සෙනෙ­හසේ නවා­තැනේ මගේ ලොවේ...වේදනා නැතේ මට දැනේ සුවඳ ආදරේ... | සිළුමිණ

සෙනෙ­හසේ නවා­තැනේ මගේ ලොවේ...වේදනා නැතේ මට දැනේ සුවඳ ආදරේ...

‘සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ... වේදනා නැතේ මට දැනේ සුවඳ ආදරේ‘ යනුවෙන් ඇය ගයද්දී ඔහු ‘මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා‘ යැයි පිළිතුරු ගීයක් ගැයුවේය. එදා මෙදා තුර දශක දෙකකට වැඩි කාලයක් ජීවන ගීතය එක්ව ගයන මේ දෙපොළ මෙරට ගායන ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන කලා යුවළක් ලෙසත් හැඳින්විය හැකියි. ඔවුන්ගේ ලෝකය එළිය කරන ආදරණීය පුතු චන්දීප හා සාරන්‍යා දියණිය මේ දිනවල කැදැල්ලෙන් පිටමං වී ගොසිනි. දරුවන්ගේ මතු අනාගතය පිළිබඳ සුබ සිහින දකිමින් සුපුරුදු කලා කටයුතු සමඟ දවස ගෙවෙන මේ සොඳුරු කෝකිල යුවළගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්නත්, එඩ්වඩ්ගේ උපන්දිනයදාට කරන්න යන වෙනස ගැන දැනගන්නත් මම එඩ්වඩ් - චරිතා කැදැල්ලට ගොඩ වැදුණා. දරු දෙදෙනා විදෙස් ගත වෙන්න පෙර ශාන් ඔවුන්ගේ ඡායාරූප ගෙන තිබුණා.

‘මේ දවස්වල අපි දෙන්නා දවස ගෙවන්නේ හරිම අලසකමෙන්. දුව වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට ඕස්ට්‍රේලියාවට ගියා. පුතාත් ටික දවසකට විදෙස් ගත වුණා. දෙන්නම නැතුව ගෙදර හොඳටම පාළුයි. දුව නිතරම සිහිවන නිසා එයාගෙ කාමරයත් වෙනස් කළා’ චරිතා දුක් මුසුව කියාගෙන යන්නීය.

‘පුතු චන්දීප ජයකොඩි සහ දියණිය ශාරන්‍යා රසෝදි ජයකොඩි නව පරපුරේ ගායක, ගායිකාවන් අතර සිටින ජනප්‍රිය දෙදෙනෙක්. ඔවුහු දෙදෙනාම මවුපිය අඩිපාරේ යමින් කලාව තුළ දිගු ගමනක් යෑමට පෙරුම් පුරමින් සිටිති.

‘පුතා සහ දුව දෙදෙනාම ගායනය වා‍ෙග්ම රංගනයටත් යොමුවී සිටිනවා. පුතා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන වැඩසටහනක සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කරනවා. පුතාට තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම රඟපාන්න ආරාධනා ලැබුණා. නමුත් අපි දෙදෙනාම කියල තියෙන්නෙ හොඳ නිර්මාණ පමණක් භාර ගන්න කියලා. ඒ නිසා ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නෑ. කොහොමත් අපි ඔවුන්ට නිතරම කියන්නෙ ඔයාලා මොන ක්ෂේත්‍රයේ නියැළුණත් කමක් නෑ එහි උපරිමයකට යන්න හොඳින් ඉගෙන ගන්න කියා’.

එඩ්වඩ් - චරිතා එක කැදැල්ලක දිවි ගෙවන්නට පටන්ගෙන වසර විසි අටකි. ඔවුනොවුන් පෙම්වතුන් වී වසර හතළිහකට ආසන්නය. අදත් එදා මෙන්ම ආදරයෙන් දිවි ගෙවන අඹු සැමි යුවළක් ලෙස කවුරුත් ප්‍රිය කරන මේ දෙදෙනා බොහොම කාර්ය බහුල දිවි පෙවෙතක් ගත කරන කලා යුවළක් ලෙසත් හැඳින්විය හැකියි.

‘දුවයි, පුතයි නිවෙසේ නෑ කියල අපි දෙන්නටම නිකන් ඉන්න වෙලාවක් නම් ලැබෙන්නෙ නැති තරම්. මම මේ දවස්වල ශාස්ත්‍රපති උපාධිය අවසාන වසර ඉගෙනුම ලබනවා. එහි දේශන පැවැත්වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ. ඒ සඳහා කැම්පස් යනවා. ගෙදර ඉන්න වෙලාවට පාඩම් කරනවා.

සමහරදාට දුව, පුතා සමඟ මමත් පාඩම් කරනවා.‘

චරිතා කියාගෙන යමින් සිටින අතරවාරයේ යමක් මතක් වී නැවතත් කතාව අරඹයි. මාරම්බරි 125 ‘ආදර ගී සැඳෑව‘ ප්‍රසංගය ගැනත් කියමු නේද?

එඩ්වඩ් මෙතෙක් ගායනාකළ මේ මල් යායේ, නිහඬ කල්පනා, මගෙ කඳුළින් නිමා වු, වසන්තයේ අග ආදී ආදර ගීත විසි පහක් මෙදින ගායනා කරනවා. ප්‍රසංගය ආකෘති තුනකින් යුක්තයි. එහි දී සුරේෂ් මාලියැද්ද, චන්දීප ජයකොඩි, සංගීත අධ්‍යක්ෂණයෙන්ද, පේෂල මනෝජ්, දිනේෂ් සුබසිංහ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කිරීමට එක්වෙනවා මෙවර ප්‍රසංගයේදි වැඩි ඉඩ කඩක් තාරුණ්‍යයට ලබා දෙන්නයි සූදානම් කර තිබෙන්නේ.

එදින පුතා සංගීතයෙන් දායක වූ ගීතයක් ගායනා කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සැබවින්ම චරිතා හොඳ බිරියක් වගේම හොඳ ගෘහණියකි. ඇය කඩිසරය. එඩ්වඩ් පවසන ආකාරයට චරිතා තමාගේත්, දරුවන්ගේත් වාසනාවට ලැබුණු මවකි.

‘මට හැමදාමත් ඕනෑ වුණේ ගායිකාවක ලෙසින් ඉදිරියට යනවට වඩා එඩ්වඩ්ටත් දරු දෙදෙනාටත්, යුතුකම් ඉටුකරන බිරියක් සහ මවක වීමටයි. අපේ රටේ බිරිය කියන භූමිකාව තුළ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇය ශක්තිමත් තරමට පවුල ශක්තිමත්. එඩ්වඩ් ජයකොඩි කියන ප්‍රවීණ ගායකයාව නිවෙසේ වගකීම්වලින් නිදහස් කළ නිසයි ඔහුට හැකි උපරිම අයුරින් නිර්මාණකරණයට යොමුවීමට අවස්ථාව ලැබුණේ. මමත් නිවේදිකාවක, ගායිකාවක ලෙස සමාජයේ විවිධ වගකීම් දරනවා. ඒ අතරම පවුල කියන භූමිකාව තුළ අම්මා කියන චරිතය හොඳින්ම කරනවා. එය තමයි මගේ ජීවිතේ ලොකුම කාර්යභාරය‘

අප කතාකරමින් සිටියදී විශාරද එඩ්වඩ් ජයකොඩි එතැනට පිවිසෙයි. මගෙන් ඔහුට පැනයකි.

‘පසුගිය කාලයේ ඔබ සම්මානයකින් පිදුම් ලැබුවා කියලා දැනගන්න ලැබුණා.,

‘ඔව්. සබරගමු විශ්වවිද්‍යාලයෙන් තමයි එම සම්මානය හිමිවුණේ. එය කලාකරුවකුට ජීවිතයේ එකවරක් පමණක් ප්‍රදානය කරන සම්මානයක්. එය මට සතුටට කරුණක් වන්නේ මගේ උපන් පළාතේ විශ්වවිද්‍යාලයකින් එවැනි සම්මානයක් හිමිවීම නිසයි.,

දුව ශාරන්‍යාත්, පුතා චන්දීප කලාවට යොමු වීම ගැන මොකද හිතෙන්නේ?

‘දුවයි, පුතයි කලාව තෝරගත්තු එක ගැන ඉතාම සතුටුයි. මොන වෘත්තිය කළත් එය තුළ සෞන්දර්ය ගැබ්ව තිබෙනවා. මොන බලය තිබුණත් වැඩක් නෑ ඔහු තුළ සංගීතය නැත්නම්. ඒ අතින් අපේ දරුවො වාසනාවන්තයි. ඒ දෙන්නවම අපි හැදුවේ සිංහලෙන් හිතල ඉංග්‍රීසියෙන් වැඩ කරන දෙන්නෙක් ලෙසයි. ඒ දෙන්නටම හොඳට සංගීතය පිහිටා තිබෙනවා,

එඩ්වඩ් කතාබහ කරමින් සිටියදී චරිතා රසවත් පානයකින් සංග්‍රහ කරයි. එය අතට ගන්නා එඩ්වඩ් මදෙස බලමින්

‘මම නිර්මාංසාහාරික නිසා අපේ ගෙදර කෑම පිළියෙල කරන එක ටිකක් අසීරු වැඩක්‘ එයට චරිතා උත්තර බඳින්නේ සිනාමුසු මුහුණින්.

‘අපෝ එඩ්වඩ් කන්න කැමැති ගමේ කෑම විතරමයි. උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නෑ. පොළොස් වෑංජනය, කොස් තම්බලා, කොස් මැල්ලුම, මඤ්ඤොක්කා වගේ දේවල් කන්න තමයි වැඩිපුරම කැමැති.. මගේ කැමැතිම ව්‍යංජනය තුඹ කරවිල. තුඹ කරවිල තම්බලා කනවා, සලාදය කනවා, ව්‍යංජනය කනවා. විවිධ විදිහට හදනවා. තව ගොටුකොළ, සාරණ, කෝවක්කා, මඤ්ඤොක්කා කොළ මැල්ලුම් නිතරම අපේ ගෙදර පිළියෙල වෙනවා. දුව සෝයා කන්න කැමැතියි. පුතානම් චිකන් කරියට කැමැතියි. ඉතින් හතර දෙනාම ගෙදර ඉන්න දවසට රෙසිපි හතරකට කෑම හදන්න අමාරු නිසා මම කියනවා තම තමන්ට කැමති දෙයක් හදා ගන්න කියලා‘

‘කොහොමද තුඹ කරවිල ව්‍යංජනය පිළියෙල කරන්නේ‘

තුඹ කරවිල සෝදා කපාගෙන පහේ ජාති දමා කිරි ස්වල්පයක් දමා ළිපේ තියනවා. පොඩ්ඩක් තැම්බුණාම තෙම්පරාදු කරනව. එහෙම නැත්නම් බාගෙට තැම්බීගෙන එනවිට ළිපෙන් බා ගන්නවා.

‘චරිතා හැමදාමත් එක වගෙයි. රූපය ලස්සනට තියාගන්න මොනවහරි විශේෂ සත්කාර කරනවද?,

‘ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න මම කොහොමත් කැමැතියි. ඒක නිසානේ අවුරුදු විසි පහක පුතෙක් හා අවුරුදු දහ නවයක දියණියක් ඉඳලත් තවමත් මෙහෙම ඉන්නෙ. මම කියන්නෙ කාන්තාවන් ලස්සනට ඉන්න ෆේෂල්, මේකප් කළාට කමක් නෑ. ඇය දරුවන්ට සහ සැමියාට ප්‍රියවන ලෙසින් සිටිය යුතුයි. විලාසිතා පැත්තෙන් වුණත් විලාසිතා ගැන වගේම පිරිසුදුකම ගැනත් සැලකිලිමත් විය යුතුයි. විලාසිතා කළාට ඇඟ පෙනෙන විලාසිතා කරන්නනම් මගේ වැඩි කැමැත්තක් නැහැ. දුවටත් නිතරම කියන්නෙ අපි ලස්සනට අඳින්න ඕන වගේම ඇඟ වැහෙන්න අඳින්නත් ඕන කියන එක. ඒකෙන් අදහස් කරන්නෙ නෑ කොටට අඳින්න එපා කියන එක. ඇඳුමක පාට ගැන වුණත් සැලකිලිමත් වෙනවනම් හොඳයි. කළුපාට ඇඳුම් අඳින්න නම් ඒ තරම් කැමැත්තක් නැහැ. සුදු සහ අනෙකුත් පාටවලට තමයි වැඩි කැමැත්ත‘

මම එඩ්වඩ් ජයකොඩි දෙස බලමි. අප ඔහුව දුටු දිනයේ සිට අදත් එලෙසමය. වයසට නොයන කලාකරුවකු යැයි මට සිතෙයි.

‘එඩ්වඩ් අයියා හැමදාමත් එකවගේ ඉන්නෙ මොකක් හරි රහසක් තියෙනවද?, ඔහු සිනාසෙයි. ගීයක් මුමුනනවාක් මෙන් උත්තර බඳින්නට සැරසෙයි.

‘‘රහස කියන්නම්. හැමෝටම දැන ගන්න ලියන්න. මට කේන්ති එන්නෙ නෑ. කාගෙවත් සමග තරගයක් නෑ. සෑම දිනකම උදේට ව්‍යායාම කරනවා. අනුන්ගෙ දේවල් සොයන්නෙ නෑ. කිසිම දෙයක් බරක් නොකරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. විලාසිතා ගැන නම් චරිතාගෙන් තමයි අහන්න ඕනෑ‘ ඔහු කියන්නේ චරිතා දෙස ආදරණීය ලෙස බලමිනි.

මේ සැබැවින්ම ගෘහණියකගෙ ආදරණීය සිතුවිලිමය.

‘එයා ඉතින් කැමැති ඇඟට ගැළපෙන සරල ඇඳුම්වලට. ඒක නිසා එඩ්වඩ්ට ඇඳුම් තෝරන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි‘ ඇය සැමියා දෙස ආදරයෙන් බලමින් කියයි.

අධික වැඩ රාජකාරි මැද දිවි ගෙවන මේ දෙපොළට දරු දෙදෙනාගේ අඩුව දැනෙන්ට වෙලාවක් නොමැති තරම්ය. නවීන තාක්ෂණයෙන් දරුවන් සමඟ නිතරම කතා බහ කරන නිසා දවස අරඹන්නේත්, අවසන් කරන්නේත් දරුවන් ගැන සොයාබලමිනි. අපට කැදැල්ලෙන් නික්ම යා යුතු වෙලාව පැමිණ තිබේ. සමු ගන්නට වෙලාව පැමිණ තිබේ. චරිතා තවත් යමක් කියන්නට සැරසෙන හැඩයි. ‘ජීවිතයට හොඳ සැමියෙක් සහ දරු දෙදෙනෙක් ලැබුණා. තව මොනව ඉල්ලන්නද? ඒකට දෙවියන්ට, බුදුන්ට ණය ගැතියි. ස්තූතියි. අපේ ජීවිත දෙස ආපසු හැරිලා බලද්දී සතුටුයි‘ සැබැවින්ම මේ දෙදෙනා අප සැමදෙනාටම ආදර්ශයට ගත හැකි දෙපළකි. 

අදහස්