තමන් හෙවත් අත්ත හා අනුන් හෙවත් පර හඳුනාගැනීම බෞද්ධ දාර්ශනික කියැවීමක් | සිළුමිණ

තමන් හෙවත් අත්ත හා අනුන් හෙවත් පර හඳුනාගැනීම බෞද්ධ දාර්ශනික කියැවීමක්

  • දිල්ශාන් මනෝජ් රාජපක්ෂ  කථිකාචාර්ය  බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

දර්ශනය යන ප්‍රධාන විෂය ක්ෂේත්‍රයෙහි ලා සාකච්ඡා කරන වැදගත් උප විෂයක් ලෙස සදාචාරය (Moral Philsophy or Ethics) යන්න හඳුන්වා දිය හැකි ය. ආචාරවිද්‍යාව, ආචාර ධර්ම, සදාචාර දර්ශනය, සදාචාර ධර්ම යනාදී නොයෙක් පර්යායවලින් හැඳින්වෙන එමඟින් විමර්ශනය කෙරෙන්නේ මානව ගති පැවතුම්, චර්යා, පරමාර්ථ, අධිමුක්ති, අභිප්‍රාය, ජීවන ක්‍රම සහ සංස්ථා යනාදියෙහි සිදු කරන ඇගැයුම් ය.

ලොව ඇති අනෙකුත් ආගම් අතරින් බුදු සමය වනාහී සදාචාරාත්මක ජීවන දර්ශනයක් වශයෙන් පුද්ගලයාගේ හා සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් සදාචාරාත්මක ඉගැන්වීම් රැසකින් පෝෂණය වූවකි. පුද්ගල පරම අපේක්ෂාව වන නිවන සාක්ෂාත් කරගැනීම කේන්ද්‍ර කොටගත් දේශනා රැසකින් යුක්ත බුදු දහම තුළ සෑම සදාචාරාත්මක ක්‍රියාවක් ම යහපත් ක්‍රියා ලෙස හඳුන්වන අතර, පරමාදර්ශී පුද්ගලයෙකු හා පරමාදර්ශී සමාජයක් නිර්මාණය කිරීම සඳහා එහි අඩංගු ආචාර විද්‍යාත්මක නිර්ණායක රැසකි.

ආචාර විද්‍යාත්මක ප්‍රවේශයකින් යහපත, අයහපත පිළිබඳ නිර්ණායක ඉදිරිපත් කරන බුදු දහම එහි ලා යහපත් චේතනාවේ ඇති වැදගත්කම ප්‍රායෝගික වාදයෙහි ද සැලකිල්ලට ගන්නා අභිප්‍රාය (motive) හා නිෂ්ඨාව (end) තුළ තිබිය යුතු නිවැරදි බව හෙවත් සත්භාවී වීම, අවධාරණය කරන ක්‍රියාවේ ස්වභාවය යහපත් වීම යනාදී කරුණු කෙරේ වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනේ.

එම නිර්ණායක අතරින් තමා හා අනුන් පිළිබඳ ගැටලුව පිළිබඳ බෞද්ධ විග්‍රහය ද අතිශය වැදගත් අගයක් ගනී. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී යමකු කරන ක්‍රියාවක් තවත් කෙනකුට බලපාන ආකාරය සැලකිල්ලට ගනිමින් ක්‍රියාවේ ස්වභාවය පිළිබඳ බෞද්ධ විග්‍රහය සොයා බැලීම ද සිදු කළ යුතු බව පෙනේ.

අප යම් ක්‍රියාවක් සිදු කරන්නේ නම්, එම ක්‍රියාව සම්බන්ධයෙන් ක්‍රියාව කරන්නකු හා ඍජු හෝ වක්‍ර ආකාරයෙන් එම ක්‍රියාවේ ඵලයට පාත්‍ර වන්නකු හෙවත් ක්‍රියාවේ දෙවැනි පාර්ශ්වයක් හඳුනාගත හැකි ය. මෙහි ක්‍රියාව කරන්නා ‘අත්ත’ යනුවෙන් හඳුනාගත හැකි අතර තමන් (Self, Agent)කර්තෘ, විෂය (Subject) යනාදි ය ඊට භාවිත වන පර්යාය පද ලෙස දැක්විය හැකි ය. මෙහි ක්‍රියාවේ දෙවැනි පාර්ශ්වය ‘පර’ යනුවෙන් හඳුනාගත හැකි අතර අනුන් (other, Paitent) කර්මය, විෂයී (Object) මෙරමා යනාදි ය ඊට භාවිත වන පර්යාය පද ලෙස දැක්විය හැකි ය.

කරනු ලබන ක්‍රියාවේ ස්වභාවය අනුව එහි ඵලය භුක්ති විඳින ‘පර’ යන්න ද විවිධාකාර විය හැකි ය. ඇතැම් විට තනි පුද්ගලයෙකු හෝ බහුවිධ පිරිසක් එමඟින් අදහස් කෙරෙනු ඇත. ඇතැම් විට මෙහි දෙවැනි පාර්ශ්වය පැහැදිලි විය හැකි හෙවත් ඍජු විය හැකි අතර, ඇතැම් විට එය අපැහැදිලි හෙවත් වක්‍ර විය හැකි ය. එසේ ම එම දෙවැනි පාර්ශ්වය ලෙස ගැනෙන කාරකයා ඇතැම් විට මනුෂ්‍යයකු හෝ සත්ත්වයකු හෝ අජීවී පරිසරය හෝ විය හැකි ය.

සදාචාරයෙහි ‘අත්ත’ හා ‘පර’ යන සංකල්ප දෙක ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු රාශියකි. එම ප්‍රශ්න අතර,

1 ‘අත්ත’, ‘පර’ යන දෙකෙන් වඩා වැඩියෙන් සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?

2 ‘අත්ත’ හා ‘පර’ යන දෙක අතර තිබිය යුතු පරතරය හෙවත් සීමාව කුමක්ද?

3 ‘පර’ යන්න පසෙක ලා ‘අත්ත’ යන්න කෙරේ පමණක් අවධානය යොමු කිරීම සාධාරණද?

4 එහි ප්‍රතිඵල කවරාකාර විය හැකිද?

5 බුද්ධිමත් මනුෂ්‍යයා‘අත්ත’ යන්න පමණක් අවධාරණය කිරීම සෑම විට ම බුද්ධිමත් ක්‍රියාවක් ලෙස ඇගයීමට ලක් කළ හැකිද?

6 අන් අය ගැන සිතීම බුද්ධිමත් නොවන්නක්ද?

7 ‘පර’ යන්න කෙරේ අවධානය යොමු කරමින් ‘අත්ත’ යන්න නොසලකා හැරීම කළ හැක්කක්ද?

8 යම් කර්මයක් කිරීමේ දී තමන්ට සදාචාරාත්මක හානියක් නොවන ලෙස ද අනුන්ට ද හානියක් නොකිරීමට වග බලාගැනීම කළ හැක්කක්ද?. යනාදි ය වැදගත් වේ.

තමා හා අනුන් පිළිබඳ ගැටලුව සදාචාරාත්මක ප්‍රවේශයකින් විමර්ශනය කරන අපගේ මූලික සොයා බැලීමේ අරමුණ විය යුත්තේ ‘අත්ත’, ‘පර’ යන සංකල්ප අතර පැන නැගී ඇති ගැටලුවලින් ඉහත පළමු හා දෙවන අංක යටතේ සඳහන් කළ අත්ත, පර දෙකෙන් වැඩියෙන් සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?, ‘අත්ත’, ‘පර’ යන්න අතර තිබිය යුතු පරතරය හෙවත් සීමාව කුමක්ද? යන්න සඳහා පිළිතුරක් ලබා ගැනීමට ය. ඒ අනුව අපගේ මේ සාකච්ඡාව තුළ පළමුව අවධානය යොමු වන්නේ මේ පිළිබඳ ඉහත සඳහන් කළ ගැටලු අතරින් ‘පර’යන්න පසෙක ලා ‘අත්ත’ යන්න කෙරේ පමණක් අවධානය යොමු කිරීම සාධාරණද? එහි ප්‍රතිඵල කවරාකාර විය හැකිද? බුද්ධිමත් මනුෂ්‍යයා ‘අත්ත’ යන්න පමණක් අවධාරණය කිරීම සැම විට ම බුද්ධිමත් ක්‍රියාවක් ලෙස ඇගැයීමට ලක් කළ හැකිද? යනාදි ය පිළිබඳ කිසියම් අධ්‍යයනයක් සිදු කිරීමට ය.

‘අත්ත’ යන්නෙහි අන්තය ලෙස සැලකෙන්නේ හුදෙක් ආත්මීය පදනමකින් (මට ය, මාගේ ය, මා උදෙසා ය යනුවෙන්) සියල්ල විග්‍රහ කරගැනීමට යෑම ය. එය ආත්මාර්ථකාමය ලෙස හඳුන්වයි. පෘථග්ජන මිනිසාගේ ස්වභාවය නම් ආත්මාර්ථය පෙරදැඩි කොටගත් ක්‍රියා කලාපයක් තුළ රැඳී සිටීම ය. බෞද්ධ විග්‍රහයට අනුව ආත්මීය පදනමකින් ලොව දෙස බලන පුද්ගලයාගේ ක්‍රියා කලාපය එම පුද්ගලයාගේ සාංසාරික ජීවිතයටත්, ආධ්‍යාත්මික දියුණුවටත් අහිතකර ලෙස බලපායි.

එමෙන් ම ආත්මාර්ථකාමී පුද්ගල ක්‍රියා කලාප සමාජ පරිහානියටත් බලපායි. අත්තදණ්ඩ සූත්‍රයේ සඳහන් වන ආකාරයට තෘෂ්ණාධියෙන් යුතු ආත්මාර්ථකාමී පුද්ගල පිරිස් සමාජය තුළ එකිනෙකා අබිබවා යමින් කලහකාරීව ජීවත් වන්නේ දිය සිඳුණු මඩ වළක එකිනෙකා පරයා යන මසුන් මෙනි. (අත්තදණ්ඩා භයං ජාතං, ජනං පස්සථ මේධකං, සංවේග කිත්තයිස්සාමි, යථා සංවිදිතං මයා, ඵන්දමානං පජං දිස්වා, මච්ඡේ අප්පෝදකෙ යථා, අඤ්ඤමඤ්ඤේහි ව්‍යාරුද්ධෙ, දිස්වා මං භයමාවිසි)

සංකීර්ණ සමාජ පසුබිමක වාසය කරන නූතන මනුෂ්‍යයාගේ බුද්ධිමත් ක්‍රියා කලාපය (Rational Agent) තරමක් ආත්මාර්ථකාමි පදනමකින් විග්‍රහ කර ඇති ආකාරයක් දැකගත හැකි ය. ඒ අනුව මනුෂ්‍යාගේ පරමාභිලාෂය සිය ලාභය වාසි සහගත කරගැනීම හෙවත් ලාභ සහගත කරගැනීම බුද්ධිමත් ක්‍රියා කාරිත්වය ලෙස නිර්වචනය කර ඇත. එමඟින් පෙන්වා දෙන්නේ මනුෂ්‍ය ලාභය හෙවත් වාසිය අවම කරගැනීම හෝ හානියට පත් කරගැනීම බුද්ධිමත් නොවන ක්‍රියා කලාපයක් බව ය.

තමාගේ ලාභය පමණක් අවධාරණය කරන බුද්ධිමත් මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය තුළ අනුන් සඳහා කිසිදු තැකීමක් සිදු කිරීම හුදෙක් ම අනවශ්‍ය බව එමඟින් ඒත්තු ගන්වයි. ගෝලීයකරණය වූ නූතන ලෝකය තුළ තමාගේ ව්‍යාපාර කටයුතු දෛනික ජීවන කටයුතු ඔස්සේ උපරිම වාසි අත්පත් කරගැනීමට යෑමෙන් තමාගෙන් අන්‍යන්ට වන බාධා සැලකිල්ලට ගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.

මෙහි බරපතළකම මනාව පැහැදිලි වන්නේ, අතිශය කාර්යබහුල ආත්මාර්ථකාමී ජන සමාජයේ ක්‍රියාකාරිත්වය නිසා උද්ගත වී ඇති උග්‍ර පරිභෝජනවාදී ජීවන ක්‍රමයේ සම්පත් බෙදී යෑමේ ක්‍රමය අසමතුලිත වීම හා දරිද්‍රතාව, පන්තිභේදය මානව අසහනය හා මිහිතලයට දරාගත නොහැකි ලෙස පරිසර දූෂණය ශීඝ්‍ර වීමෙනි.

එබඳු අර්බුද බුද්ධිමත් මනුෂ්‍යයාගේ ක්‍රියා කලාපය ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳ අනිවාර්යෙන්ම ප්‍රශ්න කරනු නොඅනුමාන ය. ඒ අනුව හුදෙක් තමන් පිළිබඳ පමණක් සෑම විට ම තැකීම බුද්ධිමත් ක්‍රියාකලාපයක් ලෙස අදාළ කරගැනීම කොතෙක් දුරට සාධාරණීකරණය කළ හැකිද?, එසේත් නැතහොත් තමන් පිළිබඳ මෙන් ම අන් අය පිළිබඳ සිතීම බුද්ධිමත් නොවන්නක්ද? යන්න විමසා බැලිය යුත්තකි.

බුදු සමය කිසි විටෙකත් තමා පිළිබඳ තැකීමකින් යුතුව අන් අය පීඩනයට පත් කිරීම හෝ පෙළීම අනුමත නොකරයි. සියලු සත්ත්වයෝ දඬුවමට තැතිගනිත්. මරණයට බිය වෙත්. එබැවින් තමන්ව උපමාවට ගෙන අන්‍යයන්ට හානි පැමිණවීමෙන් වැළකිය යුතු බව (සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ භායන්ති මච්ඡුනෝ, අත්තානං උපමංකත්වා, නහනෙය්‍ය නඝාතයේ) බෞද්ධ උපදේශය යි. තමන්ව උපමාවට ගෙන අන්‍යයන්ට හානි කිරීමෙන් වැළකීම අවධාරණය කිරීම සඳහා බුදු සමය ඉදිරිපත් කර ඇති වැදගත් ඉගැන්වීමක් වන්නේ අත්තූපනායික ධර්ම පර්යාය යි. ඒ පිළිබඳ ගැඹුරු විග්‍රහයක් වේළුද්වාර සූත්‍රයේදී ඉදිරිපත් කර තිබෙනු පෙනේ.

“ගෘහපතියෙනි, අත්තුපනායික ධර්ම පර්යාය කවරේද?. ගෘහපතියෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වනු කැමැත්තෙමි. සුව කැමැත්තෙමි. දුක පිළිකුල් කරන්නේ වෙමි. ජීවත් වෙනු කැමති, නොමැරෙන කැමති, සුව කැමති, දුක පිළිකුල් කරන යමෙකු මාගේ දිවිය තොර කරන්නේ නම්, එය මට ප්‍රිය මනාප නොවන්නේ ය. මම ද ජීවත් වෙනු කැමති, නොමැරෙනු කැමති, දුක පිළිකුල් කරන මෙරමා දිවියෙන් තොර කරන්නේ නම්, මෙරමා හට ද අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමක් මට අප්‍රිය අමනාප වන්නේ නම්, මෙරමා හට ද එම දහම අප්‍රිය අමනාප නම්, කෙසේ මම මෙරමා එම දහම සමඟ යොදන්නේදැ‘යි හෙතෙම නුවණින් සලකා තමාත් ප්‍රාණඝාතයෙන් වෙන් වූයේ වෙයි. ප්‍රාණඝාතයෙන් වෙන් වීමේ ආනිසංසත් ප්‍රකාශ කරයි. එසේ ඔහුගේ කාය සංවරය තුන් කෙළවර පිරිසුදු වූයේ වෙයි....”

එම විග්‍රහයෙන් මතු වන සදාචාරාත්මක වැදගත්කම නූතන ආචාර විද්‍යාවෙහි සුප්‍රකට න්‍යායක් වන ‘ස්වර්ණමය රීතිය’ (Golden Rule) තුළ පවා අවධාරණය වන ආකාරය පෙනේ. ඒ මඟින් ද විග්‍රහ වන්නේ, “යම් ක්‍රියාවක් වේ නම්, එය (අනෙකෙකු විසින්) මට කරනු ලැබීම මට රිසි නොවේ. එලෙසින් ම මා සේ ම සෙසු සත්ත්වයෝ ද එබඳු ක්‍රියා ඔවුනට කරනු ලැබීම රිසි නොකරති. එබැවින් මා විසින් ද අන්‍යයන්ට රිසි නොවන ක්‍රියා නොකළ යුතු ය” යන්න ය.

අප කරන්නා වූ යම් ක්‍රියාවක් වේ නම් එහි ප්‍රතිඵලය ඒ හා සම්බන්ධ කාරකයාට කිහිප ආකාරයකින් බලපැවැත්විය හැකි ය. එසේ කරන්නාවූ ක්‍රියාවේ ප්‍රතිඵලය හානිකර විය හැකි අයුරු බුදුසමය කිහිපාකාරයකින් සාකච්ඡා කොට ඇත. එනම්,

1 තෙමේ තමාට ම දෝෂාරෝපණය කරන ආකාරයේ ක්‍රියාවන්හි යෙදීම. (අත්තාපි අත්තානං උපවදති) මෙය එක්තරා ආකාරයක හෘදය සාක්ෂිය සමඟ සම්බන්ධ වන සදාචාරාත්මක තත්ත්වයකි.

2 යමකු තමන් ජීවත් වන සමාජ තුළ නුවණැත්තන්ගේ ගර්හාවට ලක් වන යම් ක්‍රියාවක් කරයි නම්, (අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති) තම සමාජය තුළ ම ඔහුට එරෙහිව පිළිකුල් සහගත විවේචනයන්ට පාත්‍ර වේ.

මෙහි දක්නා ලැබෙන විශේෂත්වය වන්නේ බුදු සමය තමන්ට සිදු වන හානි මෙන් ම අන්‍යයන්ට සිදු වන හානි ද නොකළ යුතු බව මූලික ස්ථාවරය ලෙස දක්වා තිබීම යි. ඒ හා සම්බන්ධ වැදගත් උපදේශයක් වන්නේ ‘යම් කිසි ක්‍රියාවක් කොට තැවීමට සිදු නොවේ නම්, යමක ප්‍රතිඵලය සතුටින් විඳීමට හැකි වේ නම් එබඳු ක්‍රියා කිරීම මැනවි’ (තඤ්ච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති, යස්ස පතීතො සුමනො - විපාකං පටිසෙවති)‘ යම් ක්‍රියාවක් කොට තැවීමට සිදු වේ නම් එබඳු ක්‍රියා කිරීම නොමැනවි.’ (නතං කම්මං කතං සාධු, යං කත්වා අනුතප්පති, යස්ස අස්සමුඛො රොදං, විපාකං පටිසෙවති) යන්න යි.

එමෙන් ම තමන්ගෙන් අනුනට සිදු වන බාධා අවම කිරීමෙහි ලා සිය අනුගාමිකයන්ට හඳුන්වාදී ඇති විනය ශික්ෂා ක්‍රමවේදයක් බුදු සමයේ දක්නට ලැබේ. ඒ සම්බන්ධ තවත් වැදගත් උපදේශයක් ආධිපත්‍යෙය සූත්‍රයේදී ද සඳහන් වේ. එනම්, තමන් යම් ක්‍රියාවක් සිදු කිරීමට මත්තෙන් එහි ප්‍රතිඵලය පිළිබඳ තමන්ට ගැළපේද (අත්තාධිපත්‍යෙය) ලෝක සම්මතයට ගැළපේද (ලෝකාධිපත්‍යෙය) ධර්මයට ගැළපේද (ධම්මාධිපත්‍යෙය) යනුවෙන් තෙවැදෑරුම් පරිදි සිතා බැලිය යුතු වීම යි.

යහපත් සමාජයක් අපේක්ෂා කරන්නේනම් පුද්ගලාභ්‍යන්තරය ද යහපත් විය යුතු බව පෙන්වා දෙන බුදු සමය යහපත් පුද්ගල චරණයක් සඳහා අනුයෝජනය කර ගත හැකි ගුණධර්ම සතරක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යනාදි ලෙස ගෙනහැර දක්වා ඇත. තමාගේ පැවැත්මට තමාගෙන් පරිබාහිර ජීව - අජීව සියලු දෙයෙහි පැවැත්ම ද අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන බුදු සමය සිහි නුවණින් යුතුව සිටීම්, යාම්, හිඳීම් හා නිදීම යනාදී ඉරියාපථවලදී පවා මෙත්තාව වැඩිය යුතු බව දක්වා ඇත.

‘‘දුර්වල හෝ ශක්තිමත් වූ ද, දිගු හෝ මහත් වූ ද, මධ්‍යම, හ‍්‍රස්ව, කුඩා හෝ ස්ථුල වූ ද, දක්නා ලද හෝ නොදක්නා ලද වූ ද, ළඟ හෝ දුරව යන්නා වූ ද, උපන් හෝ උපදින්නට සිටින්නාවූ ද, (සම්භවේසි) යම් බඳු සත්ත්වකෙනෙක් වෙත් ද, ඒ සියල්ලෝ සුවපත් වෙත්වා...’’ යන්න බෞද්ධ සිතිවිල්ල යි. පරපටිබද්ධ ජීවිතයක් ගත කරන පුද්ගලයා යම් බඳු ක්‍රියාවක් සමාජය වෙත සිදු කරයි ද, ඇතැම් විට එබඳු ම ක්‍රියාවක් සමාජය ද පෙරලා ඔහුටත් සිදුකරනු ඇත. එබැවින් අප සෑම විට ම අප කළ යුත්තේ යහපත් ක්‍රියා වේ.

මේ බව බෞද්ධ මෛත්‍රී සංකල්පය තුළින් ද අවධාරණය වේ. එනම් එකෙක් අනෙකකු හෙළා නොදකිත්වා, කොතැනක කවරෙකුට හෝ නින්දා නොකෙරෙත්වා, කිසිවෙක් වෛරී හෝ ක්‍රෝධ හැඟීමෙන් යුතුව ඔවුනොවුනට දුක කැමති නොවෙත්වා...’’ යන්න යි. මේ අනුව විශ්වාගත බෞද්ධ මෛත්‍රී සංකල්පයේ පරමාර්ථය තමාගේ මෙන් ම අනුන්ගේ ද යහපැවැත්ම බව පැහැදිලි වේ. ‘‘මවක් විපතේ දී තම එක ම දරුවා දිවි හිමියෙන් යම් සේ රකින්නේ ද, එපරිද්දෙන් ම සියලු ම සත්ත්වයන් වෙත කෙනෙක් තම අපරිමිත මෙත් සිත පතුරත්වා කිසිදු සම්බාධයකින් වෛරයකින් හෝ ක්‍රෝධයකින් තොරව උඩ යට හා තිරස් යනාදි ලෙස ලොව හාත්පස තම අපරිමිත මෙත්සිත පතුරත්වා....’’

මෙත්තාව තුළ මෙන් ම කරුණාව තුළ ද තමා යන්නෙන් පරිබාහිර අන් අයගේ යහපත බුදු සමය අවධාරණය කර ඇති බව පෙනේ. මේ බව කරුණාව යන්න අර්ථ විග්‍රහ කරන ආකාරයෙන් ද පෙනේ. එහි දී පෙන්වා දෙන්නේ සත්පුරුෂයා තුළ අන්‍යන්ගේ දුක පිළිබඳ හැඟීමෙන් උපදින දයානුකම්පාව කරුණාව බව යි. ථෙරවාද අටුවාචාරීන් වහන්සේලා කර ඇති විග්‍රහයට අනුව අනුන්ට දුකක් ඇති වූ කල්හි සත්පුරුෂයන් හදවත කම්පනයට පත්වීම කරුණාව යි. අනුන්ගේ දුක පහ කරලීමට කැපවීම සඳහා වූ පෙළඹවීම මෙම විග්‍රහයේ අන්තර්ගත වන බව පෙනේ.

එමෙන් ම අනුන්ගේ අභිවෘද්ධියේ දී ප්‍රීතියට හා ප්‍රමෝදයට පත් වීමේ හැකියාව අවධාරණය කරන මුදිතා යන්න ද, මධ්‍යස්ථ මානසිකත්වයකින් සමාජය හා කටයුතු කිරීමේ හැකියාව අවධාරණය කරන උපේක්ෂා යන්න ද සදාචාරාත්මක සමාජයක ‘අත්ත’ යන්න කෙරේ පමණක් තැකීමෙන් පුද්ගලයා සිය චරණය සම්බන්ධයෙන් තෘප්තියට නොපැමිණිය යුතු බව අවධාරණය කරන්නකි.

මහායාන සම්ප්‍රදායේ දී වඩා වැඩි තැනක් ලබා දෙන බෝධිසත්ත්ව චර්යාව පෙන්වා දෙනුයේ ‘අත්ත’ යන්න පසෙක ලා ‘පර’ යන්න උදෙසා ක්‍රියාන්විතයේ යෙදිය යුතු බව ය. එබැවින් ම පරාර්ථචර්යාවේ ප්‍රතිමූර්තිය බෝසතුන් ලෙස සලකයි. බෝධිසත්ත්වයන් පරාර්ථ චර්යාවේ නිරතවන ආකාරය බෝධිචර්යාවතාරයේ විග්‍රහ වී තිබේ. එහි සඳහන් වන ආකාරයට ඔහුගේ සිතිවිල්ල වනුයේ ‘‘මම අසරණයන්ට සරණ වෙමි. මග පිළිපන්නවුනට සාර්ත්ථ වාහකයෙක් වෙමි. ගංඟා ආදියෙන් පරතෙර යනු කැමතියනට නැවක් වෙමි. එතෙර වනු කැමතියනට හෙයක් වෙමි.’’ (අනාථානාමහං නාථඃ - සාර්ථවාහශ්ව යායිනාං, පාරප්සු නාංච නෞ භූතඃ - සේතු සංක්‍රම ඒව ච) ‘‘අඳුරෙහි සිටින සියල්ලවුනට පහනක් වෙමි. සැතපෙනු කැමතියනට යහනක් වෙමි. දාසයන් කැමතියනට දාසයෙක් වෙමි. සියල්ලන්ට කැමති කැමති වස්තුව වෙමි’’ (දීපාර්ථිනාමහං දීපඃ - ශය්‍යා ශය්‍යාර්ථි නාමහං, දාසාර්ථිනාමහං දාසො - භවෙයං සර්වදෙහිනාම්) යනුවෙනි. උපාය කෞෂල්‍ය සූත්‍රයේ සඳහන් වන ආකාරයට ලෝකය ගලවා ගනු කැමති බෝධි සත්ත්වයන් විසින් නොකළ හැක්කක් නැත. (යන් නාස්ති තං නං කර්තව්‍යං ජගරද්ධරණාශ ‍යෛඃ) මෙම සූත්‍රයට අනුව බොහෝ පිරිසකගේ යහපත උදෙසා බෝසතුන් නිවැරදි ක්‍රමෝපාය සඳහා භාවිත කරන මාධ්‍යය යහපත් හෝ අයහපත් විය හැකි ය.

උදාහරණයක් ලෙස උපාය කෞෂල්‍යය සූත්‍රයේ සඳහන් එක් කතාවකට අනුව පන්සියයකගෙන් යුත් නැවක දුෂ්ට මිනිසෙක් සියලූ දෙනා මරා දැමීමට තීරණය කරයි. එහෙත් බෝසතුන් සියලූ දෙනාගේ ජීවිත රැක ගැනීමට දුෂ්ට මිනිසාව මරා දමයි.

එහි අවසානයේ දී පෙන්වාදී ඇත්තේ දුෂ්ට මිනිසාව මරා අපාගත වීමට සිදු වූයේ නොමැති බව ය. යහපත් ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් යහත් වූ හෝ අයහපත් ඕනෑ ම දෙයක් අපට කළ හැකිද? යන්න මෙහි දී මතු වන ගැටලූවක් වේ. යහපත් අභිප්‍රායක් උදෙසා බොරු කීම, කාම මිථ්‍යාචාරය ආදිය මාධ්‍යයක් ලෙස අපට අනුගමනය කළ හැකිද? යන්න මෙහි දී විමසිය යුත්තකි.

අදහස්