කැවුමාගේ කුඩු බස් එක මිරිස්සෙන් කොළඹ ආ හැටි | සිළුමිණ

කැවුමාගේ කුඩු බස් එක මිරිස්සෙන් කොළඹ ආ හැටි

  • කුඩු ඇද්දේ  සුඛෝපභෝගී  මඟී බස් රථයක් කුලියට අරගෙන
  • එක කුඩු තොගයක් ප්‍රවාහනයට රුපියල් කෝටියක ගෙවීමක්
  • මාසෙකට දෙවරක්  කුඩු කිලෝ සීයකට වැඩිය මිරිස්සෙන් කොළඹ ඇදලා

මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටු වීමත් සමඟ ඔහුගේ මත්කුඩු ජාලය මේ වන විට ඇත්තේ මුළුමනින්ම බිඳවැටීය. ඔහුගේ තැන දැන් හිමි කරගෙන ඇත්තේ කිරුලපන මොරිල් සහ කොස්ගොඩ සුජීය. මොරිල් දැන් සිටින්නේ එංගලන්තයේය. සුජී සිටින්නේ ඩුබායි හිය.

මධුෂ් ඩුබායි පොලිසියට කොටු කරදීමේ මෙහෙයුම පිටුපස මේ දෙදෙනාම සිටියහ. මොරිල්ට අයත් මත්කුඩු කිලෝ 128ක් මාතර දෙවුන්දරදී මධුෂ් සිය ගෝලයන් යොදා කොල්ලකා තිබීම ඩුබායි පොලිසියට මධුෂ් කොටු කර දීමේ වස්තුබීජය බව මේ වන විටත් හෙළි වී හමාරය.

එසේ මධුෂ් ඩුබායි පොලිසියට කොටු වීමත් සමඟ මධුෂ්ගේ මත්කුඩු ජාලය පමණක් නොව, පාතාල අධිරාජ්‍යයද බිඳ වැටී හමාරය. මධුෂ්ගේ ගෝලයන්ද දැන් සිටින්නේ සීසීකඩ විසිරී ගොස්ය.

ඒ අතර මධුෂ්ගේ ඩුබායි හි සිටින දෙවැනි බිරිය අසරණ වී සිටින්නේ මධුෂ් වෙනුවෙන් නීතීඥවරුන්ට වියදම් කරන්නට මුදල් නැතිකමිනි. ඒ මධුෂ් පාතාල කටයුතුවලින් උපයාගත් කළු සල්ලි සඟවා ඇති තැන් ගැන ඇය වැඩියමක් නොදන්නා බැවිනි. මෙතෙක් කල් ඇගේ එකම පිහිට වී සිටියේ මධුෂ්ගේ සැඟවුණු සගයා වූ කැළුම් ඉන්දික හෙවත් කැවුමාය.

නීතීඥයන්ට වියදම් කරන්නට මෙරට සිට මධුෂ්ගේ අනියම් බිරියට මිලියන ගණනින් මුදල් ඩුබායි රටට යවන ලද්දේ කැවුමාය. ඒ නීති විරෝධි මුදල් හුවමාරු ක්‍රමයක් වන උණ්ඩියල් ක්‍රමයටය. ඒ වැල්ලවත්තෙනි. කැවුමාද දැන් සිටින්නේ පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේ බැවින් අසරණ වී ඇත්තේ මධුෂ්ය.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව කැවුමා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත් වීමට සතියකට ඉහතදීද රුපියල් මිලියන පහක් මධුෂ්ගේ අනියම් බිරිඳ අතට පත් කර තිබිණි. යම් දිනක ඩුබායි රටින් මධුෂ් පිටුවහල් කළෙහාත් ඔහුව මෙරටදී අත්අඩංගුවට ගැනීම වළක්වා ගන්නට මධුෂ්ගේ මවගේ සහෝදරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නේ එම මුදලින් වන්නට පුළුවන. පාතාලයේ අපරාධකරුවෙකු අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉතිහාසයේ පළමු වරට පෙත්සමක් ඉදිරිපත් වන අවස්ථාව මෙයය.

විමර්ශනවලින් මේ වන විට හෙළි වී ඇති ආකාරයට මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ද මෙරට ප්‍රධාන පුරුක කැවුමාය. පාකිස්තානයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් මධුෂ්ගේ ඇනවුම්වලට බෝට්ටුවලින් දෙවුන්දර සහ මිරිස්සට රැගෙන එන හෙරොයින් තොග කොළඹට ආරක්ෂා සහිතව ප්‍රවාහනය කරන්නේ කැවුමාය. පෑලියගොඩ පොලිස් අත්අඩංගුවට මසකට පෙරද කැවුමා හෙරොයින් කිලෝ 200 ක් පමණ කොළඹට ප්‍රවාහනය කර තිබුණේ මඟී බස් රථයකිනි. ඒ නිකම්ම නිකම් මඟී බස් රථයක් නොව සුඛෝපභෝගී මඟී බස් රථයකි. ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීද එසේ සුඛෝපභෝගී බස් රථයකින් මිරිස්සෙන් ගොඩබාන ලද මධුෂ්ගේ මත්කුඩු තොගයක් කොළඹට ඔහු ප්‍රවාහනය කර තිබිණි. එම මත්කුඩු තොගය බස් රථයට පටවා ඇත්තේ තිස්සමහාරාමයෙනි.

එම මඟී බස් රථයද කුලියට ගත්තකි. රියැදුරු සහ රිය සහයක හැරුණු කොට එහි කිසිවෙකු ගමන් කරන්නේ නැත. මගීන් රහිත බස් රථයක් බව නොපෙනෙන්නට එහි වීදුරු පවා තිබෙන්නේ අඳුරු කර තිරරෙදි දමාය. කැවුමා ගමන් කරන්නේ ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයකිනි. ඒ සිය සහෝදරයාගේ පුතා සමඟිනි. මැති ඇමතිවරුන් ගමන් ගන්නා වාහන වල මෙන් එම ප්‍රාඩෝ රථයේ ඉදිරිපස වීදුරුවේ නිල් සහ රතු පැහැති දැල්වෙන විදුලි බල්බයන්ද සවිකර තිබී ඇත. බස් රථය ගමන් ගන්නෙ යැයි සඳහන් වන්නේ ප්‍රාඩෝ රථය පෙරටු කරගෙනය. ඒ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් පිරිසක්, නැති නම් ප්‍රභූන් පිරිසක් රැගත් බස් රථයකට ආරක්ෂාව ලබාදෙමින් රැගෙන යන ආකාරයටය.

කිසිදු පොලිස් පරීක්ෂාවකින් හෝ බාධාවකින් තොරව මේ ආකාරයට ඔහු මසකට දෙකකට වරක් හෙරොයින් කිලෝ සියයකට වැඩි ප්‍රමාණයක් මිරිස්ස සහ දෙවුන්දර සිට කොළඹට රැගෙන ආවේය. මේ සියල්ල හෙළි වන්නේ කැවුමා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. වැඩිම මත්කුඩු තොගය කොළඹට ඔහු ගෙනැවිත් ඇත්තේ ඔක්තෝම්බරයේදීය. ඒ කිලෝ 300ක ප්‍රමාණයකි. එම හෙරොයින් කිලෝ 300 තිබී ඇත්තේ මලු 20ක බහාය. එම මලු තොගය මොරටුවේදී කුඩා ලොරි රථයකට පටවා ඇත්තේ මධුෂ්ගෙන් ලද උපදෙසකට අනුවය. එම හෙරොයින් තොගය රැගෙන ගියේ කොතැනටදැයි අදටත් කැවුමා දන්නේ නැත.

එහෙත් ඊට පෙර සහ පසුව දකුණෙන් රැගෙන ආ හෙරොයින් තොග භාරදෙන්නේ ඩුබායි හීදී මධුෂ් සමඟ අත්අඩංගුවට පත්ව සිටින කංජිපානි ඉම්රාන්ගේ ගෝලයින්ටය. ඒ අලුත්කඩේ පැත්තේදීය. එම හෙරොයින් තොග අනතුරුව බෙදා හරින්නේ ඔවුන්ය.

දෙවුන්දරින් කොල්ලකෑ මොරිල්ගේ හොරොයින් කිලෝ 128 කොළඹට රැගෙනවිත් ඇත්තේද කැවුමාය. පොලිස් වෙසින් මධුෂ්ගේ ගෝලයන් විසින් කොල්ලකෑ එම හොරොයින් තොගය කැවුමා ගමන්ගත් සුඛෝපභෝගී ජිප් රථයේ පටවා ඇත්තේ මාතරදීය. එම ජිප් රථයේද නිල් සහ කොළ පැහැති දැල්වී නිවෙන බල්බ සවි කර තිබී ඇත. මේ එක් ප්‍රවාහනයක් වෙනුවෙන් මධුෂ්ගෙන් ඔහුට ලැබෙන කුට්ටිය රුපියල් කෝටියකට වැඩිය. කිලෝ 300 වෙනුවෙන් ඔහුට මධුෂ්ගෙන් ලැබී ඇතැයි පැවසෙන මුදල රුපියල් කෝටි එකහමාරකි.

කැවුමාව පෑලිගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේත් මෙතෙක් කලක් රහසක්ව පැවැති මධුෂ්ගේ මත්කුඩු ජාලයේ සැගවුණු තැන් එළියට එන්නේත් මධුෂ්ගේ පියාගේ අවමඟුල සූරියවැව සිට ඩුබායි සිටින මධුෂ්ට දැක බලා ගන්නට නවීන තාක්ෂණික ක්‍රම මගින් වීඩියෝගත කර විකාශය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟිනි.

ඔහු කඩුවෙල පැත්තේ ජංගම දුරකතන අලෙවි ස්ථානයක් පවත්වාගෙන යමින් සිටියෙකි. ඔහු සම්බන්ධයෙන් තොරතුර ලැබෙන්නේ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ පෑලියගොඩ ඒකකයේ නිලධාරියෙකුටය. ඔහු ඒ බව දැනුම් දෙන්නේ සිය ප්‍රධානීන් වූ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහට ය. ඔවුන් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවරන්නේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටය. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් විමර්ශන ආරම්භ කරන්නේ විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා, සැරයන්වරුන් වන බණ්ඩාර, උදය කුමාර, අබේකෝන්, සෝමසිරිද එක් කරගනිමිනි.

එම පොලිස් කණ්ඩායම දීර්ඝ විමර්ශනයකින් පසු මධුෂ්ගේ පියාගේ අවමඟුල ඩුබායි සිටි මධුෂ්ට බලා ගන්නට සැලසූ එකී තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට ගන්නේ මාර්තු 01 වෙනිදාය. ඔහු නමින් හේමාල් රංජන්ය. විසි අට වියැති ඔහු කඩුවෙල වැලිහිඳ පැත්තේ පදිංචිව සිටියේය. විමර්ශකයන්ගේ ඊළඟ ඉලක්කය බවට පත් වන්නේ මධුෂ්ගේ පියාගේ මළ ගෙදර වීඩියෝ කර සජීවිව මධුෂ්ට පෙන්වීමේ කොන්ත්‍රාත්තුව ඔහුට භාරදුන් පුද්ගලයාය. හේමාල්ගේ මිතුරෙකු වන ඔහු කසුන් සඳරුවන්ය. රණාලේ කුරුඳුවත්තේ පදිංචිව සිටි ඔහු ද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

මධුෂ්ගේ පියාගේ මළගේ පස්සේ පැන්නූ පොලිස් කණ්ඩායම අතට අවසානයේදී පත්වන්නේ ඩුබායි හි සිටි මධුෂ් අත එතෙක් කාලයක් ඇතැයි කී ඇරුව්වලින් කොල්ලකෑ රුපියල් කොටි 700 දියමන්තියයි. එම දියමන්තිය සොයා ගැනෙන්නේ මධුෂ්ගේ මෙරට රහස් නියෝජිතයා ලෙස සිටි කැළුම් ඉන්දික හෙවත් කැවුමා නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙනි. කැවුමා ගැන තොරතුරු එළියට එන්නේ කසුන්ගෙනි. ඥාතීත්වයෙන් ඔහු කසුන්ගේ බාප්පාය.

මධුෂ්ගේ පියාගේ මළ ගෙදර තාක්ෂණික කටයුතු සඳහා කසුන් සහ හේමාල් සම්බන්ධ කර ගන්නේ ඔහුය. අවසන් කටයුතු සිදු වන දින ගුවනින් මල් ඉසින්නට රුපියල් ලක්ෂ හතර හා මාතරට හෙලිකොප්ටරයක් පවා කුලියට ගත්තේ කැවුමාය. එදා ඒ මළ ගෙදර බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් පිරී තිබුණේ එහි යන එන පාතාල සගයන් ඇතුළු මධුෂ්ට හිතෛෂීන් හඳුනාගන්නටය. ඒ කිසිවෙකුගේ ග්‍රහණයට එදා කැවුමා හෝ කසුන් හෝ හේමාල් හෝ ලක් නොවීමද විශේෂිතය.

කැවුමාව අත්අඩංගුවට ගැනීමෙන් පසු කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් හෙළි වන්නේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙන්ම පාතාල අපරාධ සංවිධානය කරන්නා ඔහු බවය. විමර්ශකයන්ට පෙනී යන්නේ මධුෂ්ගේ මෙරට මොළය ඔහු බවය. පාතාලයේ සමයං නැමැත්තා කළුතරදී බන්ධනාගාර බස් රථයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමද කැවුමාගේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්තානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මරා දැමීමේ මධුෂ්ගේ ඩුබායි හී සිටින බිරියගේ දොළදුක සංසිඳුවන්නට පිළියන්දලදී රංගජීවට වෙඩි තැබීමේ සැලසුම පවා කැවුමාගේය.

මෙරට පාතාලයේ ගෝඩ්ෆාදර් කිරුළ පැලඳි මධුෂ්ගේ මහා මොළය වූ කැවුමා පිටිගල බොරලුහේනේ වැසියෙකි. ඔහුගේ පියා හිටපු පොලිස් නිලධාරියෙකි. ඔහු ගුවන් හමුදාවේද කලක් සේවය කර ඇත්තේය. මව ගෘහිණියකි.

දැනගන්නට ඇති ආකාරයට කැවුමා උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෙකි. කැවුමාට මධුෂ් මුණ ගැසෙන්නේ 2001 වසරේදීය. එකල කැවුමා ගාල්ල පැත්තේ පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නිරතව සිටියේය. ඔහු රැකියාවට ආ ගිය බස් රථයේ රියැදුරා ලෙස සේවයේ නිරතව සිටියේ මධුෂ්ය. ඒ යන එන ගමන්වලදී මධුෂ් හා කැවුමා අතර ඇති වන්නේ මිතු දමකි. බස් රථයේ කොන්දොස්තරවරයා නැති ඇතැම් දිනවල රැකියාවට යෑම පසෙකලා මධුෂ්ගේ සහයට එම බස් රථයේ කොන්දොස්තර කම පවා කැවුමා භාර ගත්තේය.

ඒ වන විට මධුෂ් සිටියේ ආර්ථික අගහිඟකම්වලින් දැඩිව මිරිකෙමිනි. කොළඹ කතරගම මඟී බස් රථයක රියදුරෙකු ලෙස සේවයේ නිරතව සිටි දකුණේ නම ගිය මැරයෙකු වන උනාකූරුවේ ශාන්ත ඒ වන විට සිටියේ මධුෂ්ගේ මිතුරෙකු බවට පත්වය. ඒ බස් කර්මාන්තය ඔස්සේය. අපරාධ ලෝකයට පිවිසෙන්නට මධුෂ්ට පාර කපන්නේ ඔහුය. ඒ මංකොල්ල කෑමකට ඔහුව සම්බන්ධ කරගනිමිනි. එදා ඒ මංකොල්ලට මධුෂ් සිය බස් මිතුරා වූ කැළුම්වද සම්බන්ධ කර ගත්තේය. ඔවුහු රට වටේම බැංකු සහ මූල්‍යායතන කොල්ලකන්නට ගත්හ. ඒ කොල්ලකල්ලිය හඳුනාගන්නට නොහැකිව පොලිසිය පවා එකල සිටියේ අසරණවය. එහෙත් ඔවුන්ට වැඩ වරදින්නේ මීගමුවේ පිහිටි පීපල්ස් ලීසින් ආයතනය කොල්ලකෑමත් සමඟිනි. එම කොල්ලය සිදුවන්නේ 2005 වසරේදීය.

කොල්ල කල්ලියේ සාමාජිකයෙකු අතින් ගිලිහුණු ජංගම දුරකතනයක් ඔස්සේ එදා රට පුරා බැංකු සහ මූල්‍යායතන කොල්ලකෑ කල්ලිය අත්අඩංගුවට ගන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය විසිනි. එකල එහි ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින්නේ අපරාධ මර්දනය සම්බන්ධයෙන් නමක් දිනා සිටින ප්‍රියන්ත ජයකොඩි මහතාය. එකල සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ ඔහු අද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.

එදා එම කොල්ල කල්ලියේ නායකත්වය දැරුවේ උනාකූරුවේ ශාන්තය. ඔහු සමඟ අට දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ. ඒ අය අතර මධුෂ් සහ කැළුම් සිටියහ. ඔවුන් කළායැයි ප්‍රශ්න කිරීම් වලදී හෙළි වුණු බැංකු සහ මූල්‍ය ආයතන කොල්ලකෑම් ගණන 22 කි. එසේම එදා ඔවුන් සතුව තිබී ටී 56 ඇතුළු ගිනි අවි 21ක් ද සොයා ගන්නට පොලිසියට හැකියාව ලැබිණි. ඒත් එක්කම ඔවුන් විසින් කළ අබිරහස් ඝාතන හතරක්ද එළියට ආවේය. ඒ අය අතර එකල දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටියගේ සහෝදරයාගේ ඝාතනයද විය. එම ඝාතනය සිදු වන්නේ මධුෂ්ගේ උවමනාවකටය. ඒ හිත්තැටියගේ සහෝදරයාගෙන් මධුෂ් විසින් රුපියල් ලක්ෂයකට මිලදී ගත් ඉඩමක ඔප්පුව ලබානොදීම නිසාය. පසු කාලයේ ඩැනී හිත්තැටිය ඝාතනය වන්නේද එම ආරවුල දුරදිග යෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

එදා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට කොටු වීමෙන් පසු බන්ධනාගරගත වන මධුෂ් ඔහුට එරෙහිව ඇති සියලුම කොල්ලකෑම් චෝදනාවලින් උපක්‍රමශීලීව ගැලවෙන විට කැළුම්ට සිදු වන්නේ කළුතර පැත්තේ සිදු වුණු මූල්‍ය ආයතන කොල්ලයකට වසර 10 කට සිරබත් කන්නටය. ඔහු සිරදඬුවම් විඳ නිදහස ලබන විට මධුෂ් සිටින්නේ අජිත් එරංග වර්ණකුලසූරිය නමින් ඩුබායි රාජ්‍යයට පැනගොසිනි. එසේ වුවත් මධුෂ් සහ ඔහු අතර තිබුණු සම්බන්ධකම් බිඳ වැටුණේ නැත. සිරගෙදර තුළදීත් ඉන් පිටතදීත් ජංගම දුරකතන ඔස්සේ ඔවුහු මිතුදම් පවත්වාගෙන ගියහ.

නිදහස ලැබීමෙන් පසු කැවුමා ගමට ගියේ නැත. මොරටුව පැත්තේ කුලී නිවසක නවාතැන් ගත්තේය. ඔහුට එම කුලී නිවස සොයා දෙන්නේ තුෂාරි නම් වූ කාන්තාවකි. ඇය ඔහුට වඩා වසර හතකින් වැඩිමහල්ය. එහෙත් ඇය ඔහු සමග සම්බන්ධයක් ගොඩනඟාගෙන සිටියාය. තුෂාරිට කැව්මාව මුණ ගැසෙන්නේ බන්ධනාගාරයේදීය. ඒ ඇය වෙනත් සිරකරුවෙකු බැලීමට පැමිණි අවස්ථාවකදීය.

මොරටුවේ පිහිටි පුස්තකාලයක සහයිකාවක ලෙස සේවයේ නිරතව සිටින ඇය විවාහකය. දරුදෙදෙනෙකුගේ මවකි. ඇය ඔහුව කුලී නිවැසියන්ට හඳුන්වා දෙන්නේ ඉංජිනේරුවරයෙකු ලෙසය. ඔහු තමන්ගේ ඥාති සහෝදරයෙකු බවද ඇය කියයි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කැවුමාව අත්අඩංගුවට ගන්නා විට ඔහු කුලී නිවාස තුනකම වාසය කරමින් සිටියේය. එක් නිවසක් පිහිටියේ මොරටුව කටුබැද්දේය. පොලිස් හා හමුදා නිල ඇඳුම්, ජංගම දුරකතන අත්විලංගු සහ විවිධ වර්ගයේ පතොරම් දහසකට වැඩි ප්‍රමාණයක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සොයා ගන්නේ එම නිවසේ තිබියදීය. එම නිවාස කුලියට ගෙන දෙන්නේ තුෂාරිය.

අනෙක් නිවස පිහිටියේ පාණදුර කෙසෙල්වත්තේය. කොල්ලකන ලද දියමන්තිය සොයාගන්නේ එම නිවසේ තිබියදීය. ඔහු පදිංචිව සිටි තුන් වැනි නිවස පිහිටා තිබුණේ මොරටුව රාවතාවත්තේය. එය දෙමහල් නිවසකි. කුලියට ගන්නේ එහි පහත මහලය. එම නිවසද කුලියට ගන්නේ තුෂාරිගේ නමිනි. ඒ රුපියල් 25000ක මාසික කුලියකටය.

එහෙත් එම නිවස ගැන කැවුමා කිසිවක් හෙළි කර තිබුණේ නැත. ඒ වෙනුවට තුෂාරිගේ හිතවත්කම මත රුපියල් ලක්ෂ 65කට මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය ආසන්නයේ මිලදී ගත් නිවසක් පමණක් පොලිසියට පෙන්වා තිබිණි. රාවතාවත්තේ නිවස රහසක් ලෙස තබාගන්නට කැවුමා වගබලා ගත්තේය. ඒ ඇයි දැයි හෙළි වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම නිවස පරීක්ෂා කර එහි තිබී හෙරොයින් කිලෝ 177ක් සොයාගැනීමත් සමඟිනි. ඊට අමතරව විවිධ වර්ගයේ පතොරම් 3000කට ආසන්න ප්‍රමාණයක්ද ගිනි අවි දෙකක්ද එහි තිබී විශේෂ කාර්ය බළකාය සොයා ගත්තේය.

එම නිවස ගැන පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුම් දෙන්නේ රාවතාවත්තේ වැසියෝය. ඒ ඔවුන් රූපවාහිනී ප්‍රවෘත්තිවලින් කැවුමාගේ ඡායාරූපයක් දැක ඒ බව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම් දීමකට දින දෙකක් තිස්සේම පොලිසිය ක්‍රියාත්මක නොවීම නිසාය.

Comments