සිනා කතා | Page 2 | සිළුමිණ

සිනා කතා

ඒකෙ වැරැද්ද මොකද්ද?

‘යකෝ! සැඟවුණු අමුත්තා කවුද කියල හොයාගෙන එයාගෙ පිටට තට්ටු කරලා වටිනා තෑග්ගක් දිනා ගන්ඩ කියල නිවේදකයා කිව්වාම උඹ මොකද ගිහින් අපෙ මන්ත්‍රීතුමාගෙ පිටට තට්ටුවක් දැම්මේ?’ ලකී විජිත දෙස බලා ඇසුවේ කඩවත ක්‍රීඩාංගණයක පැවැති අවුරුදු උලෙළේ තරග අවස්ථාවේදීය.

‘ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද? ගිය පාර ඡන්දයෙන් දිනුවයින් පස්සෙ උන්නැහේ දිගටම කළේ අපිව මඟ ඇරලා හැංගෙන එකනෙ.’ විජිත කීවේ සමච්චල් සිනාවක් පාමිනි.

 

පෙන්නන්ඩ තව කල් තියෙනව නෙ

‘කොහොමද මිස්ටර් චන්ද්‍රසිරි අපෙ නාට්‍යය බලලා රස වින්දා නේද?’ නාට්‍ය අවසානයේ තමන් වෙත පැමිණ සුබ පැතූ චන්ද්‍රසිරි දෙස බලා ජයවීර ඇසුවේ අපේක්ෂා දල්වාලන සිනාවක් නඟමිනි.

‘වෙසක් එකට හන්දියේ පෙන්වන්ඩ හොඳට ගැළපෙන නාට්‍යයක් වෙසක් පෝය ලබන්ඩ මාස දෙකකටත් කලින් හෝල් එකකදී අපිට පෙන්නුවේ මොකද කියලයි මට නං හිතුණෙ’ චන්ද්‍රසිරි කීවේ සෝපහාසී සිනාවක් නඟමිනි.

 

අවුරුද්දට බයයිලු...

“හොඳ වෙලාවට අයියෙ අවුරුද්දකට එක සැරයක් විතරක් සිංහල අලුත් අවුරුද්ද එන්නෙ. බැරි වෙලාවත් සිංහල අලුත් අවුරුද්ද දෙතුන් වතාවක් ආවා නං එහෙම මළජුලියක් වෙන්නෙ.’’ හන්දියේ කඩ වීදියේදී හමු වූ විජිත, චන්ද්‍රසිරි දෙස බලා කීවේ ඔළුවේ දැත් ගසා ගනිමිනි.

“පුදුම කතාවක් නෙ විජිත උඹ ඔය කිව්වේ! ඇත්තටම උඹ මොකද සිංහල අවුරුද්දට ඔය හැටි බය වෙන්නෙ?’ චන්ද්‍රසිරි ඇසුවේ විශ්මයෙනි.

“මේ කඩ වීදියේ කැවුම්, කොකිස් විකුණන තැන්වල මිල ගණන් ඇහැව්වාම අවුරුද්දට බය නොවී පුළුවන්ද අයියෙ?’’ විජිත කීවේය.

 

කරන්ඩ ඕනෙ ඒකද?

‘දැන් ඔය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පාරේ උද්ඝෝෂණ කරනවා වගෙ ජනතාවට දැනෙන්ඩ තමන්ගෙ නාට්‍යය ගැන පුළුල් ප්‍රචාරයක් කරන එක තමයි නාට්‍යකරුවන්ගේ වගකීම වෙන්නෙ. ‘නාට්‍ය කලාව ජනතාව අතරට ගෙනයන මඟ’ යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක යෙදෙමින් මහාචාර්යවරයා කීවේය.

‘එතකොට තමුන්නාන්සේ අපට කියන්නෙ නාට්‍ය ගැන ඔය විදියට ප්‍රචාරය කරන්ඩ ගිහින් පොලිසියෙන් අම්බානක ජල ප්‍රහාර. එතකොට කඳුළු ගෑස් කන්ඩ ඕනෙ කියලද?’ සභාවේ සිටි බුද්ධික නැගිට ඇසුවේ නැගී එන කෝපය ප්‍රසිද්ධියේම පළ කරමිනි.

 

මැරිලා වගේ තමයි

‘චන්ද්‍රසෝම මම ප්‍රේක්ෂකාගාරයේ හතර වැනි පේළියේ ඉඳලත් උඹ කියපු දෙබස් පැහැදිලිව මට ඇහුණෙ නැහැනෙ. වේදිකාවෙදි කියන රහසක් වුණත් රහසක ස්වරයෙන් නාට්‍ය ශාලා‍වේ අන්තිම කොනටම ඇහෙන්ඩ කියන එක නළුවකුගේ වගකීමක් නේද?’ නාට්‍ය අවසානයේ නළු නිළියන් හට වේදිකාවේ දී සුබ පතමින් සිටි හේනේ චන්ද්‍රසෝමට අතට අත දෙමින් කීවේය.

“මේ නාට්‍යයේ කියැවෙන විදියට මම කරන්නෙ මැරුණු කෙනෙකුගෙ චරිතයක් නෙ. හිතලුවක් විදියට විතරක් වේදිකාවේ පෙනී ඉන්න හින්දයි මම හෙමින් දෙබස් කිව්වේ.’ චන්ද්‍රසෝම කීවේ නිදහසට කරුණු දක්වමිනි. ‘රඟපාපු විදියෙන් ම මට නං තේරුණා උඹ මැරිලා වගෙ තමයි’’ කියල. හේරත් කීවේ සෝපාහාසි සිනාවක් පාමිණි.

Comments