මගේ දුව මං ඉන්න ලෝකෙට අරගෙන යනවා | සිළුමිණ

මගේ දුව මං ඉන්න ලෝකෙට අරගෙන යනවා

යම් කෙනෙකු, යම් දෙයක්, යම් ස්ථානයක් කෙරෙහි ඒ තන්හි සිත බැඳී හාවීම තණ්හාවයි. ඒ දෙය කෙරෙහි ඇප කැප වී දැඩි සේ අල්ලාගැනීම උපාදාන නම් වේ. යම් කෙනෙකු ලෝභයෙන් හෝ ද්වේශයක් හේතු කොට ගෙන යම් දෙයක් කෙරෙහි සිතින් දැඩි සේ අල්ලාගෙන සිටීම අභිසංඛාරා නම් වේ. තදින් ඇලීම ගලවා දැමීමට අපහසු මෙන් ම මිනිස් සිතේ එසේ තදින් අල්ලාගත් කැමැත්ත හෝ අකැමැත්ත අශෘතවත් පෘතග්ජනයාට සංසාර ගමනේදී ගතියක් බවට පත්වේ.

විවාහක කාන්තාවක් දරුවෙකු කෙ‍ෙරහි කැමැත්තෙන් වුවමනාවෙන් පිළිසිඳගත් දා පටන් නූපන් දරුවා වෙනුවෙන් ඇප කැපවී මහත් වූ ආසාවකින් කටයුතු කරයි. ඒ ආසාව, ආදරය කොයි තරම් ප්‍රබල ද කිවහොත් මානසිකව ගොඩ නැගුණු ඒ හැඟීම රූපකායේ ඇට මස් ලේවලට පවා සම්බන්ධ වේ. ඒ දරුවා පෝෂණය කිරීම සඳහා තමන්ගේ ජීවිතය හෙවත් නාම රූප පද්ධතිය ලෝක ධර්මතාවක් ලෙස පියකරු හා රුධිර පද්ධතිය සූදානම් කරයි. මහත් වූ විළිරුදාව හා ප්‍රසුති වේදනාව අප්‍රමාණ උතුම් සතුටක් කරගනී. ඒ වේදනාව මඟ හරවන නවීන විද්‍යාත්මක ක්‍රමෝපාය මඟින් උතුම් වින්දනය ද මග හරවනවා මෙන්ම ඒ ආදරයට ද යම් යම් තරමින් බලපාන බව ඒ මවුවරු නොදනිති. සොබාදහමට පටහැනි වන හේතුවේ ඵලය ද වෙනස් වේ.

එවැනි දහසක් අනාගත සිතුම් පැතුම් සහිතව දසමසක් කුස දරාගෙන ආරක්ෂා කැරගෙන සිට ලෝකයට ඒ රන්කැටියා බිහි කරන අවස්ථාවේ මව මරණයට පත් වුවහොත් ඒ අවස්ථාවේ ඇගේ සිතුවිලි පරම්පරාව කොයි ආකාරයකින් ක්‍රියාත්මක වේ දැයි සාමාන්‍ය කෙනෙකුට සිතා ගන්නට පවා නොහැකි තරම් ය.

ගම්පහ සිරිමතී තිස් පස් හැවිරිදි විවාහක කාන්තාවකි. රජයේ තක්සේරු නිලධාරිනියක වන ඇය එක් දරු මවකි. හතළිස් හැවිරිදි රංජි ඇගේ සැමියා ය. ඉංජිනේරුවරයෙකි. රංජිගේ කලින් විවාහයේ දියණිය සිවු හැවිරිදිය. පුංචි අම්මා සිරිමතී මේ දැරිය නිර්මාණීට තමන්ගේ දරුවාට මෙන් ම ආදරය කරන්නීය. අවුරුද්දක් වයසැති පුතා සුපුන් දැන් නිතර අසනීප වෙයි. නින්දෙන් හිටි හැටියේ කෑ ගසාගෙන බියට පත්වී අඬන්නට පටන් ගනී. සිරිමතී නිදා සිටියදී හීනෙන් කාන්තාවක් පැමිණ ඇගේ ගෙල මිරිකා මරන්නට තැත් කිරීම නිසා ඇය ද කෑ ගසාගෙන අවදි වෙයි. රාත්‍රියට ඔවුන් ගේ නිදන කාමරයේ සිවිලිම උඩ කෙනෙක් ඇවිදින සද්ද බද්ද ඇහෙන්නට විය.

මේ මවගේත් දරුවාගේත් ශාරීරික අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. වත් පිළිවෙත් කළත් එයින් ද සහනයක් නොවීය. අවසානයේ ඔවුහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණියහ. මේ ලෙඩ දුක් කරදර මැද දැනට දින දෙකකට ඉහත සිට සිරිමතී නාන කාමරයට ගිය විට පිටත සිටින කෙනෙක් දොරට තට්ටු කරන බවක් ඇය කීවාය.

පළමු රෝග පරීක්ෂාවේදී සිරිමතී ගැහෙන්න වූ අතර සුපුන් පුතා බියට පත් අඩන්නට විය. ඔවුන්ට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව නිගමනය කළ ගවේෂකවරයා ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ සිරිමතීගේ ශරීරය තුළින් භූතාත්මයක් මතු වී අඬන්නට විය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරය තුළින් මතු වෙලා අඬන්නේ?” යි ඇසීය.

“මම නිල්මිණි” යි භූතාත්මය උත්තර දුන්නාය.

“කවුද නිල්මිණී කියන්නේ?”

“මේ රංජිගෙ නෝනා.”

“නැහැ. මේ ඉන්නේ රංජිගෙ නෝනා. සිරිමතී.”

“සිරිමතීට කලින් මමයි රංජිගේ නෝනා.”

“ඔබ මොනවා වෙලාද මැරුණේ?”

“මේ නිර්මාණී දුව ලැබෙන්න ගිහිල්ලා. දරු ප්‍රසූතියේදි”

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“මම කැමති නැහැ රංජි සිරිමතී විවාහ කරගත්තාට.”

“ඉරිසියාව නේද? නිල්මිණි මැරුණා. ඉතින් රංජිත් ජීවත් වෙන්න ඕනෑ නේද?”

“ඒ වුණාට මම කැමති නැහැ මගේ දරුවාට වෙනසක්, පාඩුවක් වේවි කියලා. මේ ගෙදර තියෙන හැම දේම මගේ. නිර්මාණි දුව මගේ. සිරිමතී ළමයා ලැබෙන්න ඉන්දැද්දි කුසේදිම මරන්න උත්සාහ කළා. ඒක හරි ගියේ නෑ.”

“ඇයි සිරිමතීගේ කුසේ සිටිය දරුවා මරා ගන්න බැරි වුණේ?”

“පොඩි එකා බලවත්. ඒ නිසා මරා ගන්න බැරිවුණා. සිරිමතීත් දරුවා ලැබෙන්න ඉන්දැද්දි බෝධි පූජා පැවැත්තුව. ගෙදරත් උදේ හවස ආගමික වත් පිළිවෙත් කළා. ඒ නිසා පොඩි එකා මරා ගන්න බැරි වුණා.”

“ඔබ බෞද්ධ ද?”

“ඔව්”

“බුදු දහම කියන්නේ පටිච්චසමුප්පාද ධර්මය. හේතුවල ඵලය. සංසාරයේ කළ වරදක් නිසා දුව උපදින වේලාවෙ ඔබ මරණයට පත්වුණා. දැන් ඔබ නිල්මිණි නොවෙයි. ප්‍රේතියක්. පෙර ජාතියක කළ පාපයක හේතුවෙන් ඔබ අකාලයේ මැරුණා. නිර්මාණිට අම්මා කෙනෙක් නැති වුණා. ඒ වුණාට නිර්මාණිගේ පෙර පිනකට මේ දෙවැනි අම්මා ලැබුණා.” යි ගවේෂකවරයා “නිර්මාණී දුවේ! මේ අම්මා ඔයාට ගහනවා බණිනවා නේද? ඔයාට ආදරේ නෑ නේදැ?” යි කුඩා දැරියගෙන් ඇසීය.

“නෑ... නෑ... අංකල් බොරු කියන්න එපා. මේ අම්මා මට ආදරෙයි. නේද තාත්ති” කියා රංජි සාක්කිකරුවෙකු කළේය.

“අන්න බලන්න. ඔයාගේ දුව නිර්මාණිට මේ සිරිමතී කොයි තරම් ආදරේද? කියලා” යි ප්‍රේතියගෙන් ඇසීය.

“ඒ වුණාට මගේ දරුවා මට ඕනෑ.”

“ඔබට මොකටද?”

“මම මගේ දුව මම ඉන්න ලෝකෙට අරගෙන යනවා.”

“කොහොමද ගෙනියන්නේ?”

“මරලා ගෙනියනවා.”

“දුව මරලා ගෙනියනවා නම් සිරිමතීටයි සුපුන්ටයි ලෙඩ කරන්නේ මොකද? එහෙම නම් නිර්මාණිට ලෙඩ කරන්න ඕනෑ නේද?”

“නිර්මාණි මගේ දුව. එයාට ලෙඩ කරන්න මම කැමති නැහැ.”

“ඒ මොකද?”

“මම දුවට ආදරෙයි.”

“ඔබ දුවට ආදරේ නම් දුවට කන්න අඳින්න ගෙනැත් දෙන්න. ඒවා කරන්නේ මේ සිරිමතීනෙ. දුවට ඔබ ගැන මතකත් නැහැ. දුව සිරිමතීට ආදරෙයි. ඔබ දුවට ආදරේ නම් මේ අයට නිදහසේ ඉන්න ඉඩ දෙන්න. තවත් කරදර කළොත් ඒක මහා පාපයක්. එහෙම වුණොත් ඔබට මේ සංසාරයේ මෙහෙමවත් දරුවෙක් ලැබෙන එකක් නැහැ.”

ප්‍රේතිය අඬන්න වූවාය. “අනේ මහත්මයා ඉතින් මම මොනවද කරන්න ඕනෑ?”

“ඔබ දුක් විඳින්නේ පෙර කළ පාපයක් නිසා. තව දුරටත් පව් කරගන්න එපා මේ අයට කරදර කරලා. මේ අයට කරදර කළොත් නිර්මාණිටත් පාඩුයි. නිර්මාණිත් දුකට පත් වෙනවා. ඔබ ඔය ප්‍රේතාත්මයෙන් මිදෙන්න අධිෂ්ඨාන කරන්න. මේ රංජියි සිරිමතීයි ඔබට පින් දේවි. ඒ පින් අරගෙන කැමති සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට හිත යොමු කරන්නැ” යි කී ගවේෂකවරයා නිවසේ සාංඝික දානයක් පිරිනමා නිල්මිණි සිහිපත් කොට පින් අනු‍මෝදන් කොට නැවත එන්නැයි නියම කළේය.

දානය පිරිනමා කලින් මියගිය බිරියට පින් අනුමෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද සිරිමතීට ආවිෂ්ට වූ ප්‍රේතිය කතා කළාය.

“මහත්මයා! මගේ දුවත් සිරිමතීට ආදරේ නම් මම මෙතැන ඉඳලා වැඩක් නැහැ. රංජියි සිරිමතියි දානය දීලා මට පින් අනුමෝදන් කළා. ගෙයයි ඉඩම් කොටසකුයි ප්‍රාණ භුක්තිය තියාගෙන දුවගේ නමට ලිව්වා. මට හරිම සතුටුයි. මහත්තයා මගේ ගම කළුතර. මම කළුතර බෝධිය ළඟට යන්න සතුටුයි” කීවාය.

සුදුමල් වට්ටියක් ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කළ ගවේෂකවරයා ඔවුන් අතම කළුතර බෝධි පරිශ්‍රයට යැවීය.

අදහස්