වහ-වහා පහ කළ යුතු‘මානය’ | සිළුමිණ

වහ-වහා පහ කළ යුතු‘මානය’

තිරිසන්ව වුණත් ඉපදෙන්න පුළුවන්

සමාධියෙන් තොරව අවබෝධයකුත් නැහැ

ආරණ්‍යයක සිටියත් ප්‍රමාදයි නම් වැඩක් නෑ

එක්තරා දිව්‍ය පුත්‍රයෙක් බුදු රජාණන් වහන්සේ සමීපයට පැමිණිලා මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා: “නමාන කාමස්ස තමෝ ඉදත්ති, නමෝන මත්තී අසමාහි තස්ස, ඒකෝ අරඤ්ඤේ තිහරං පමත්තෝ, නමත්තු දෙයියස්ස කරෙය්‍යපාරං.’’

‘බුද්ධ සාසනයෙහි මානය කැමැති කෙනාට ප්‍රධාන කරුණු තුනක් හේතු වනවා. ඒ අනුව තමන් අනිත් අයට වඩා සුදුසුයි කියලා හිතෙනවා; නැත් නම් අනෙක් අය හා සමානයි කියලා හිතෙනවා; එහෙමත් නැත් නම් අනෙක් අයට වඩා පහත්ය කියලා හිතෙනවා. මෙන්න මේ කරුණුයි මානයට මූලික වන්නේ.

තමන් උසස් කියලා හිතන දෙයට කියන්නේ ‘සෙය්‍යමානය’ කියලයි. අනෙක් අයට සමානයි කියන දෙයට ‘සදිස්ස මානය’ කියනවා. පහත් කියලා හිතන්නේ ‘හීනමානය’ යි. මේ මාන තුන තවත් විස්තර කරනවා. 'මම උසස් කෙනාට වඩා උසස් වෙමි’ කියා සිතනවා. ‘උසස් කෙනාට උසස් වෙමි’ කියා සිතනවා. ‘උසස් කෙනාට සමාන වෙමි’ යනුවෙන් සිතනවා. ‘මම පහත් වෙමි’ කියලා මානය ඇති වන ක්‍රම තුනක්ද මෙහි සඳහන් වනවා. මේ ආකාරයට මානය කොටස් නවයකට බෙදෙනවා.

මේ මානය නිසා තිරිසන් ආත්මවල උපදිනවා කියලත් අප මතක තබාගන්න අවශ්‍යයි. වඳුරෙක්, කුකුළෙක්, බල්ලෙක් වෙලා ඉපදින්න පුළුවන්.

මේ දිව්‍යපුත්‍රයා කියනවා, මානයට කැමැති වෙනවා නම් ඔහුට දමනයක් නැත කියලා. මානය තිබෙන කෙනාට සමහර විට සීලය තිබෙන්න පුළුවන්. එහෙත් නිසි ආකාරයට පිහිටුවන්න පුළුවන් වන්නේ අපේ සිත භාවනාවෙදී සිත සමාධිගත වුණොත් පමණයි. සිත එක් අරමුණක පිහිටීම සමාධියයි. එහෙත් බුදුදහමේ සමාධිය යනු කුසල අරමුණක සිත තැන්පත් කිරීමයි.

මේවාට අප කියනවා ‘භාවනා අරමුණු’ කියලා. සිතින් යම් කිසි අරමුණක් මෙනෙහි කරන්න පුළුවන් නම් වෙන දේවලට හිත යන්නේ නැතුව, අප එයට බුදුදහමේදී කියනවා ‘පරිකර්ණ සමාධිය’ කියලා. සමහර විට සමථ, විනාඩි විස්සක් වත් එක අරමුණක් මෙනෙහි කරන්න පුළුවන් නම් මේ පරිකර්ණ සමාධිය ඇති වන්න පුළුවන්. තමන් අරමුණු කරන දෙය ඒ තැනැත්තාට පෙනෙන්න ගන්නවා.

ඒ මට්ටමට දියුණු වු සිතට අප කියනවා ‘පරිකර්ණ නිමිත්ත’ කියලා. අප ඉන් පසුව ‘උග්ගහන නිමිත්ත’ කියලා කියන්නේ ඒ තැනැත්තා ඒ අරමුණ ටිකක් වර්ධනය වී පෙනෙන්න ගැනීමයි. තව කාලයක් යන විට ඒ නිමිත්ත සිය-දහස් ගුණයකින් ප්‍රකටව වැටහෙන්න පටන්ගන්නවා. ඒ ආකාරයට වැටහෙන කොට කියනවා ‘පටිභාග නිමිත්ත’ කියලා කියනවා. හොඳින් පිරිසුදුව වැටහීමේදී අප කියනවා ‘උපචාර සමාධිය’ කියලා. කුඩා සමාධියකට නොවෙයි මේ ‘උපචාර නිමිත්ත’ කියලා කියන්නේ. මෙය අතරමැද වන සමාධියක් - එනම්: ධ්‍යානයයි සාමාන්‍ය සමාධියයි අතර පවතින එකක් මේ උපචාර නිමිත්ත. භාවනා අරමුණ මෙනෙහි කිරිමට අප කියනවා ‘පරිකර්ම පිරීම’ කියලා. ඉන් පසුව භාවනා නිමිත්ත වැටහීම ‘පරිකර්ණ නිමිත්ත’. ඊට වඩා උසස් නිමිත්ත ‘කල්පනා නිමිත්ත’ යි.

අපට සමාධිය රහිතව - එනම්: භාවනාවකින් තොරව - චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබන්න බැහැ. පොඩි දේකින් අමතක වන්න පුළුවන් මේ අවබෝධය. එතරම්ම ප්‍රාථමික මට්ටමකයි එය පවතින්නේ. ඒ නිසා සමාධියක් නැති කෙනකුට චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනුමක් තිබුණත් සමාධිය නැතුව එයින් පලක් වන්නේ නැහැ. අපට චතුරාර්ය සත්‍යය ගැන කිසිම දෙයක් සමාධියකින් තොරව වැටහෙන්නේ නැහැ.

එයට හේතුව චතුරාර්ය සත්‍යයේ මුලින්ම සඳහන් වන්නේ දුක පිළිබඳවයි. දුක කියන්නේ පංච උපාදාන ස්කන්ධය. එහි එක කරුණක් තමයි වේදනාව මේ වේදනාව අපට දැනෙනවා. වේදනාව ඇති වන්න හේතු තියෙනවා. ඒ වේදනාව හට ගැනෙන තැන අපට දැනෙනවා. ඒත් හේතුව හට ගන්න තැන දැනුණට වේදනාව හට ගන්න තැන අපට හරියට දැනෙන්නේ නැහැ. වේදනාව තියෙන තැන දැනුණට ඒ වේදනා හටගන්න තැන දැනෙන්නේ නැහැ. ඒත් මේ වේදනාව හට ගන්නේ හදවත තුළ ලේ ඇසුරු කරගෙනයි. එක් වේදනාවක් ආයු කාලය ක්ෂණයකින් කෝටියෙන් එකයි. මේ විදිහට අපිට වේදනාව ගැන දැනුමක් තියනවා කියලා අපිට හඳුනාගන්න බැහැ. අපට දැනෙන්නේ ස්පර්ශය තියෙන තැන පමණයි. අපට තේරුම්ගන්න පුළුවන් වන්නේ එපමණයි.

අපට මේ වේදනාව පිළිබඳ නියම අරුත දැනෙන්නේ සමාධියට නියමාකාරයෙන් ඒළැඹුණ දවසක පමණයි. නියම සමාධියක් අප සතුව නැහැ චතුරාර්ය සත්‍යය පිළිබඳ ලේසියෙන් අපට දැනගන්න අමාරුයි. කෙසේ නමුත් සමාධියක් නැති කෙනාට චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනුමක් තිබුණත් පලක් නැහැ.

ඉහත ගාථාව අනුව කියනවා මේ පුද්ගලයා ආරණ්‍යයකට වෙලා ප්‍රමාදීව සිටිනවා නම් මාරවිෂය තරණය කර නිවනට යන්න බැහැ කියලා.

මේ ත්‍රිවිධ ලෝකය තරණය කරන්න බැහැ වනගත වෙලා තනිවම ප්‍රමාදීව වාසය කළාට කියලා ප්‍රකාශ කර තිබෙනවා. මේ ගාථාවේ සම්පූර්ණ තේරුම මම පැහැදිලි කරන්නම් මානය කැමැති කෙනාට දමනයක් නැත.

එනම් සමාධියක් නැහැ.

දමනයක් නැති තැනැත්තවුන්ට අවබෝධයක් නැහැ තනිවම ප්‍රමාදිව ආරණ්‍යයේ වාසය කළට මාරවිෂය තරණය කර නිවනට යා නොහැකි බව මේ දිව්‍යපුත්‍රයා සඳහන් කරනවා. මේ දිව්‍ය පුත්‍රයාගේ දැනුම අතිවිශිෂ්ටයි. ගැඹුරු ධර්ම කරුණක් මේ සඳහන් කරන්නේ.

මේ දිව්‍යපුත්‍රයාට බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ අනුව උන් වහන්සේ ප්‍රකාශ කළා:

මානය ප්‍රහානය කරලා ‘සුසමාහිතත්තෝ’ හිත මැනවින් සමාධිගත කරලා, ‘සුචේතසෝ’ කියන්නේ පිරිසුදු සිතින් යුතුව සියලු කෙලෙස් මිදෙනවා. තනිව ආරණ්‍යයක වෙලා වාසය කරනවා නම් මානය ප්‍රහාණය කළ යුතු බව උන් වහන්සේ ප්‍රකාශ කළා.

Comments