DFCC අධිශ්‍රේණි ශාඛාව ලේක්හවුස් මන්දිරයේ | Page 2 | සිළුමිණ

DFCC අධිශ්‍රේණි ශාඛාව ලේක්හවුස් මන්දිරයේ

DFCC බැංකුවේ පළමු අධිශ්‍රේණි ශාඛාව පසුගිය සිකුරාදා (15) කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ලේක්හවුස් පරිශ්‍රයේදී විවෘත විය. ඒ බැංකුවේ 139 වැනි ශාඛාව වන මේ අධිශ්‍රේණි ශාඛාව DFCC සභාපති රොයෙල් ජෑන්ස් මහතා අතින් විවෘත වූ අතර මේ අවස්ථාවට එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා, ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

ගනුදෙනුකරුවන්ට විශේෂ පහසුකම් සපයන නවීන තාකෂණික පහසුකම් රැසකින් සමන්විත වන මේ නවතම DFCC ශාඛාව වෙතින් බැංකුකරණයේ නවමු අත්දැකීම් රැසක් විඳගැනීමට හැකි වනු ඇති බවත්, එහි පවතින නවීන පහසුකම් සහ සුහදශීලි කාර්යමණ්ඩලය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉතා පහසුවෙන් ඉටු කර දෙනු ඇතැයි තමන්ට විශ්වාස බවත් මෙහිදී පැවති කෙටි උත්සව සභාව අමතමින් සභාපති රොයිල් ජෑන්ස් මහතා ප්‍රකාශ කළේය. මෙරට ව්‍යවසායකයන් ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට තම ව්‍යාපාර සහ ජීවිත ගොඩනඟාගැනීමට DFCC බැංකුව වසර 63ක් පුරා සිදු කළ සේවය මත විශාල ජනතා විශ්වාසයක් හිමි කරගෙන ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ DFCC ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා පැවසූයේ දිවයිනේ පළමුවරට ආරම්භ කෙරුණු මේ අධි‍ශ්‍රේණි ශාඛාවේ ගනුදෙනුකරුවන් සඳහා අද්විතීය පහසුකම් රාශියක් පවතින බවයි. ඒ අනුව බැංකුකරණය පහසු කරන නව්‍ය තාක්ෂණය, ආනයන අපනයන කටයුතු සඳහා පහසුකම් සලසන විශේෂිත බැංකු සේවා හා ව්‍යාපාර ගනුදෙනුවලට අදාළ විශේෂ පහසුකම් ඇතුළු සේවා රැසක් සතියේ වැඩ කරන දින පහ තුළ පෙරවරු 9 සිට රාත්‍රී 7.30 දක්වාත්, සෙනසුරාදාවන්හි පෙරවරු 9 සිට පස්වරු 4.30 දක්වාත් මේ DFCC අධිශ්‍රේණි ශාඛාවේදී සැපයෙනු ඇත.

මේ අවස්ථාවට DFCC බැංකුවේ සමීප ගනුදෙනුකරුවන් රැසක් හා ලේක්හවුස් ආයතනයේ කළමනාකාරිත්වය, ජනාධිපති අරමුදල, ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Comments