ලස්සන නම්වලට මුවා වී අපට දහජරාව කවන හැටි! | සිළුමිණ

ලස්සන නම්වලට මුවා වී අපට දහජරාව කවන හැටි!

මැස්සන් ඇහිරෙන පණුවන් නළියන ‍කුස්සි

සති 2–3 පරණ කොත්තු...

අයිස් ක්‍රීම් එක්ක පරණ ජූස්...

ජනතාවගේ කාර්යබහුලත්වය හේතුවෙන් අද සමාජය තුළ 'කඩ කෑම' එසේත් නැත් නම් හෝටල්වලින් ආහාර–පාන මිල දී ගැනීම ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබේ. කොළඹ නගරයේ මෙන්ම ලංකාවේ ප්‍රධාන නගර සහ පිට පළාත්වලද මේ ආකාරයට පිටතින් පිළියෙල කරන ආහාර–පාන මිල දී ගැනීමට ජනතාව දැඩි උනන්දුවක් දක්වති.

ආහාර-පාන අලෙවිය ක්‍රමවේද කිහිපයකටම සිදු කෙරෙන අතර, රාත්‍රියට පමණක් තාවකාලිකව ඉදි කරගන්නා ආහාර වෙළෙඳසල්, රථවාහන තුළ තබාගෙන ආහාර පාර්සල් අලෙවි කිරීම මේ වන විට බෙහෙවින් ප්‍රචලිත වී ඇත.

මෙයට අමතරව සුඛෝපභෝගි ආහාර අලෙවි කරන කුඩා ප්‍රමාණයේ 'රෙස්ටුරන්ට්' මෙන්ම හෝටල්වලට ද ජනතාව දැඩි කැමැත්තක් දක්වති. කොළඹ නගරය සහ ඒ අවට මෙවැනි හෝටල් සිය–දහස් ගණනක් දැකගත හැකිය. වඩා රසවත්, ගුණවත් මෙන්ම පිරිසුදු ආහාර වේලක් මිල දී ගැනීමට පවුල් පිටින් මේ ස්ථාන කරා යෑමට ජනතාව මහත් උනන්දුවක් දක්වන අතර, මේවායේ මිල ගණන්ද සාමාන්‍ය වෙළෙඳසලකට වඩා දෙගුණයකින් තුන්ගුණයකින් වැඩිය.

එහෙත් මේ හෝටල් සම්බන්ධව මේ වන විට අප සතු තොරතුරු ඇසුව හොත් ඔබ පුදුම වනු ඇත!

මාස ගණන් පරණ වූ එසේත් නැත් නම් කල් ඉකුත්වූ මෙන්ම ආහාරයට කිසිසේත් සුදුසු නොවන ආහාර සකස් කර පාරිභෝගිකයාට ලබාදීමට මේ හෝටල් හිමියන් අවස්ථා ගණනාවකදී ක්‍රියා කර තිබේ.

කොළඹ මහා නගරසභා බල ප්‍රදේශයේ කොළඹ 01 සිට 15 දක්වා පිහිටා ඇති හෝටල් හදිසියේ වැටලූ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සුඛෝපභෝගියැයි කියනු ලබන හෝටල් සහ ජනප්‍රිය අවන්හල් රැසක්ම ජනතාව රවටන ආකාරය අනාවරණය කරගැනීමට හැකි විය.

මේ ඒකකය මඟින් දිගින් දිගටම වැටලීම් රැසක්ම ඉකුත් කාලය පුරා සිදු කර තිබේ. ඒ අවස්ථාවල කුරුඳුවත්ත, කොල්ලුපිටිය වැනි ප්‍රදේශවල සුපිරි අවන්හල්වල මුළුතැන්ගෙවල් ඉතා අපිරිසුදු තත්ත්වයේ පැවැති බව නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.

එවැනි ස්ථාන හිමිකරුවන් අත්අඩංගුවට ගෙන, උසාවියට ඉදිරිපත් කොට දඩ මුදල් නියම කර ඔවුන් මුදාහැරීමෙන් පසු, ඔවුන් යළිත් සුපුරුදු ආකාරයටම කටයුතු කරගෙන යන බවත් මේ සම්බන්ධව මීට වඩා දැඩි නීති පැනවිය යුතු බවත් කොළඹ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් මහතා ‘සිළුමිණ’ ට පැවසීය.

මෙහිදී සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් සහ අපිරිසුදු ස්ථාන පිළිබඳ පාරිභෝගිකයන්ට නිසි දැනුවත් වීමක් සිදු නොවන බවද, මාධ්‍ය මගින් දිගින් දිගටම මේවා ප්‍රචාරණය කළ යුතු බවද වෛද්‍යවරයා පවසයි‍. එහිදී මේ දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙලෙස සිදු වූ අත්අඩංගුවට ගැනීම්වලට අදාළ වීඩියෝ ප්‍රචාරය වීම වැදගත් කරුණකි. ඒ මඟින් ජනතාව දැනුවත් වීම සිදු වන අතර, අපිරිසුදු අවන්හල් මොනවාද යන්න අනාවරණය කර ගැනීමට ද හැකි වෙයි.

“අප සැලසුම් කළා ක්ෂණික වැටලීමක්. ඒ අනුව කොළඹම ආවරණය වන පරිදි ඉකුත් අඟහරුවාදා (12) මෙහි ප්‍රථම මෙහෙයුම ක්‍රියාත්මක කළා” යැයි වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව කුරුඳුවත්ත, දෙමටගොඩ, බොරැල්ල යන කොළඹ නගරසභාවේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය දිසා අංක 3 යන ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රථම වතාවට මේ වැටලීම් සිදු කරනු ලැබිණි. ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍යවරුන් 6 දෙනකු සහ මහජන සෞඛ්‍ය ‍පරීක්ෂකවරුන් 50ක පමණ පිරිසක් සහභාගි වී ඇත. මෙහිදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් රැස් කර, මේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අවන්හල් සහ හෝටල් හිමියන්ට කිසිසේත් සිතාගත නොහැකි වන අයුරිනි.

මේ කණ්ඩායමට බොහෝ අවන්හල් සහ හෝටල් පරීක්ෂා කිරීම සඳහා පැය 23 ගත කිරීමට සිදු විය. මෙහිදී ඇතැම් අවන්හල්වල තිබූ කල් ඉකුත් වූ සහ ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ආහාරපාන පරීක්ෂා කිරීම හා විනාශ කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදු විය.

මෙදින මේ මෙහෙයුම සිදු කළ කණ්ඩායම්වලට අවන්හල් 68ක් වැටලීමට හැකි වී තිබේ. ඒවායින් 7ක් තාවකාලිකව වසාදැමීමට මෙහිදී කටයුතු කර ඇති අතර, තවත් 17කට ඊට පසු දින සිට ආහාර–පාන උසස් මට්ටමින් සකස් කර අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස තරයේ අවවාද කර තිබේ. මෙහිදී නරක් වූ කුකුළුමස්, මාළු, දැල්ලන් සහ පලතුරු යුෂ මෙන්ම ආහාරයට නුසුදුසු පලතුරු, එළවුළු විනාශ කිරීමට මේ කණ්ඩායම පියවර ගත් අතර, මුළුතැන් ගෙවල් පිරිසුදුව පවත්වාගෙන යෑම සඳහාද උපදෙස් දෙනු ලැබිණි.

සාමාන්‍යයෙන් ආහාර පනතින් තිබෙන නීතිය අනුව මෙවැනි වෙළෙඳසලකට/ අවන්හලකට නියමව ඇති දඩ මුදල රුපියල් 500 සිට 10,000 දක්වා පමණක් වන බවත්, මෙය ඉතා ඉක්මනින් වත්මනට ගැළපෙන ලෙස සංශෝධනය විය යුතු බවත් සෞඛ්‍ය වෛද්‍ය මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.

ඉතා අපිරිසුදු තත්ත්වයේ ආපනශාලාවක් වටලා එය වසාදැමීමට තවමත් මෙරට සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට හැකියාවක් නැති අතර, දැනට ක්‍රියාත්මක නීතියට අනුව වෙළෙඳසලක් වසාදැමීමට උසාවි නියෝගයක් ගත යුතුව ඇති බවද, ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවද සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වුවද ලෝකයේ බොහෝ දියුණු රටවල සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ සඳහා පූර්ණ බලතල හිමිව තිබේ. විශේෂයෙන්ම ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය ඇතුළු රටවල් රැසක සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඔවුන්ගේ අවසන් තීරණය ගැනීමට අවසරය දී තිබේ. අප රටෙහිද මෙවැනි දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු කාලය දැන් උදා වී ඇති බව සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ අදහසයි.

දැනට කොළඹ නගරසභා බලප්‍රදේශය තුළ සතියකට දෙවරක් හෝ ඊට වැඩි අවස්ථා ගණනාවකදී ආහාර–පාන අලෙවි කරන ස්ථානවලට කඩාපනින අතර, එහිදී අවන්හල් 100ක් පරීක්ෂා කළ හොත් 25–30 ආසන්න සංඛ්‍යාවක් නීතියේ රැහැනට හසු වන අතර, අපිරිසුදු මුළුතැන්ගෙවල් සහ කල් ඉකුත් ව‍ූ ආහාර අලෙවිය මෙහිදී වැඩි වශයෙන් සොයාගැනීමට සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකි වේ. අවසන් වරට ඉකුත් බ්‍රහස්පතින්දා (14) කොළඹ නගරය ආශ්‍රිතව සිදු කළ හදිසි වැටලීමකදී ආහාර–පාන අලෙවිසල් 100ක් පරීක්ෂා කර ඇති අතර, එහිදී අවන්හල් සහ හෝටල් 32කට නඩු පවරනු ලැබිණි. සති 2–3 වන කොත්තු රොටී අලෙවිය, දින ගණන් පරණ පලතුරු ජූස් අධිශීතකරණවල තැන්පත් කර පසුව අයිස් ක්‍රීම්වලට මිශ්‍ර කර විකිණීම, මැස්සන්, පණුවන් සහ කෘමි සතුන් මිශ්‍රව තිබූ ආහාර–පාන අලෙවි කිරීම සිදු කළ අවන්හල් හිමියන්ට මෙලෙස නඩු පැවරිණි.

දිගින් දිගටම මේ සම්බන්ධව ජනතාව දැනුවත් වන ලෙසත්, මෙවැනි ආහාර-පාන අලෙවි කරන කොළඹ නගර සීමාවේ හෝටල් ඇත් නම් 0112 676161 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පාරි‍භෝගිකයන්ගෙන් ඉල්ලා සිටිති.

Comments