ජිනීවා කඩුල්ලෙන් පැනීම! | Page 2 | සිළුමිණ

ජිනීවා කඩුල්ලෙන් පැනීම!

මන්නාරම් වළෙන් ඇටකටු ගොඩ ගත්තු

දෙඤ්ඤම් බැටේ කී අයටම විය පත්තු

ඇන්ජීඕ නඩය එක පෙළටම හිට ගත්තු

සංවේගයකි පසුවෙති වි ගිනි පත්තු

                                        ගාමිණී සුමනසේකර

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සමාජය තුළ තිබෙන ගැටුම් හා මතභේද කෙබඳුදැයි මෙ රටේ ජනතාවද ඉඳුරා දනිති. ව්‍යවස්ථාදායක හා විධායකය අතර ගැටුමක් ලෙස හැඳින්විය හැකි වුවද එයින් රට තුළ උද්ගතවන දේශපාලන කැලඹිල්ල සුළු පටු නොවේ. දින කීපයකට පෙර ආණ්ඩුවේ පසු පෙළින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින්, ජනාධිපති වැය ශිර්ෂයට එල්ල වූ විරෝධය එහි අමිහිරි ම ප්‍රතිචාරයක් වැන්න. ජනාධිපති වැය ශීර්ෂය පරාජයට පත් කළ යුතුය යන දැඩි මතවාදයක එල්බ සිටි සිය පසු පෙළ නිහඬ කර ගැනීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා සමත් වුව ද එයින් ප්‍රදර්ශනය වූයේ රට මුහුණ දී සිටින දේශපාලන අරගලයේ ම විකෘති හා අමිහිරි ජවනිකා පෙළකි. අගමැතිගේ හා සභානායකවරයාගේ දේශපාලන පරිණතභාවය නිසා ආණ්ඩුවට සිදුවීමට තිබුණු බරපතල දේශපාලන අනතුරු වලක්වා ගත හැකි විය. එහෙත් එයින් විහිද ගිය දේශපාලන ගිනි පුපුරු යළි කෙබඳු දේශපාලන ගින්නක් අවුලවනු ඇද්ද යන්න දන්නේ දෙවියන් පමණි. ඒ නිසරු දේශපාලන පියවරට දායක වූ අයගේ දැනුම අවබෝධය පමණක් නොව දේශපාලන වෛරය ද සැඟවිය නොහැකි විය.දේශපාලනය යනු වාචාල කතා කීම හෝ සිය මුග්ධභාවය ප්‍රදර්ශය කිරීමක් නොවන බව දත් එ.ජා. පෙරමුණේ ම ජ්‍යෙෂ්ඨයෝ මේ වැය ශීර්ෂ විරෝධයට සහභාගි නොවීම ද සුවිශේෂ සිද්ධියකි. එහෙත් පසු පෙළේ බාල දේශපාලන ලාමාවරු ඒ යථාර්ථය වටහා නොගත්හ.

මෛත්‍රී - රනිල් සම්මුතිය බිඳ වැටීම හා යහපාලන ආණ්ඩුවෙන් ජනාධිපතිගේ කණ්ඩායම ඉවත්වීමත් සමඟ ඇරඹුණු දේශපාලන අවුල විසඳා ගත හැකි එකම මඟ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනඟා ගැනීම පමණි. එහෙත් එයට හරස් වූ නීතිමය බාධා මෙන්ම දේශපාලන බල ලෝභිත්වය ද ජනතාවට පැහැදිලි ය. අද රට අබියස තිබෙන දේශපාලන සංක්‍රාන්තිය නිම කර ගැනීම දේශපාලන නායකයන්ගේ ම වගකීමකි.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගන්නා ලද තීරණය අධිකරණයේදී අභියෝගයට ලක් කළ සමහරු පවා අද පවසන්නේ 19 වැනි සංශෝධනය රට අර්බුදයක හිර කර තිබෙන බව ය. ඇත්ත වශයෙන් ම අද ජනතාවට මේ සමස්ත ක්‍රියාවලිය ම ගැන ඇත්තේ බරපතල කලකිරීමකි. විධායක අවුල ලිහා ගන්නට බලය ලබා දුන් අයට අද මුහුණ දීමට සිදු ව ඇත්තේ අන්ත අරාජික දේශපාලන හැසිරීම වලට ය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇසෙන අඬහැර කුමක් වුවත් මහජනයාගේ ඡන්ද අයිතිය ද අද උදුරා ගෙන තිබෙන බවට චෝදනා නැඟෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවන් යැයි පැසසුම් හිමි වූ අයට ප්‍රජාතන්ත්‍රවාදයේ හොර දෙටුවෝ යන අවමානය ද එල්ල වී තිබේ.

කෙසේ හෝ ජනාධිපති වැය ශීර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගත් ආණ්ඩුව අබියස තවත් අභියෝගයක් ද තිබේ. තව දින කීපයකින් ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට දැක්විය හැකි ප්‍රතිචාරය කුමක්ද යන උභතෝකෝටිකයයි. මේ ජිනීවා ප්‍රතිචාරය දේශපාලන වශයෙන් කළමනාකරණය කර ගැනීම හා රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් මේ ආණ්ඩුවට වහන් වී සිටින ඊනියා රාජ්‍ය නොවන සංවිධාන හා ඔවුන්ගේ ස්වාමිවරුන් වන බටහිර රටවල්ද මෙහිදී කරන බලපෑම් සුළුපටු නොවන බව ද අමුතුවෙන් කිව යුතු නැත. මෛත්‍රී ජනාධිපතිවරයා පසු ගිය දිනක මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ ද මෙරටේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට කිසිදු රටකට ඉඩ නොතැබිය යුතු බව ය. එමතු නොව පසුගිය හමුදා මෙහෙයුම් වලදි සිදු වූ ක්‍රියාකාරකම් දෙස ඒකපාක්ෂික ව නිගමනවලට එළැඹී රණවිරුවන් දංගෙඩියට දක්කා ගෙන යාමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ද මෛත්‍රී ජනාධිපතිවරයාගේ අවධාරණය විය. ජනාධිපතිවරයාගේ ඒ ස්ථාවරය දෙස වපරැසින් බලන්නේ ඊනියා ඇන්ජීඕ නඩ මෙන්ම දෙමළ ඩයස් පෝරාව බව ද අපි දනිමු. උතුරේ ඇතැම් දෙමළ නායකයන් අතර ද මේ අර්බුදය පිළිබඳ ඇත්තේ වෛරී හා ද්වේෂ සහගත හැඟීම් සමුදායකි. උතුරේ මහ අමැතිවරයා ලෙස සිටි විග්නේශ්වරන් අද ක්‍රියා කරන්නේ මේ අර්බුදය උත්සන්න කිරීමට බවට සමහරු චෝදනා නඟති.

කෙසේ වුවද මේ ප්‍රශ්නය කිසිවකුට අසාධාරණයක්, අගතියක් නොවන පරිදි විසඳා ගත යුතුය යන්න ජාතිවාදයෙන් අන්ධ නොවූ දේශප්‍රේමීහු පිළිගනිති. දේශප්‍රේමි කඳවුරක් ලෙස පෙළ ගැසෙන බලවේගය තුළ වුවද ජාතිවාදී හිසේ කැක්කුම් තිබෙන අය සිටිය හැකි වෙති. එහෙත් ඒ නිසාම ස්වදේශිකත්වය හා ජාතිකත්වය අමතක කර එයට උඩින් පැන ගොස් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට කෙරෙන යෝජනා වලට එකඟ විය නොහැකිය.

ප්‍රභාකරන්ගේ ශාපලත් යුද ක්‍රියාදාමයට අභීතව මුහුණ දී රට එක්සත් කර ගත්තේ මෙරටේ ආරක්ෂක හමුදාවයි. එයට දේශපාලන නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. ඒ මෙහෙයුමේ ක්‍රියාකාරී චරිතයක් වූයේ එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ ය. රාජපක්ෂවරුන් වෙත එල්ල කෙරෙන දේශපාලන වෛරයේ කැඳවුම්කරුවන් බවට පත්ව සිටින බොහෝ සිවිල් ක්‍රියාකාරීන්ට මෙන්ම ඊනියා මානව හිමිකම් කාරයන්ට අවශ්‍ය වී ඇත්තේ ද ප්‍රභාකරන් පරාජය කිරීමේ වාඩුව ගැනීමට කැපවී සිටින දෙමළ ඩයස් පෝරාවටත් බටහිර රටවලටත් අවශ්‍ය පරිදි ක්‍රියා කිරීම බව ද පෙනේ.

2015 දී රාජපක්ෂ බලය පෙරළා දැමීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලින් නොයෙක් මූල්‍ය ආධාර ලැබුණු බවට චෝදනාවක් ද ඇත. රාජපක්ෂ යුගය පිළිබඳ විවේචනාත්මක දැක්මක් රටට ද තිබේ. එහෙත් එය ඊනියා ඇන්ජීඕ කාරයන් විසින් මුදා හරිනු ලබන දේශපාලන වෛරයට වඩා වෙනස් එකකි. රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමේ ගුප්ත අරමුණකින් ක්‍රියාත්මක වූ ඊනියා ඇන්ජීඒ කාරයන්ට හෝ බටහිර රටවලට හෝ ඔවුන්ට තිබෙන ජනප්‍රසාදය නැති කළ නොහැකි වූ බව ද අප සිහියේ තබා ගත යුතුය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට අත පෙවූ ඇන්ජීඕ කාරයන්ට ඒ රාජපක්ෂවරුන්ට දේශපාලන තහංචි දැමීමට හැකි වූ බව සැබෑ ය. එහෙත් එයින් රටට වු සෙත කුමක් ද?

අද ජීනිවා මානව හිමිකම් කවුන්සලය මේ රාජපක්ෂ යුද මෙහෙයුම් වලට මෙන්ම එයට දායක වූ රණවිරුවන්ට එරෙහි වේදිකාවක් බවට පත් කර ගෙන තිබේද යන කාරණය ද මෙහිදී අවධානය යොමු කළ යුත්තකි. ඇත්තට ම ප්‍රභාකරන් බේරා ගැනීමට ඉදිරිපත් වූ ඩේවිඩි මිලී බෑන්ඩ් හා බර්නාඩ් කුෂ්නර් යන බ්‍රිතාන්‍ය හා ප්‍රංස විදේශ ඇමති කට්ටලය මෙහිදි අපට සිහියට එයි. දී කිරට බළල් සාක්කි මෙන් මොව්හු ඊළාම්වාදීන්ට අනුබල අනුග්‍රහ දක්වතියි බරපතල විවේචනයක් ද වේ. කුමක් වුවත් අද ජිනීවා යනු අපට හිතවත් හෝ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය දෙස උපේක්ෂාවෙන් බලන ආයතනයක් නොවන බව නිසැක ය.

උතුරේ දෙමළ ජනතාව පීඩනයට පත් කළ හා ඔවුන්ගේ ජීවිතවල සියලු අපේක්ෂා උදුරා ගත් ත්‍රස්තවාදී ව්‍යාපාරයේ ප්‍රධාන වග උත්තරකරුවා වේළුපිල්ලෙයි ප්‍රභාකරන් බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ත්‍රස්තවාදියකුගෙන් මානව හිතවාදයක් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකිය. එහෙත් එනිසාම මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී හුදෙක් හමුදා අංශවලට පමණක් චෝදනා නැඟීම ද සාධාරණ නැත. අවසන් වූ හමුදා ක්‍රියාදාමය තුළ සාධාරණීකරණය කළ නොහැකි දේවල් කොපමණ තිබේද? ඒවාට වගකිව යුතු අය කවරහුද? යන්න රටට හෙළි විය යුතුය. රණවිරුවන් ලෙස හඳුන්වන කිසිවෙක් සාහසික අපරාධකරුවෝ නොවිය යුතු වෙති.

උතුරේ අද තිබෙන දේශපාලනය තුළ වුවද ඒ යුද පීඩනයට මුහුණ දුන් ජනතාවට සහනයක් ලැබී නැති බව අප පිළිගත යුතුය. රාජපක්ෂ ආණ්ඩුවට ද ඒ සඳහා විධිමත් සැලසුම් නොවීය. දැනට තිබෙන වාර්තා අනුව උතුරේ වැන්දඹුවෝ පමණක් 90,000ක් පමණ සිටිති. ඇත්ත වශයෙන් ම මේ වැන්දඹුවන් අතර සිටින බහුතරය ඉතාමත් තරුණ කාන්තාවෝ ය. දෙමළ නායකයන්ගේ කී දෙනෙක් මේ වැන්දඹුවන්ගේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කළෝද? උතුරේ දෙමළ කාන්තාවන් මහ මඟ දූෂණයට ලක්වන බවට මුදා හැර තිබෙන බරපතල මුසාවාදය කාගේදැයි අපි නොදනිමු. එහෙත් එය සත්‍යයක් නොවේ. පසුගිය කාලයේදී උතුරේ සිදු වූ විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කළේ දෙමළ දේශපාලන රැකවරණය ද ලැබූ කිහිප දෙනෙක් බව හෙළි විය. එපමණක් නොව ඒ දූෂණය වීඩියෝ කර වෙළඳ පොළට නිකුත් කළ අමනයන් ගැන ද වාර්තා විය. ඒ වර්ගයේ කාම අපරාධ කිසිදු ශිෂ්ට සමාජයකට අනුමත කළ නොහැකිය.

ඇත්ත වශයෙන්ම උතුරේ අවසන් වූ යුද්ධය පිළිබඳ වේදනාත්මක සැමරුම් අපට ද තිබේ. උතුරේ යුද්ධයට ක්‍රියාකාරීව දායක වූ හමුදා සාමාජිකයන් තුළ මෙන්ම ඒ යුද ක්‍රියාදාමයේ වින්දිතයන් වූ සාමාන්‍ය ජනතාවගේ ද හදවත් තුළ ඉතිරි කර ඇත්තේ අප්‍රමාණ බියක්, අඳුරක් හා වේදනාවක් බවද අප මතක තබා ගත යුතුය. උතුරේ වඩමරච්චි සටනට සහභාගි වූ සොල්දාදුවකුගේ ආවර්ජනයක් අපට මතක ය. ඔහු කියා සිටියේ තමන් ඉදිරියෙන් සිටි සගයා ලේ විලක් මැද වැටී සිටි මතකය ඔහුට අදත් මහා මානසික වධයක් වී තිබෙන බව ය. ඔහුට කිසිදු සතුටක් තෘප්තියක් නැති බවත් බොහෝ දේවල් අමතක වී තිබෙන බවත් ඔහු පවසා තිබුණි. ඒ යුද ජයග්‍රහණයේ යථාර්ථය හමුදා මනස තුළ තැන්පත් වී තිබෙන ආකාරයයි. එසේම යුද්ධයේ වින්දිතයකු වූ මවක් කියා සිටියේද යුද කම්පනයෙන් ඉතිරි වී තිබෙන වේදනාව නිසා ඇයට ජීවිතය වධයක් වී තිබෙන බව ය. මෙබඳු අත්දැකීම් ගැන දෙමළ නායකයෝ දනිත්ද? මානව හිමිකම්කාරයෝ කතා කරත් ද? එනිසා මේ ප්‍රශ්ණයේ ඇතුළත තිබෙන සනාතන වේදනාව දෙස මානුෂිකව බැලීම ද අද අවශ්‍ය ව තිබේ. එහෙත් මෙරටේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද සිදුවන්නේ ඊට වඩා වෙනස් ව්‍යාපෘතිවල නිරත පුද්ගලයන් හෝ අරමුණු සාර්ථක කරගැනීම සඳහා ගෙන යන සටන් ය.

අනෙක් අතට මේ යුද ක්‍රියාදාමයේ සියලු දුක් දොම්නස් මෙන්ම, අසාධාරණ අයුක්ති සහගත ක්‍රියාදාමයන් වලට සාධාරණත්වය ඉල්ලා වසරක් පාසා රැස්වන ඇන්ජී කාරයන්ගේ හා දෙමළ ඩයස් පෝරාවේ ඊළාම් වාදීන්ගේ ද දෙවොල බවට පත්ව තිබෙන ජිනීවා මානව හිමිකම් කවුන්සලය පිළිබඳ සත්‍යය කුමක්ද යන්නත් විමසා බැලිය යුත්තකි.

ජීනිවා මානව හිමිකම් කවුන්සලය යනු පිටතින් පෙනෙන හා මවා පෙන්වන මනුෂ්‍යත්වය උදෙසා කැපවූ ආයතනයක් නොවන බව සමහරුන්ගේ විවේචනයකි. මේ කවුන්සලයේ ඉතිහාසය විමසා බලන අප තුළ ද කිසියම් කුහුලක් මෙන්ම නොපහන් හැගීමක් ද ඇති වේ. මේ ජිනීවා මානව හිමිකම් කවුන්සලය බිහිවී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කරන ලද මානව හිමිකම් කොමිසම අහෝසි කිරීමෙන් පසුව ය. මානව හිමිකම් කොමිසම අපක්ෂපාතී හෝ ගෞරවනීය ආයතනයක් නොවන බව එ.ජා. මහලේකම් වරයකු ව සිටි කොෆි අනන් මහතාද වරක් ප්‍රකාශ කර තිබුණි. මේ කවුන්සිලය වුවද මානව හිමිකම් සඳහාම පෙනී සිටින්නේද? ඔවුන්ගේ න්‍යාය පත්‍රය කුමක්ද? යන්න පිළිබඳ ව දැනදු නොයෙක් වාද විවාද සිදු වේ.

මානව හිමිකම් කවුන්සිලයට අනුව ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන ප්‍රස්තූතය කෙරෙහි ය. බැලූ බැල්මට මෙය අලංකාර, අර්ථ පූර්ණ, දයා කරුණා ගුණයෙන් යුතු සාධාරණ මානූෂීය අරමුණක් බව පෙනේ. එහෙත් මේ සොදුරු වඳන් පෙළ යට ඇත්තේ කෙබඳු දුෂ්ට හා වෛරී අරමුණක් ද යන සාධාරණ සැකය අපට ද මතු වේ. අද මේ මානව හිමිකම් කවුන්සිලය සමඟ ඇමෙරිකාව කිසිදු ගනුදෙනුවක් නැත. එපමණක් නොව ඇමෙරිකාව මෙය හඳුන්වා ඇත්තේ ‘දේශපාලන අගතියේ වැසිකිළියක්’ ලෙස ය. මොනතරම් උත්ප්‍රාසාත්මක හැඳින්වීමක්ද? ඇමෙරිකාවේ අධිපතිවාදී උමතු හැසිරීම් ගැන ලොව ම දනී. තමන්ට කීකරු නොවන ඕනෑම රාජ්‍ය නායකයකු බලයෙන් පහ කිරීම නොව, ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය ද අහිමි කිරීමට ඇමෙරිකාව ක්‍රියා කර තිබෙන ආකාරය රහසක් නොවේ. එහෙව් ඇමෙරිකාවත් ‘වැසිකිලිවලක්’ ලෙස නාසය හකුළා කෙළ ගසන ආයතනයක ස්වරූපය අමුතුවෙන් කිව යුතු ද?

ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව දෙස බලන්නේ ම යුද අපරාධ කළ රටක් හැටියට ය. එබඳු විනිශ්චයක පිහිටා, අපට යෝජනා ඉදිරිපත් කරන සංවිධානයක් ගැන පළ කළ හැකි විශ්වාසය කුමක්ද? එහෙත් ජිනීවා යනු යුක්තියේ මහ දෙවොල ලෙස පිළිගැනීමට ඇන්ජීඕ කාරයන්ට තිබෙන භක්තියට අපි හරස් නොවෙමු. එසේම එබඳු ගුප්ත අරමුණු වලින් මෙහෙයවනු ලබන ආයතනයකට අප යටත් විය යුතු නැති බව නම් සෘජු ව ම සඳහන් කළ යුතුය.

මේ රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් අපේ රණවිරුවන් දංගෙඩියට කැඳවා ගෙන යාමට ක්‍රියාත්මක වන දුෂ්ට බලවේග පරාජය කිරීමද සාමය සංහිඳියාව අගයන කෘතවේදී ජනතාවකගේ අභිලාෂය විය යුතුය. අද මේ රටේ සිදුවන ඇතැම් ක්‍රියාදාම පවා රණවිරුවන්ට එරෙහිව යොදා ගැනීමට සමහරුන්ට අවශ්‍ය වී තිබෙන ආකාරය පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ විය. ඒ නාවික හමුදා කඳවුරක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවකදී මන්නාරමෙන් හමු වු මිනීවලක තිබුණු ඇටකටු අතුරුදන් වූ තරුණයන්ගේ බවට එල්ල වු පදනම් විරහිත චෝදනාවකි. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ රටේ ම ඇන්ජීඕ කාරයන් හවුල් වී රණවිරුවන් අපරාධකාරයන් බවට පත් කිරීමට ක්‍රියා කරන බවයි. මේ ඇටකටු පෘතුගිසි පාලන සමයේ බව ඇමෙරිකානු ආයතනයක් සහතික කර තිබුණත් දෙමළ නායකයන් අතර සිටින සමහරුන්ද ඒ ගැන සැක පහළ කරති.

මේ සත්‍යය හා යථාර්ථය කුමක් වුවද අද අපට මේ ජිනීවා උගුලෙන් ගැලවීමට සිදුව තිබේ. දේශදෝහි ඇන්ජීඕ නඩ පරාජය කිරීමත්, රටේ සැබෑ ජාතික සමගියක් තහවුරු කිරීමත් අපගේ වගකීම බවට පත්ව තිබේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ මේ ආණ්ඩුව නොමඟ යවන සුළු පිරිසක් ඒ සද්චේතනාවට එරෙහි ව ගෙන යන අන්තවාදී ක්‍රියාකාරකම් ය.

යුද්ධය නිම වී වසර දහයක් ගෙවී ගියත් තවමත් උතුරේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දීමට අපට නොහැකිවීම ද අපට එල්ලවන චෝදනාවලට ශක්තියක් වී තිබේ. ලබන 21 වනදා ජිනීවාහිදී මානව හිමිකම් කොමාරිස්වරිය විසින් ඉදිරිපත් කෙරෙන වාර්තාවට ද අපට මුහුණ දීමට සිදුව තිබේ. යළිත් ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් උසාවියක් යෝජනා කර තිබෙන බවද වාර්තා වේ. එදා එනම් 2015 දී පැවති ජිනීවා සමුළුවට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කීපයක් විසින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවට කිසිදු වගවිභාගයකින් තොරව ආණ්ඩුව එකඟවීම නිසා ඒ යෝජනාව බලවත් වු බවද කියති. යුද්ධයේ අවසන් දින කීපය තුළ සිදු වී ඇතැයි එල්ල වී තිබෙන චෝදනා ගැන විමර්ශනය කිරීම අවශ්‍ය බව එයින් පිළිගෙන තිබුණි. එහෙත් එදා එය සිදු වූයේ රාජ්‍ය නායකයා වන මෛත්‍රී ජනාධිපතිවරයාගේ අනුදැනීමකින් තොරව බවද සිහිපත් කළ යුතුය.

ඉහත සඳහන් කළ පරිදිම අද ඇමෙරිකාව මේ මානව හිමිකම් සමුළුවෙන් ඉවත් වී ඇත. බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් කැනඩාව හා ජර්මනිය වැනි බටහිර ගැති ආණ්ඩුද සමග අද යළිත් එම යෝජනාව ඉදිරිපත් වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා කිසිසේත් මෙම යෝජනාවට එකඟ නොවේ. බ්‍රිතාන්‍ය ඇතුළු කැනඩාව වැනි බටහිර රටවල පුරවැසිභාවය ලබා ගත් ශ්‍රී ලංකාවේ දෙමළ ජන කොටස් වල අභිමතය පරිදි මේ රටවල් ක්‍රියා කරන බව ඉතා පැහැදිලි ය. දෙමළ ඩයස් පෝරාවෙන් යැපෙන ඇන්ජීඕ නඩවල අනුග්‍රහය ද මේ යෝජනාවට හිමි වේ.

කෙසේ හෝ මෛත්‍රි ජනාධිපතිවරයා ආණ්ඩුවේ විදේශ ඇමති තිලක් මාරපන සමඟ ඔහුගේ විශේෂ නියෝජතයන් කීපදෙනක් ද ජිනීවා කවුන්සිලයට යැවීමට පියවර ගෙන තිබීම අගය කළ යුතුය. විදේශ කටයුතු අමාත්‍යාංශය නොමඟ යවා රටට අගතියක් සිදුකිරීමට සමහරුන්ට අවශ්‍ය වුවද දැන් ඒ ප්‍රයත්නයද පරාජය වී තිබෙන බව පෙනේ. ආණ්ඩුවත් ජනාධිපතිවරයත් දෙපසට කර රට ජිනීවා උගුලේ හිරකිරීම ද දැන් ඉඩක් නැත. ඒ කුමක් වුවත් දෙමළ සන්ධානයේ අදහස වී ඇත්තේද ජිනීවා යෝජනාව පිළිගෙන ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව ය. උතුරේ මහ ඇමතිවරයාව සිටි විග්නේශ්වරන් වැනි දේශපාලනඥයන් සෘජු ව ම ප්‍රකාශ කරන්නේ ද ශ්‍රී ලංකා ආණ්ඩුවට බුරුලක් නොදිය යුතු බව ය. රණවිරුවන් දංගෙඩියට රැගෙන යන තෙක් නින්ද නොයන දෙමළ නායකයන්ට මෙන්ම ඊනියා දෙමළ ඩයස් පෝරාවට ද අවශ්‍ය මේ ප්‍රශ්නය අවුල් කිරීම බව ද අප තේරුම් ගත යුතුය. එනිසා ජිනීවා යනු ඇමරිකාව කියන වැසිකිළියට වඩා භයානක උගුලක් බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

ආණ්ඩුවේ විදේශ ඇමති තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් වී තිබෙන කොමසාරිස්වරියගේ වාර්තාව එලෙසම පිළිගැනීමට සූදානම් නැති බව ය. කුමක් වුවත් මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදි ම මෙරටේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට කිසිදු රටකට ඉඩ දිය යුතු නැත. එනිසා රට වෙනුවෙන් සැවොම එකට සිටිය යුතු මොහොතක් එළඹී තිබෙන බව ද සියලු දෙනාම තේරුම් ගත යුතු වෙති.

අදහස්