පරාධීන මානසිකත්වයෙන් එළියට එන්න | Page 2 | සිළුමිණ

පරාධීන මානසිකත්වයෙන් එළියට එන්න

මෙරට මානව සම්පත් කළමනාකරණය හා ආකල්පමය පසුගාමීත්වය පිළිබඳ ව කතා කිරීමේ දී කෙනකු තුළ පවතින ස්වෝත්සාහයෙන් නැඟී සිටීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. නායකත්වය පටන්ගන්නේ මානසිකත්වයෙනි. අප බොහෝ දෙනා සිතා සිටින්නේ “නායකයෝ උඩයි උඩයි අපි ඔක්කොම බිමයි බිමයි” කියා ය. මේ නිසා නායකයා කෙරෙහි ගැති භාවයක් නැති නම් අන්ධ විශ්වාසයක් ඇති කරගනීමට බොහෝදෙනා පෙලඹී සිටිති. එහෙත් සිදු විය යුත්තේ එය නොව තමා තුළ සිටින නායකයා හඳුනා ගැනීම ය. මා තුළ පවතින දක්ෂතාව, කුසලතාව, හැකියා කවරේද? ඒවා ඔප්නංවාගෙන ඉදිරියට යන්නේ කෙසේද? කණගාටුවට කරුණ වන්නේ මෙරට පාසල් පද්ධතිය තුළ මීට අවශ්‍ය ආකල්පමය මඟ පෙන්වීම නොමැති වීම ය.

බොහෝ මවුපියන් ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් කර ගැනීමට දරුවන් ඇදගෙන යනවා විනා; ඔවුන් තුළ තිබෙන නිසග හැකියාවන් මතු කර ගැනීමට අවශ්‍ය නැත. ඔහේ යන්නන් වාලේ යන රැල්ල සමඟ යනවා විනා මේ කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීමට උනන්දුවක් ඔවුන්ට නැත. මෙනිසා දරුවන් තුළ පවතින සුවිශේෂී හැකියාවන් දක්ෂතාවයන් මොනවාද යන්න හඳුනාගෙන ඒ අනුව ඔවුන්ගේ ජීවන මාර්ගය සොයා ගැනීමට පිළිවන්කමක් ලැබී නැත. දිනක් මුත්තයියා මුරලිදරන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ “මගේ පරිගණක හැකියාව බින්දුවයි, මට ලැප්ටොප් එකක් යූස් කරන්න තියා අල්ලන්නවත් දැනන් සිටියේ නැහැයි” කියා ය. එසේ සඳහන් කළ පමණින් ඔහුට පන්ඳු යැවීමේ විශිෂ්ට හැකියාව නිසා ලැබුණු පිළිගැනීම කිසිවිටෙකත් අවතක්සේරුවට ලක් වූයේ නැත. එසේ වූයේ ඔහු තම නිසඟ හැකියාව දියුණු කර ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත් වූ නිසා ය. නමුත් අප සියලු දෙනා එක ම කෝණයකින් එක ම ආකෘතියකින් ලෝකය දෙස බැලීමට පුරුදු ව සිටිති. එනිසා තරගයකට මෙන් දරුවන් අධ්‍යාපන ඉලක්ක කරා යොමු කරනවා විනා ඔවුන් තුළ තිබෙන නිසඟ හැකියා හඳුනා ගන්නේ නැත. මෙය ඉතාම බරපතල කාරණයකි. මන්ද යත් සෙසු රටවල් වේගයෙන් දියුණුව කරා පිවිස ඇත්තේ එරට මානව සම්පත වඩා ප්‍රතිඵලදායී ලෙස කළමනාකරණය කර ඇති නිසා ය.

දක්ෂතා හඳුනා ගැනීම

මීළඟ කාරණය වන්නේ තමන් කුමන දේකට දක්ෂතාවක් දක්වන්නේ ද යන්න පිළිබඳ ව තමා තුළ ඇති අවබෝධයයි. ඔහුගේ හෝ ඇයගේ අනාගත රැකියාව තීරණය විය යුත්තේ එකී දක්ෂතාව මත ය. එහෙත් අපි බොහෝදෙනා කරන්නේ වැඩි ඉල්ලුමක් ඇති රැකියා සඳහා යොමුවීමට අවශ්‍ය සුදුසුකම් සාධනය කිරීම විනා අප ඊට දක්ෂදැයි කල්පනා නොකිරීම ය. මෙනිසා ආයතන තුළ පවා විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතුව තිබේ. සුදුස්සාට සුදුසු තැන නොලැබී තිබේ. කාලයක් වසංගතයක් මෙන් බොහෝ දෙනා චාර්ටඩ්, සිමා ආදී වෘත්තීය අධ්‍යාපනයන්හි නිරත විය. පසුව මේ දෙකම අතහැර මාර්කටින් කිරීමට උනන්දු විය. එහෙත් මේ රැලිවලින් පන්ති පැවැත්වූවන් පොහොසත් වුණා මිස ඔවුන්ට සිදු වූ යහපත නම් ඉතා අවම ය. ඊළඟ කාරණය වන්නේ තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා දක්ෂතා ඉවහල් කරගන්නේ කෙසේ ද යන්න ය. මෙහි දී අප තුළ ඇති ප්‍රධාන මිථ්‍යා විශ්වාසයක් වන්නේ රජයේ රැකියා පිළිබඳ ව සිහින දැකීම ය. ඇත්තෙන් ම මෙය යල් පැන ගිය ගතානුගතික ආකල්පයකි. මම මොරටුව විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉන්ජිනේරු විද්‍යාව හදාරා උපාධිය ලබාගත් පසුව බොහෝ අයතනවලට අයැදුම් පත් යොමු කළෙමි. මා සමඟ සිටි බොහෝ මිතුරු මිතුරියන්ගේ අරමුණ වූයේ විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා ගැනීම පමණ ය. රජයෙන් ලබාදෙන සුරක්ෂිත ම රැකියාව එය බව ඔවුහු විශ්වාස කළහ. නමුත් කිසියම් හේතුවක් මත ඒ වසරේ විදුලිබල මණ්ඩලයට කිසිවකු බඳවා ගැනුණේ නැත.

මිථ්‍යාවෙන් ඉවත් වී ජීවිතය ජය ගැනීම

ඒ වන විට මා එක්තරා අන්තර්ජාතික සමාගමක පුහුණ කළමනාකාරවරයකු වීම සඳහා අයැදුම්පතක් යොමු කර තිබූ බැවින් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමක් ලැබුණි. එම පරීක්ෂණයට මුහුණ දීමෙන් අනතුරුව ඔවුන් මට පවසා සිටියේ “අපි ඔබව බඳවා ගන්නේ ඔබේ ඉංජිනේරු උපාධිය නිසා නොව ඔබේ කළමනාකරණ දක්ෂතාව නිසා” බවයි. මේ රැකියාව ගැන මා මගේ මිත්තණියට කියූ අවස්ථාවේ ඇය විමසා සිටියේ “ඇයි පුතේ ආණ්ඩුවේ රස්සාවක් ලැබුණේ නැද්ද?” කියා ය. මේ මානසිකත්වය අදත් අප බොහෝදෙනා තුළ තිබේ.

වසර ගණනකට පෙර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් මගේ මතකයට නැඟේ. මේ උත්සවය හමාර වී ඉන් පිටතට පැමිණ උපාධි ලෝගු හැඳ සිටි දරුවෝ කළුපටි බැඳ, කළු කොඩි ගෙන කිසියම් පත්‍රිකාවක් බෙදෙමින් රජයේ රැකියා දියව් දියව් යනුවෙන් කෑමොර දෙමින් උද්ඝෝෂණයක නිරත වූහ. මේ තුළ මා දකින්නේ ඉතා ම පරාධීන මානසිකත්වයකි. තමන් ලද ජයග්‍රහණයේ සතුට සමරනවා වෙනුවට ඔවුන් කළේ රජයේ රැකියා ඉල්ලමින් තම පරාධීන මානසිකත්වය මොනවට ප්‍රදර්ශනය කිරීම ය. මීට මූලික හේතුව වන්නේ රැකියාව පිළිබඳව අනවශ්‍ය සුරක්ෂිත භාවයක් තම මනසේ ගොඩනඟාගෙන තිබීම ය. මෙය පෙර පරම්පරාවෙන් පැමිණි ආකල්පයක් වුව මේ තුළ ඇත්තේ අභියෝග බාරගැනීමට ඔවුන් තුළ තිබෙන නොහැකියාව ය. එනම්, අප කෙතරම් දුරට අභියෝග බාර ගැනීමට ලෑස්තිද; අවදධානම බාර ගැනීමට ලෑස්තිද? යන්න ය. මේ තත්ත්වය පිළිබඳව සලකා බැලීමේ දී අප සිටින්නේ ඉතාම පසුගාමී තැනක ය. අද ලෝකය විශාල ලෙස සෑම දෙනාට ම විවෘත ව තිබේ. ගෝලීයකරණයට ලක්ව ඇති ලෝකය තුළ බොහෝ අවස්ථා සෑම දෙනාට ම විවෘත ව තිබේ. අප ආයතනය මැදපෙරදිග රටවල් ගණනාවක ක්‍රියාත්මක වන අතර; එහි පැමිණෙන බොහෝ දෙනා විවිධ දුෂ්කරතා මත සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනීසිට වෙනත් පාඨමාලා හදාරා එ් රටවලට පැමිණ, ශක්තිමත් ආර්ථික ස්ථාවරයක් ළඟා කරගත් අයයි. අනෙක් කාරණාව වන්නේ ඒ ඔස්සේ ගමන් කිරීමට ඇති ආත්ම විශ්වාසය යි. අපේ මානසිකත්වය කෙබඳු තැනක පවතින්නේ ද යන්න අවබෝධ කර ගැනීම මෙහි දී වඩා වැදගත් ය. අපි බොහෝ විට අවදානම් බාරගැනීමට හා අවිනිශ්චිතාවන්ට මුහුණ දීමට මැළි කමක් දක්වමු. එනිසා ලෙහෙසිම මාර්ගය ලෙස දකින්නේ රජයේ රැකියාවක් ලබාගැනීම ය. මන්දයත් එය ජීවිත කාලයට ම ලැබෙන සුරක්ෂිත ආදායම් මාර්ගයක් වන නිසා ය.

ස්වශක්තියෙන් නැඟී සිටීම

එහෙත් අද දියුණුවට පත් වී සිටින ලෝකයේ සෙසු රටවල් මේ තරම් ඉදිරියටවිත් ඇත්තේ එරට තරුණ ප්‍රජාව අවදානම හා අවිනිශ්චිතභාවය අභියෝගයක් කරගෙන ඊට සාර්ථක ව මුහුණ දෙමින් සිටින නිසා ය. ඒනිසා අප ආයතනය තුළ අධ්‍යාපනය යොමුව ඇත්තේ ස්වශක්තියෙන් නැඟී සිටිය හැකි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ය. උදාහරණයක් ලෙස කෙනෙකු කිසියම් ව්‍යාපාරයක් පිළිබඳ අදහසක් රැගෙන අප වෙත පැමිණිවිට ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඒ සඳහා උපකාර කළ හැකි පුද්ගලයන් මුණ ගැස්වීම, අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීම උපකාර කිරීම වැනි ක්‍රමවේදයක් සකස් කර තිබේ. ඒ අනුව ස්වශක්තියෙන් නැඟී සිටින්නන්ට ඉදිරියට යෑම සඳහා මඟ විවර කරදෙන ආයතනයක් ලෙස අප ආයතනය ක්‍රියා කරයි. මෙවැනි වැඩපිළිවෙළ රැසක් මේ වන විට ලංකාවේ ව්‍යාප්තව තිබේ. ඇතැම් මූල්‍ය ආයතන ඒ සඳහා සහයෝගය ලබාදෙන අතර ඇතැම් සමාගම් ද මේ සඳහා සහයෝගය දක්වයි. මේ සඳහා හොඳ ම උදාහරණය වන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයයි. ඉතා දක්ෂ තරුණ දරුවන් සමාරම්භක ආයතන තමන් විසින් ම ගොඩනඟා ගෙන තම යාළු හිතමිත්‍රාදීන් සමඟ එකතු වී සාර්ථක ආයතන බවට පත්ව ඇත. මින් ඔවුන්ට විශාල ලෙස මුදල් උපයා ගැනීමට හැකියාව ලැබී ඇත. ලෝකය පුරා විවිධ රටවල මෙවැනි ආයතන ව්‍යාප්ත ව පවති. උදාහරණයක් ලෙස ගූගල් සමාගම ගතහොත් එය පටන් ගත්තේ ස්ටැෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මිතුරන් දෙදෙනෙකි. එමෙන්ම තම ගරාජයේ සිට පරිගණක නිර්මාණය කළ මයිකල් ඩෙල්, ඩෙල් සමාගම ලෙස අද ලෝකයේ අංක එකේ සන්නාමයක් හිමිකරගත් සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්ව සිටියි. මේ සෑම දෙනා ම විශ්වාසය තබා ඇත්තේ තම හැකියාව මත ය. එසේම අවදානමට හා අවිනිශ්චිතභාවයට මුහුණ දීමට ඇති මානසික ශක්තිය යි. අපේ රටේ තරුණ තරුණියන් ද ඒ ආකාරයට තමන් පිළිබඳ ව ආත්ම විශ්වාසයක් සහ අභිමානයක් ඇති කර ගැනීම අවශ්‍ය වේ.

රජයේ වගකීම

මෙහි දී මවුපියන් විසින් ලබාදෙන තල්ලුව බෙහෙවින් වැදගත් ය. ඔඩෙල් වැනි සන්නාමයක් සහිත ව්‍යාපාරයක් ඔටාරා චන්දීරම් මහත්මියට ගොඩනඟා ගැනීමට හැකි වූයේ ඇගේ මාපියන් සහ පවුලේ අයගේ උපකාර නිසා ය. එහෙත් එලෙස සෑම පවුලකට ම උපකාර කිරීමේ හැකියාවක් නැත. මෙරට එවැනි පවුල් පසුබිමක් නැති නමුත් හැකියාව ඇති දරිද්‍රතාවෙන් පෙළෙන දරුවෝ බොහෝ දෙනෙක් සිටිති. රජය මැදිහත් වීම අවශ්‍ය වන්නේ මෙහි දී ය. මේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය උපකාර සලසා දී ඔවුන් දිරි ගැන්වීමට රජය සතු වගකීමක් ය. මේ සඳහා තරුණ ව්‍යවසායකයන්ට අත හිත දිය හැකි වැඩ පිළිවෙළක් රටට හඳුන්වාදීම අවශ්‍යය ය. “අපි ඔබට සහය වන්නෙමු, අපි ඔබට අත්වැලක් වන්නෙමු, සාර්ථකත්වය කරා යනතුරු අපි ඔබ අත්නොහැර ඔබ සමඟ සිටින්නෙමු” වැනි උදාර පරමාර්ථයක් යටතේ රජය මීට මැදිහත් විය යුතුය.

කුසලතා වර්ධනය කිරීම

මෙවැනි වැඩ පිළිවෙළක් සාර්ථක කර ගැනීමට නම් පවතින විභාග කෙන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට කුසලතා සංවර්ධනය සඳහා දරුවන් යොමු කරන අධ්‍යාපන ක්‍රමයක් සකස් විය යුතුය. එහි දී ගතානුගතික ලෙස සිතමින් දරුවන් විභාග කේද්‍රීය මානසිකත්වයක සිර කරන මවුපියන්ගේ මෙන් ම ගුරුවරුන්ගේද ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යව‍ශ්‍යය ය. ඒ සඳහා මවුපියන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් හා ගුරු පුහුණු වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම කඩිනමින් සිදු විය යුතුය. වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා මේ සඳහා කිසියම් උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට තිබේ. නමුත් ඒ තුළ මවුපියන් හා ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩ පිළිවෙළක් අන්තර්ගතව ඇත්දැයි මම නොදනිමි. දරුවන්ගේ තර්ක බුද්ධිය වඩවාලමින් ඔවුන්ගේ නිසඟ හැකියාවන් දිරිගන්වන පසුබිමක් පාසල් තුළ නිර්මාණය කිරීමට නම් ගුරුවරුන් තුළ ඒ පිළිබඳ ව අවබෝධයක් තිබිය යුතුය. එසේ වුවහොත් පාරවල පිකටින් කරමින් වීදි පුරා සරන පරාධීන මානසිකත්වයකින් යුතු දරුවන් පිරිසක් මෙරට බිහිවන්නේ නැත. ඒ වෙනුවට අභිමානවත් ව තමන් ගැන සිතන දරු පරපුරක් අපට මේ රට තුළ නිර්මාණය කළ හැකිය. එවැනි දරු පරපුරකට දේශපාලකයා පසුපසගොස් රජයේ රැකියා ඉල්ලමින් වහල්කම් කිරීමට අවශ්‍ය නැත. ඔවුන් ස්වාධීන මිනිසුන් ය. මෙමඟින් දියුණු දේශපාලන වපසරියක් ද රටේ නිර්මාණය වේ. මේ කාර්යයේ දී මවුපියන්ට විශාල වගකීමක් පැවරී තිබේ. තම දරුවා සිතුවමක් අඳියි නම්, කැඩිච්ච රේඩියෝවක් සෑදීමට උත්සාහ කරයි නම් ඔහුට හෝ ඇයට ඊට ඉඩ දිය යුතුය. නැතිව ඔවුණට බැන වැදී තරවටු කර විභාග තරග සඳහා දරුවන් පෙලඹවීම නොකළ යුතුය. ඒ වෙනුවට තම දරුවාගේ නිසග දක්ෂතාව කුමක්දැයි හඳුනාගෙන ඔවුන් ඒ සඳහා යොමු කිරීම, දිරිගැන්වීම, හැකි පමණින් අතහත දීම මවුපියන්ගේ වගකීම ය. එසේ වුව හොත් මේ රට මීට වඩා සමෘද්ධිමත් යහපත් රටක් බවට පත්වනවා නොවනුමාන ය.

අදහස්