ලෝක උරුමයක් සේ නම් කළ ලාංකේය රූකඩ කලාවේ රුව-ගුණ | සිළුමිණ

ලෝක උරුමයක් සේ නම් කළ ලාංකේය රූකඩ කලාවේ රුව-ගුණ

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු කෞතුකාගාර පාලක ජේතවන කෞතුකාගාරය පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය මිහින්තලේ

මානව ශිෂ්ටාචාරය තුළ කලාවට හිමි වන්නේ දිගු ඉතිහාසයකි. ආදි මානවයන් විසින් ගල් ලෙන්වල අඳින ලද සිතුවම්, මෘදු පාෂාණවලින් හා මැටියෙන් කළ ප්‍රාථමික රූප ඒ අතර වේ. ඒ සැම කලා මාධ්‍යයකටම පසුබිම් වී ඇත්තේ ඇදහිලි විශ්වාස පදනම් කරගත් අරමුණුය. අවට පරිසරයේ දැකිය හැකි ස්වාභාවික වස්තුවලට දේවත්වය ආරෝපණය කර වන්දනාමාන කිරීම, මියගිය ආත්මවලින් හිරිහැර පැමිණෙන්නේයැයි සිතා ඒ සඳහා පුදපූජා පැවැත්වීම, සතුන් දඩයම් කිරීමේ කටයුතු සාර්ථක කරගැනීම ඒ අරමුණු අතර වේ. විශේෂයෙන් ඉර, හඳ, ජලය වැනි චංචල රූප මාධ්‍යයන්ද භාවිතයට ගන්න ඇතැයි සැලකේ. එසේම මියගිය ආත්මවලින් හිරිහැර සිදු වන්නේයැයි යන විශ්වාසයෙන් යුතුව රූප එල්ලා තැබීම, රූපයට රූපයක් පිදීම වැනි අභිචාර විධිද ආදි මානව සමාජයන්හි භාවිතයේ පැවතිණි. ප්‍රාථමික ජන සමාජ ඇසුරෙන් වර්තමානයෙහිද එවැනි අභිචාර විධි භාවිතයේ පවතී.

ශ්‍රී ලංකාවේද ප්‍රදේශ ගණනාවකින්ම අභිචාර ක්‍රම සඳහා භාවිතයට ගන්නා ලද මැටියෙන් කළ කුඩා රූප සොයාගෙන තිබේ. සීගිරිය, අනුරාධපුර හා කොළඹ කෞතුකාගාරවලදී ජනකලා මුහුණුවරක් එවැනි මැටිරූප දැකබලාගත හැකිය. ලොව බොහෝ රටවලින් එවැනි රූප හමු වී ඇති අතර, ජපානයේ දොගු නමින් හැඳින්වෙන්නේද එවැනි මැටි රූප සම්ප්‍රදායකි.

මෙරට පළමු රූකඩ නැටවීම

වර්තමානයේ ‘රූකඩ’ නමින් හැඳින්වෙන කලා සම්ප්‍රදායද එවැනි අභිචාරමය මූලයකින් බිහි වූවක් බව පෙනේ. ‘රූකඩ’ යන්න ‘කුඩා රූප’ යන්න අර්ථවත් වන සංස්කෘත ‘රූප ඛණ්ඩ’ යන්නෙන් බිඳී ආවකි. සංස්කෘත සාහිත්‍යයේ ඒ සඳහා භාවිත කර ඇත්තේ පුත්‍රක/ පුත්‍රිකා/ පුත්තලික යන වදන්ය. ඉංග්‍රීසි බසින් රූකඩ සඳහා භාවිත වන Puppet යන්න බෝනික්කා (doll) යන්න අර්ථවත් වන Pupa යන ලතින් වදනින් බිහි වී තිබේ. අපේ ඓතිහාසික මූලාශ්‍රයන්හි ඒ සඳහා භාවිත කර ඇත්තේ යන්ත්‍ර රූප, යන්ත්‍ර බලයෙන් දිවෙන රූප යන නාමයන්ය. රූකඩ කලාව පිළිබඳ අපගේ පැරැණිතම සාහිත්‍ය මූලාශ්‍රයගත තොරතුර වන්නේ මහාවංශයෙන් 85 වන පරිච්ඡේදයේ එන දෙවන පරාක්‍රමබාහු රජු (ක්‍රිව 1236-1272) විසින් ශ්‍රීවර්ධන නුවර කරවන ලද විහාරයකට පුදපූජා පැවැත්වීම පිළිබඳ විස්තරයකි. එහි යන්ත්‍රානුසාරයෙන් රඟ දැක්වූ රූප පිළිබඳ සඳහන් වන්නේ, “... සේසත් ගෙන පෙළ සැදී නටන්නා වූ යන්ත්‍රයෙන් නිම වන ලද මනහර වූ බඹරු වළල්ලෙන්ද හිස ඇඳිලි බැඳගෙන සකසා හැසිරෙන්නා වූ නන්වන් දරන යන්ත්‍ර රූපයෙන් කළා වූ දේව රූපයෙන් ද මහ සමුදුර මොනවට නැංගා වූ රල මාලා බඳු කාන්තිය ඇති ඒ ඒ තැන දුවන්නා වූ යන්ත්‍රයෙන් කරන ලද අක්රු වළල්ලෙන්ද පොළෝ තෙල බටුවා වූ වලාවෝදෝයි සැක උපදවන්නා වූ හස්ත්‍යලංකාරධර වූ යන්ත්‍ර රූ ඇතුන්ගෙන්ද යන මේ ආදි වූ ලෝකානන්දකර වූ නන්වැදෑරුම් සියලු පූජා වස්තුවෙන් වෙහෙර මොනවට අලංකාර කෙළේය...”

යනුවෙනි.

ඉහත මහාවංස ප්‍රවෘත්තියම පූජාවලියෙහිද “... ඒ ඒ දික්හි යන්ත්‍ර බලයෙන් ඇවිදින හස්ති රූප පඞ්ක්තීන් හා පූජාලෝලීන් දිවූ සමුද්‍රරාජයාගේ මහරළපෙළ සේ ඒ ඒ දික්හි යන්ත්‍ර බලයෙන් දිවෙන අශ්ව රූප පෙළකින්...” ලෙසත් සඳහන් වේ.

කෙසේ වෙතත් මේ සාහිත්‍ය මූලාශ්‍රයගත තොරතුරු අනුව රූප නැටවීම හැරුණු විට ඒ අනුසාරයෙන් කිසියම් කථාවස්තුවක් ඉදිරිපත් කරන ලද බවට සාධක නැතිය. රූකඩ උපයෝගි කරගෙන කථාවස්තු ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත වී ඇත්තේ 19 වන සියවස අග භාගයේදීය. ඒ සඳහා සුලබ ලෙස උපයෝගි කරගෙන ඇත්තේ සමකාලිනව නාඩගම් සඳහා යොදාගත් වෙස්සන්තර, කාලගෝල, ඇහැලේපොළ වැනි කතා වස්තුය.

අපේ රූකඩ ශිල්පි පරපුර

ශ්‍රී ලංකාවේ වර්තමාන රූකඩ කලාව අම්බලන්ගොඩ ප්‍රදේශය ඇසුරු කරගෙන බිහි වූවක් ලෙස හඳුනාගත හැකි වන අතර, අම්බලන්ගොඩ රූකඩ කලාවේ පියා ලෙස පිළිගැනෙන්නේ ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේය. ඔහු 1870දී ශ්‍රී ලංකාවට පැමිණි එඩින්බරෝ ආදිපාදවරයාටද රූකඩ සන්දර්ශනයක් ඉදිරිපත් කළැයි පැවසේ.

ආචාර්ය ජයදේව තිලකසිරි අම්බලන්ගොඩ මුල්ම රූකඩ ශිල්පියකු ලෙස සඳහන් කරන පොඩිනේරිස් ගුරුන්නාන්සේද ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේම බවටද මතයකි. පොඩිසිරිනා ගුරුන්නාන්සේට සමකාලීනව සිටි ප්‍රකට රූකඩ ශිල්පීන් ලෙස සඳහන් වන්නේ අම්බලන්ගොඩ කන්දේගොඩ බබානිස් ගුරුන්නාන්සේ, බෝගහවත්තේ සුරතන් ගුරුන්නාන්සේ හා රන්දොඹේ බාප්පු ගුරුන්නාන්සේය.

ඒ හැරුණු විට ඊළඟ පරපුරේ රූකඩ ශිල්පීන් ලෙස ගම්වාරි ඩැනියෙල්, ගම්වාරි ජේමිස්, ගම්වාරි ලව්නේරිස්, චාර්ලිස් සිල්වා ගුණසිංහ, අහුන්ගල්ලේ කඳන්පිටියේ ගිරෙන්නා විදුල ගුරුන්නාන්සේ, අම්බලන්ගොඩ බෝගහවත්තේ සිච්චා ගුරුන්නාන්සේ, වැලිතර සන්දෝරිස් ගුරුන්නාන්සේ අම්බලන්ගොඩ කැපුඇළ කන්දේ සිනෙච්චි ගුරුන්නාන්සේ රූකඩ ශිල්පීන් අතර ප්‍රමුඛ වෙති.

රූකඩ කලා සම්ප්‍රදාය නූල් රූකඩ, රිටි රූකඩ, අත් රූකඩ, සෙවණැලි රූකඩ, වෙස්මුහුණු රූකඩ, ඇඟිලි රූකඩ, රිටි හා නූල් රූකඩ, චිත්‍ර රූකඩ, ක්ෂුද්‍ර රූකඩ, ජ්‍යාමිතික රූකඩ, විද්යුත් රූකඩ වශයෙන් ප්‍රභේද කිහිපයකින් යුක්ත වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව ඇත්තේ නූල් රූකඩ (Marionette) ක්‍රමයයි.

ශ්‍රී ලංකාවේ රූකඩ සදාගැනීම සඳහා උපයෝගි කරගන්නේ කදුරු හා රුක්අත්තන ලීය. ලී කපාගැනීමේදී සම්ප්‍රදායානුකූලව පැවත එන චාරිත්‍ර අදද අනුගමනය කරන අතර, රූප නිර්මාණය කිරීමේදී සම්මත මිනුම් ප්‍රමාණ භාවිතයට ගැනේ. දැවයෙන් සකසන ලද රූප වර්ණ ගැන්වීම සිදු කරන අතර, එහිදී ඒ ඒ චරිතවලට ගැළපෙන වර්ණ භාවිතයට ගැනේ.

රූකඩ රඟදැක්වීම සඳහා උස් වූ වේදිකාවක් උපයෝගි කරගන්නා අතර, එය දෙපස කොටස් කෝණාකාර හැඩයක් ගන්නා පරිදි කොටස් තුනකින් සමන්විත වේ. වේදිකාව පිටුපස කළු තිරරෙදි එල්ලා තිබේ. වේදිකාව පිටුපස අඩි 6ක් පමණ උසකට අඩ කවයක හැඩයේ වැටක් සදාගනු ලබන අතර, එම වැටට පිටුපසින් වේදිකාවේ උසට වඩා අඩියක් උසැති අඩ කව හැඩයේම පඩියක් සදාගනී. රූකඩ නැටවීම සිදු කරන්නේ මේ පඩිය මත සිටගෙනය. වේදිකාවේ කොටස් තුනෙහිම රූකඩ නැටවීම සිදු කරන අතර, මේ කොටස් මාරුවෙන් මාරුවට ඒ සඳහා භාවිතයට ගනී.

ලෝක උරුමයක් වන රූකඩ

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම අතර අස්පර්ශනීය උරුමයක් (Intangible Heritage) ලෙස හඳුනාගත හැකි රූකඩ කලාව අභාවයට යමින් පවතින සුවිශේෂ කලා සම්ප්‍රදායකි. ලොව බොහෝ රටවල විවිධ රූකඩ සම්ප්‍රදායන් භාවිතයේ පැවතියද අපගේ අත්නූල් රූකඩ සම්ප්‍රදාය සමඟ බැඳුණු අනන්‍ය වූ ලක්ෂණ රැසක්ම හඳුනාගත හැකිය. ඒ රූකඩ කලා සම්ප්‍රදාය රූප රඟ දැක්වීමක් පමණක් නොව, කතා වස්තු නිරූපණය කිරීමට යොදාගන්නකි. ගායන සම්ප්‍රදායන්, වේදිකා සැරසිලි, ආලෝකකරණය යන සියල්ල ඒ හා බද්ධව පවතී. ඒ අනුව අපගේ රූකඩ කලාව ඇසුරෙන් කලා සම්ප්‍රදායන් දෙකක්ම හඳුනාගත හැකිය. එනම් දැවයෙන් රූකඩ නිර්මාණය කිරීමේ කලාව හා ඒවා ඇසුරෙන් කතා වස්තු රඟ දැක්වීමේ කලාවයි.

සංස්කෘතික උරුමයක් ලෙස මේ කලා සම්ප්‍රදායේ ඇති වටිනාකම සැලකිල්ලට ගෙන 2020 වර්ෂයේදී යුනෙස්කෝ ලෝක සංස්කෘතික උරුමයක් ලෙසද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එය අභාවයට යන අස්පර්ශනීය සංස්කෘතික උරුමයක් ලෙස රූකඩ කලාව මතු පරපුර උදෙසා රැකගැනීම සඳහාද අපගේ සාම්ප්‍රදායයික උරුමයක මහිමය කෙරෙහි අන්තර්ජාතික අවධානය යොමු කරවීම සඳහාද අතිශයින් මහෝපකාරි වන බව කිව යුතුය.

(මූලාශ්‍රය: මහාවංසය, පූජාවලිය, අන්තර්ජාල වෙබ් අඩවි, Puppertry in Sri Lanka,

සීගිරිය ඉලුක්වැව ප්‍රදේශයෙන් හමුව ඇති අභිචාර විධි සඳහා යොදාගත් මැටි රූප)

Comments