නෙලුම් කුලුන පාමුල මාළු අල්ලන මිනිස්සු | සිළුමිණ

නෙලුම් කුලුන පාමුල මාළු අල්ලන මිනිස්සු

  • ජපන් කොරලි බෝ කළේ එවකට ධීවර ඇමැතිව සිටි පෙස්ටස් පෙරේරා
  • ඉස්සර හිටියෙ ඉස්සෝ කූනිස්සෝ කකුළුවෝ. දැන් ලූල්ලු හුංගොත් ඉන්නවා
  • නෙලුම් කුලුන විවෘත කළාම මාළු අල්ලන්න අවසර නැතිවෙයිද කියලා බයයි

දිනය මතක නැති වුවත් ඒ 1999 අවුරුද්දේ සතියේ දිනක් බව හොඳින් මතකය. වේලාව උදෑසන නවයට පමණ වන්නට ඇත. එවකට තිබූ ජනතා පුවත්පත වෙනුවෙන් යමක් වාර්තා කිරීම සඳහා ඡායාරූප ශීල්පියාත් මමත් ගලදාරි හෝටලය දෙසට යමින් සිටියෙමු. එක්වරම දුටුවේ කොරලි මාළු වැල් දෙකක් එල්ලාගෙන යන මිනිසෙකි. කොළඹ නගරයේ ඒ දසුන අරුමයකි. ඡායාරූප ශිල්පියා ඒ දසුනේ සේයා රුවක් ගන්නට සුදානම් විය. එහෙත් මාළුවැල් එල්ලා‍ගෙන සිටි මිනිසා පය ඉක්මන් කර යන්නට වූයේ ඡායාරූප ගැනීමට අකමැත්ත හඟවමිනි. වසර ගණනක් පැරැණි ඒ සිද්ධිය යළිත් සිහිපත් වුයේ කන්තෝරු සඟයා පැමිණ ඔහුගේ දුරකතනයෙන් ගන්නා ලද ඡායාරූප කිහිපයක් පෙන්වමින් “අන්න නෙලුම් කුලුන ගාව මාළු බානවා” කී විටය.

නෙලුම් කුලුන ගාව මාළු බෑම ඇතැම් විට කිසිවෙකු විශ්වාස නොකරන්නට පුළුවන. ඡායාරූපයෙන් දුටු ඔරුකරු පමණක් නොව තවත් ඔරුකරුවන් සිටින්ට ඇතැයි ද අපි අනුමාන කළෙමු. ඒ සියල්ලටම වඩා මාළු අල්ලන මිනිසුන්ගේ ජීවිතවල මෙතෙක් නොකියූ කතාවක් ඇතැයි ද සිතිණි. කොහොම වුණත් ඒ සියලු කතා සෙවිමේ අදහසින් දින කිහිපයක්ම බේරේ වැව වටේ යන්නට වීමු.

කිසිම ඔරුකාරයෙකු නැතිව බලාපොරොත්තු බිදගත් දින කිහිපයකට පසු උදෑසනකදි ඔහු අපට හමු විය. ඒ නෙලුම් කුලුන පාමුල බේරේ වැවේ (ප්‍රදර්ශන හා සම්මේලන ආයතනය පිටුපස කොටසේ) මාළු අල්ලමින් සිටියදීය. ඔහු සිටියේ බේරේ වැව මැදට වන්නට ය.

අපි ඔහුට අතවනා කතා කළෙමු. කරමින් සිටි කාර්ය පසෙක ලා ඔහු අප අසලට පැමිණියේය. ඔහු අජන්තය. පදිංචිය කොම්පඤ්ඤ විදීයේය.

“මාළු අල්ලන එක තමයි මගේ රස්සාව. සමහරු මෙතැනදිම අපෙන් මාළු මිලට ගන්නවා. මම විතරක් නෙමෙයි තව දහදොළොස් දෙනෙක් ඉන්නවා මේ රස්සාවෙන් ජීවත් වෙන. ඒත් අපිට මේ රස්සාවත් නැති වෙයි කියලා තමයි දැන් දැන ගන්න ලැබෙන ආරංචි වලින් තියෙන්නේ.” අජන්ත කීවේ පසුතැවිල්ලෙනි.

“ඒ මොකද?”

“නෙලුම් කුලුන විවෘත කළාට පස්සේ අපිට මේකේ මාළු අල්ලන්න දෙන්නේ නැහැ කියලා තමයි ආරංචිය. එහෙම වුණොත් අපි අනාථයි. අවුරුදු ගානක් තිස්සේ මේ රස්සාව කරපු අපි මොනවා කියලා කරන්නද?“

අජන්ත අප සමඟ කතා කරමින් සිටින විට අයෙකු පැමිණියේ මාළු මිලට ගැනීමටය.

“මම වෙනදාටත් ගෙනියනවා.”

ගනුදෙනුකරුවා එසේ පවසමින් අජන්තට මුදල් දී ගෙනා බෑග්වලට මාළු දමා ගත්තේය. අජන්ත ඒ උදෑසන පළමු ගනුදෙනුව කළේ ඇගිලි ඇට කඩා මුදල් අතට ගනිමිනි. හිරු කෙමෙන් දැඩි වෙද්දි අජන්ත ඔරුව රැගෙන වැව මැදට යන්නට විය. අප ඔහුගෙන් සමුගෙන ආවේ පසු දින උදැසන ද ඔවුන් හමුවීමේ බලා පොරොත්තුවෙනි.

දවස අලුත්ය. උදෑසන හතහමාර වුව ද හිරු රැස් දැඩිය. ඡායාරූප ශිල්පි විමල් හා මම පාරට බැස්සේ බේරේ වැවේ මාව අල්ලන්නන් කිහිප දෙනෙකු සොයා යෑමේ අරමුණිනි.

“උදේට පාලම ගාව තමයි ඉන්නේ.”

පෙර දින අජන්ත දුන් ඔත්තුවට අනුව අප රීගල් සිනමා ශාලාව පසු කර මදක් ඉදිරියට ගියෙමු. තැඹිලි පැහැ පාලමේ දකුණු පසින් ඇති පටු පාරෙන් ඇළ දිගේ යන්නට විමු. ගමන අසීරුය. එය දුම්රියෙන් අතර මඟින් බැස ගන්නා මඟීන් මෙන්ම වෙනත් අය යන කෙටි මඟකි.

නිවාස අධිකාරි ගෙඩනැගිල්ල පිටුපස ඇති බේරේ වැව් කොටසේ ඒ වන විටත් එක් අයෙක් දැල් එළමින් සිටියේය. තවත් කෙනෙක් ඔරුවෙන් ගෙනා ජපන් කොරලි කෙනෙකුට අලෙවි කරමින් සිටියේය. බේරේ වැවේ තැන තැන සිටින පෙලිකන්ලා ධීවරයන්ට තනිරකින්නා සේය. මොහොතකින් කොළඹ දෙසට යන දුම්රියක් පැමිණියෙන් ජපන් කොරලි පිරවූ මාළු පෙට්ටියක් දුම්රියට පැටවෙනු දුරින් සිටි අප දුටුවෙමු. අසල සිටි ධීවරයන් කිහිප දෙනෙකුට අපි පැමිණි කාරණය පැවැසීමු.

“කිසි කෙනෙක් නෑ අපි ගැන කතා කරන්න. හෙට අනිද්දාට අපේ රස්සාව අතහරින්න වෙයිද දන්නේ නැ. මෙහෙ ඉන්නවා අවුරු විස්ස තිහ බේරේ වැවේ මාළු අල්ලලා දරු පවුල් ජීවත් කරවන අය.”

ඔහු එසේ කියමින් මිත්‍රයන්ට අප ආ පණිවුඩය කියන්නට ගියේය.

අසීම් ජීවත් වන්නේ කොම්පඤ්ඤ වීදියේ රේල් පාර අද්දර නිවෙසකය. අප හා කතා “කරන විට ඔහුගේ දෑස් කඳුළින් පිරිණි.

“මම අවුරුදු දහයේ ඉඳන් මාළු අල්ලන්නේ. දැන් මගේ වයස අවුරුදු තිස්හතයි. මගෙ බිරියට පිළිකාවක් හැදිලා ප්‍රතිකාර කරනවා. ඇයට ඔපරේෂන් විසි එකක් කරලා තියෙනවා. හැමදාම බෙහෙත්වලට රුපියල් 1300ක් යනවා. මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. හොඳට මාළු අහුවුණොත් දවසට රුපියල් දෙදහස් පන්සීයක් හොයාගන්න පුළුවන්. වැඩි පුරම බේරේ වැවේ ඉන්නේ ජපන් කොරලි. අපිට මේ රස්සාව නැති වුණොත් වෙන කරන්න දෙයකුත් නැහැ. ”

අසීම් එසේ කියමින් යන්නට ගියේය.

බේරේ වැවේ මාළු අල්ලන්නන් අතර සිටින ටී .පී. කරීම් අතීතය හොඳින් මතක ඇති අයෙකි.

“මම උපන්නේ 1946. කොළඹ මගෙ ගම. මම මුලින් රස්සාවල් කිහිපයක්ම කළා. ඒවා නැති වුණාට පස්සේ මාළු අල්ලන්න පටන් ගත්තා. ඉස්සර බේරේ වැවේ කණ්ඩායම් තුනක් හිටියා මාළු අල්ලන. පවුල් ගොඩක් මාළු රස්සාවෙන් ජීවත් වුණා. මුලින් ධීවර සමිතියකුත් තිබුණා. මම මේ රස්සාව පටන් අරගෙන අවුරුදු තිස්පහකට වැඩියි. ඒ කාලේ කොරලි මාළු සියයක් රුපියල් තුනයි. දැන්නම් ඊට වඩා මිලයි. මට මතකයි 1987 අවුරුද්දේ ඒ කාලේ හිටපු ධීවර ඇමති පෙස්ටස් පෙරේරා මහත්තයා බෙරේ වැවේ ජපන් කොරලි බෝකරන ව්‍යාපෘතියක් පටන් ගත්තා. පෙට්ටි හතර හතර හදලා , බැරල් දාලා, ලී දාලා තමයි මාළු පැටවු දාලා බෝ කෙරුවේ. ඉස්සර හිටපු ගමන් වරායේ දොර අරිනවා. එතකොට ඒ පැත්තේ තියෙන වතුර බේරේ වැවට එනවා. ඉස්සර මන්නාවෝ, ගොඩයෝ , කූනිස්සෝ, ඉස්සෝ කකුළුවෝ එහෙමත් අහුවෙනවා.” කරීම් මාමා තමන් දන්නා අතීතය පවසන්නේය.

බේරේ වැව නිසා දිවි රැකගන්නා මේ ධීවරයෝද බේරේ වැව ගැන දුක්වෙති.

“ඉස්සර අවුරදු පහකට සැරයක් බේරේ වැවේ මඩ සුද්ද කරනවා. වැව අඩි පහළොවක් දොළහක් විතර ගැඹුරුයි. දැන්නම් අවුරදු පහළොවකින් වත් සුද්ද කරලා නැහැ. ඉස්සර අපට ඔරු සහනාධාරත් ලැබුණා. දැන් ඔරු කිහිපයයි තියෙන්නේ. මාරුවෙන් මාරුවට මේ ඔරු ටිකේ සහයෝගෙන් යනවා. මුදල් අමාත්‍යාංශය, ගංගාරාමය, පැත්තට යන්න අපට අවසර නැහැ. දැන් මගේ ඔරුව කැඩිලා .ඔරුවක් ගන්න රැපියල් අටදාහක් විතර ඕන. මේ දවස්වල අපේ ගෙවල් තිබුණ හරියේ අලුතෙන් තට්ටු නිවාස හදනවා. ඒවා හදලා ඉවර වෙන තුරු අපිට කුලියට ඉන්න වෙලා තියෙන්නේ. මම දැන් ඉන්නේ එඬේරමුල්ලේ. එහෙ ඉදලා උදේ හය වන විට පා පැදියෙන් මෙතැනට එනවා.”කරීම් කියයි. ඔවුන්ගේ ඔරු ගාල්කර ඇත්තේ රීගල් පාලම යටය.

“අනුන්ට අතනොපා ස්ව උත්සාහයෙන් ජීවත් වන මේ මිනිසුන් කියන්නේ බේරේ වැව නැති නම් තමන්ට ජීවිතයක් ද නැතැයි කියාය.

රීගල් පාලම පසු කර යළිත් ඩී. ආර්. විජයවර්ධන මාවත දිගේ පැමිණි අප ප්‍රදර්ශන හා සම්මේලන ගොඩනැගිල්ල පිටුපසින් අලුතින් ඉදි කරමින් තිබෙන ඇවිදින මං තීරු දිගේ නෙලුම් කුලුන දෙසට යන්නට විමු. වේලාව උදෑසන නවය පසුවී තිබිණි. ඒ වන විටත් නෙලුම් කුලුන පාමුල බේරේ වැවේ දැල් එළමින් සිටි රෝහණ කුමාර අප සිටි දෙසට එන්නට විය. ඔහු ඔරුවේ සිට වැටෙන් මෙහා සිටි අප හා කතා කරන්නට විය.

“මම ඉන්නේ දෙමටගොඩ. මාළු අල්ලන එක තමයි මගේ ප්‍රධාන රස්සාව. ඒත් මාළු අල්ලන්න එන්නේ නැති දවසට මම යතුරු කපන්න යනවා. දැන් තමයි දැල එළුවේ. හවස හතර විතර වන තුරු ඉන්නවා. දවසට මාළු කිලෝ දහයක් දොළහක් අල්ලා ගන්න පුළුවන්. කොරලින්ට අමතරව කිරි කනෙයියෝ, ලුලෝ, හුංගෝ, වගේ එවුනුත් හම්බ වෙනවා. මම අවුරදු දහයේ ඉදලා මාළු අල්ලපු එක තමයි කෙරුවේ දැන් මගෙ වයස අවුරුදු හතලිස් පහයි. දෙයියනේ කියලා අපි ජීවත් වුණේ මේ රස්සාවෙන්.”

රෝහණ කියන්නේ එදා කෙසේ වෙතත් හෙට මේ රස්සාව කරන්නට තමන්ට අවසර නැති වේදැයි යන අවිශ්වාසයෙනි.

පසුගිය වසර විස්සක් තිස්සේ කොළඹ නගරය බෙහෙවින් වෙනස්කම් වලට භාජනය වී ඇත. එ් දවස නොතිබුණ අහස සිඹින තට්ටු ගොඩනැගිලි දැන් කොයි අත බැලුවත් පෙනෙයි. යෝධයකු සේ නැඟී සිටින නෙලුම් කුලුන ද විවෘත වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

කොළඹ කොතරම් දියුණු වුවද තවමත් සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ යෙදෙන මිනිසුන් කොළඹ සිටින බව විශ්වාස නොකරන්නන්ට මෙය පිළිගත හැකි සාක්ෂියක් වනු ඇත.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්