර ගෙන තිබේ. ඉතිරි සික් ජාතිකයන්ටද අතිරේක ඇඳුම් 15 බැගින් මසා තිබිණි. අක්ෂේ පැලඳ සිටි තලප්පාවේ (පග්දි) බර කි. ග්‍රෑ. 16ක් විය. මේ විශාල තලප්පාව පැලඳීම සඳහා ඔහුට හිස බූ ගෑමට සිදුවිය. හිසට දහදිය දැමීම නිසා ඔහු රඟපා ඇත්තේ ඉතා අපහසුවෙනි. සටන් ජවනිකා රූගත කිරීමකදී අක්ෂේගේ ඉල ඇට බිඳී විවේක ගැනීමටද සිදුවිය.

කේසරි නිෂ්පාදක කණ්ඩායමට රූගත කිරීමේදී විශාල අකරතැබ්බයකටද මුහුණ පෑමට සිදු විය. ඒ දර්ශන තලයේ භාවිත කළ බෝම්බයක් පුපුරා සියල්ල අළුවී යෑම නිසාය. විනාශවූ ගුලිස්තාන් කොටුව යළි වහා ඉදි කිරීමේ අභියෝගයට ඔවුහු මුහුණ දුන්හ. සම්පූර්ණයෙන්ම වාගේ නළුවන්ගේ සිනමා පටයක්වූ මෙහි නිළි චරිත ප්‍රබලව කැපී නොපෙනුණද පරිනීති චොප්රා අක්ෂේ ගේ බිරිය ලෙසින් රඟපා ඇත්තේ ඉතා කැමැත්තෙනි. දෙදෙනා සැමියා සහ බිරිය ලෙස රඟන්නේ ප්‍රථම වරටය. හින්දි තිරයේ සුපිරි ක්‍රියාදාම නළුවකු වුවද අක්ෂේ භාරත දේශයේ සැබෑ වීරයකුට තිරයේදී පණ දෙන්නේ ප්‍රථම වරටය. සිනමා පටයට ඇතුළත් වන්නේ ගීත දෙකක් පමණි.

යූරි - ද සර්ජිකල් ස්ට්‍රයික් ප්‍රබෝධය සමඟ රණකාමී සිනමා රැල්ලක් බොලිවුඩයේ ගොඩ නැඟෙමින් පවතී. කේසරි තිරගත වන්නේ එවන් වකවානුවකය.


ෆයිව් ෆීට් අපාට්

ආදරය ජීවිත එක් කරයි. එහෙත් දුරස් වීමෙන් ශක්තිමත් වන ආදරයකට දෙදෙනකුට හිමිකම් කීමට සිදුවනවා නම් එය කෙතරම් වේදනාකාරී අත්දැකීමක්ද? වෛද්‍යවරුන් ඔවුනට අඩි පහකට වඩා සමීප වීමට අවසර දී නැත.

දාහත් හැවිරිදි ස්ටෙලා ග්‍රාන්ට් නම් හැඩකාර නව යෞවනිය ඒ වයසේ සෙසු නව යෞවනියන් සේම දඟකාරය. දවසේ වැඩි කාලයක් ලැප්ටොප් යන්ත්‍රයේ ක්‍රියාකාරිනියක වන ඇයට ළබැඳි මිතුරු මිතුරියෝ ද රාශියකි. එහෙත් අන් ගැටවරියන් සහ ඇය අතර කැපී පෙනෙන වෙනසක් තිබිණි. පාසලේ නිවෙසේ ජීවත් වන කාලයට වඩා ඇය රෝහල්ගත වී සිටින දින ගණන වැඩිවීම ඒ වෙනසයි. ඊට හේතු වූයේ ජානගතව ඇයට උරුම වුණු සිස්ටික් ෆයිබ්‍රෝසිස් රෝග තත්ත්වයයි. ඒ රෝගයෙන්ම පීඩා විඳින තවත් කඩවසම් තරුණයකු වූ විල් නිව්මන් මුණ ගැසීම ඇයගේ ජීවිතය පරීක්ෂාවට ලක් කිරීමක් බඳු විය. දෙදෙනාගේ සබඳතාව දුර දිග යන විට මේ නව යෞවනයන්ට වෛද්‍යවරුන් පැනවූ සීමා මායිම් මායිම් නොබිඳ සිටිය හැකි වේවිද? සිස්ටික් ෆයිබ්‍රෝසිස් යනු වැඩිපුරම පෙණහලුවලට බලපාන ආසාදන තත්ත්වයකි. මොවුන් වැඩි දෙනකු ජීවිතයේ තුන්වැනි දශකය සම්පූර්ණ වන තුරු ජීවත් වීමට වරම් ලන්නේ නැත. සිනමා පටයට අඩි පහක් ඈතින් යන නම තබා ඇත්තේ සිස්ටික් ෆයිබ්‍රෝසිස් රෝගීන් ආසාදනවලින් වැළකීම සඳහා සෙසු අයගෙන් අඩු වශයෙන් අඩි හයක් දුරින් සිටිය යුතු බවට වෛද්‍ය නිර්දේශයක් ඇති නිසයි.

ෆයිව් ෆීට් අපාට් ප්‍රේමණීය හොලිවුඩ් සිනමා වෘතාන්තයේ පෙම්වතුන් ලෙස රඟන්නේ හැලේ ලූ රිචඩ්සන් සහ කෝල් ස්ප්‍රව්ස්ය. අමෙරිකානු නිළියක වන විසි තුන් හැවිරිදි හැලේ ද එජ් ඔෆ් සෙවන්ටීන්, ස්පිල්ට් වැනි සිනමා රංගනයන්ගෙන් ප්‍රේක්ෂක රසික මනාපය දිනා ගත් යෞවනියකි. විසි හය හැවිරිදි අමෙරිකානු නළු කෝල් මිෂෙල් ස්ප්‍රව්ස් විල්ගේ චරිතය නිරූපණය කරන්නේය. සිනමා පටය මාර්තු 15 වැනි දින සිට තිරගත වෙයි‍. මෙහි අධ්‍යක්ෂණය ජස්ටින් එමිලි බැල්ඩෝනි නම් ස්වීඩන් ජාතික අධ්‍යක්ෂවරයාගෙනි.

වොන්ඩර් පාක්, කැප්ටිව් ස්ටේට්, නැන්සි ඩ්‍රෑ ඇන්ඩ් ද හිඩ්න් ස්ටෙයාර්කේස්, ද ආෆ්ටර්මාත් යන සිනමා පට හතරම තිරගත වීම‍ට නියමිත මාර්තු 15 වැනි දිනය.


118

නවතම දකුණු ඉන්දීය ත්‍රාසජනක ක්‍රියාදාම සිනමා වෘතාන්තය, 118 දැන් සාර්ථක ලෙසින් තිරගත වෙමින් පවතී. ගෞතම් (නන්දකුමාරි කල්යාන් රාම්) ගවේෂණාත්මක මාධ්‍යවේදියකුවූ අතර නිතර කුතුහලයෙන් ජීවත් වූ අයෙකි. ඔහු නිතර දකින අභූත සිහිනයක් නිසා කුතුහලයට වාගේම නොසන්සුන්තාවටද පත් විය. නන්නාඳුනන පිරිසක් විසින් කාන්තාවකට (නිවේතා තෝමස්) පහර දී කාරය වැවකට තල්ලු කරනු ඔහු දුටුවේය. ඒ කාන්තාව සොයා ඔහු අස්සක් මුල්ලක් නෑර පීරන්නට ගත්තේ සිය පෙම්වතිය මෙගා (ශාලිනී පාණ්ඩේ) සමඟ විවාහ වීමට ද නියමිතව තිබියදීය. සිනමා පටය කේ. වී. ගුහාන්ගේ මංගල සිනමා අධ්‍යක්ෂණයයි.

 

චම්පිකා දීපානි රණසිංහ

Comments