කියන තරම් කළු නොවූ ජිනීවා යෝජනාව | සිළුමිණ

කියන තරම් කළු නොවූ ජිනීවා යෝජනාව

රාජ්‍ය තාන්ත්‍රික කරළියේ මෙන්ම මෙරට දේශපාලනික කරළියේද කතා බහට ලක් වන කරුණක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාව පිළිබඳවය. මෙවර නව යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් කිහිපයකි. ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව. අයර්ලන්තය සහ මොන්ටෙනග්‍රෝ යන රටවල් මේ සඳහා හවුල්කාර අනුග්‍රාහකයන් වී ඇත.

A/HRC/40/L.1 දරන මේ වාර්තාව නම් කර ඇත්තේ ශ්‍රි ලංකාවේ සංහිඳියාව , වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන්නය. මෙම යෝජනාවලියේ බැලූ බැල්මට අලුතින් යමක් එක් කොට නැත. ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටින්නේ 2015 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඇමෙරිකාව ප්‍රමුඛ රජයයන් ශ්‍රී ලංකාවද හවුල් කරගෙන ඉදිරිපත් කරන ලද මානව හිමිකම් යෝජනාවලියේ කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩ ඇගයීමක් සිදු කරන ලෙසය.

එමෙන්ම එයින් පසුව 2017 වසරේ ඉදිරිපත් වූ යෝජනාවලිය ද ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම යෝජනාවලියෙන් යෝජනා කොට තිබුණි.

නව යෝජනාවලිය තුළ ශ්‍රි ලංකා රජය මෙම ක්‍රියාවලියේදී මෙතෙක් දක්වා ඇති සාර්ථකත්වය අගය කිරීමකට ලක් කොට ඇත. එසේම පසුගිය ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ශ්‍රි ලංකාව තුළ නිර්මාණය වූ අර්බුදය ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අරක්ෂා කරන ආයතන විසින් ඉතා හොඳින් විසඳා ගැනිමට ගත් පියවරද මේ තුළ අගය කොට තිබිණි. එමෙන්ම 2015 යෝජනාවලියේ සඳහන්ව තිබූ පරිදි අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපනය කිරීම එයට කොමසාරිස්වරුන් පත් කිරීම ආදී පියවර පිළිබඳවද පසසා ඇති අතර උතුරේ ජනතාවට අයත්ව තිබූ, ආරක්ෂක අංශ විසින් පාලනය කරන ලද ඉඩම් නිදහස් කිරීමේ පියවරද මෙම යෝජනාවලිය තුළ අගය කොට තිබුණි.

2015 ඉදිරිපත් කරන ලද විවාදිත යෝජනාවලියේ සඳහන් දැනට ඒ තරම් දුරට ප්‍රගතියක් පෙන්වා නොමැති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම පිළිබඳවද ඉල්ලීමක් මෙම යෝජනාවලිය තුළ ඇත. විශේෂයෙන් සත්‍යය සහ සංහිඳියා කොමිසමට අදාළ නෛතික රාමුව සැකසීම. 1978 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ත්‍රස්ත විරෝධී පනත සකස් කිරීම ආදි ක්‍රියාවලීන් පිළිබඳ ව මෙහිදී මූලික වශයෙන් මෙ යෝජනාවලිය තුළ අවධානය යොමු කොට තිබේ.

පසුගිය දින කිහිපය තුළම ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක් වූ ප්‍රබලම කරුණ වූයේ ශ්‍රි ලංකාව නියොජ්නය කරමින් රජයේ පාර්ශ්වයෙන් එක් කණ්ඩායමක් සහභාගී වීමට අමතර ව ජනාධිපතිවරයා ඔහුගේ විශේෂ නියෝජිතයන් තිදෙනකු ඊට සහභාගී කරවීමේ ප්‍රශ්නයයි. විදේශ අමාත්‍ය තිලක් මාරපන ප්‍රමුඛ රජයේ කණ්ඩායම හැරුණුකොට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුරේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන් සහභාගී වීමට නියමිත ව තිබුණි. එහෙත් මේ වනවිට තත්ත්වය වෙනස් ය. පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් ජනාධිපතිවරයාගේ වෙනම කණ්ඩායමක් සහභාගී වීමේ අදහස ජනාධිපතිවරයා ඉවත් කරගෙන ඇති බවය. රජය නියෝජනය කරමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී වන අතර ආචාර්ය සරත් අමුණුගම මහතා පමණක් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙසින් ඊට සහභාගී වන බව ප්‍රකාශ කොට ඇත. එමෙන්ම උතුරේ ආණ්ඩුකාරවරයාද විදේශ ලෙක්ම රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ සමඟ එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍ය නියෝජිත ඒ.එල්.එ අසිස් ශ්‍රී ලංකා කන්ඩායමේ සෙසු නියෝජිතයෝ වෙති. ලබන 21 වැනිදා ජිනිවා සමුළුවේදී විදේශ අමාත්‍යවරයා විසින් කරනු ලබන කතාව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේද අනුමැතිය ඇතිව ඉදිරිපත් වන ඇති බවද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

මෙම තීරණයද අන්තර්ජාතික ප්‍රජාවගේ පැසසීමට ලක්වනු නොඅනුමානය. එමෙන්ම රටක් ලෙසද එය සුබවාදී වන්නේ සමස්ත රටකට බලපාන පොදු කරුණ මත කවර දේශපාලන මතවාදයක සිටියද එකට සිටිනා බව මෙහිදී ලෝකයට අවබෝධ වීමය. මෙලෙසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන කන්ඩායමේ නායකයා වන විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ප්‍රකාහ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිචෙල් බැචලේ විසින් සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ ප්‍රශ්නකාරී සහ එකඟ විය නොහැකි තැන් ඇති බව ප්‍රකාහ කලේය. ඇය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ විවාදිත කරුණු ලෙස සැලකෙන්නේ විදේශීය විනිසුරැන් සහිත දෙමුහුන් අධිකරණයක් ස්තාපනය කිරීම සහ උතුරේ ජනතාවගේ ඉඩම්වලින් සියයට 90ක් පමණකම අයිතිය එම පළාත්වැසියන්ට ලබා දී තිබියදී හඒ සම්බන්ධයෙන් චෝදනා එලල් වී තිබීමය.

කෙසේ වුවද ජිනිවා මානව හිමිකම් යෝජනාවලියට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකයකු ලෙස සම්බන්ධ වීමත් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් 2015 ඔක්්තෝබර් මස ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පසුගිය කාලය තුළ මහත් විවාදයට ලක්වූ කරුණක් විය. එසේ වුවද අද වනවිට ඊට විරෝධය පෑ පාර්ශ්වද මෙහි යථාර්ථය අවබෝධ කරගෙන ඇති සැටියක් පෙනෙයි. බොහොමයක් දේශපාලඥයන් මෙය තම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ව්‍යාජ අර්ථ ගැන්වීම් සිදු කරන ලදී. එවන් පසුබිමක් තුළ 2015 පසු ඇතිවූ යහ පාලන ආණ්ඩුව තුළ ජාතීන් අතර සංහිඳියාව ඇති කරනු වස් විශාල වශයෙන් කැපවුණි.

ශ්‍රි ලංකාව ජිනීවා යෝජනා පිළිගත් තැන් සිට සංහිඳියාව තුළ වූ ප්‍රගතිය සම්මානනීය වෙයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාලය සහ සත්‍ය සෙවීමේ කාර්යාලය යනාදියට පණ පෙවීම ජිනීවා යෝජනාවලිය බලාත්මක වූ සන්ධිස්ථානයන් වේ.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

2016 මැයි 22, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත හඳුන්වා දීමත් සමඟ 2017 පෙබරවාරි 27 වන දින මෙම කාර්යාලය සත් දෙනෙකුගෙන් සැදුම් ලත් කොමිසමකින් යුතුව ස්ථාපිත විය. එමෙන්ම 2018 සැප්තැම්බර් 5 වන දින, අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) විසින්, නිර්දේශ මාලාවකින් යුක්ත වූ අතුරු වාර්තාව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් වෙත පිරිනමන ලදී. 2018, පෙබරවාරි මස සිට සය මසක් ගත වූ තැන මෙම කාර්යාලය ලබා ඇති ප්‍රගතිය, ඔවුන්ගේ අදහස් යෝජනා මෙම අතුරු වාර්තාව තුලින් ප්‍රකාශවිය. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) සඳහා යෝජනා ලබාදීම සහ ණය සහන වැඩසටහන් හඳුන්වාදීම මෙම යෝජනා අතර කැපී පෙනේ.

මෙම කාලය තුළ අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වින්දිතයන් හමුවීමේ වැඩසටහන් රාශියක් පවත්වා ඇති අතර ඔවුන් ප්‍රාදේශීය කාර්යාල 12 රට පුරා පිහිටවීමට නියමිත අතර ඉන් හයක් උතුරු නැගෙනහිරද සතරක් දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් හීද පැවැත්වීමට නියමිතය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල රට පුරා ජීවත් වන අතුරුදන්වීම් නිසා විපතට පත් සියලු ජනකොටස්, ජනවර්ග, ආගම් හෝ කලාපීය වශයෙන් කිසිඳු භේදයකින් තොරව සේවය ලබාදීමට බැඳී සිටී. මෙහිදී ප්‍රධාන කාරණා 4 පිළිබඳ මෙම කාර්යාලය මූලිකවම අවධානය යොමු කරයි. ඒ අතුරුදන් වූ තැනැත්තන් සෙවීම, අතුරුදන්වු තැනැත්තන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් හා බැඳියාවන් ආරක්ෂා කිරීම, අතුරුදන් වු තැනැත්තන් හෝ ඔවුන්ගේ ඥාතීන්ට ලබාදිය හැකි සහන හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගැනීම, පුද්ගලයින් අතුරුදන්වීමේ සිද්ධීන් නැවත ඇති නොවීම සඳහා බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම වශයෙන් වේ.

හානිපූරණ කාර්යාලය

සාමූහික හෝ තනි පුද්ගල වශයෙන් ලබාදෙන හානිපූරණය දීර්ඝ කාලීන යුද්ධයකින් සහ වරින් වර ඇති වූ බහුවිධ ගැටුම්වලින් අසරණ වූ වින්දිතයන් සිටින රටක මූලික අවශ්‍යතාවක් වේ. මෙහිදී වන්දි ලබාදීමෙන් ඔබ්බට ගොස් වින්දිතයන් හා පීඩාවට පත් වූවන්ගේ ජීවිත යලි ගොඩනගා ගැනීම උදෙසා විශාල දායකත්වයක් මෙම කාර්යාලය මඟින් ලබාදිය හැක. එපමණක් නොව නැවත මෙවන් ගැටුම් වලට පුද්ගලයන් යොමු නොවීමට මෙය මහත් රුකුලක් වනු ඇත.

2018 ඔක්තෝබර් 09 වන දින හානිපූරණ කාර්යාල පනත පාර්ලිමේන්තුවෙහි සම්මත වීම ගැටුම් වලින් පීඩාවට පත්වුවන් ලද තවත් ජයග්‍රහණයකි. පුනරුත්ථාපනය සහ ඉඩම් නැවත ලබා දීම හා පදිංචි කරවීම යනාදිය මේ යටතේ ගැනුණු වැදගත් පියවර වේ. හිටපු ජනාධිපති තුමන් වන මහින්ද රාජපක්ෂ මහතාද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කරමින් හානිපූරණය සඳහා දායකත්වය දක්වා ඇත. පවතින රජය යටතේ හානිපූරණයට සම්බන්ධව විශාල වැඩකටයුතු දියත් වේ.

2019 ජනවාරි 17 වන දිනට අවසන් දින නියම වූ කොමිසන් වරුන් සඳහා රැකියා දැන්වීම් පළවූ අතර හානිපූරණ කාර්යාලය ජනතාව හමුවට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.2015 පසු ඉඩම් නිදහස් කිරීමෙහි විශාල ප්‍රගතියක් දක්නට ලැබුණු අතර දැනට නිදහස් කිරීමට ඇති ඉඩම් ප්‍රමාණය 24%කි. සාම්පූර් ඇතුළු කතා බහට ලක්වූ ඉඩම් ගැටලු රාශියක් මේ වන විට පවතින රජය යටතේ නිරාකරණයවී ඇත.

සත්‍ය සෙවීමේ කොමිසම

ජිනීවා යෝජනා අතර වතමන් අවධානය කොමිසම සත්‍ය සෙවීමේ කාර්යාලය ගොඩ නැගීම වෙත යොමුව ඇත.

සන්නද්ධ ගැටුම් සහ යුදමය පසුබිම් තුළ නිවැරදි තොරතුරු යටපත් වීම සහ සාවද්‍ය තොරතුරු පැතිර යාම ස්වභාවයයි. එවන් තත්ත්වයක් තුළ සත්‍ය සෙවීමේ කොමිසම වින්දිත්යන්ගේ හා සියළු රට වැසියන්ගේ අයිතිවාසිකමකි. තම මවුපියන් හට කුමක් වුණිද සහ තම දරුවන්ට කුමක් වුණි දැයි නොදැන අසරණ වූ පිරිස් බොහොමයකි. නැවත විශ්වාසයෙන් ජීවත්වීමට හැකි වීමට නම් සත්‍ය දැන සිටිය යුතුය. සත්‍ය සඳහා වන කොමිසමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කොට අවබෝධ කරගැනීම සඳහා 2016 ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට කණ්ඩායමක් යවන ලදී. නුදුරු අනාගතයේදීම සත්‍යය සෙවීම සඳහා වන කොමිසමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, කෙටුම්පත සකසා අවසන් බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත. ඇතැමුන් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරණුයේ හුදෙක් වැරදි තොරතුරු මත හෝ නොමග යැවීම මතය. රණවිරු දඩයමක් හෝ විදුලි පුටුවට ගෙන යෑමක් ජිනීවා යෝජනා තුළ ක්‍රියාත්මක නොවන බව පැහැදිලිය.

මෙය ඉතා හෙමින් ගමනක් බවටද විවේචන පවතී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ගෙන ආ යෝජනාව පිළිගනිමින් 2017 වසරේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කාල දිගුවක් ද ශ්‍රී ලංකා රජය ලබාගත් අතර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මෙම සංහිඳියා ක්‍රියාවලිය අන්තර්ජාතික වශයෙන් මහත් පැසසුමට ලක්ව ඇත්තේ සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වූ අනෙකුත් රට වලට සාපේක්ෂව අප ප්‍රගතිය කඩිනම් නිසාවෙනි. තිරසර සාමය එක රැයකින් සැබෑවන සිහිනයක් නොවේ.

එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා පළමුව ජිනීවා මානවහිමිකම් කවුන්සිලය ඇමතු දින අවසානයේ පවසා සිටියේ, විශ්වාසයෙන් එක්ව වැඩකරමු සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනගන මෙම ගමනේදී රටක් ලෙස ඍනාත්මක කරුණු පසෙකලා එක් වන ලෙසයි. මෙය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හෝ ලෝකයෙන් වන බලපෑමක් ලෙස සිතීමෙන් බැහැරව රටේ අභිවෘද්ධිය උදෙසා තිරසාර සාමය උදෙසා සියල්ලන් කැප විය යුතුය.

අදහස්